බයිඩ්න් කෙනෙක් වෙන්න – දිලිත් රනිල්ගෙන් ඉල්ලයි
අනුරයි, නාමලුයි කතා කළේ මොනවාද
විජයදාසට ජනපති රනිල්ගෙන් ප්‍රසාදය
නාමල් රාජපක්ෂට ලක්ෂ්මන් නම ලැබුණ හැටි
වජිර- ගම්මන්පිල බර කතාවක්
විජයදාසගෙන් මැතිවරණ කොමිසමට දොස් මුරයක්
වේලුකුමාර් කුකුළා අතින් අරගෙන රනිල් ළඟට
වැට උඩ සිටි පාඨලී, රිෂාඩ් සජිත් ළඟට
ජනාධිපතිවරණයේ නාමයෝජනා බාරගැනීමේ අවස්ථාවේදී බොහෝදෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ ජනාධිපති අපේක්ෂකයන් එකිනෙකාට මුණගැසුණු අවස්ථාවන් දෙසටයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා බාරදුන් අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නාමයෝජනා බාරදුන්නේ සමගි ජනබලවේගයේ අපේක්ෂකයා ලෙසය.
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එහි නායක අනුර කුමාර දිසානායක නාමයෝජනා බාරදුන් අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුනේ නාමයෝජනා බාරදුන්නේ එම පක්ෂයේ ජාතික සංවිධායක ලක්ෂමන් නාමල් රාජපක්ෂය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, දිලිත් ජයවීර, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු 39දෙනෙක් 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැන්ම වෙනුවෙන් නාමයෝජනා භාරදී තිබුණි.
ඒ අපේක්ෂකයන්ගේ නම් ප්‍රකාශ කරන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ නාමල් රාජපක්ෂ යනුවෙන් නම් දෙකක් සඳහන් වීමයි. එක් නාමල් රාජපක්ෂ කෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේය. අනෙක් නාමල් රාජපක්ෂ සමබිම පක්ෂයේය.
පොහොට්ටුවේ නාමල් රාජපක්ෂගේ නම කියවුණේ ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ යනුවෙනි. ලක්ෂ්මන් යන නම රාජපක්ෂවරුන්ට අලුත් නමක් නොවේ. ලක්ෂ්මන් රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂගේ ලොකු බාප්පාය. ලක්ෂ්මන් රාජපක්ෂගේ දියණිය නිරූපමා රාජපක්ෂය.
ලක්ෂ්මන් රාජපක්ෂ සිහි කිරීම සඳහා ලක්ෂ්මන් යන නමද නාමල්ගේ මුල් නමට යොදා තිබුණි. නාමල් රාජපක්ෂවරු දෙදෙනා නමින් වෙනස් වුයේ සහ හඳුනාගන්නේ ලක්ෂ්මන් යන නමිනි. මේ අතර ජනාධිපති අපේක්ෂකයන් එකිනෙකාට කතාබස් කරමින් සුබපතා ගන්නා ආකාරයක්ද දක්නට ලැබිණි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සිටියේ එක් මේසයකය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණීමට පෙර වජිර අබේවර්ධන පිටුපසට හැරී උදය ගම්මන්පිල සහ සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සමග අවස්ථා කිහිපයකදීම කතාබස් කළේය.
“කොහොමද දිලිත් ඡන්ද ව්‍යාපාරය” යනුවෙන් වජිර අබේවර්ධන විමසුවේය.
“මන්ත්‍රීතුමා අපේ වැඩේ හොඳටම කරගෙන යනවා” යනුවෙන් දිලිත් ජයවීර ප්‍රතිචාර දැක්වුයේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණි පසුවත් වජිර මන්ත්‍රීවරයා පිටුපසට හැරී දිලිත් ජයවීර සහ උදය ගම්මන්පිල සමග කෙටි වේලාවක් කතාබස් කළේය.
“ඇමරිකාවේ ජෝ බයිඩ්න් වගේ ඔබතුමා මෙහේ තරුණ කෙනෙකුට අවස්ථාව දෙන්නකෝ... මං වගේ තරුණයෙකුට ඉඩ දෙන්න” යනුවෙන් දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීමට එතැන සිටි සියලුමදෙනා සිනාසුනහ.
"කොහොමද ජනාධිපතිතුමා මැතිවරණ කටයුතු" යනුවෙන් උදය ගම්මන්පිල සහ දිලීත් ජයවීර විමසූහ. ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ හොඳින් කරගෙන යන බවයි.
මේ අතර ජනාධිපති අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අසලට පැමිණ එකිනෙකට සුබපතා ගත්තේය.
"අන්න විජයදාස ඔයා හදපු proceeds of crimes act ( නීතිවිරෝධී ලෙස රැස් කළ වත්කම් රාජසන්තක කිරීම) කැබිනට් එකේදී සම්මත වුණා. ඒක ගැසට් කරලා ඉක්මනටම පාර්ලිමේන්තුවට ගේනවා. ඒකට ඔයා හුඟක් මහන්සි වුණා"යනුවෙන් ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, විජයදාස රාජපක්ෂට ස්තූති කළේය.
"ඒක ඉක්මනටම පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත නම් හුඟක් හොඳයි" යනුවෙන් විජයදාස රාජපක්ෂ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ, ජනාධිපතිවරයා හමුවුණු අවස්ථාවේදී එකිනෙකාට සුබපතා ගන්නා අයුරු දක්නට ලැබිණ.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා නාමල් රාජපක්ෂ අතර කෙටි කතාබහක් සිදුවූ අතර, නාමල් රාජපක්ෂට අනුර කුමාරද සුබ පැතුවේය.
තවත් ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනෙකුම නාමල්ට ප්‍රකාශ කළේ තරුණ වියේදීම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම යහපත් දෙයක් බවයි.
"මෙතන ඉන්න ජනාධිපති අපේක්ෂකයන් අතරින් ළාබාලම ජනාධිපති අපේක්ෂකයා ඔබයි" යනුවෙන් එක් නිලධාරියෙකුද නාමල්ට ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
එම ස්ථානයේ සංග්‍රහ කටයුතුවලට සිටි කිහිපදෙනෙක්ම නාමල් රාජපක්ෂ සමග සෙල්ෆි ඡායාරූප ගැනීමද විශේෂත්වයක් විය.
මේ අතර නාමයෝජනා භාරගැනීමෙන් පසුව විරෝධතා ඉදිරිපත් කිරීමට යම් කාලයක් නියම වූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ශාලාවේ පිටුපසට යන අතරතුර සජිත් ප්‍රේමදාස දැක අතට අත දී සුබ පැතීමට ගිය අතර, සජිත්ගෙන් ඊට එතරම් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවක් වාර්තා නොවේ.
සජිත් ප්‍රේමදාස නාමයෝජනා භාරදීමට පැමිණ අසුන්ගෙන සිටි අවස්ථාවේදී සුජීව සේනසිංහ සහ ලක්ෂ්මන් ෆොන්සේකා සජිත් අසලම සිටගෙන සිටිනු දක්නට ලැබිණ.
මේ අතර ජනාධිපති අපේක්ෂක, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට දැඩි විරෝධතාවක් එල්ල කරන ලදී.
ඊට හේතුව වශයෙන් විජයදාස රාජපක්ෂ සඳහන් කළේ නාමයෝජනා භාරගන්නා ශාලාව තුළ කිසිදු ගාම්භීරත්වයක් නොමැති බවයි.
“දැන් බලන්න, මෙතන ගමේ කෝපි කඩේ වගේ. හැමතැනම මහා ජංජාලයක් වගෙයි. කට්ටිය එක එක තැන හිටගෙන ඉන්නවා. හයියෙන් කතා කරනවා. ඝෝෂාව වැඩියි. කිසිම ගාම්භීරතාවයක් නැහැ.
මේ රටේ පළමුවෙනි පුරවැසියා තෝරන ක්‍රියාවලියේ මුල් අවස්ථාව. මෙතන රටට ලෝකයට අපි දෙන ආදර්ශය හරිද. කිසිම විනයක් නැහැ.
ඉස්සර කොච්චර ගාම්භීරත්වයක්, විනයක් මෙතන තිබුණද? මං මීට පෙර ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේම නීතීඥයා හැටියට කටයුතු කළා.
චන්ද්‍රිකා මැඩම්ගේ, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නාමයෝජනා භාරදෙනකො මම නීතීඥයෙකු ලෙස කටයුතු කරලා තියෙනවා.
ඒක නිසා මැතිවරණ කොමිසම වහාම මේ ගැන අවධානය යොමු කළ යුතුයි.” යනුවෙන් විජයදාස රාජපක්ෂ විසින් ස්වාධීන මැතිවරණ කොමිසමට විශාල ගෝරනාඩුවක් කරන ලදී.
ජනාධිපතිවරණයේ නාමයෝජනා කටයුතු එසේ ඊයේ (15වන දින) අවසන් වූ අතර, පසුගිය සතිය පුරාම දේශපාලන ක්ෂේත්රය උණුසුම් වූයේ යම් යම් පිල් මාරුවීම් සිදුවීම නිසාය.
නාමයෝජනා භාරදුන් දිනයේ උදෑසන කුකුළා අතේ අරන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවීමට පැමිණියේ සමගි ජනබලවේගය නියෝජනය කරනු ලබන වතුකරයේ ප්‍රබලයෙකි. සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඉදිරි ජනාධිපතිවණයේදී ඔහුට සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළේය. මේ සඳහා කපුකම මනූෂ නානායක්කාර විසින් සිදුකළ බව වාර්තා වේ.
සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න පසුගියදා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග ගිවිසුමකට අත්සන් තැබීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට ප්‍රධාන හේතු කිහිපයක් ඉදිරිපත් කළ රාජිත කාරණා හතරක් යටතේ වන එකඟතාවයකට රනිල් සමග අත්සන් තැබීය. ඉන් අනතුරුව රාජිත ප්‍රකාශ කළේ රනිල් සමග එක්වීමට පෙර තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැය දෙකක පමණ සාකච්ඡාවක් කළ බවයි.
“මේ වෙලාවේ මේ වැඩේ කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයට විතරයි. ඔබතුමා රටේ නායකයා වුණොත් මාස 04, 05ක් යනකොට නැවත අරගලයක් ඇවිල්ලා අපේ ගෙවල් ගිනි තියාවි. ආපසු ගෝල්ෆේස් අරගලයක් වගේ එක්ක ආවොත් ඔබතුමාට බැහැ ඒකට මුහුණ දෙන්න.
එතකොට අපේ තමයි ආපහු ගෙවල් ගිනි තියන්නෙ. ඒක නිසා රට වෙනුවෙන් මම මේ තීරණය ගන්නවා” තමන් සජිත් ප්‍රේමදාස සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ප්‍රකාශ කළ බව රාජිත පැවසුවේය.
මේ අතර වැට උඩ සිටි පාඨලී චම්පිකගේ සහ රිෂාඩ් බද්යුදීන්ගේ සහය මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලැබී තිබේ. පාඨලී නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ හා සමගි ජනබලවේගය අතර ගිවිසුම් අත්සන් තැබූ අවස්ථාවේදී පාඨලී සඳහන් කළේ අලුත් විප්ලවකාරී අදහස් ක්‍රියාත්මක කිරීමට ගොස් රට වට්ටා ගත යුතු නැති බවය. එහිදී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ පාඨලී හා තමන් සාකච්ඡා කරන හැම අවස්ථාවකදීම කුසලතාවයෙන් යුත් අයට තනතුරු ලබාදීම පිළිබඳව සාකච්ඡා කළ බවත් පාඨලීගේ එක්වීම සමගි ජන සන්ධානයට විශාල ශක්තියක් බවය. එමෙන්ම, අතාවුල්ලා සහ හංස පක්ෂයේ සහය මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලැබී ඇත.
මංජු ශ්‍රී