“ආණ්ඩුව කියන්නෙ එකක්. කරන්නෙ තව දෙයක්. වැටුණු ආර්ථිකය ගොඩගන්නට රටේ ව්‍යවසායකයන් සුළුපරිමාණ නිෂ්පාදකයන්ට බැංකුවලින් දෙනවා කියපු අඩු පොළී ණය සහනය ගන්න මාස ගණනක් ගතවෙලත් අපි බැංකුවල කාලය කා දමනවා.*
මේ තැන තැන එවැනි ව්‍යවසායකයන්ගෙන් ඇසෙන බරපතළ චෝදනාවකි. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී එයට නිසි පිළිතුරු සපයන සිදුවීමක් පෞද්ගලික බස් සේවයේ නිරත ව්‍යවසායකයෙකුගෙන් අසන්නට ලැබුණි. එය කාගේත් පැනයට සහ කුකුසට පිළියමක් වන නිසා, සද්භාවයෙන්ම ජනතාව දැනුම්වත් වීමේ වගකීම සලකා, කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන ලෙස එකී කරුණු මෙසේ උපුටා දක්වමු.
අපි මහනුවර නාවලපිටිය මාර්ගයේ පෞද්ගලික බස් ධාවකයෙකු වන ශිරාන් සාලින්ද වර්ණසූරිය මහතාට සවන් දෙමු.
“රජය විසින් ව්‍යවසායකයන්ට, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන පොළී යටතේ ණය ලබාදෙන බව කෝවිඩ් ප්‍රශ්නය සමග දන්වා සිටියා. මමත් පෞද්ගලික බස් හිමියෙකු නිසා ව්‍යවසායකයෙකු වශයෙන් අඩු පොළිය සහිත එම ණය මුදල් ලබාගැනීමට අවශ්‍ය බව නාවලපිටිය ලංකා බැංකුවට ගොස් එහි කළමනාකරුට දන්වා සිටියා. ඔහු විසින් මගේ ප්‍රවාහන ව්‍යාපාරය පිළිබඳ විස්තර විමසා මා හට රුපියල් ලක්ෂ පහක මුදලක් ඒ යටතේ ලබාදිය හැකි බවත්, ඒ සඳහා ණය ඉල්ලුම්පත් සහ සම්පූර්ණ කළයුතු වෙනත් ලේඛනද ලබාදුන්නා. අවශ්‍ය බිල්පත්, ඉන්වොයිස් වියදම් ඇස්තමේන්තු, ඇපකරු ඉල්ලුම් පත් සමග ණය ඉල්ලුම්පත් බැංකුව භාර ගත්තා. ඒ විස්තර ඔවුන් පිළිගත්තා.
පසුව ණය මුදල් ලබාගැනීමට බැංකුවට ගිය පසු මා වෙනත් අයෙකුගේ ඇපයකට අත්සන් කර ඇති නිසාත්, ඔහු ණය ගෙවා නැති බවට ක්‍රිබ් වාර්තාව අනුව පෙන්වන නිසා මා හට ණය මුදල් ලබාදෙන්න බැරි බව කළමනාකරු දන්වා සිටියා. එම ණයකරු ණය මුදල ගෙවා තිබුණා නම් ණය ලබාදිය හැකි බවත්, අවශ්‍ය සෙසු සුදුසුකම් සම්පූර්ණ කර ඇති බවත් කළමනාකරු මා හට පෙන්වා දුන්නා.
මම වෙනත් අයෙකුගේ ණයකට ඇපයට අත්සන් කර තිබුණා. ඒ ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මහනුවර අධිකරණයේ එම මූල්‍ය ආයතනය පැවරූ නඩුවෙන් පසු, දෙපාර්ශ්වය කතාකර යම් තීරණයකට එළඹෙන ලෙස අධිකරණය දුන් තීරණය මා බැංකුවට පෙන්වා දුන්නා. බැංකුව පැවසුවේ ක්‍රිබ් වාර්තාව අනුව කටයුතු කළ නිසා එහි ණයකරුවෙකු ලෙස බැඳීම් ඇති අයෙකුට තම බැංකුවෙන් ණය ලබාදිය නොහැකි බවයි.
නමුත් ජනාධිපතිතුමා විසින් ක්‍රිබ් වාර්තා මත පදනම් නොවී මෙම කෝවිඩ් අවස්ථාවේ ව්‍යවසායකයන්ට අඩු පොළී සහන ණය ලබාදෙන ලෙස උපදෙස් දුන් බව මා බැංකුවට පෙන්වා දුන්නා.
“එහෙම උපදෙසක් අපිට ලැබිලා නැහැ. මොන සුදුසුකම් තිබුණත් ක්‍රිබ් බැඳීම් ඇති අයට ණය දෙන්නේ නැහැ.* යනුවෙන් බැංකු කළමනාකරු පැවසුවා.
පසුව මම මේ ගැන මහනුවර ලංකා බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු හමුවී පැමිණිල්ලක් කිරීමට ගියා. එම අවස්ථාවේ එතැන සිටි නිලධාරියාද නාවලපිටිය බැංකුවේ කළමනාකරු කී දෙයම තහවනුරු කළා. ක්‍රිබ් ණය බැඳීම් ඇති ඇපකරුවන් ලෙස දක්වන අයට ණය නොදෙන බවත් ජනාධිපතිවරයාගේ නියෝග තමන්ට ලැබී නැති බවත් පවසමින් ඔහු මා දැනුම්වත් කළා.
පසුව මම මේ ගැන තොරතුරු පනත යටතේ 2020.10.8 දාතමින් නාවලපිටිය ලංකා බැංකුවේ තොරතුරු නිලධාරී වෙත කරුණු දෙකක් යටතේ තොරතුරු ලබාදෙන ලෙස ලිපියක් යොමු කළා.
එයින් මා විමසා සිටියේ,
1. යම් පුද්ගලයෙකු ණය මුදලක් ඉල්ලා සිටින විට ණය තොරතුරු කාර්යාංශය හෙවත් ක්‍රිබ් වාර්තාව සලකා නොබැලිය යුතු බවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දුන් නියෝගය ඔබ බැංකුවට අදාළද හෝ නොවන්නේද යන්නත්,
2. අදාළ නොවන්නේ නම් එම නියෝගය කෙරෙහි ඔබ බැංකුවේ ස්ථාවරයත් දන්වන මෙන් කාරුණිකව ඉල්ලමි යනුවෙන්. මම විමසා සිටියා.
ඒ අනුව ලි.ප. අංක RTI/REQ/ 2020/046 යටතේ 2002.10.13 දාතමින් ලංකා බැංකුවේ තොරතුරු නිලධාරි ජේ.කේ.ඩී. ධර්මපාල මහතාගේ අත්සනින් පිළිතුරු ලිපියක් එවා තිබුණා. එහි මෙසේ සටහන් වී තිබුණා.
මහත්මයාණෙනි,
ඔබ විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ යොමු කරන ලද 2020 ඔක්තෝබර් 08 වන දිනැති තොරතුරු ඉල්ලීම හා බැඳේ.
එහි සඳහන් කර තිබූ ඉල්ලීම පරිදි,
1. එවැනි කරුණක් ලංකා බැංකුව තුළ ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ගෙන් නිසි උපදෙස් අප වෙත ලැබී නොමැති බව දන්වමු.
2. අංක 1හි සඳහන් කරුණ සඳහා අප සතුව තොරතුරක් නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව දන්වා සිටිමු යනුවෙනි.
එම පිළිතුරු ලිපිය විමසමු.
ණය ඉල්ලුම්කරු පවසන පරිදි එයින් අදහස් වන්නේ ජනාධිපතිවරයා නිකුත්කරන නියෝග අදාළ රාජ්‍ය බැංකුවලට යොමු නොවන්නේ ඇයිදැයි සැකයකි. එසේ නොවන්නේ නම් මෙම නිලධාරියා දක්වන පරිදි අදාළ බලධාරීන්ගෙන් උපදෙස් ලැබිය යුතුව තිබුණි.
නැතහොත් ලැබී තිබේ නම් අදාළ බැංකුව තුළ ජනාධිපතිවරයා පනවන නියෝග ක්‍රියාත්මක කිරීමට බැංකු පාලන කළමනාකාරීත්වය පියවර නොගන්නා බවට සාධාරණ සැකයකි.
නැවත ණය ඉල්ලම්කරුට සවන් දෙමු.
නමුත් මෙය එසේ නොවන බවත් ජනාධිපතිවරයාගේ නියෝග උපදෙස් කටවචනයෙන් කරන ප්‍රකාශයන්ද චක්‍රලේඛ ලෙස සැලකියයුතු බව එතුමා පවසා ඇති නිසාත් මම නැවත මේ සම්බන්ධයෙන් තොරතුරු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තොරතුරු ලබාගැනීමට කල්පනා කළා. ඒ අනුව 2020.10.8 දාතමින් එතැනට ලිපියක් යොමු කළා.
අප එම ණය ඉල්ලුම්කරු යැවූ ලිපිය කියවමු.
මහත්මයාණෙනි,
1. යම් පුද්ගලයෙකු ණය මුදලක් ඉල්ලා සිටින විට ණය තොරතුරු කාර්යාංශය හෙවත් ක්‍රිබ් වාර්තාව සලකා නොබැලිය යුතු බවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දුන් නියෝගය ඔබ බැංකුවට අදාළද හෝ නොවන්නේද යන්නත්,
2. එය ක්‍රියාත්මක කිරීමට මෙරට රාජ්‍ය බැංකු බැඳී සිටිත්දැයි යන්නත්,
3. අදාළ නොවන්නේ නම් එම නියෝගය කෙරෙහි ඔබ බැංකුවේ ස්ථාවරය පිළිබඳ තොරතුරු දන්වන මෙන් කාරුණිකව ඉල්ලමි. යනුවෙන් එම ලිපියෙන් ඉල්ලා සිටියා.
එයට පිළිතුරු සපයමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු නිලධාරී කේ.එම්.එම්. සිරිවර්ධන මහතාගේ අත්සනින් 2020.11.13 දාතමින් ලි.ප.අංක 0101/20202 යටතේ එවා ඇති පිළිතුරු ලිපිය කියවමු.
“ඔබ විසින් 2020.10.08 දින ඉදිරිපත් කරන ලද ලි.ප.අංක 0101/2020 දරන ඉල්ලීම පරිදි එකී තොරතුරු සැපයීමට තීරණය කරන ලද බව පනතේ 25(1) අනුව මෙයින් දන්වන අතර, එමගින් විමසා ඇති කරුණු සම්බන්ධයෙන් පහත තොරතුරු ඉදිරිපත් කරමි.
අයිතමය 01- බලපත්‍රලාභී බැංකු වෙත යොමු කරනු ලබන ණය අයදුම්පත් සලකා බැලීමේදී හුදෙක් ණය තොරතුරු කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන ණය වාර්තා මත පමණක් පදනම්ව ණය අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රමවේදයක් බලපත්‍රලාභී බැංකු විසින් පවත්වාගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා කෝවිඩ් 19 මගින් බලපෑමට පත් පාර්ශ්වයන් වෙනුවෙන් ණය සහන ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ පිළිවෙළින් 2020.01.30 හා 2020.3.27 දිනැති චක්‍රලේඛ හරහා බලපත්‍රලාභී බැංකු වෙත දන්වා ඇත. එනම් යම්කිසි ණය අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීම සඳහා මූලික හේතුව වශයෙන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන ණය වාර්තාව නොසැලකිය යුතුය.
අයිතම 2- රාජ්‍ය බැංකු ඇතුළු බලපත්‍රලාභී බැංකු උක්ත චක්‍රලේඛයන්හී සඳහන් උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය.
අයිතම 3- අයිතම 02 සඳහා දී ඇති තොරතුරු අනුව අයිතම 03 සඳහා පිළිතුරු සැපයීමේ අවශ්‍යතාවක් පැන නොනගී., යනුවෙන් එම පිළිතුරු ලිපියෙන් දක්වා ඇත.
ඒ අනුව එම ලිපිය විමසුමට ලක් කරමු. එහි පැහැදිලිවම දක්වා ඇත්තේ මූලික කරුණක් ලෙස ක්‍රිබ් වාර්තාව නොසැලකිය යුතු බවකි. එසේම කෝවිඩ් 19 නිසා බලපෑමට ලක්වූ ව්‍යවසායකයන් සඳහා ණය නිකුත් කළයුතු ආකාරය පිළිබඳ නිකුත් කළ චක්‍රලේඛ දෙකක් සම්බන්ධයෙන්ද එහි දැක්වෙයි. තෙවනුව යම්කිසි ණය ඉල්ලුම්පතක් ප්‍රතික්ෂේප කිරීම සඳහා මූලික හේතුව ලෙස ණය තොරතුරු කාර්යාංශය නිකුත් කරන වාර්තාව අදාළ නොවන බව තහවුරු කර ඇත. එසේම එහි 2 යටතේ රාජ්‍ය බැංකු ඇතුළු බලපත්ලාභී බැංකු සියල්ල ඒ අනුව ක්‍රියා කළ යුතු බවට උපදෙස් දෙයි.
මේ අනුව නැවත ණය ඉල්ලුම්කරු ශිරාන් සාලින්ද මහතාට සවන් දෙමු.
“මම මේ හැම අවශ්‍යතාවක්ම පැහැදිලිව තේරුම් අරගෙනයි මගේ ණය ඉල්ලුම්පත් කට්ටලය සම්පූර්ණකර බැංකු ශාඛාවට භාරදුන්නේ. ඔවුන් මට එම ණය නිකුත් කළ හැකි බව පිළිගත්තා. අනික බැංකුවෙන් ණය ඉල්ලුම්පත් මා වෙත ලබාදෙන්න පෙර තම මේසය උඩ තියෙන පරිගණකයෙන් පහසුවෙන් මගේ ක්‍රිබ් වාර්තාව බලලා ඒ හේතුව පවසා මා පිටත් කරන්න තිබුණා. එහෙමනම් කඩදාසි ගොන්නක් පුරවන්න දීලා තවදුරටත් මගේ කාලයත්, මුදලුත් නිකරුණේ අපතේ යවන්න ඔවුන් කටයුතු කළයුතු නැහැ.
අනික රටේ ජනාධිපතිවරයා සහ රජය ගන්නා ප්‍රතිපත්ති තීරණයන් මෙවැනි අවස්ථාවකදී ලංකාවේ පැරණිතම රාජ්‍ය බැංකුවක් විසින් නොසලකා හැර විනිවිදභාවයකින් තොරව කටයුතු කරන්නේ ඇයිද කියන එක විශාල ජාතික ප්‍රශ්නයක්. මම මුහුණදුන් මේ අර්බුදයට මෙරට තවත් විශාල ව්‍යවසායකයන් පිරිසක් අදාළ බැංකු මූල්‍ය ආයතනයට ගොදුරුවෙලා ඇති. ඒ වරද නිවැරදි කිරීම අපේ සමාජ වගකීමක්. එහෙම නැතිව බැංකුව සමග කිසිම අමනාපයක් නැහැ.
බැංකු සහ මූල්‍ය ආයතන නිසා සිදුවන මේ අසාධාරණය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු විය යුතුයි කියා මා යෝජනා කරනවා. මෙය ආණ්ඩුවේ හොඳ නම සහ ජනාධිපතිතුමාගේ සේවය කෙරෙහි පැවතිය යුතු විශ්වාසයටත් කැළලක්. බැංකුවේ විනිවිදභාවයටත් හොඳ මදි. අපි බැංකුවට ආදරය කරන නිසයි මෙවැනි දෙයක් ජනමාධ්‍යයට පවා කියන්නේ. මට තියෙන ප්‍රශ්නය බැංකුවට විතරක් මේ උපදෙස් නොලැබුණේ ඇයි කියන එකයි.
මා පත්වූ අසාධාරණය සම්බන්ධයෙන් සහ මෙවැනි විශාල පිරිසක් වෙනුවෙන් මෙවැනි අවස්ථා මතු නොවීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය යුතුයි කියන දේ මම ඉල්ලා සිටිනවා. මා හට සාධාරණය ඉටුකරන මෙන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා* ශිරාන් සාලින්ද පවසයි.
“එහෙම උපදෙසක් අපිට ලැබිලා නැහැ. මොන සුදුසුකම් තිබුණත් ක්‍රිබ් බැඳීම් ඇති අයට ණය දෙන්නේ නැහැ.
විමසුම - ලාල් ජයසුන්දර