මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ඔබ කියවන විට ඇතැම් විට ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැර තීබීමට පුළුවන. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවශ්‍ය වටපිටාව මේ ලිපිය ලියන අවස්ථාව වන විට නිර්මාණය වී තිබුණි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනපතිවරයාට බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ නිල කාලයෙන් වසර හතර හමාරක් ඉක්ම ගිය විටය. ඒ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ වසර හතර හමාරක කාලය ඉක්මවා තිබුණි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවැති පාලනය වෙනස් කරමින් අලුත් පාලනයක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් බහුතරයක් සිය ඡන්ද බලය භාවිත කළේය. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අභිනව ජනපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව තෝරා පත් කර ගත්තේය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයේ වැඩ ආරම්භ කළ මොහොතේ පටන්ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශය වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබූ කරුණු ක්‍රියාවට නැංවීමේදී ප්‍රායෝගික ගැටලුවකට අපට මුහුණදීමට සිදුවිය. ඒ පාර්ලිමේන්තුව තුළ අපට බලයක් නොමැති වීම හේතුවෙනි.
නව ජනපතිවරයෙක් තෝරා පත් කර ගත්තත් පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් තිබෙන්නේ විපක්ෂයටය. ඒ අනුව ඔවුන් සිය බලය භාවිත කරමින් අපගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තිබූ අවස්ථාව අහිමි කර දැමීය.
2015 වසරේ ජනවාරි මාසයේ පැවැති ජනපතිවරණයෙන් අනතුරුව එවකට බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයට ගියේ බහුතර බලයක් සමගිනි. එසේ වූවත් එවකට පත්වූ රජයට සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය විපක්ෂයේ සිටිමින් අප ලබාදුන්නේය.
ඒ අනුව ඉදිරිපත් වූ අතුරු අයවැය පවා සම්මත කිරීමට විපක්ෂයේ සහාය ලැබිණ. එසේම ව්‍යවස්ථාවක් පවා ඒ හරහා සම්මත කර ගැනිණ. නමුත් වත්මන් විපක්ෂය ඒ අයුරින් රජයට සහාය දැක්වූයේ නැත. ඒ ජනතාවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවද අහුරමිනි. .
රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම වෙනුවෙන් මුදල් වෙන්කර ගැනීමට, අතරමග නවතා දැමූ කොන්ත්‍රාත් නැවත ආරම්භ කිරීමට, ගොවි ජනතාව වෙනුවෙන් අවශ්‍ය පොහොර ලබාදීමට අපට අවශ්‍යතාව තිබිණ. කෙසේ වෙතත් අයවැයක් සම්මත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමේ දැවැන්ත ප්‍රායෝගික ගැටලුවකට අපට මුහුණදීමට සිදුවිණ.
මෙවැනි තාවකාලික තත්ත්වයක් හේතුවෙන් ජනතාවට සිය බලාපොරොත්තු සුන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැත. පාර්ලිමේන්තුව විසුරුහැරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අතිබහුතර පාර්ලිමේන්තුවක් ලබාගැනීමට අවස්ථාව තිබේ. එම පාර්ලිමේන්තු බලය සමගින් අපගේ ජනපතිවරයා සමග විශාල පිම්මක් පැනීමට අවස්ථාව අපට තිබේ.
ඒ හරහා ඉතාමත් ඉක්මනින් අයවැයක් සකස් කර ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන අතරේම උතුරේ හෝ දකුණේ වේවා දැනට විසඳී නොමැති කිසියම් ගැටලුවක් පවතී නම් එම ගැටලු විසඳීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන පවා සිදුකිරීමට අපට හැකියාවක් ලැබෙනු ඇත.
විපක්ෂයේ බාධක යටතේ පවා උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළ සියලු පියවර මේ වන විට අවසන් කිරීමට වත්මන් රජය සමත් විය. රැකියා විරහිත උපාධිධාරීන් 42000ක් රැකියාගත කිරිමට අදාළව පත්වීම් ලිපි මේ වන විටත් තැපැල් මගින් යොමුකර අවසන්ය. ඒ අනුව ඉදිරි දින කිහිපයේදි ඔවුන්ට පත්වීම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.
තවත් අතකින් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක වෙමින් පවතී. මේ ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බොහෝ කරුණු අපි ක්‍රියාත්මක කිරිමට කටයුතු කළෙමු. එසේම ප්‍රතිපත්තිමය වශයෙන් ගත යුතු බොහේ තීරණ ගත්තත් ඒවා ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් පැන නැගුණේ අපට පාර්ලිමේන්තු බහුතරය නොමැති හෙයිනි.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අපට ප්‍රායෝගිකව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව ඉදිරි මැතිවරණයේදී ජනතාව ලබාදෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
මේ අතර බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ තවත් කරුණක් වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී. පද්ධතියට හානි කිරිමට එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගත් ක්‍රියාමාර්ගයයි.
විශ්වවිද්‍යාල තුළට හෝ අනෙකුත් අධ්‍යාපන ආයතනද ඇතුළත්ව වඩාත් විධිමත් සී.සී.ටී.වී. පද්ධතියක් ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව ජනතා මතයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු වෙයි. එම මතය අනුව ඉදිරියට කටයුතු කිරිමට අවස්ථාව ලැබෙනු ඇත.
වර්තමාන ලෝකය තුළ තම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලෝකයේ රටවල්, නගර, පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශය තුළ සී.සී.ටී.වී. කැමරා පද්ධති ක්‍රියාත්මක කරන තත්ත්වයක් දක්නට ලැබේ. ඒවා අධීක්ෂණය කිරිමක් සිදුවේ.
එවැනි තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාලයක සී.සී.ටී.වී. සවි කිරීම ගැටලුවක් වන්නේ ඇයිදැයි යන්න පිළිබඳව මට පෞද්ගලික ගැටලුවක් තිබේ. මේ බොහෝ දෙනෙක් නවීකරණය හා නූතනත්වය පිළිබඳව කතා කරන යුගයකි. එම යුගයේ පොඩිම තැනක තිබෙන සී.සී.ටී.වී. පද්ධතියකටවත් අනුගත විය නොහැකි නම් අප නවීකරණය හා නූතනත්වය පිළිබඳව තවදුරටත් කථා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටලුවක් තිබේ.
ලබන සතියේදි යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!