80%ක් මත්පැන් - 68% දුම්බීම අතහැරලා
මෙරට තුළ මත්පැන් සහ දුම්වැටි භාවිතය අඩුවී ඇතිද යන්න සොයා බැලීමට මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් සිදුකළ සමීක්ෂණයේ වාර්තාව පසුගියදා එළිදැක්විණි.
එයට අනුව කෝවිඩි-19 වසංගතය හේතුවෙන් රට අකර්මණ්‍ය කළ කාලය තුළ මධ්‍යසාර භාවිත කළ පුද්ගලයන්ගෙන් 80%ක් සහ දුම්වැටි භාවිත කළ පුද්ගලයන්ගෙන් 68%ක් සිය භාවිතයන් අඩුකර ඇති බව අනාවරණය කරගෙන තිබේ.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින්, මධ්‍යසාර සහ දුම්වැටි භාවිත කරමින් සිටි පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින්, එම ද්‍රව්‍ය භාවිතය හා ඒ ආශ්‍රිතව සිදු වු වෙනස්කම් පිළිබඳව මෙම සමීක්ෂණය සිදුකර තිබුණි. පසුගිය 01දා සිට 10 වෙනි දක්වා කාලය තුළ දිවයිනම ආවාරණය වන පරිදි තෝරාගත් පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් මෙම සමීක්ෂණය සඳහා යොදාගෙන තිබුණි.
නවතා දැමීමට හේතු
මෙම පිරිස අතරින් 54%ක් මධ්‍යසාර භාවිතය නවතා ඇත්තේ මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙනි. එමෙන්ම මේ අතුරින් 17%ක් මත්පැන් භාවිත කිරීමට අවශ්‍ය නොවන බව සිතා එයින් වැළකී ඇති බවත් සමීක්ෂණයේදී අනාවරණය වී ඇත.
මත්පැන් අලෙවිසැල් වසා තැබීම නිසා මත්පැන් භාවිතය සීමාකර ගැනීමට තමන්ට හැකිවූ බව මෙම සමීක්ෂණයේදී 84%ක් දෙනා ප්‍රකාශ කර ඇති අතර, එලෙස මත්පැන්හල් වසා තැබීම ප්‍රයෝජනවත් වූ බව පවසා ඇත. එය එසේ නොවූ බව පවසා ඇත්තේ 16%ක පිරිසකි.
මෙම කාලය තුළ දුම්පානය කළ පුද්ගලයන්ගෙන් 20%ක් එය සම්පූර්ණයෙන්ම නවතා ඇති බවත්, 48%ක් දුම්පානය අඩුකර ඇති බවත් අනාවරණය වී ඇත. එමෙන්ම දුම්පානය කළ පුද්ගලයන්ගෙන් 51%ක් ප්‍රකාශ කර ඇත්තේ වසංගත තත්ත්වය පහව යාමෙන් පසුව වුවද දුම්වැටි භාවිතය සීමා කිරීමට කටයුතු කරන බවය.
ඇබ්බැහි වීම්
යම් දෙයකට ඇබ්බැහි වීම තුළ එය නතර කිරීමට අපහසුයි යන කාරණය සමාජය තුළ තදින් කා වැදී තිබේ. එසේ වුවද මෙම සමීක්ෂණයේදී බොහෝදෙනා ප්‍රකාශ කර ඇත්තේ මත්පැන් දුම්වැටිවලින් ඈත්වීමට තමන්ට අවශ්‍යව තිබුණද එය සිදුකරගත නොහැකි වූ බවයි. එසේ වුවද මෙම වසංගත තත්ත්ව නිසා නිවසේම රැඳී සිටින්නට වූ බැවින් මත්පැන් හා දුම්වැටි ලබාගැනීමට අවස්ථාවක් නොලැබුණු අතර, එය නතර කිරීමට කදිම අවස්ථාවක් වූ බවද ඔවුන් සඳහන් කර තිබුණි. එමෙන්ම ඉදිරියටද මත්පැන්වලින් දුම්වැටිවලින් ඈත්ව සිටීමට කටයුතු කරන බව මෙම සමීක්ෂණයට දායක වූ බහුතරය පවසා තිබීමද සුවිශේෂීය.
දුම්වැටි සහ මත්පැන් අලෙවිය පහළ බැහැලා
2019 දුම්වැටි සහ මත්පැන් අලෙවිය පසුගිය වසරේදී ශීඝ්‍ර ලෙස අඩු වී ඇති බව මහ බැංකු වාර්තාව සඳහන් කර ඇත.
ජනතාවගේ දැනුවත්භාවය වැඩි වීම ඇතුළු සාධක කිහිපයක් මේ සඳහා හේතු වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව 2019 වසරේදී මත්පැන්වල දේශීය අලෙවිය සහ ඉල්ලුමට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවද මහ බැකුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.
දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් සහ ආනයනික මත්පැන් සඳහා ඒවායේ අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය මත පනවනු ලබන සුරා බදු 2019 වසරේදී අවස්ථා දෙකකදී ඉහළනැංවීම මෙයට හේතු වන්නට ඇති බව මහ බැංකුව සඳහන් කර තිබේ.
එමෙන්ම ස්ප්‍රීතු ආසවනය කිරීම, මත්පැන් පවිත්‍රකරණය සහ ස්ප්‍රීතු මිශ්‍ර කිරීම යන අංශද ඇතුළුව සමස්ත මත්පැන් නිෂ්පාදනය පහළ ගොස් ඇති බවද මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර මහජනතාව අතර සෞඛ්‍ය අවදානම පිළිබඳ දැනුවත්භාවය වර්ධනය වීම, දුම්කොළ නිෂ්පාදන මත බදු පැනවීම, නීතිමය බාධා හේතුවෙන් දුම්කොළ නිෂ්පාදන සඳහා ඉල්ලුම අඩු වී ඇති බවද මහ බැංකුව සිය වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබේ.
දුම්කොළ නිෂ්පාදනද 2019 වසරේදී පහළ ගොස් ඇති අතර, එහි වාර්ෂික අඩුවීම 12.6%ක් බවද මහ බැංකුව 2019 වාර්ෂික වාර්තාවේ සඳහන්කර ඇත.
මෙවන් තත්ත්වයක් තුළ දුම්පානයට, මත්පැන් පානයට මුල්තැන දීම සිදුකළ යුතුද නැත්ද යන්න රජයට වටහා ගැනීම බෙහෙවින්ම පහසුය.
එංගලන්තයේ ආදර්ශය
කෝවිඩි-19 වසංගත තත්ත්වය තුළ එක්සත් රාජධානියේ ලක්ෂ 03කට වැඩි පිරිසක් දුම්බීම නතරකර ඇති බව එරට සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත.
දුම්පානය හා සෞඛ්‍යය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ( campaign group Action on Smoking and Health (Ash).) සහ පර්යේෂණ සංවිධානයක් විසින් එක්සත් රාජධානියේ සිදුකළ ඒකාබද්ධ අධ්යයනකයට අනුව එහි තවත් 550,000ක් දුම්පානයෙන් ඉවත් වීමට උත්සාහ කර ඇති අතර, මිලියන 2.4ක් දුම්පානය අඩුකර ඇති බවද හෙළිව තිබේ.
එරට තුළ පුද්ගලයන් 1004දෙනෙකු යොදා ගනිමින් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව ඉන් 2%ක් කෝවිඩ්-19 වෛසරය පැතිර යාම හේතුවෙන් දුම්පානයෙන් ඉවත් වූ බව සඳහන් කර ඇත. මෙම පිරිස අතරින් 8%ක් ඉවත් වීමට උත්සාහ කර ඇති අතර, 36%ක් අඩුකර ඇත. එමෙන්ම තවත් 27%ක් දුම්පානයෙන් ඉවත් වීමට වැඩි ඉඩක් ඇති බවද සමීක්ෂණ කණ්ඩායම සඳහන් කර ඇත.
ජනාධිපතිට යොමු කළ ලිපිය
මේ අතර කෝවිඩි-19 වසංගතය ශ්‍රී ලංකාවෙන් සාර්ථකව අවසන් කරනතුරු ශ්‍රී ලංකාවේ දුම්වැටි සහ අනෙකුත් දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සපුරා තහනම් කරන ලෙසට දුම්කොළ කර්මාන්තයට විරුද්ධ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලුම සංවිධාන ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.
දුම්වැටි භාවිතය මෙම කොරෝනා වසංගත තත්ත්වය වැඩි කිරීමට ප්‍රබල ලෙස දායක වනවා සේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට හා ආර්ථිකයටද වැඩි බලපෑම් එල්ල කරන බව ඔවුන් සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලිකර තිබිණ.
දුම්කොළ භාවිතය තහනම් කිරීම, ශ්‍රී ලංකාවේ කෝවිඩි-19 වසංගතය මර්දනය කිරීමට සෘජුව සහ වක්‍රව වාසිදායක වනවා මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ නව උන්නතියක් සඳහාද හේතු වන බව මෙමගින් පෙන්වා දී තිබුණි. දුම්කොළ භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකවේ දිනකට මරණ 55ක් සිදුවන අතර, වාර්ෂිකව එය 20,000ක් බවත්, දුම්කොළ භාවිතය නිසා රෝගී වන පිරිස් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 214ක් ශ්‍රී ලංකා ආර්ථිකයට අහිමි වන බවද සෞඛ්‍ය අංශ මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාට පැහැදිලි කර දී තිබුණි.
මිය යන පිරිස වසරකට මිලියන 08 ක්
දුම් පානය හේතුවෙන් ලෝකය තුළ මිලියන 08කට වැඩි පිරිසක් වසරකට මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා සඳහන් කළේය.
දුම් පානය හේතුවෙන් සිදුවන මරණ අතරින් මිලියන 07කට වැඩි පිරිසක් සෘජු ලෙස දුම්පානයට සම්බන්ධ පුද්ගලයන් වන අතර, මිලියන 1.2කට වැඩි පිරිසක් අක්‍රීය දුම්පානය හේතුවෙන් (දෙවැනිවරට දුමාරයට නිරාවරණය වීමෙන්) මියයන්නන් බවද ඔවුන් පෙන්වා දී තිබුණි.
බොහෝ ශ්වසන ආබාධ සඳහා දුම්පානය ප්‍රධාන සාධයක් බව හොඳින් හඳුනාගෙන ඇති කරුණක් වන අතර, එය ශ්වසන රෝගවල බරපතළකම වැඩි කිරීමටද හේතු වන බව හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.
තවද දුම්පානය නොකරන පුද්ගලයන්ට සාපේක්ෂව දුම්පානය කරන පුද්ගලයන්ට කෝවිඩි-19 වෛරසයෙන් දරුණු රෝග ඇතිවීමේ හැකියාව වැඩි බවත් ඔවුන් පෙන්වා දුන්නේ ලෝකය පුරා සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කරමිනි.
හෘද රෝග, පිළිකා, ශ්වසන රෝග, දියවැඩියාව ආදී බෝ නොවන රෝග වැලඳීම සඳහා ප්‍රධාන සාධකයක් ලෙස දුම්පානය හඳුනාගෙන ඇති අතර, මෙම රෝග වැලඳී ඇති පුද්ගලයන්ට කෝවිඩි-19 වැලඳුණහොත් දරුණු රෝගාබාධ ඇතිවිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී සඳහන් කර තිබුණි.
දුම්පානයෙන්ඉවත් වුවහොත්
දුම්පානයෙන් ඉවත්වන්නන්ට ලැබෙන වාසි පිළිබඳවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකයේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
එනම් දුම්පානයෙන් ඉවත් වී මිනිත්තු 20ක් තුළ හෘදස්පන්දන වේගය සහ රුධිර පීඩනය පහත වැටෙන අතර, පැය 12කට පසු රුධිරයේ කාබන් මොනොක්සයිඩ් මට්ටම සාමාන්‍ය මට්ටමට පත්වන බව ඔවුන් සොයාගෙන ඇත.
දුම්පානය නතර කර සති 02- 12 අතර කාලය තුළ රුධිර සංසරණය වැඩිදියුණු වන අතර, පෙණහලු ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වී මාස 01-09 අතර කාලයේදී කැස්ස ඇතිවීම සහ හුස්ම හිරවීම නතර වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එබැවින් ඉතා ඉක්මනින් දුම්පානයෙන් ඉවත්වන ලෙස එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම සියලු කරුණු විග්රහ කිරීමේදී පැහැදිලි වන්නේ ජනතාව දැනුවත් වීමත් සමග දුම්පානයෙන් සහ මත්පැන් පානයෙන් ඈත්වෙමින් සිටින බවයි. ඒ බව පැහැදිලිව තේරුම් ගැනීමට ඕනෑතරම් සාක්ෂි තිබෙන විට එය නොතේරුණාක් මෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් සහ පාලක පක්ෂය කටයුතු කිරීම කනගාටුවට කරුණකි.
එමෙන්ම ජනතාව තම සෞඛ්‍ය පුරුදු දිගින් දිගටම යහපත්ව පවත්වා ගැනීමට කටයුතු කරන්නේ නම් මෙම තත්ත්වය තවදුරටත් සාර්ථක කරගැනීමට අපට හැකියාව ලැබෙනු නොඅනුමානය.