අයවැය ඉදිරිපත් කර සතියක් ගත වනවිට මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට අවස්ථාව ලැබී තිබේ. මෙවර තීරු ලිපිය ලිවීමට ප්‍රථමව මට මංගල සමරවීර මහතාගෙන් හා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවෙන් විමසීමට ප්‍රශ්නයක් තිබේ. ඒ මේ අයවැය සකස් කළේ ආණ්ඩුවද? මංගල සමරවීර ඇමතිවරයාද? එසේත් නැත්නම් වෙන කෙනෙක්, වෙන සමාගමක්, වෙනත් සංවිධානයක්, ජාත්‍යන්තර සංවිධානයක් සකස් කළ අයවැයක් මංගල සමරවීර මහතා ඉදිරිපත් කළාද යන්නයි.
අයවැය විවාදයේදී දින 51ක ආණ්ඩුව පිළිබඳ මෙන්ම පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේදී ලබාගත් ණය පිළිබඳ දිගින් දිගටම කතා කරන අයුරු දක්නට ලැබිණි. මේ ආණ්ඩුව බලයට විත් වසර හතරක් ගතවන විටත් තවමත් කතා කරන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් ණය ගැන පමණකි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වසර 09 තුළ ලබාගත් ණය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ආණ්ඩුව වසර තුනක් ගතවීමටත් මත්තෙන් ලබාගෙන තිබූ බව ඔවුන්ට අමතකව තිබීම පුදුමයට කරුණකි.
මේ ආණ්ඩුව අවුරුදු 04කින් රුපියල් ට්‍රිලියන 05ක ණය අරගෙන තිබේ. මේ සා විශාල ණය ප්‍රමාණයක් ලබාගත් ආණ්ඩුව කළ සංවර්ධනය කුමක්දැයි යන්න ගැන ජනතාවට ප්‍රශ්නාර්ථයක් තිබේ. මේ වනවිට රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබේ. ඒ හරහා සිදුවන පාඩුව රුපියල් බිලියනයකට වඩා වැඩිය.
ආණ්ඩුව ණය ගෙවාගැනීමට යැයි සඳහන් කරමින් හම්බන්තොට වරාය චීනයට 99 අවුරුදු බදු පදනමට ලබාදුන්නේය. එයින් ඩොලර් බිලියනයකට අධික මුදල් ප්‍රමාණයක් ලබාගැනීමට කටයුතු කළේය. ඩොලර් බිලියන ගෙන හම්බන්තොට වරායට ලබාගත් ණය ගෙවා දමන බව සඳහන් කළ ආණ්ඩුව වරාය චීනයට ලබා දී මාස හයකට පමණ පසුවද සඳහන් කරන්නේ හම්බන්තොට වරාය සඳහා ලබාගත් ණය තාමත් ගෙවා දමමින් සිටින බවයි. එසේනම් ඒ මුදලට සිදු වූයේ කුමක්දැයි යන්න ගැටලුවකි.
මේ අයවැය අනාගතවාදී අයවැයක් ලෙස අර්ථ දැක්වීමට අවස්ථාවක් නොමැත. කෙසේ වෙතත් මෙම අයවැය තුළ ඇතැම් හොඳ යෝජනාද තිබේ. නමුත් එම යෝජනා මේ ආණ්ඩුව 2015 සිට ඉදිරිපත් කර ඇති අතර ඒවා අද වෙනතෙක් ක්‍රියාත්මක කර නොමැත. එම යෝජනා වචන කිහිපයක් වෙනස් කරමින් 2019 අයවැයටද ඉදිරිපත් කර තිබේ.
තරුණයෙකුට විවාහ වී නිවසක් හදාගැනීමට අවස්ථාවක් තිබේ නම් එය වටිනා යෝජනාවකි. නමුත් මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභියෙකු බවට පත්වීමට නම් අවම වශයෙන් ණය අපේක්ෂකයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක්වත් ඉක්මවිය යුතුය. මසකට ගෙවිය යුතු ණය වාරිකය රුපියල් 64,000කට වැඩිය. රැකියා නිර්මාණය නොකර, තරණයෙකුට නිවාසයක් ලබාගැනීමට ණයක් දීමෙන් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ ගැටලුවකි. අනෙක් පැත්තෙන් පොලී අනුපාතිකය 6.75෴කි. ඉතිරි 6.75෴ ගෙවා දමන්නේ මහ බැංකුව විසිනි. එක් පසෙකින් පොලී සහන දෙන විට අනෙක් පැත්තෙන් ඒ පොලී සහනය සමස්ත බදු ආදායමෙන් ගෙවා දැමීමට තිරණය කර තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී රටේ පොලී ප්‍රතිශතය තනි ඉලක්කමක පැවැතුණි.
ආණ්ඩුව කළ යුතු වන්නේ ණය ලබාදීම නොවේ. මන්දයත් ණය ලබාදීම බැංකුවේ කොටසක් වන හෙයිනි. ආර්ථිකය ශක්තිමත් කිරීම, රුපියල ශක්තිමත් කිරීම හා බැංකු පොලී අනුපාත තනි අගයක පවත්වාගැනීමය. එසේ නොමැතිව විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හරහා අවසානයේ සිදුවන්නේ රටේ සමස්ත බැංකු පද්ධතියම අවදානමකට ලක් කිරීමකි.
ආණ්ඩුව මීට පෙර අයවැයෙන් මහපොළ විශ්වවිද්‍යාලයක් ගැන කතා කළේය. කෙසේ වෙතත් මහපොළ මුදල් බැඳුම්කරයේ ආයෝජනය කිරීමෙන් දැන් මහපොළටත් අලාභ සිදුකර තිබේ. විශ්වවිද්‍යාලයට පිවිසීමට නොහැක් වන අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 11ක් ලබාදෙන බවට මෙවර අයවැයෙන් යෝජනා කළේය. කෙසේ වෙතත් මෙම යෝජනාවම 2017 වසරේදීත් ආණ්ඩුව ඉදිරිපත් කළේය. නමුත් එය ක්‍රියාවට නොනැංවිණි.
2017දී තවදුරටත් සඳහන් කළේ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරන සිසුන්ගේ සංඛ්‍යාව 03 ගුණයක් දක්වා වැඩි කරන බවයි. එයද සිදු නොවීය. වෘත්තීය පුහුණු ආයතන දෙගුණ කරන බව, විශ්වවිද්‍යාල සිසුන්ට සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් දෙන බව සඳහන් කළද එය ක්‍රියාත්මක නොවීය.
රත්නපුර අධිවේගය 2019දී නිමකරන බවට මෙම ආණ්ඩුව ප්‍රලාප දෙඩීය. එහෙත් එය 2019 වනවිට ආරම්භ කිරීමට හෝ නොහැකි වී තිබේ. දක්ෂිණ අධිවේගය 2018දී හම්බන්තොටට දිගුකර අවසන් කරන බව සඳහන් කළේය. අඩු ගානේ බෙලිඅත්ත - මාතර මාර්ගය හෝ විවෘත කරගැනීමට ආණ්ඩුවට නොහැකිය. විශ්වවිද්‍යාල සිසුන්ට ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ලබාදෙන බව සඳහන් කළේය. එය හොඳ යෝජනාවකි. නමුත් එවැනි විශ්වවිද්‍යාල සඳහා යෑමට පෙරාතුව විවිධ විභාග සඳහා පෙනී සිටිය යුතුය. මේ යෝජනා ක්‍රමය 2017ද තිබිණි.
අයවැයෙන් බදු ආදායම සැලකිය යුතු ප්‍රමාණයකට වැඩි කරගැනීමට රජය අපේක්ෂා කරයි. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී රුපියල් ට්‍රිලියනයක් වූ රාජ්‍ය බදු ආදායම දැන් වනවිට රුපියල් ට්‍රිලියන දෙකක් බවට පත්ව තිබේ. ඒ අනුව බදු ආදායම දෙගුණයක් කරගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. අනිත් පැත්තෙන් රටේ සංවර්ධනය අඩාළ කිරීමක් පමණක් නොව එය නවතා දැමීමද සිදුකර තිබේ.
ඇතැම් අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 400කට හා 500කට සීමා කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ග්‍රාමශක්ති වැඩපිළිවෙළට වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 500කි.
අයවැයේ අවසන් හරය කුමක්ද? ජාත්‍යන්තර සමාගම් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග සිදුකළ ගනුදෙනු එකින් එක එළියට ඒම මේ අයවැයේ හරයයි. 2020 වනවිට අයවැය පරතරය 3.5ට ගෙන ආ යුතුය. මෙය කළ යුතු ක්‍රමය වන්නේ රාජ්‍ය ආදායම වර්ධනය කිරීමය. මේ ආණ්ඩුව යටතේ රාජ්‍ය ආදායම වර්ධනය කරගත යුත්තේ බදු ආදායමෙන් පමණි. මක්නිසාද යත් ආයෝජකයන් රටට නොපැමිණෙන බැවිනි. අනෙක් අතින් සංවර්ධනයට වෙන් කරන මුදල් අඩු කළ යුතුයි. එය මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටියි.
මේ අයවැයෙන් රටේ ජනතාව නොමඟ යැවීම පමණක් සිදුකර තිබේ. රටේ ජනතාවට සහන දීමට අපේ විරුද්ධත්වයක් නොමැත. නමුත් දේශපාලනමය කාරණා මත රටේ ජනතාව නොමඟ යැවිය යුතු නොවේ.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!