කෝවිඩ් - 19 වසංගතය හමුවේ සියලු ලෝකවාසීන්ගේ දෛනික ජීවන රටාවට ක්‍ෂණිකව තිත තැබුණි. ශ්‍රී ලාංකිකයන් වූ අපටද මාස තුනකට ආසන්න කාලයක් නිරෝධායනයට යටත්ව සිටීමට සිදුවිය. මේ හේතුව මත එදිනෙදා ජීවනෝපාය සරිකර ගනිමින් ජීවත් වූවන්ට මෙන්ම සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වූවන්ටද, සිය ආදායම් ඇහිරී යාමෙන් විවිධ ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවිය.
නිරෝධායන ඇඳිරි නීතියේ මුල් අවදියේ අත්‍යවශ්‍ය ආහාර මෙන්ම රෝගීන් සඳහා ඖෂධද, සති කිහිපයකට රැස්කර තබා ගැනීමට මුදල් අතමිට නැති වූවෝ සිය ආභරණ පවා උකසට තැබූයේ වෙනත් විකල්පයක් නොමැති වීමෙනි.
මේ අතර රජය මගින් ජනතාවට ලබාදෙනවා යයි පැවසූ ඇතැම් සහනයන්ද සුපුරුදු දේශපාලන පොරොන්දු ලෙස වචනවලට පමණක් සීමා විය. රුපියල් පන්දහසේ සහන දීමනාවද, බත් ඉල්ලූ එකාට කැඳ උගුරක් දුන්නාක් වැනි විය. එයද ලබා ගැනීමට ජනතාවට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවූවා සේම ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් එය සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතිය සඳහා ඈඳා ගත් බවද නොරහසකි.
කෙසේ වුවද මෙම ව්‍යසනය මධ්‍යයේ ජනතාව මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පිළිපදිමින් සිය වගකීම උපරිමයෙන්ම ඉටුකිරීම හේතුවෙන් වෛරසය දිවයින පුරා පැතිරීයාම වළක්වා ගැනීමට හැකි විය. එමෙන්ම වෙනත් කිසිදු රටකින් වාර්තා නොවූ පරිදි මෙරට වෛද්‍යවරුන්, හෙද, හෙදියන් සහ සෙසු කාර්යමණඩලයන්ගේ මෙන්ම ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියේ සියලුම නිලයන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිය රාජකාරිය දේවකාරියටත් එහා ගිය සේවාවක් කිරීමට දිවි හිමියෙන් කරන ලද කැප වීමද ප්‍රශස්ත වේ. ඔවුන්ගේ එම ශ්‍රම දායකත්වය නොවන්නට මේ කුඩා දිවයින වසංගතයේ ප්‍රධාන ගොදුරක් වීමට ඉඩ තිබුණි.
මේ අතර හෙදියන්ගේ මාසික දීමනාද කප්පාදු විය. අවසානයේ හෙදියන්ට මීටරයේ සීමාව තබාගෙන සිය විරෝධතාව පළකිරීම සඳහා මහමගටද බැසීමට සිදුවිය. මෙම තත්ත්වය එ.ජා.ප රජයක් යටතේ සිදුවූයේ නම් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පංච මහා බලවේගයම මහපාරේය. එහෙත් මේ සියලු බලවේගයන් හෙද ගැටලුවේදී කොර වූ සෙයක් දක්නට ලැබුණි.
ඒ ඔවුන් මෙවැනි ආපදා සිදුවන අවස්ථාවන්ට මුහුණ දීම සඳහා පිළිවෙතින්ම සුරක්‍ෂා වී සිටි නිසාය. එහෙත් වසර හැත්තෑ දෙකක් තට්ටු මාරු ක්‍රමයට මේ රට පාලනය කරන ලද සියල්ලෝම ජනතා සුරක්‍ෂාව කෙසේ වුවද, ඔවුන්ගේ පරම්පරා ගණනකට කඳ, බඩ පිරෙන තරමට සුරක්‍ෂාව සහ පෝෂණය සරි කරගෙන තිබේ.
එබැවින් රාජ්‍ය භාණ්ඩාගාරය නිතරම පවතින්නේ නැතිවාදමින්ය. ඒ අනුව සෑම ආපදා අවස්ථාවකදීම විදේශයන්ගෙන්ද, දේශීය වශයෙන්ද, හිරිකිතයකින් තොරව හිඟමන් යැදීමේ ජාතික පුරුද්ද මෙරටේ ක්‍රියාත්මක වේ. ඒ ලැබෙන ආධාර නිසි පරිදි ජනතාව අතරට යෑම කළමනාකරණය නොවේ. එමෙන්ම කිසිදා ලැබීම් සහ වියදම් පිළිබඳව තොරතුරක් නීත්‍යනුකූලව ප්‍රකාශයට පත් නොකෙරේ. මන්ද දෙන දේ කා, වෙනදේවත් බලා සිටීමේ පුරුද්දක් ජනතාවට නොමැති බව පාලකයන් හොඳින් දන්නා නිසාය. එබැවින් ව්‍යසන හා වසංගතයන් මෙරට පාලකයන්ට මෙන්ම නිලධාරීන්ටද හැම අතකින්ම වසන්තයකි.
තොරතුරු දැනගැනීමේ පනත අනුව ජනතාවට ඒ පිළිබඳව ප්‍රශ්න කළ හැකිය. එහෙත් පිළිතුරු සපයන්නේ කවුරුන්ද කියා අපි නොදනිමු. ඇතැම්විට එම පිළිතුර සිය දිවි නසා ගැනීමක් වන්නටද ඉඩ ඇත. වත්මන් ජනාධිපතිවරයා පත් වී කෙටි කලකින් පරිප්පු කිලෝව රුපියල් අසූවටත්, සැමන් මාළු ටින් එකක් රුපියල් සීයටත්, රජ දැක්මෙන්ම මිල අවමයෙහි රඳවන ලදී. ඒ එම ද්‍රව්‍යයන් සඳහා බදු සහනයන් ලබා දුන් නිසාය.
මේ අතර බදු සහනයන් ප්‍රයෝජනයට ගනිමින් බලයලත් කිහිපදෙනෙකු පරිප්පු තොග මෙ රටට ආනයනය කිරීම කඩිනම් කළේය. කතාව ඇරඹෙනුයේ ඉන් පසුවය. ඒ අනුව මේ ව්‍යසනය හමුවේ ජනතාවට ලබාදෙන සහනයන් වෙනුවට බලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදී පරිප්පු, ලූනු, අල, සීනි, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ බදු වැඩි කරමින් මිල ඉහළ දමමින් ඉසිලිය නොහැකි බරක් ජනතාවගේ හිස මත තැබූවේ මෙරට ගොවි ආර්ථිකය ස්ථාවර කිරීමට යැයි පවසමිනි.
ටින් මාළු කර්මාන්තය මෙරට පැවතියද එමගින් වෙළෙඳ පොළ අවශ්‍යතාව පිරිමැසිය නොහැකිව තිබේ. එහෙත් එම කර්මාන්තය නිසි අයුරින් සංවර්ධනය කරනු ලැබුවහොත් ගුණාත්මක මෙන්ම පෝෂ්‍යදායී ටින් මාළු මෙරට නිෂ්පාදනය කළ හැකි බව එම නිෂ්පාදකයන් නිතර පවසන මැසිවිල්ලකි. එබැවින් ටින් මාළු ආනයනය සීමා කරමින් මෙරට නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීම වේ.
පුදුමයට කරුණ නම් ජලය පරිභෝජනය සඳහා ගෙවිය යුතු මුදල හා විදුලිය පරිභෝජනය සඳහා ගෙවිය යුතු මුදල වෙනත් මාසවලට වඩා දෙගුණයකින් වැඩි වීමය. මෙය රට පුරා බොහෝ ජල විදුලි පාරිභෝගිකයන්ට අත් විඳීමට සිදුවූ කරුණකි. එය ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා සේම හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුණා වැනිය.
පසුගිය මාස දෙකක කාලය තුළ පවුලේ සියලු දෙනාම නිවසේ රැඳී සිටි අතර, කෝවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ පිරිසුදුතාව සුරැකීම සඳහා ජල පරිභෝජනයේ යම් ඉහළ යාමක් පැවතියද, දෛනිකව ජල සහ විදුලිය පරිභෝජනය දෙගුණයකින් වැඩි වේයයි සිතිය නොහැකිය. නිවැසියන් කෙදිනකවත් ජල, විදුලි මීටරයේ දත්තයන් සොයා බලන්නේ නැත. එය පාරිභෝගිකයා සතු වගකීමක් වුවද, මනු කියවන්නා කෙරෙහි පවතින විශ්වාසය නිසාවෙන් ඔවුන් එය නිරීක්ෂණය නොකරයි.
එහෙත් වර්තමානයේ සිදුවී ඇති විදුලි හා ජල බිල් පත්හි මෙම අස්වාභාවික වැඩිවීම කෙරෙහි ජනතා අප්‍රසාදය මනු කියවන්නන්ට එල්ලවීමේ අනතුරුදායක තත්ත්වයක් ඉදිරියේදී ඇති වුවහොත් එය පුදුමයක් නොවේ.
පැවැති ව්‍යසනය හමුවේ පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති නිවාඩුවත් හේතු කොටගෙන දරුවන් වෙනුවෙන් වැය කරන මුදල් මෙන්ම දෛනික ගමන් වියදම් අඩු වුවද, පැවැති හදිසි තත්ත්වය මත පාරිභෝගික භාණ්ඩයන්ගේ මිල ඉහළ යාම හේතු කොට ගෙන හැම කෙනෙකුටම මුදල් ඉතිරියක් කරගැනීම අසීරු විය. එලෙසම මෙම මාස දෙකේදීම රජයේ සේවය හැර පුද්ගලික අංශයේ රැකියා නියුක්තිකයන්ගේ වැටුප් අඩකින් කපා හරිනු ලැබීය.
ආයතනික මට්ටමින් ආදායම් ඇහිරී යාම එයට හේතුවයි. මෙම තත්ත්වය තවමත් එලෙසම පවතී. රජය ආර්ථික වශයෙන් බරපතළ උද්ධමනයකට පත්වී ඇති බව නොරහසකි. එය අද ඊයේ ඇති වූවක් නොව වසර ගණනාවක් මුළුල්ලේ සිටම මෙරට පාලකයන් තුළ පවතින ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවකි.
අපේ රටේද ඉන්ධන මිල අඩු කළේ නම් බඩු මිල මෙන්ම බස් ගාස්තුද, අඩු වීමෙන් මේ අවස්ථාවේදී එම සහනය ජනතාවට ලැබෙන්නේය. එහෙත් මෙරට පාලකයන් ඒ සම්බන්ධයෙන් තවමත් නිද්‍රාශීලීය. මේ වනවිටත් ව්‍යසනය සඳහා යයි පවසමින් විවිධ ව්‍යාපෘති ඔස්සේ රජය අරමුදල් ගිණුම තර කර ගනිමින් සිටී. රජයේ සේවකයන්ටද සිය වැටුපෙන් කොටසක් ඒ සඳහා ප්‍රදානය කරන ලෙසට ඉල්ලීමක්ද ඉදිරිපත් කෙරුණි.
එමෙන්ම කෝවිඩ් - 19 වසංගතය හමුවේ පවතින නීති අනුගමනය කරමින් අපහසුතාවෙන් වුවද සිය ඡන්දය භාවිත කරන්නේ වසර ගණනාවක් මුළුල්ලේම දෙපිළේම සිටින එකම පිරිසකට වීමද මෙයට හේතුවකි. ඔවුන් අතර දූෂිත චෝදනාවන්ට ලක් වූවන්ද සිටිති. කෙසේ වුවද ඡන්දය යනු ජනතාව සතුව පවතින ප්‍රජාතන්ත්‍රවාදී උරුමයයි. එබැවින් ජනතාව මෙවර සිය අයිතිය නිවැරදිව භාවිත කළ යුතු වේ. මන්ද කෝවිඩ් - 19 වඩා දරුණු වසර හැත්තෑ දෙකක කාලයක් මෙරට පවතින නිරන්තරයෙන්ම ජනතාවට පික් පොකට් ගසන දේශපාලන වසංගතය නිම කිරීම සඳහාය.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ