ජනතා විරෝධයට අවධානය යොමු කිරීමට කාලයයි


ජනබලය කොළඹට විරෝධතාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විවිධ ප්‍රකාශ කරන හෙයින් මෙවර කුරහන් සුවඳ තීරු ලිපියේදී ජනබලය විරෝධතාව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමි. ආණ්ඩුව මෙහි සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ ප්‍රකාශ ඉදිරිපත් කළද, දිවයිනේ සතර දෙසින් පැමිණි ජනතාව මෙම විරෝධතාවට එක්වෙමින් ආණ්ඩුවට දුන් පණිවිඩය පිළිබඳ ඔවුන් අවධානය යොමුකළ යුතු වෙයි. ජනබලය කොළඹට විරෝධතාව හුදෙක්ම වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙතට එරෙහිව පැවැති විරෝධතාවක් වූ අතර, එය කිසිසේතම ජනතාව පීඩාවට පත්කිරීමට සංවිධානය කළ විරෝධතාවක් නොවිණි.

මෙම විරෝධතාවේදී ජනතාව අවසන් වරට එක්රැස් වන ස්ථානය ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කළ අතර, එය සාර්ථක විය. එසේම ආණ්ඩුව 5,000කට ආසන්න පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කොළඹට කැඳවා තිබිණි. ඔවුන් ස්ථාන කිහිපයක රඳවා තිබුණද, අප එක්වරම ජනතාව ලේක්හවුස් වටරවුමට කැඳවීමට කටයුතු කිරීම මගින් ඔවුන්ගේ සියලු සැලසුම් අසාර්ථක විය.

ආණ්ඩුව මෙම විරෝධතාව මර්දනය කිරීමට මුල සිටම කටයුතු කළ අතර, එයට පැමිණෙන ජනතාවට දිගින් දිගටම බාධා ඇති කළේය. කොළඹ - නුවර මාර්ගය ඔස්සේ පැමිණි ජනතාවට නිට්ටඹුවේදී බාධා ඇති කළේය. ගාලු පාරෙන් පැමිණි සියලු බස් රථ පරීක්‍ෂාවට ලක් කෙරිණි. ඇතැම් මාර්ගවල කාපට් ඇතිරීමට කටයුතු කර තිබිණි. එසේම පැමිණෙන ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේය. නමුත් මේ කිසිවකින් ජනතාව නොසැළුණි, ඔවුන් එකා මෙන්ම බාධක නොතකා කොළඹට පැමිණීමට කටයුතු කිරීමෙන් දිස්වූයේ ආණ්ඩුවට තිබෙන ජනතා අප්‍රසාදයකි.
එසේම පැමිණි ජනතාව කුමන හෝ අන්දමින් කලහකාරී ලෙස හසුරුවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළද, ජනතාව ඉතාමත් විනයගරුකව, සාමය ආරක්‍ෂා වන අයුරින් ගමන් කිරීම හරහා ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය. අවසානයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට පවා විරෝධතාව සාමකාමී බවට ප්‍රකාශ කිරීමට සිදු විය. විශේෂයෙන්ම මෙහිදී ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳ අපට වැඩි අවධානයක් යොමු කරන ලෙසට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාද උපදෙස් ලබාදී තිබිණි.

එසේම හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අපට පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ ජනතාවගේ ලේ හැලීමකින් තොරව, ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබා ගැනීමට කටයුතු කරන ලෙසය. අප විරෝධතාව මේ තරම් සාමකාමී ලෙස සංවිධානය කළේද ඒ උපදෙස් පිළිගනිමිනි. ඒ අනුව අප කොළඹ විශේෂ ස්ථාන වැටලීමට කටයුතු නොකළෙමු. නමුත් පැය 12ක පමණ කාලයක් අපට මුළු කොළඹම අත්පත් කර ගැනීමට අවස්ථාව ලැබිණි. දහවල් 12.00ට ආරම්භ කළ විරෝධය රාත්‍රී 12.00 පමණ තෙක් රැගෙන යෑමට අපි කටයුතු කළෙමු.

අවසන් අදියර වන විටත් විසිදහසකට අධික ජනතාවක් විරෝධතාවට එක්ව සිටියහ. එසේම මේ පිළිබඳ ගණන් හැදීමට උත්සාහ කරන ආණ්ඩුවට අප පැහැදිලිවම සඳහන් කරන්නේ විරෝධතාවට අප බලාපොරොත්තු වූවාටත් වැඩි ජනතාවක් පැමිණි බවයි. මේ වන විට මා හා බැසිල් රාජපක්‍ෂ මහතා අතර යම්කිසි ඝට්ටනයක් ඇති කිරීමේ උත්සාහයක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිය. අනෙක් අතින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා බැසිල් රාජපක්‍ෂ මහතා අතරද ගැටුමක් ඇති බවට ආණ්ඩුව ප්‍රකාශ කරයි. මේ පිළිබඳ ඔවුන් විවිධ ප්‍රකාශ කළද, පැහැදිලිව කීමට ඇත්තේ මෙම අසත්‍ය ප්‍රචාරවලින් රාජපක්‍ෂවරුන් අතර ගැටුමක් ඇතිකළ නොහැකි බවයි.

මේ සියලු දෑ ආණ්ඩුව නිර්මාණය කරනුයේ, ඉදිරි ජාතික මැතිවරණ පිළිබඳ ඔවුන් තුළ ඇති බිය නිසා විය හැකිය. ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගනු ඇත. මන්දයත් ජනබලය පවතිනුයේ ඔහුට හෙයිනි. ජනතාව තවමත් ඉල්ලනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. ඔහු ගන්නා තීරණයට ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු දෙනාම සහාය දක්වනු ඇත.

%ජනබලය කොළඹට^ විරෝධතාව සාර්ථක වූ විට ආණ්ඩුව මාගේ වැරදි කතා කිරීමට උත්සාහ කරයි. එමෙන්ම අප ගෝල්ෆේස් පිටිය ජනතාවගෙන් පිරවූ විට ආණ්ඩුව බැසිල් රාජපක්‍ෂ මහතාගේ වැරදි ගැන කතා කිරීමට උත්සාහ කරයි. නමුත් ආණ්ඩුව කළ යුතු වන්නේ අපේ වැරදි ගැන කතා කිරීමට වේලාවක් වෙන් කිරීම නොව, මේ අවස්ථා දෙකේදීම ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට පෙන්වූ ජනතා විරෝධය පිළිබඳ අවධානය යොමු කිරීමය. එසේම ආණ්ඩුව දැන්වත් ජනතාවට සංවේදී වීමට කාලය පැමිණ තිබේ. ජනතාව ආණ්ඩු වෙනසක්, අලුත් නායකත්වයක් බලාපොරොත්තු වන අතර, ඒ සඳහා එකම මාර්ගය වන්නේ ජාතික මට්ටමේ මැතිවරණයක් පැවැත්වීමය. අප ආණ්ඩුවේ නායකයන්ට පවසන්නේ ඉතාමත් ඉක්මනින්ම ජාතික මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන ලෙසය.

විරෝධතාවට සම්බන්ධ වී සිටි පිරිස අතරින් අතළොස්සක පිරිසක් බීමත්ව සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අයුරු  දක්නට ලැබිණි. විරෝධතාවට සම්බන්ධ වූ අයට මත්පැන් ලබා දීමට අපි කිසිසේත්ම කටයුතු නොකළ බව මෙහිදී තහවුරු කරමු. නමුත් බීමත් පුද්ගලයන් අපගේ ජනතාව අතරට යොමු කරමින් මෙම වැඩපිළිවෙළ කඩාකප්පල්කාරී කිරීමට ආණ්ඩුවේ උත්සාහයක් තිබූ බවට තොරතුරු අපට ලැබිණි. 

මේ අතර, අප හට එල්ල කරන තවත් චෝදනාවක් වන්නේ විරෝධතාව පැවැති අවස්ථාවේදී අප කොළඹ පිහිටි සුපිරි හෝටල්වල කාලය ගතකිරීමට කටයුතු කළ බවයි. නමුත් අපි ජනතාව අතර සිටිමින් ඔවුන් සමග මෙම ආණ්ඩු විරෝධයට සක්‍රීය ලෙස දායකත්වය ලබා දීමට කටයුතු කළෙමු. එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරු එසේ ප්‍රකාශ කිරීමට හේතුවක් විය හැක්කේ ඇතැම් විට ඔවුන් මෙම හෝටල් තුළ සිටිමින් ජනතා විරෝධය නැරඹීම විය හැකිය.

විරෝධයට එක්වූවන් අතරින් කිහිප දෙනෙකුට ලබාදුන් කිරිපැකට් විෂ වීම හේතුවෙන් කිහිප දෙනෙක්ම ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබූහ. මෙය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව හොඳින්ම පැහැදිලි හෙයින් ඒ පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. තවත් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගතව තිබූ අතර, ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. එසේම විරෝධතාවට එක්ව සිටි සහෝදරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වූ අතර, ඒ වෙනුවෙන් ඔහුගේ පවුලට කනගාටුව ප්‍රකාශ කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. මේ අතර, අප ජනබලය විරෝධතාවේ දෙවැනි අදියර මහනුවරට රැගෙන යෑමට සූදානමින් සිටන අතර, ඒ පිළිබඳ ඉදිරි තොරතුරු අපි ‘%අද’ පුවත්පත හරහා ඔබ වෙත ගෙන ඒමටද කටයුතු කරන්නෙමු.

ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!



Recommended Articles