ජනතා නියෝජිතයන් ඔබ වෙනුවෙන් නීති හදන හැටි


පාර්ලිමේන්තුව ඊයේ (15දා) පෙරවරු 10.00ට ආරම්භ විය. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි ඝෝෂාව මධ්‍යයේ කථානායක කරු ජයසූරිය සිය අසුනට පැමිණියේය.

“ගරු මන්ත්‍රීවරුන් වශයෙන් සියලු දෙනා හැසිරෙන්න. ගරු මන්ත්‍රීවරුන් වශයෙන් හැසිරෙන්න. කථානායකවරයාගේ නිවේදන දැන් තියෙන්නේ.* යැයි කරු ජයසූරිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
2018 නොවැම්බර් 14 දින ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවන බැවින් සහ අගමැතිවරයෙකු ඇතුළු නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොමැති බැවින් අද දින කිසිම මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා හෝ අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හෝ සභා නායක හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පිළිනොගනී. පාර්ලිමේන්තුවේ කටයුතු පහසුවෙන් කරගෙන යෑම සඳහා සියලුම මන්ත්‍රීවරුන්ම ඊයේ දින අසුන්ගත් ආකාරයට අද දින අසුන් ගත යුතුයි. එසේම ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු සම්බන්ධයෙන් අවසාන තීරණය කථානායකවරයා සතුවන අතර, එවැනි තීරණයක් අභියෝග කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බව අවධාරණය කරනවා* යනුවෙන් ඔහු පැවසීය.

මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය ලෙස වාඩි වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දැඩි විරෝධයක්  එල්ල වූ අතර, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණි.“ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කතා කරන්න.* යැයි කරු ජයසූරිය පැවසුවේය.

මෙහිදී නැගි සිටි දිනේෂ් ගුණවර්ධන“කථානායකතුමනි ඔබතුමාගේ නිවේදනය කියවීමේදී අමතක කර තිබෙනවා ජනාධිපතිවරයා ඔබතුමාට ඊයේ රාත්‍රියේ එවා තිබෙන ලිපිය. ඔබ විසින් යවන ලද ලිපියට පිළිතුරු වශයෙන් ඔබගෙ තීරණය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා එවන ලද නිවේදනය පළමුවෙන් කියවන්න.* යැයි කිවේය. එවිට ආණ්ඩු පක්ෂයෙන් ඝෝෂා කරමින් හඬ නැංවීය. හැසිරෙන්න. පොඩ්ඩක් හැසිරෙන්න. ඒකට මගෙ පිළිතුරක් එක්ක මම ඉදිරිපත් කරනවා. මමත් පිළිතුරක් අරිනවා ජනාධිපතිතුමාට. දෙකම ඉදිරිපත් කරනවා. ඒ අයිතිය මටත් තිබෙනවා. යැයි කරු ඊට ප්‍රතිචාර දැක්වීය. ජනාධිපතිවරයා විසින් කරු ජයසූරිය මහතාට යවා තිබූ ලිපිය කියවීමට මේ අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන මහතා උත්සහ කළ අතර, කථානායකවරයාගෙන් ඊට ඉඩක් නොලැබුණි. 

ඒක මෙතන කියන්න අවස්ථාවක් නැහැ. මම ඒකට පිළිතුරු අරිනවා. මහින්ද රාජපක්ෂ මහතාට කතාකරන්න දෙන්න. ජනාධිපතිවරයාගේ ලිපිය කියවන්න ඉඩ දෙන්න බැහැ. දෙන්නෑ. දෙන්නෑ මං. පාර්ලිමේන්තුවේ මම තීරණය කරන්නේ. මොකද්ද මේක. මේ පාර්ලිමේන්තුවක්. ලෝ‍ෙකට මොකද්ද දෙන පණිවිඩය.* යැයි කරු ජයසූරිය උස් හඩින් පැවසීය.

අනතුරුව දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිවරයාගේ ලිපිය කියවීම අතහැර දැමූ අතර, මහින්ද රාජපක්ෂ මහතා කතාව ආරම්භ කළේය.

මහින්දගෙ කතාවෙන් පසුව නැගී සිටි ලක්ෂ්මන් කිරිඇල්ල “පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා එතුමාගේ කතාව කෙරෙහි විශ්වාසය නොමැති බව යෝජනා කරමි. මම කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා නමින් ඡන්දයක් ගන්න කියලා යැයි කීවේය. සභාව එකඟද? සභාව එකඟද? කරු සභාවෙන් විමසීය. මේක මට තීන්දුවක් කරන්න බැහැ. ගරු සභාව තීරණයක් ගන්න. යැයි කරු යළි  පැවසීය. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දැඩි ඝෝෂාවක් ඇති විය. ආණ්ඩු පක්ෂයේ වාඩිවී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් නැගී සිටිමින් කථානායකවරයාගේ තීරණයට විරෝධය පළ කළහ. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ වාඩිවී සිටින මන්ත්‍රීවරුන් සියලු දෙනා නැගී සිට අත් ඔසවා එම තීරණයට පක්ෂපාතිත්වය පළ කළහ. &බයි නේම්, බයි නේම්. කරුණාකර ආසනවල වාඩිවෙන්න  යැයි කරු යළි පැවසූවේය. නමුත් සභාව පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට කථානායකවරයා ඉන් පසුව මුහුණදුන්නේය. අනතුරුව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ආරම්භ විය. මේ එහි අවස්ථා කිහිපයකි.



Recommended Articles