ඡන්දය ප්‍රමාද කිරීම ජනතාවටම සිදුකරන අගතියක්


මේ වසර මැතිවරණ වසරක් බවට පත්වන බව දේශපාලනඥයන් සහ බලධාරීන් විසින් සිදුකරන ප්‍රකාශවලින් පැහැදිලි වන කාරණයකි. මීට අමතරව පළාත් සභා මැතිවරණය කල් දැමීමට එරෙහිවත් සමහර ජනතාව හා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විවිධ ප්‍රකාශ සිදුකරමින් තිබේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද සමග මෙලෙස කතා බහක නිරත විය.


කොමිෂන් සභාවේ වාර්ෂික වැඩපිළිවෙළ

ඉදිරි වැඩපිළිවෙළ යටතේ අපි සර්වජන ඡන්ද බලය සුරැකෙන දේශයක් කියන මාතෘකාව හරහා ජනතාව දැනුවත් කිරීම කරනවා. මේ වැඩපිළිවෙළ පසුගිය වසර දෙක තුළත් සිදු කළා. මැතිවරණ කොමිෂන් සභාව ලෙස වැඩසටහන් තුනක් ප්‍රධන වශයෙන් ක්‍රියාත්මක කරනවා. බොහෝ දෙනෙක් කියන්නේ මැතිවරණ කොමිසම තියෙන්නේ ඡන්දේ තියන්න කියලා. හැබැයි හැම දෙනාම දන්නවා ඡන්දය තියන්න ඡන්ද නාමලේඛනය ඕන කියලා. මේ නිසා අපේ වැඩපිළිවෙළේ පළමු එක තමයි ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම. දෙවැනි වැඩපිළිවෙළ තමයි ජනාධිපතිවරණ මහ මැතිවරණය, ජනමත විචාරණය, පළාත් සභා ඡන්ද විමසීම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම හා අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීම. තුන්වැනි වැඩපිළිවෙළ තමයි ඡන්ද අයිතිය වෙනුවෙන් පුරවැසියන් දැනුවත් කිරීම.

දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ

ඡන්ද හිමියන් හා අනාගත ඡන්ද හිමියන්, ඒ කියන්නේ පාසල් දරුවන් දැනුවත් කිරීම. අපි ඒ සඳහා ඡන්ද හිමියන්ගේ දිනය ‘වන ජුනි පළමු වැනි දින සමරමින් ඒ කටයුතු කරනවා. ඒත් මෙවර ඒ දිනයට අමතරව ජාත්‍යන්තර දින 24ක් තෝරාගෙන ඒ දිනවලදීත් වැඩසටහන් කරනවා. එහි පළමු වැඩසටහන ඊයේ (30දා) දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව සිදුකළා. 
මෙහිදී වයස අවුරුදු 15ට වැඩි දරුවන් සිටින පාසල්වල විදුහල්පතිවරුන් විසින් අවිහිංසාව හා සාමය කියන මාතෘකා යටතේ දේශන පැවැත්වූවා.
අවිහිංසාව හා සාමය තුළින් ප්‍රශ්න විසඳීමට හැකියැයි ළමයින් කුඩා කාලයේදීම තේරුම්ගත්තොත් ඒගොල්ලෝ ප්‍රශ්න විසඳීමට, සාකච්ඡාව හා සම්මුතිය කියන තැනට එනවා. එතකොට ප්‍රශ්න ප්‍රචණ්ඩත්වයෙන් තොරව විසඳා ගන්නවා. මෙතනදී ගහගන්න එක විතරක් නොවෙයි අන් අයට සමච්චල් කිරීම, හිනා වීම වැනි ක්‍රියා පවා නැවතෙන්න පුළුවන්. අවසානයට සාකච්ඡාව, සම්මුතිය හරහා අපි බලාපොරොත්තු වෙනවා එය ජනතාවගේ කැමැත්ත, ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්ද බලය කියලා. මේ හැම වැඩසටහනෙන්ම බලාපොරොත්තු වෙන්නේ සර්වජන ඡන්ද බලයේ තියෙන වැදගත්කම කියා දෙන්න. මේ හරහා යහපත් රටක් නිර්මාණය කර ගැනීම අපේ බලාපොරොත්තුවක්.

මැතිවරණ කාලසටහන

මේ වසර දෙක මැතිවරණ වසරවල් වෙන්න පුළුවන්. මොකද මේ වසරේ නොවැම්බර් 09 හා දෙසැම්බර් 09ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය තියන්න ඕන. හැබැයි ජනාධිපතිවරයාගේ කැමැත්ත මත ඊට පෙර දිනයක ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්. ඒත් දෙසැම්බර් 09න් පස්සේ කල් දාන්න බැහැ. ඒ වගේම ලබන වසරේ සැප්තැම්බර් මාසය වන විට පාර්ලිමේන්තුවේ නිලකාලය අවසන් වෙනවා. වසර හතර හමාරක් ගතවූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු නොකළහොත් ඒ වසරේ නොවැම්බර් මාසයේ මුල් සතිය තුළ මැතිවරණය තියන්න ඕන. මෙතනදී කියන්න ඕන ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්ද තියන්නත් ඕන.

මේ ඡන්ද විමසීම සඳහා භාවිත වන ඡන්ද හිමි නාමලේඛනය

මේ ඡන්ද විමසීම සිදුකිරීමේදී බලපවත්වන ඡන්ද හිමි නාමලේඛනය කුමක්ද කියන එක මේ වන විට සාකච්ඡාවෙමින් තියෙනවා. දැනට වලංගු නාමලේඛනය වන්නේ 2018 වසරේ ජූනි 01 වැනිදාට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයගේ නම් ඇතුළත් 2018 ඔක්තොම්බර් 25 සහතික කරන ලද ඡන්ද නාමලේඛනය.

එම නාමලේඛනය භාවිත කළහොත් සිදුවන අසාධාරණය

මේ ලැයිස්තුවෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී ඡන්දය තියන්න ගියොත් සිදුවෙන්නේ අවුරුදු 19 මාස 03ක් ගියපු අයට තමයි මුල්වරට ඡන්දය භාවිත කරන්න වෙන්නේ. ඒක නිසා දේශපාලන පක්ෂවලට ආණ්ඩුවේ බලධරයන්ට අපි යෝජනා කළා මාස 04න් 4ට පරිපූරක ලැයිස්තුවක් හදමු කියලා. එතනදී මාස 04න් 04ට වයස අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ලැයිස්තුවකට ගන්නවා. මේ හදන ලැයිස්තුව ඡන්ද විමසීමක් සිදුවුණාම නාමයෝජනා භාරගැනීම ප්‍රකාශයට පත්කරන දවස වෙනකොට වයස අවුරුදු18 සම්පූර්ණ වූ අයට ඡන්ද බලය දෙමු කියලා.

පරිපූරක ලැයිස්තුවේ වර්තමාන තත්ත්වය

පරිපූරක ලැයිස්තුව සකස් කරන්න අපි කෙටුම්පතක් සකස් කළා. ඒත් තාම ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරලා නැහැ. මේ නිසා දැනට පවතින නීතියට අනුව සිදුකරන්න පුළුවන් වෙලා තියෙන්නේ ජූනි මාසේ පළමුවැනිදාට පසු, ඒ කියන්නේ මේ වසරේදී නම ඇතුළත් කරන්න වෙන්නේ ජුනි පළමු දිනෙන් පසු.

නාමලේඛන සකස් කිරීම කඩිනම් කිරීම

නාමලේඛන සකස් කිරීමට අදාළ ලිපිලේඛන අපට මැයි මාසයේදී ලබාදෙන්න පුළුවන්. ඒත් පවතින නීතිමය තත්ත්වයට අනුව ඒක සම්පූර්ණ කරන්න වෙන්නේ ජුනි මස පළමු දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයට. ඒක නිසා එදාට පෙර ලිපිලේඛන සම්පූර්ණ කරන්න බැහැ.

මෙවර සිදුකරන වැඩපිළිවෙළ

ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීමට ගෙයින් ගෙට යන්න නියෝජිතයන්ගේ නම් එවන්න කියලා දේශපාලන පක්ෂවලින් මාර්තු මාසයේදී ඉල්ලීමක් කරලා තියෙන්නේ. ග්‍රාම නිලධාරීන් තමයි ඡන්ද හිමි නාමලේඛන ගණන් ගැනීම සිදුකරන්නේ. ඒත් කොළඹ නගරයේදී හා ත්‍රිකුණාමලය නේවි ඩොක්යාඩ් එකේදී සහ මීගමුව නගරයේ ස්ථාන කිහිපයකත් විශේෂ ගණන් ගැනීමේ නිලධාරීන් පත්කරනවා. මෙහෙම කරන්නේ බලප්‍ර‘දේශ විශාල නිසා ග්‍රාම නිලධාරීන්ට එම කටයුතු සිදුකිරීමට අපහසු නිසා.

අපි ඡන්ද හිමියන් ගණන් කරන බී.සී. (B.C) ආකෘති පත්‍රය මැයි 15 වැනිදා සිට ජුනි 14 වැනිදා දක්වා කාලය තුළ ගෘහමූලිකයන්ට ලබාදෙනවා. අපේ සැලැස්ම තමයි කුඩා බලප්‍ර‘දේශවල ආකෘති පත්‍ර මැයි 31 වැනිදා වන විට බෙදාහැරීම අවසන් කිරීම. ඒත් විශාල බලප්‍රදේශවලදී ආකෘති පත්‍ර බෙදීම ජුනි 14 වනතෙක් සිදුවෙන්න පුළුවන්. මෙතනදී ගෘහමූලිකයන් සම්පූර්ණ කළ ආකෘති පත්‍ර භාරගැනීම  ජුනි 04 වැනිදා සිට 26 වනතෙක් කරන්න බලාපොරොත්තු වෙනවා. ග්‍රාම නිලධාරීන්ට ගෘහමූලිකයන් භාරදෙන ආකෘති පත්‍ර එම කාලය තුළදීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට භාරදෙන්න පුළුවන්.

නාමලේඛන සහතික කිරීම

මේ කටයුත්ත සැප්තැම්බර් 30 සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනයට මේක කරන්න පුළුවන් වෙන්නේ අපේ කාර්යාලවල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා මහජනතාව තමන්ට ලැබෙන කොළය නිසි වේලාවට භාරදීමට කටයුතු කළහොත් පමණයි. එහෙම නැතිවුණොත් මේක ප්‍රමාද වෙයි. ඒවගේම ආපදා තත්ත්වයක් ඇති වුණොත් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒක නිසා අපි ප්‍රාර්ථනා කරනවා එවැනි බාධාවක් ඇතිවෙන්න එපා කියලා. 
අපි තාම ඔක්තොම්බර් 15ට කලින් ඡන්ද හිමි නාමලේඛනයක් සහතික කරලා නැහැ. 2011 වසරට පෙර සහතික කළේ දෙසැම්බර් 31 වැනිදා 2014 වසර වන විට අපි ඒක ඔක්තොම්බර් 31 දක්වා පහතට ගෙන ආවා. ඒක නිසා 2015 ජනාධිපතිවරණයේදී වයස අවුරුදු 18යි මාස 06ක් සම්පූර්ණ වූ අයට ඡන්දය භාවිත කිරීම හැකි වුණා.

සැප්තැම්බර් 30 නාමලේඛනය සහතික කිරීමේ වාසිය

සැප්තැම්බර් 30න් පසු ආසන්න දිනක පැවැත්වෙන මැතිවරණයකදී මෙය භාවිත කළ හැකිද කියලා අපි සොයා බලනවා. මොකද අවතැන්වූ අයට ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීමට තවත් සතියක් වගේම හිමිකම් ඉල්ලීමටත් සති දෙකක් දෙන්න වෙනවා. ඒක නිසා සම්පූර්ණ ලැයිස්තුව සහතික කරන්න වෙන්නේ ඔක්තොම්බර් 22 විතර වෙනවා. එහෙම වුණොත් මේ ලැයිස්තුව භාවිත කරන්න පුළුවන් වෙන්නේ ඔක්තොම්බර් 22න් පසු.

ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය

නොවැම්බර් 09 සිට දෙසැම්බර් 09 දක්වා කාලය ගත්තම නොවැම්බර් 09න් පසු ඕනෑම දිනයකදී පවත්වන්න පුළුවන්. ඒකේ අවසාන දිනය ලෙස තියෙන්නේ දෙසැම්බර් 07 වැනිදා. එය උපරිම දිනය. අවශ්‍ය නම් මුල් දිනයක් ගණන් ගන්නත් පුළුවන්.

තරුණයන්ගේ අයිතිවාසිකම් රැකදීම

තරුණයන්ගේ අයිතිය අහිමි වීම වළක්වා ගැනීම සඳහා කඩිනමින් පරිපූරක ලැයිස්තුව සකස් කිරීමට ඉඩ සලසා දියයුතුයි. ඒක නිසා මේ ලැයිස්තු ක්‍රමය ඇති කිරීම සඳහා වූ අදාළ පනත නොපමාව සම්මත කරන ලෙසට අපි ඉතා ඕනෑකමින් ගෞරවයෙන් කරුණාවෙන් සියලුම බලධාරීන්ගෙන් හා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී තරුණයන්ට හිමිව තිබූ කෝටාව අතහැර දැමීමට කටයුතු කළා. ඒ හරහා තරුණයන්ට අගතියක් ඇති වුණා. ඒක නිසා පරිපූරක ලැයිස්තු ක්‍රමය ඇති කිරීමේ වූ පනත සම්මත නොකර තරුණයන්ට අගතියක් සිදු නොකරන්න කියලා සියලුම දේශපාලන පක්ෂවල බලධාරීන්ගෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, අමාත්‍යවරුන්ගෙන්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් මැතිවරණ කොමිසම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ඉන්දියාවේ පවතින ක්‍රමය

ඉන්දියාවේ ක්‍රමය තමයි අවුරුදු 16ට වැඩි අයගේ නම් එකතු කරලා එය පරිගණකයට ඇතුළත් කර වයස අවුරුදු 18 සම්පූර්ණ වුණ දවසට කාඩ්පතක් යවා ඡන්ද අයිතිය දෙන්න පුළුවන් කියන එක. පරිපූරක ලැයිස්තු ක්‍රමය හැදුවොත් අපටත් දෙමවුපියන්ට කියන්න පුළුවන් වයස අවුරුදු 15ක් 16ක් වන කෙනාගේ නම එවන්න කියලා. අපෙන් අහනවා ඇයි ඒවා කරන්නේ නැත්තේ කියලා. අපට ඒවා කරන්න පුළුවන් හැබැයි ඊට අදාළ වන නීති හදලා දෙන්න කෙනෙක් නැහැ. මැතිවරණ කොමිසමට විෂය භාර අමාත්‍යවරයෙක් නැහැ. ඒක නිසා මෙවැනි පනත් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, සභානායකවරයාට හෝ අධිකරණ අමාත්‍යවරයාට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි මේ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා හරහා.

පළාත් සභා ඡන්ද විමසීම

නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිලකාලය 2017 ඔක්තොම්බර් මාසය වන විට අවසන් වුණා. ඒ කියන්නේ මාස 16කට ආසන්න කාලය සිට මහජන නියෝජිතයෝ නැහැ. මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිලකාලය අවසන් වෙලා මාස 04කට ආසන්නයි. ඒත් ඡන්දය තිබ්බේ නැහැ.

ප්‍රමාදයට හේතු

2017 අංක 17 දරන පනතින ඡන්ද ක්‍රමය වෙනස් කළා. මෙතනදී මාස 04ක් තුළ සීමානිර්ණය කටයුතු කර පාර්ලිමේන්තු අනුමැතියට දානවා කියලා. ඉන්පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දය නොලැබුණහොත් මාස දෙකක් තුළ සමාලෝචන කටයුතු කරනවා කියලා බලධාරීන් ප්‍රකාශ කළා. සමාලෝචන කමිටුවෙන් ලබාදෙන වාර්තාව මගින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරනවා කියලා. එහෙම කියපු කාරණාවලට අනුව ගණනය කළහොත් 2018 ජූනි මාසය වන විට මේ වැඩකටයුතු අවසන් වෙන්න තිබුණා.

සැබෑ තත්ත්වය

නියමිත ලෙස මාස 04ක් තුල සීමානිර්ණය කටයුතු සිදුවුණා. එවකට සිටි විෂය භාර අමාත්‍යවරයා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පසුගිය වසරේ අප්‍රේල් මුල් සතියේ මේ කටයුතු සිදුවුණා. ඒත් පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි පසුගිය අප්‍රේල් මාසයේදී දේශපාලන පක්ෂ දැනුවත් කළා. ඒ වගේම අපි පෙන්වා දුන්නා මේක ප්‍රමාද කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරෙනවා කියලා.
පස්සේ අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුව තුළ මේක සාකච්ඡා කරන්න තීරණය කළා. ඒ අනුව අගෝස්තු 28 සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මා. තුනෙන් දෙකෙන් සම්මත වීම කෙසේ වෙතත් එකම ඡන්දයක්වත් සීමානිර්ණ වාර්තාවට ලැබුණෙ නැහැ. විපක්ෂව ජන්ද 130ක් ලැබුණු එක නිසා කථානායකතුමා පංච පුද්ගල කමිටුවක් පත් කළා. මෙය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. මෙම කමිටුව ලැබුණු නිලකාලය මාස 02යි. එම කාලය තුළ එම කමිටුව රැස්වීම් දෙකක් තිබ්බා. ඒත් මම දන්න විදිහට සමාලෝචන වාර්තාවක් සකස් වුණේ නැහැ. ඒක නිසා කමිටුවේ නිලකාලය අවසන් වුණා. එම කාලය දීර්ඝ කරන්න සැලසුම් කළා. එතකොට අගමැති පෙරළිය සිදුවුණා. පැවැති නීතිවලට අනුව කමිටුවක නිලකාලය දීර්ඝ කරන්න බැහැ. අගමැති පෙරළිය වෙනකොට කොහොම වුණත් වාර්තාවක් හදලා තිබුණෙත් නැහැ. ඒක නිසා ජනාධිපතිතුමාට ගැසට් කරන්න සමාලෝචන වාර්තාවක් නැහැ. ඒක නිසා 2017 අංක 17 පනත ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයකට ආවා.

ප්‍රශ්නයට විසඳුම

දැන් තත්ත්වය ලිහාගන්න බැහැ. ඒ වැඩේ කරන්න ඕන පාර්ලිමේන්තුවෙන් හරි බලය ලත් නිලධාරියෙක්. ඒ දේ කොමිසමට කරන්න බැහැ. මෙතනදී පාර්ලිමේන්තු පනතක් වෙනස් කරන්න පුළුවන්ද කියන ගැටලුවකුත් තියෙනවා. ඒ ගැටලුව ලිහන්න වෙන්නේ පාර්ලිමේන්තුවට.

කොමිසමේ වගකීම ඉටුකිරීම

මේ තත්ත්වය පිළිබඳ කෙමිසම සාකච්ඡා කළා. ඉන්පසුව ජනාධිපතිතුමාත් එවකට පැවැති ආණ්ඩුවේ බලධාරීන් හමුවෙලා මේ පිළිබඳ සාකච්ඡා කළා. එහිදී ඔවුන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා 1988 අංක 02 පනතින් ඡන්දය තියන්න ඕන විදිහට හා ඇප මුදල් ඇතුළත් කරලා පනත වෙනස් කරන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණා. ඒ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා. එහෙම තියෙද්දී ආයිත් ආණ්ඩුව වෙනස් වුණා. ඊට පස්සේ කොමිෂන් සභාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ මාසයේ මුණගැසුණා. ඒ වෙලාවේදී මේ තත්ත්වය පෙන්වා දුන්නා. එහිදී එතුමන්ලා දෙන්නම මැතිවරණය කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිගත්තා.අපි අධිකරණයට යනවා නම්, යන්න වෙන්නේ මාර්ග උපදේශනයක් ලබාගැනීමට. එය අධිකරණ තීන්දුවක් වන්නේ නැහැ. 

මහින්ද දේශප්‍රියගේ තීරණය

නිල වශයෙන් ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් 09ත්, දෙසැම්බර් 09ත් අතර පවත්වන්න ඕන. ඒක නිසා නොවැම්බර් 10 වැනිදාට පෙර පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වූවහොත් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් මම ඉල්ලා අස්වෙනවා. ඡන්ද විමසීම ප්‍රමාද කිරීම ජනතාවට සිදුකරන අගතියක්. මේ පිළිබඳ අධිකරණ තීන්දුවකුත් තියෙනවා. ඡන්ද විමසීම කඩිනම් කරගැනීමට වගකීම තියෙන්නේ කාටද කියන ප්‍රශ්නය ගත්තම බස් රථයක ගමන් කරන විට ලබාදෙන මුදලට ටිකට්පතක් දෙන්නැත්නම්, ටිකට්පත ඉල්ලීමේ වගකීම තියෙන්නේ බස් මගියාට. ඒ එහෙම නැතිව එළියෙ ඉන්න අයට නෙවෙයි. මොකද බස් රථය අනතුරකට ලක්වෙලා තමන් අනතුරට ලක්වුණොත් තමන් මගියෙක් කියන එක ඔප්පු කිරීමට ටිකට් පතක් තියෙන්න ඕන. අපේ රටේදී තමන්ට සිදුවන අගතිය සම්බන්ධයෙන් ජනතාව ක්‍රියා කරන්නේ නැහැ.

පළාත් සභා 09ම ඡන්ද විමසීම එකට පැවැත්වීම

පළාත් සභා 09ම ඡන්ද විමසීම එකට පැවැත්වෙන ඕන කියලා එකක් නැහැ. දැනට පළාත් සභා 06ක නිලකාලය අවසන්වෙලා තියෙන්නේ. අනෙක් පළාත් සභා තුනේ නිලකාලය මේ වසර තුළ අවසන් වෙනවා. පළාත් සභා සියල්ලම එකට තිබ්බත්, කඩින් කඩ තිබ්බත් වියදමේ හා අනෙක් කටයුතුවල විශාල වෙනසක් නැහැ.



Recommended Articles