චීනය විසින් ලෝකයට බොහෝ දේ තිළිණ කර තිබේ. මානව සංහතිය වෙනුවෙන් ඔවුන් සිදු කළ මහා සොයා ගැනීම් හතරක් (Four Great Inventions) ඇත. ඒවා නම් කඩදාසි, මාලිමාව, වෙඩි බෙහෙත් සහ මුද්‍රණ කර්මාන්තය සොයා ගැනීමය. මෙම සොයා ගැනීම් ලෝක ඉතිහාසය වරින්වර විශාල වශයෙන් වෙනස් වී ඇත. නව ශිෂ්ටාචාර, නව බල කඳවුරු බිහි විය. මාලිමාව සොයා ගැනීමෙන් දේශ ගවේෂණය වර්ධනය වූ අතර, යටත් විජිතකරණය ශක්තිමත් විය. පසුකාලීන ධනේෂ්වරවාදයටත්, ගෝලීයකරණයටත් එම කුඩා යන්ත්‍රයේ සොයා ගැනීම බලපෑවේය.
කඩදාසි නිෂ්පාදනයත්, මුද්‍රණ කර්මාන්තයත් දැනුම නිෂ්පාදනය සම්බන්ධයෙන් මහා පොළාපැනීමක් ඇති කළේය. විද්‍යාත්මක දියුණුව කෙරෙහිද එය නොමඳව බලපෑවේය.
ඝටිකා යන්ත්‍ර නිර්මාණය කිරීමේ කලාව (horology), ලෝහ කර්මාන්තය (metallurgy), නක්ෂත්‍ර විද්‍යාව (astronomy), කෘෂිකර්මාන්තය (agriculture), ඉංජිනේරු විද්‍යාව (engineering), ගණිතය, සංගීත න්‍යාය (music theory), නාවික නිර්මාණ ශිල්පය (naval architecture) මතු නොව යුද කලාව (warfare) ඇතුළු තව බොහෝ ක්‍ෂේත්‍ර කෙරෙහි ඓතිහාසික වශයෙන් චීනය දක්වා ඇති දායකත්වය සුළු පටු නොවේ.
මේ සියල්ලට වඩා චීනය අතින් දර්ශනය විෂය කෙරෙහි වූ දායකත්වය අතිමහත්ය. චීන දර්ශනය අවුරුදු දහස් ගණනක් ඈතට දිව යයි. වඩාත් පැහැදිලි ලෙස චීන දර්ශනයේ සංවිධිත ආකාරය පෙනෙන්නට පටන් ගන්නේ ක්‍රිස්තු පූර්ව 07 වැනි සියවසේදී පමණය. එම දාර්ශනික සම්ප්‍රදාය කොන්ෆියුසියස්වාදයත්, දාඕවාදයත් ඔස්සේ ඉතා දියුණු අඩියකට පසු කාලයකදී වර්ධනය විය.
කන්ෆියුසියස් ධර්මය විසින් සදාචාර, සමාජීය, දේශපාලන සහ ආගමික ධාරාවට ඇති කළ බලපෑම අද දක්වාම නොනැසී පවතී. ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ චීනය අධිරාජ්‍යයක් වශයෙන් ගොඩනැගුණු යුගවලදී කන්ෆියුසියස් ධර්මය රාජ්‍ය ආගම (state religion) වශයෙන් ක්‍රියාත්මක වූ බවයි. එනයින්, කන්ෆියුසියස් ධර්මය චීනයට පමණක් නොව ආසියාතික කලාපයටම බලපාන දහමක් බවට වර්ධනය විය.
ඒ අනුව, කන්ෆියුසියස් ධර්මය ජපානය, කොරියාව, වියට්නාමය ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල ව්‍යාප්ත විය. එම ධර්මය වැඩිම ව්‍යාප්තියක් සිදු වූයේ ටැන් සහ සොන්ග් අධිරාජ්‍ය පැවැති යුගවලදීය.
දාඕවාදයද චීනයේ බලපෑම නිසා වර්ධනය වූ දර්ශනයකි. දාඕ ධර්මය මගින් පැහැදිලි කෙරෙන්නේ සමස්ත විශ්වයම එකම ශක්තියක් බවයි. යින්ග් සහ යැන්ග් වශයෙන් ලෝකය ද්විධාකරණයකට ලක්ව තිබුණද, අවසානයේ සියල්ල ඒකත්වයට යටත් බව එහි ඉගැන්වෙයි.
චෙන් බුදු දහමද ව්‍යාප්ත වන්නේ චීනය ආධාර කර ගෙනය. පසුව ජපානයේදී සෙන් වශයෙන් වර්ධනය වන්නේද එයයි. අද වන විට ආසියාවටත් වඩා මෙම බුදු සමය සම්බන්ධයෙන් අවධානයක් යොමුව ඇත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේය. ක්‍රිස්තු වර්ෂ 04 වැනි සියවසේදී පමණ බුදු දහම චීනයේදී දාඕවාදය සමග මිශ්‍ර වූ අතර චෙන් බුදු දහම නිර්මාණය වීම සඳහා මග හෙළි කළේය.