වසර දහස් ගණනක් පුරා ආගමික, සංස්කෘතික හා ආර්ථික බැඳීම් සහිතව සුවිසල් චීන දේශය ආසියානු රටවල් සමග යහපත් කාලවකවානුවලදී මෙන්ම අයහපත් කාලවකවානුවලදීද නොසැලී සිටි කල්‍යාණ මිත්රයෙකි.
ලොව ආර්ථික බලයෙන් අද්විතීය ස්ථානයකට පැමිණ ඇති චීනය හැකි සෑම විටම ලෝකය සමග සිය මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීමට උත්සාහ කරයි. ඒ ඔස්සේ බොහෝ රටවලට විවිධාකාර වූ ප්රතිලාභ ලබාදීමට කටයුතු කරයි. එලෙස සිය මිත්‍ර සබඳතා වර්ධනය කරගැනීමට හැකි එවැනි සමුළුවක් ආසියාතික තරුණ පිරිස වෙනුවෙන් පසුගියදා පැවැත්විණි.
ඒ ප්‍රථම වතාවට පැවැත්වූ චීන දකුණු ආසියා තරුණ නායක සමුළුවයි. මෙම සමුළුව චීනයේ චෙන්දු ප්‍රදේශයේ පැවැත් වූ අතර, එය Chinese People’s Association for Friendship with Froing Countries යන සංගමය විසින් සංවිධානය කරන ලදී. මේ සඳහා දකුණු ආසියාතික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය හා මාලදිවයින යන රටවල් සහභාගි විය.
මේ සඳහා ඒ සෑම රටකින්ම තරුණ තරුණියන් හත්දෙනා බැගින් නියෝජනය කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ රශ්මික ජයසේකර, සක්බෝ දිසානායක, චාමික සෙනෙවිරත්න, පුබුදු වලවගේ, දුලාන් වීරසිංහ, ශකිල හපුආරච්චි සහ සරසි නෙත්මිණි යන පිරිසය.
චීනය විසින් ප්‍රථම වරට සංවිධානය කළ චීන දකුණු ආසියා තරුණ නායක සමුළුව රටවල් අතර මිතුරු සබඳතා තවත් වර්ධනය කර ගැනීමට මහත් තෝතැන්නක් විය.
සතියක පමණ කාලයක් පැවැති මෙම නායකත්ව සමුළුව විවිධාකාර වැඩමුළු ඇතුළත්ව සංවිධානය කර තිබුණි. එම වැඩමුළු ඔස්සේ මේ සඳහා සහභාගි වූ තරුණ තරුණියන් අතර මනා සහයෝගීතාවයක්, මිත්‍රත්වයක් වර්ධනය කිරීමට හැකිවිය. එය සියලු ජාති, ආගම්, භූගෝලීය විෂමතා ඉවත් කර සියලුදෙනා එකම පිරිසක් ලෙස ගතකළ සොඳුරු දින කිහිපයක් ලෙස හැඳින්විය හැක.
මෙම සමුළුව 'වන්බෙල්ට්, වන්රෝඩ්' හෙවත් 'එක් තීරයක් එක් මාවතක්' යන සංකල්පය මත සහයෝගීතාව වර්ධනය කර ගැනීම නිමිත්තෙන් පැවැත්වූවකි. 'වන්බෙල්ට් වන්රෝඩ්' හෙවත් 'එක් තීරයක් එක් මාවතක්' ව්‍යාපෘතියේදී චීනය හා යුරෝපියානු, දකුණු හා අග්නිදිග ආසියානු රටවල්, බටහිර අප්‍රිකාවේ වෙරළබඩ රටවල් එකට යා කෙරෙන ගොඩබිම් හා මුහුදු මාර්ගවලට අනුබද්ධ ආර්ථික ලොව ගොඩනැගීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
චීනය ප්‍රකාශ කරන පරිදි චීන විදෙස් ප්‍රතිපත්තිය වන ආයෝජන වෙළෙඳාම හා යටිතල පහසුකම් ගොඩනැගීම තුළින් සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වේ. ඒ සහයෝගීතාවේ එක් ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රථම වරට පැවැත් වූ චීන දකුණු ආසියානු තරුණ නායකත්ව සමුළුව හැඳින්වීමට හැකිය.
මෙයට සහභාගි වූ තරුණ තරුණියන්ට එය වටිනා අත්දැකීමක් වූ අතර, ඒ හරහා මෙම රටවල් අතර සහයෝගීතාව ඉතා හොඳින් වර්ධනය වූවා සේම රටවල් අතර ඇති සංස්කෘතිකාංග, මෙම රටවල් අතර පවතින තාරුණ්‍යයේ විවිධාකාර ගැටලු සාකච්ඡා කෙරුණි. මෙහිදී ඒවා එකිනෙකා අතර බෙදා ගැනුණි.
මෙම සමුළුවේදී විවිධාකාර වූ වැඩමුළු සංවිධානය කළ අතර, සංස්කෘතිකාංග හුවමාරුව, එක් එක් රටෙහි තරුණ විරැකියාව සම්බන්ධ සාකච්ඡා, රැකියාවන් සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව දැනුම ලබාදීම, ක්‍රීඩා තරග ආදිය ප්‍රධාන තැනක් ගත්තේය.
මෙහිදී විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ සියලු වැඩමුළුවලදී කැපී පෙනෙන කණ්ඩායමක් ලෙස ලාංකේය අනන්‍යතාව පෙරමුණෙහි තබන්නට හැකි වීමයි. ඒ හරහා ඉදිරියේදී ලාංකේය තාරුණ්‍යයට සුවිශේෂී අවස්ථා රැසක් උදාවේ. ඒ අතර ශිෂ්‍යත්ව වැඩසටහන් ප්‍රධාන තැනක් ගනී.
සතියක් පුරා පැවැති මෙම සමුළුව ඉතා සාර්ථකව පසුගිය 23 වැනිදා අවසන් වූ අතර චීනය මගින් සිදු කළ මෙම සුවිශේෂී කර්තව්‍යය ආසියාතික තරුණ ප්‍රජාව වෙනුවෙන් සිදු කළ සුවිශේෂී මෙහෙවරක් වේ. ලබන වසරේද මෙම සමුළුව නේපාලයේදී පැවැත්වීමට නියමිතය.
සරසි නෙත්මිණී