චීන ගුරුකුල සියය


ඉපැරණි චීනයේ ගුරුකුල සියය (Hundred Schools of Thought) මැයෙන් ඉතා ගැඹුරු දාර්ශනික සම්ප්‍රදායයන් පද්ධතියක් පැවතිණ. ඒ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසත් ක්‍රිස්තු පූර්ව පූර්ව 221 වසරත් අතර කාල පරාසයේදී ය. බුදුන්වහන්සේ ධරමානව වෙසෙන්නේද බොහෝ ග්‍රීක දාර්ශනිකයන් සිය චින්තන සම්ප්‍රදායයන් ගොඩනගන්නේද මීට සමාන්තර යුගයකදීම වීම අහඹුවක් වුව ද සිත් ගන්නා සුළු දෙයකි. 

ඉපැරණි චීනයේ වැඩිම සංස්කෘතික සහ බුද්ධිමය දියුණුවක් ඇතිවන්නේ මෙම ගුරුකුල සියය පැවති කාලයේදීය. එබැවින් එම යුගය චීන දර්ශනයේ ස්වර්ණමය යුගය වශයෙන් සලකනු ලැබේ. චීනය තුළ චින්තනයේ නිදහස එම යුගය තුළදී උපරිම වශයෙන් සුරක්ෂිත වී තිබූ බව විශ්වාස කරනු ලැබේ. චීනයේ පමණක් නොව සමස්ත නැගෙනහිර ආසියාවේම ජීවන ක්‍රමය, අදහස්, වත්පිළිවෙත්, ඇවතුම් පැවතුම් ආදිය සකස් කිරීමට මෙම යුගයේ ඇති වූ චින්තන පොළා පැනීම ඉවහල් වූ බව සලකනු ලැබේ. 

ඇත්ත වශයෙන් ම, එම යුගයේදී ග්‍රීසියේ ඇති වූ චින්තන විප්ලවය ද බුදුන්, මහාවීර ආදී දාර්ශනිකයන් නිසා ආසියා කලාපයේ ඇති වූ චින්තන විප්ලවය ද අදටත් මිනිසුන්ගේ ජීවිත හැඩගස්වමින් තිබීම විශේෂත්වයකි. මෙම ගුරුකුල සියයට අයත් වූ දාර්ශනිකයෝ චීනයේ විසූ විවිධ අධිරාජ්‍යයන් වෙනුවෙන් සේවය කළහ. ආණ්ඩුකරණය, යුද ශිල්පය, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආදිය සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නේ එම දාර්ශනිකයන්ය.
‍කොන්ෆියුසියස්වාදය ගුරුකුල සියය අතරින්  බිහිවූ විශිෂ්ටතම දර්ශනයයි. තාඹ්වාදය තවත් එවැනි දර්ශනයක් වූ අතර මෝවාදය (Moism) ද සුවිශාල ඓතිහාසික කාර්ය භාරයක් ඉටු කළේය. ගුරුකුල සියය අතරින් කොන්ෆියුසියස්වාදයට එරෙහිව නිර්මාණය වූ ප්‍රධානතම දාර්ශනික ගුරුකුලය ලෙස සැලකෙන්නේ මෝවාදයයි. කොන්ෆියුසියස්වාදයේ තිබූ අභිචාර ක්‍රම ප්‍රතික්ෂේප කළ මෝවාදය සමානාත්මතාව දැඩි ලෙස ගරු කළේය. මෙහි නිර්මාතෘවරයා වූයේ මෝ ඩි නම් දාර්ශනිකයායි. 

තවද තර්කනය පාදක කර ගනිමින් දාර්ශනික ගුරුකුලයක් බිහි වී තිබිණ. මෙම ගුරුකුලය බිහි වූයේ මෝවාදය පාදක කර ගනිමිනි. ඔවුහු සියල්ල තර්කානුකූල ලෙසින් විග්‍රහ කිරීමට යොමු වූහ. ඔවුහු බොහෝදුරට ඉපැරණි ග්‍රීසියේ විසූ විතණ්ඩවාදීන්ට සමාන ලක්ෂණ දැරූහ. ඔවුන් තුළ දයලෙක්තික තර්කන ක්‍රමයක් පැවතිණ. ගොන්සුන් ලොන්සි එම ගුරුකුලයේ විසූ විශිෂ්ටතම දාර්ශනිකයායි. 

යුද ශිල්ප සම්බන්ධයෙන් අධ්‍යයනය කරන වෙනම ගුරුකුලයක් පැවති අතර එය හඳුන්වන ලද්දේ බිංජියා වශයෙනි. අදටත් බටහිර ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලවල මෙම යුද ශිල්ප පිළිබඳ හදාරනු ලැබේ. එම යුද ශිල්ප හුදෙක් යුද හමුදා සඳහා පමණක් නොව කළමනාකරණය විෂයය සඳහා ද භාවිත කෙරේ. සන්ත්සුගේ යුද කලාව නම් කෘතිය අදටත් මුළු ලොව පුරාම ජනප්‍රිය කෘතියකි. මෙම ගුරුකුලය මගින් යුද දර්ශනය (Philosophy of war) බිහි කළ බව බොහෝ බටහිර උගතුන්ගේ අදහසයි. සන්ත්සුට අමතරව සුන් බින් මෙම යුද කලාව ප්‍රගුණ කළ දාර්ශනිකයෙකි. 



Recommended Articles