චීන ආර්ථික ප්‍රතිපත්තිය මුජීබ්ගේ ඇගයුමට


යුද්ධය අවසන් වීමෙන් පසු වසරක් තුළදී නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වූ මුජීබ් ඇතුළු අවාමි ලීගයේ ඊළඟ අරමුණ වූයේ රටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමය. මුජීබ්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ සාධාරණ සමාජ ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් පිහිටුවීමේ ඔහුගේ දැක්මට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. ඔහු බෙංගාලි ජාතිකවාදී ව්‍යාපාරය සැලකුවේ බාහිර යටත්විජිත බලයක පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා පමණක් නොව පීඩිත ජනතාව  ආර්ථික හා දේශපාලනිකව මුහුණ දුන් පීඩනයෙන් නිදහස් කර ගැනීමේ අරගලයක් ලෙසය.

පසුකාලීනව පොත් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ මුජීබ්ගේ දිනපොත්වල ඔහු නැවත නැවතත් දේශපාලනයට සම්බන්ධ වීමට තමාව පෙලඹවූ පරමාදර්ශ දෙකක් ඉස්මතු කර ඇත. එනම් ගොවීන් සහ කම්කරුවන් සූරාකෑමෙන් නිදහස් කිරීම සහ සමාජ ප්‍රජාවන් අතර ගැඹුරට විහිදී ගොස් තිබූ අසමානතාව තුරන් කිරීමය. මෙම අරමුණු සාක්ෂාත් කරගත හැක්කේ සමාජවාදය තුළින් බව ඔහු තර්ක කළේය. ඔහු තම චරිතාපදානය වූ %ද අන්ෆිනිස්ඩ් මෙමොයර්ස්^හි මෙසේ සඳහන් කර ඇත.

‘මම කොමියුනිස්ට්වාදියෙක් නොවෙමි. නමුත් මම විශ්වාස කරන්නේ සමාජවාදය මිස ධනවාදය නොවේ. ප්‍රාග්ධනය පීඩකයාගේ මෙවලමක් බව මම විශ්වාස කරමි. ධනවාදය ආර්ථික පර්යායේ ප්‍රධාන උල්පත වන තාක් ලොව පුරා සිටින මිනිසුන් දිගටම පීඩාවට පත් වනු ඇත.*

සැබවින්ම 1940 ගණන්වල මුජීබ් මුස්ලිම් ලීගයට සහ පාකිස්තාන ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වූයේ දුප්පත් මුස්ලිම් ගොවීන් ඉඩම් හිමියන්ගේ සහ මුදලාලිලාගේ සූරාකෑමෙන් නිදහස් කිරීමට හැකි වනු ඇතැයි යන අපේක්ෂාවෙනි. එහෙත් ඔහු තම කෘතියේ සඳහන් කර ඇති පරිදි පාකිස්තානය නිර්මාණය කිරීමෙන් පසු ධනය කිහිපදෙනෙකු අත පමණක් කේන්ද්‍ර වූ අතර එය සාමාන්‍ය ජනතාව විරසක කිරීමට හේතු විය. 1952දී චීනයට ගිය පසු මුජීබ් පාකිස්තානය සහ චීනය සංසන්දනය කළේ මෙලෙසය.

&අප සහ ඔවුන් ( චීනය) අතර ඇති විශාල වෙනස නම් චීනයේ මිනිසුන් තමන්ගේ රට සහ එහි සම්පත් ඔවුන්ගේම බව දැන සිටීම සහ ඔවුන්ට ඒ ගැන හැඟීමක් තිබීමය. නමුත් අනෙක් අතින් අපේ මිනිසුන් සුළු පිරිසක් පමණක් රටේ සම්පත් සියල්ලම පාහේ භුක්තිවිඳින බව සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගොස් තිබුණි.”

සමාජයේ අසමානතාව ඉවත් කිරීම සහ මිනිසුන් සූරාකෑමෙන් නිදහස් කිරීම සඳහා රජය විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බව මුජීබ් විශ්වාස කළේය. ඉඩම් යළි බෙදා හැරීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවලින් මහජනතාවට සේවය සැපයීම පිළිබඳ චීන රජයේ ප්‍රතිපත්ති ඔහු අගය කර ඇත්තේ මෙසේය.

&කොමියුනිස්ට් රජය ඉඩම් හිමියන් සතු ඉඩම් රාජසන්තක කර සියලු ගොවීන් අතර බෙදා දී ඇත. මේ අනුව ඉඩම් නොමැති ගොවීන් ඉඩම් හිමියන් බවට පත් විය. චීනය දැන් අයිති වන්නේ ගොවීන්ට හා කම්කරුවන්ට වන අතර, කලින් ආධිපත්‍ය දැරූ සහ සූරාකෑමට පුරුදුව සිටි පන්තියට ඔවුන්ගේ බලය අහිමි වී තිබේ. සෑම තැනකම අපට නව පාසල් සහ විද්‍යාල බිහිවනු දැකිය හැකි විය. අධ්‍යාපනය රජය භාරගෙන තිබේ.”

ඓතිහාසික 1970 මැතිවරණයේදී අවාමි ලීගයේ මැතිවරණ ප්‍රකාශනය පදනම් වූයේ පක්ෂයේ කරුණු හය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය ආගමින් ඉවත් කිරීම සහ සමාජවාදය යන පරමාදර්ශයන් මතය. 1972 මාර්තු 26වැනිදා නිදහසේ පළමු සංවත්සරයේදී ජාතිය අමතා කළ කතාවේදී සම්පත් බෙදා හැරීමේ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමටත්, ඉහළ සහ පහළ ආදායම් ලබන කණ්ඩායම් අතර පවතින පුළුල් පරතරය නැති කිරීමටත් මුජීබ් පොරොන්දු විය.

1972 අප්‍රේල් 7- 8 දිනවලදී බංග්ලාදේශය නිදහස් කර ගැනීමෙන් පසු පැවැති අවාමි ලීගයේ පළමු සභා සැසියේදී සමාජවාදය නිල වශයෙන් පක්ෂයේ පරමාදර්ශය ලෙස පිළිගත් අතර සූරාකෑමෙන් තොර සමාජ - ආර්ථික ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ සිය කැපවීම මුජීබ් යළි අවධාරණය කළේය. පසුව 1972දී බංග්ලාදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද සමාජවාදය එහි මාර්ගෝපදේශක මූලධර්ම හතරෙන් එකක් ලෙස පිළිගත්තේය.  

කෙසේ වෙතත් මුජීබ් මායාකාරී සිහින ඔළුවේ පුරවාගෙන ප්‍රායෝගික නොවන තීන්දු තීරණ ගනිමින් කටයුතු කළ දෘෂ්ටිවාදියෙකු නොවූ බව මෙහිදී සටහන් කිරීම වැදගත් වේ. ඔහු ප්‍රායෝගික දේශපාලනඥයෙකු වූ අතර සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම ඔහුගේ ප්‍රධාන ඉලක්කය විය. එම ඉලක්කය, ඔහු නිතර නිතර පුනරුච්චාරණය කළේය. 'සෝනාර් බංග්ලා' (රත්තරන් බෙංගාලය) ගොඩනැගීම සහ %දුප්පත් සහ අසතුටින් සිටින මිනිසුන් ඉන් මුදාගෙන ඔවුන්ගේ මුහුණු මත සිනහවක් දැකීම^ තම සිහිනය බව ඔහු පුනරුච්චාරණය කළේය. සමාජවාදය ඔහුට අවසානයක් නොව තම ප්‍රමුඛ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ මෙවලමක් විය. මිනිසුන්ගේ සමාජ - ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කිරීමට ඔහුට වෙනත් මාර්ගයක් සොයාගත හැකි නම් ඔහු එවැනි මාර්ගයක් අනුගමනය කිරීමට බෙහෙවින් කැමති බව සමජවාදය ගැන ඍණාත්මකව කතා කළ පිරිසට ඔහු දුන් ප්‍රතිචාරය විය.

මුජීබ්ගේ පශ්චාත් - විමුක්ති ව්‍යපාරයේ මෙම ආර්ථික ප්‍රතිපත්තිය ස්වාධීන බංග්ලාදේශයේ අනාගතය සඳහා විශාල බලපෑමක්  කරනු ලැබූ බව පෙනේ.  මුජීබ් 1972 ජනවාරි 12 දින නිදහස් බංග්ලාදේශයේ අගමැති ධුරයට පත් වූ විට, පශ්චාත් යටත් විජිත යුගයේ නිදහස ලබාගත් රාජ්‍යවල බොහෝ නායකයන් මුහුණ දුන් අභියෝගවලට සාපේක්ෂව විශාල අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. බංග්ලාදේශය බිහි වූයේ ගණන් කළ නොහැකි මළ කඳන් සහ මිලියන ගණනක් වූ අවතැන් වූ ජීවිත මතිනි. බොහෝ දෙනෙකුට ජීවනෝපායක් නොතිබූ අතර රටේ යටිතල පහසුකම් සියල්ලම පාහේ යුද්ධයෙන් විනාශ වී තිබුණි. එසේම රටේ  විදේශ විනිමය සංචිතය බින්දුවක් වූ අතර, වෙනත් රටවල් සමග ගනුදෙනු කළ හැකි මුදල් වර්ගයක්වත් නොතිබුණි. එපමණක් නොව නූතන රාජ්‍යයක ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ආයතන කිසිවක් හෝ  ක්‍රියාකාරී පරිපාලනයක් හෝ ඵලදායි ලෙස නීතිය සහ සාමය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් තබා ආර්ථිකය මෙහෙයවීම සහ කළමනාකරණය සඳහා වූ ආයතන වැනි මහජන ජීවිතය සහ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ආයතන කිසිවක් නොතිබුණි. බංග්ලාදේශය මහජන විලාපයන් පමණක් ඇසෙන සියල්ලම අක්‍රිය වූ මුඩුබිමක් විය.

පාකිස්තාන පාලනය යටතේ නැගෙනහිර පාකිස්තානය සඳහා ආර්ථික ප්‍රතිපත්ති සැකසීම සහ මෙහෙයවීම බටහිර පාකිස්තාන ප්‍රභූ පන්තිය නියෝජනය කළ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සිදුකළ අතර ඔවුන්ගේ ඒකාධිකාරී අදහස් පමණක් ආණ්ඩුව සැලකිල්ලට ගනු ලැබීය. එහිදී බෙංගාලි ජාතිකයන් සම්පූර්ණයෙන්ම බැහැර කර තිබුණි. එබැවින් නිදහස් බංග්ලාදේශයට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා වූ මග පෙන්වීමක් ලබා දීමට හැකි ආයතන හෝ පළපුරුදු පුද්ගලයන් සිටියේ නැත.

ඒ සඳහා වූ මුජීබ්ගේ හදිසි ප්‍රතිචාරය වූයේ 1972 ජනවාරි 10වැනිදා ඔහු නැවත බංග්ලාදේශයට පැමිණ දින දෙකක් ඇතුළත ජාතික සැලසුම් කොමිසමක් සහ බංග්ලාදේශ බැංකුව පිහිටුවා රටට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ රික්තය දක්ෂ සහ තම දැනුම අපයෝජනය කර නොමැති නිලධාරීන්ගෙන් පිරවීමයි. ඔහු ආර්ථික විද්‍යාඥයන්ගේ කණ්ඩායමක් ඊට එකතු කළේය. ජාතික සැලසුම් කොමිසම බිහිවූයේ ඒ අනුවය.

1972 සැප්තැම්බරයේ වොෂින්ටනයේ පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමේදී බංග්ලාදේශයේ මුදල් අමාත්‍ය තාජුදීන් අහමඩ් තම දේශනය පැවැත්වූ අයුරු. ඔහුට පිටුපසින් ලෝක බැංකුවේ සභාපති රොබට් මැක්නමාරා අසුන්ගෙන සිටියි. 

සටහන - නිලන්ත ඉලංගමුව

ඉතිරිය හෙට

දොලොස්වන කොටස කියවීම සඳහා පිවිසෙන්න - https://bit.ly/3eMEFa4



Recommended Articles