ගෝලීය ළමා එන්නත්කරණය කෝවිඩ් වසංගතය නිසා විශාල පසුබෑමකට


ගෝලීය වශයෙන් ක්‍රියාත්මක ප්‍රතිශක්තිකරණය සඳහා ළමුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන් විශාල වශයෙන් පසුබෑමකට ලක් කරන්නට කෝවිඩ් වසංගතය හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි.

ඔවුන්ගේ නවතම වාර්තාවකට අනුව සෞඛ්‍ය සේවා විසින් මූලිකව ලබාදෙන ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් 2020 වර්ෂයේදී අහිමි වූ ළමුන්ගේ ප්‍රමාණය මිලියන 23කි. එය 2009 වර්ෂයෙන් පසු වාර්තා කළ ඉහළම අගය වේ.  තවද 2019 වර්ෂයේ එන්නත් අහිමි වූ ළමුන් සංඛ්‍යාවට වඩා මිලියන 3.7ක ඉහළ යෑමකි. ගෝලීය කෝවිඩ් වසංගතයත් සමග ළමා ප්‍රතිශක්තිකරණ වැඩසටහන් කඩාකප්පල් වී ඇති ආකාරය පිළිබඳ නිකුත් කරන පළමු නිල සංඛ්‍යාලේඛනය වන මෙම නවතම වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ පසුගිය වර්ෂයේ රටවල් බහුතරයක ළමා එන්නත් කිරීමේ කටයුතුවල අනුපාතය පහළ වැටී ඇති බවයි.

ළමුන්ගෙන් මිලියන 17ක් දක්වා ප්‍රමාණයකට 2020 වර්ෂය තුළ එක් එන්නතක්වත් නොලැබී ගිය බවත්, එන්නත් ලබා ගැනීමේදීද දැනටමත් දැවැන්ත අසමානතාවන් ඇතිවී තිබෙන බවත් ඔවුන් පෙන්වා දේ. මෙලෙස එන්නත් අහිමි වූ ළමුන්ගෙන් බහුතරයක් ජීවත් වන්නේද ගැටුම් සහිත ප්‍රදේශවල, අඩු සේවා සපයන ප්‍රදේශවල, නගරයෙන් දුරස්ථ ස්ථානවල හෝ අවිධිමත් මෙන්ම මුඩුක්කු වැනි ස්ථානවල බව එම වාර්තාවේ සඳහන් වේ.

"කෝවිඩ් 19 වෛරසයට ආරක්ෂාව සපයන එන්නත් ලබාගැනීම සඳහා රටවල් හඬ නැගුවත් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය සඳහා වන අනෙකුත් එන්නත් සපයා ගැනීම සම්බන්ධයෙන් යම් පසුබෑමකට ලක්වී තිබෙනවා.  සරම්ප, පෝලියෝ, මෙනින්ජයිටිස් වැනි විනාශකාරී නමුත් වළක්වාගත හැකි රෝග වලින් මේ නිසාම දරුවන්ගේ ජීවිත අවදානමට ලක්වී තිබෙනවා. කෝවිඩ් 19 සමග පොරබඳිමින් සිටින ප්‍රජාවන් හා සෞඛ්‍ය පද්ධති සඳහා බහුවිධ රෝග පැතිරීම ව්‍යසනකාරී තත්ත්වද ඇතිකරනු ඇත. ඒ නිසාම ළමා එන්නත් සඳහා ආයෝජනය කිරීම සහ ඒවාට සෑම ළමයෙක්ම ළඟා කරවීම සහතික කිරීම වෙන කවරදාකටවත් වඩා හදිසි වේ." යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අඩ්නෝම් පවසා සිටියි.

කලාපයේ රටවල් බොහෝමයක දරුවන්ගේ එන්නත්වල පළමු මාත්‍රාවන් අතපසු වීමක් දැකගත හැකි අතරම පසුකාලීනව මිලියන ගණනකට එන්නත් මගහැරීමක් සිදුවනු ඇති බවට ඔවුන් මෙමගින් පෙන්වා දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු හා නැගෙනහිර මධ්‍යධරණී කලාපවලට 2020 වර්ෂයේ වැඩි වශයෙන් බලපා ඇති ගැටලුවක් වන්නේ ප්‍රතිශක්තිකරණ සේවා කඩාකප්පල් වීමය. සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය මෙන්ම ප්‍රතිශක්තිකරණ කටයුතු සීමා කර ඇති හෙයින් සෑම ප්‍රදේශයකම පළමු එන්නත ලබා නොගත් දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. 2019 වර්ෂය සමග සසදන විට 2020 වර්ෂයේ ඩිප්තීරියා, පිටගැස්ම, ඩී.ටී.පී-1 එන්නත්වල පළමු මාත්‍රාව අහිමි වූ ළමුන් සංඛ්‍යාව මිලියන 3.5කින් ඉහළ ගොස් ඇත. එසේම සරම්ප එන්නතේ පළමු මාත්‍රාව අහිමි වූ දරුවන්ගේ එම ඉහළ යෑම මිලියන 3ක් ලෙස දැක්වේ.

"මෙම සංඛ්‍යා දත්තවලින් පෙන්වන සාක්ෂි පැහැදිලි අනතුරු ඇඟවීමක් සිදුකරනවා විය යුතුයි. කෝවිඩ් 19 වසංගතයත්, ඒ ආශ්‍රිතව පැනනැගුණු බාධාත් නිසා අපට අහිමි කරගත නොහැකි වටිනාකම් වැය වන අතරම, එහි ප්‍රතිවිපාක වඩාත් අවදානමට ලක්වූවන්ගේ ජීවිත හා යහපැවැත්ම සඳහා ගෙවනු ඇත. මෙම වසංගතයට පෙර පවා, වළක්වාගත හැකි රෝගවලට ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබාදීමේ සටනට යම් බාධාවීම් ඇතිවීම සම්බන්ධ සංඥා අපට දකින්නට ලැබුණා. මේ පවතින වසංගතය හරහා ඇතිවෙමින් තිබුණු නරක තත්ත්වයක් තමයි වඩාත් නරක අතට හැරීමක් සිදුවී තිබෙන්නේ."  යනුවෙන් යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හෙන්රියාටා ෆෝර් සඳහන් කරයි.

ඔවුන් නිකුත් කර ඇති වාර්තාවට අනුව ඩිප්තීරියා, පිටගැස්ම, ඩී.ටී.පී-1 පළමු මාත්‍රාව ලබා නොගත් ළමුන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන රටවල්වල තොරතුරු මෙසේය.

 

                        2019                 2020

ඉන්දියාව           1,403,000         3,038,000

පකිස්ථානය        567,000             968,000

ඉන්දුනීසියාව      472,000             797,000

පිලිපීනය            450,000 557,000

මෙක්සිකෝව     348,000 454,000

මොසැම්බිග්       97,000              186,000

ඇන්ගෝලා        399,000             482,000

ටැන්සානියාව     183,000             249,000

ආර්ජන්ටිනාව     97,000              156,000

වෙනිසියුලාව      75,000              134,000

මාලි                  136,000             193,000

මෙම දත්තවලින් පෙනී යන්නේ මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වන ළමුන්ගේ ප්‍රතිශක්තීකරණය අහිමි වී යෑම නිසා ඔවුන් මුහුණ දෙන අනාරක්ෂිත බවයි. එනම් ඇතැම් එන්නත් මාත්‍රාවන් දරුවන්ට අතපසු වීමට වැඩි ඉඩක් නිර්මාණය වී ඇත. ඉන්දියාවේ ළමා එන්නත්කරණ වැඩසටහන් විශාල පසුබෑමකට ලක්වී ඇති අතර, ඩී.ටී.පී-3 එන්නත් ආවරණය 91% සිට 85% දක්වා පහත වැටී තිබේ.

ඇමෙරිකානු කලාපයේ රටවල අරමුදල් හිඟයන්, එන්නත් සම්බන්ධයෙන් වන වැරදි තොරතුරු හා අස්ථාවරත්වය වැනි සාධක නිසා ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් යම් පසුබෑමකට ලක්වී තිබේ. ඩී.ටී.පී. එන්නත්කරණය 2016 වර්ෂයේදී එම රටවල 91෴ක පමණ අගයක පැවැති අතර, මේ වන විට එය 82% දක්වා පහත වැටී ඇත.

මේ හේතූන් නිසා සරම්ප වැනි එන්නත් මගින් වළක්වාගත හැකි රෝග නැවත හිස එසවීමේ අවදානමක් ඇතිවී තිබේ.

කෝවිඩ් වසංගතයට පෙර වර්ෂවලදී ද ගෝලීය ළමා එන්නත්කරණ වැඩසටහන යටතේ ඩිප්තීරියා, පිටගැස්ම, සරම්ප, පෝලියෝ වැනි රෝගවලින් ආරක්ෂාව සඳහා සිදුකරන එන්නත්කරණ වැඩසටහන්වල සටහන්ව තිබුණේ 86%ක අනුපාතයකි. මෙම අනුපාතය දෙස බලන විට පෙනී යන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබූ 95%ක් ආවරණය කළයුතු සරම්ප එන්නත්කරණය අදාළ නිර්දේශිත අගයටත් වඩා බෙහෙවින් අඩු අගයක පවතින බවය.

කෝවිඩ් වසංගතයත් සමග ලෝකයේ බොහෝ රටවල විවිධ නීති හා රෙගුලාසි පැනවුණු අතර, ලෝකයේ බොහෝ රටවල ප්‍රතිශක්තිකරණ සේවා සැපයීම සම්බන්ධයෙන් සැලකිය යුතු බාධා ඇති වී තිබෙනු දැකගත හැකිය. ඇතැම් රටවල සායන වසා දමා ඇති අතරම, තවත් රටවල සායන විවෘත වන පැය ගණන අඩු කර ඇත. එසේම කෝවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වේ යැයි බියෙන්ද මිනිසුන් සායන වෙත දරුවන් රැගෙන ඒමට මැලිකමක් දක්වනු දැකගත හැකිය. තවද අගුලු දැමීමේ ක්‍රියාවලිය හා සංචරණ සීමා පැනවීම මගින් ප්‍රවාහනයට ඇතිවී තිබෙන අභියෝගයන් නිසාද එන්නත්කරණය සඳහා වන ප්‍රවේශයන්ට බාධා ඇතිවී තිබෙයි.

"මෙම දත්ත සංඛ්‍යාවන් අපට පෙන්වා දෙන්නේ භයානක තත්ත්වයක්. වසර ගණනාවක ලබාගත් ප්‍රගතිය වසංගතය හමුවේ බිඳ වැටෙන ආකාරය මින් පෙනී යනවා. මිලියන ගණනක් ළමයින් වළක්වාගත හැකි මාරාන්තික රෝගවලට නිරාවරණය වීමක් මින් සිදුවෙනවා. මෙය ලොව සියලුදෙනාම අවදි කිරීමේ ආමන්ත්‍රණයක්. සරම්ප පෝලියෝ හා වෙනත් මාරාන්තික රෝග නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතුයි. කෝවිඩ් 19 වසංගතය පරාජය කිරීමට රටවල්වලට උපකාර කරන්නට සියලුදෙනා එක්විය යුතු වගේම ළමා එන්නත්කරණ වැඩසටහන සඳහා ගෝලීයව සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට සැවොම එක්විය යුතුයි. සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ වැඩසටහන් යථා තත්ත්වයට පත්කිරීම මගින් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත දරුවන්ගේ සහ ඔවුන්ගේ ප්‍රජාවගේ අනාගත සෞඛ්‍යය හා යහපැවැත්ම රඳා පවතිනවා." යනුවෙන්  Gavi (The vaccine Alliance) සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සෙත් බර්කලි මහතා ගෝලීයව පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියි.

ඉහත සඳහන් කරනු ලැබූ රෝග සඳහා පමණක් නොව මේ වන විට ගෝලීය වශයෙන් ක්‍රියාත්මක ගැබ්ගෙල පිළිකාවන්ගෙන් ගැහැනු දරුවන් ආරක්ෂා කරන මානව පැපිලෝමා (HPV) එන්නත්කරණයද ඇනහිට ඇත. විශේෂයෙන් පාසල් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක මෙම එන්නත්කරණ වැඩසටහන් බොහෝ රටවල අඩාළ වී ඇත. 2020 වර්ෂයේ ගෝලීය වශයෙන් මිලියන 1.6ක් වන ගැහැනු දරුවන්ට මෙම එන්නත මඟහැරී ඇත. 2019 වර්ෂයේ ගෝලීයව ගැහැනු දරුවන්ගෙන් 15%කට මෙම එන්නත් ලබා දී ඇති අතර, එය 13% දක්වා පහත වැටී ඇත.

මෙම හේතූන් නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් ආයතනය අනෙකුත් ආයනවලින් ඉල්ලා සිටින්නේ හදිසි හා සාමාන්‍ය ප්‍රතිශක්තීකරණය වෙනුවෙන් ආයෝජනයන් සිදුකරන ලෙසයි.

ඒ අනුව, එන්නත්වල වැදගත්කම පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය සේවකයන් සහ ප්‍රජා නායකයන්ට උපකාර කිරීම.

වසංගතය නිසා එන්නත් මඟහැරුණු ප්‍රජාවන් හා පුද්ගලයන් හඳුනාගෙන ප්‍රතිශක්තිකරණ ආවරණයේ පවතින හිඩැස් පිරවීමට කටයුතු කිරීම.

කෝවිඩ් 19 ආරක්ෂාව සඳහා කරන එන්නත්කරණ කටයුතුවල පිරිවැය ස්වාධීනව සිදුකරගෙන යෑමත්, ළමුන්ගේ එන්නත්කරණ කටයුතුවල පිරිවැය මත එම කටයුතු සංවිධානය නොවන බවටත් සහතික කිරීම.

එන්නත්කරණය හරහා මාරාන්තික රෝග වළක්වාගත හැකි බවත්, ඒ සඳහා වන එන්නත්කරණ කටයුතු වෙනුවෙන් ජාතික සැලැස්මක් ඒ ඒ රටවල්වලින් හඳුන්වා දීමටත් කටයුතු කිරීම. කෝවිඩ් 19 වසංගතයද ජයගැනීමට යම් පිටුවහලක් ප්‍රතිශක්තීකරණය හරහා ලැබෙන බව ඒත්තු ගන්වමින් මෙම කටයුතු ශක්තිමත් කිරීම යන කාරණා ඔවුන් විසින් මතු කර දී ඇත.

ළමුන්ගේ අත්‍යාවශ්‍ය එන්නත්කරණය ගෝලීය වශයෙන් 90%ක ආවරණයක් 2030 වර්ෂයේදී අත්පත් කර ගැනීම සඳහා වන ගමනක ගමන්කරණ ගෝලීය න්‍යායපත්‍රයේ අභිලාස ඉලක්ක සපුරා ගැනීම සඳහා මේ වන විට ඒ වෙනුවෙන් කටයුතු කරන හවුල්කරුවන් කටයුතු කරමින් සිටියදී, මෙම අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුව තිබීමද කනගාටුවකි.

පාසල් ආරම්භ කළ විගස අදාළ එන්නත් ලබාදිය හැකියි, ඒ නිසා  ෙමය එතරම් ගැටලුවක් නොවේ

ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය

කෝවිඩ් වසංගතය නිසා විටින් විට ලංකාවේද සංචරණ සීමා පනවන්නට යෙදුණු අතර, පාසල්ද දිගුකාලයක් වසා දැමීම සිදුවිය. මේ නිසාම මෙරට ළමා එන්නත්කරණ වැඩසටහනට යම් යම් ප්‍රමාදයන් ඇති වුවද ඒවා මඟහරවාගෙන එන්නත්කරණ කටයුතු සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබීම ප්‍රශංසනීයය. මෙරට පාසල් වයසේ පසුවන ළමුන්ට ලබාදෙන එන්නත් වන්නේ ඒ.ටී.ඩී හා එච්.පී.වී එන්නත් වේ. කෝවිඩ් නිසා පාසල් වසා දැමීම හේතුවෙන් පාසල් වයසේ දරුවන්ට මෙම එන්නත් අහිමි වීමේ තත්ත්වයක් ඇතිවී ඇත්ද යන්න පිළිබඳව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මියගෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවසුවාය.

"මෙරට ළමා එන්නත්කරණ වැඩසටහනේ පාසල් වයසේ පසුවන ළමුන්ට ලබාදෙන්නේ ඒ.ටී.ඩී හා එච්.පී.වී. කියන එන්නත් වර්ග දෙකයි. ඒ.ටී.ඩී. එන්නත හත ශ්‍රේණියේ සිටින දරුවන්ටත්, එච්.පී.වී. එන්නත හය වසරේ සිටින ගැහැනු දරුවන්ටත් ලබාදීමයි සිදුවන්නේ. වසරකට ඒ.ටී.ඩී. එන්නත දරුවන් තුන්ලක්ෂ පනස්දහසකට පමණ ලබාදෙනු ලබනවා. කෝවිඩ් වසංගතයත් සමග පාසල් වසා දැමීමට තීරණය කරනු ලැබුවත්, අපි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එම වයසේ දරුවන්ට අවශ්‍ය එන්නත් ලබාදීමේ වැඩකටයුතු සිදුකරනු ලබනවා. මේ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මකයි. මාතෘ හා ළමා සායනවල සාමාන්‍ය වැඩකටයුතු කරගෙන යන අතරතුර කෝවිඩ් වසංගත තත්ත්වය මත ක්‍රියාත්මක කරන අමතර සේවාවක් ලෙස මෙම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ ගැන දැනුම්වත් වීමක් නොමැතිකම නිසා එන්නත්කරණ වැඩසටහනෙන් අතහැරෙන දරුවන් සිටින්න පුළුවන්. නමුත් එය ගැටලුකාරී තත්ත්වයක් නොවෙයි. මොකද අපිට මේ අතහැරෙන දරුවන්ට පාසල් ආරම්භ කළ විගස අදාළ එන්නත් ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා එය එතරම් ගැටලුකාරී තත්ත්වයක් නොවන බව සඳහන් කළ හැකියි."



Recommended Articles