කෝවිඩ්-19 වසංගතය ලෝකය පුරාම පැතිර ගොස් ජනජීවිතයට, ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති අවස්ථාවක ගෝලීය අර්බුද, ආර්ථික අර්බුද ආදිය පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක්වේ. මේ වනවිට ලෝකයේ ජීවත් වන අප සැමට අවශ්‍යව ඇත්තේ සාමූහිකව හැමදෙනාටම වග කියන, සොබාදහමට හා මානව සමාජයට හිතැති ජීවත් වීමේ කලාවක් මිස, සොබාදහමට හා මානව සමාජය වනසන ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට හසු වූ මිථ්‍යාවක් නොවන බව වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන්ව තිබේ. මේ සම්බන්ධයෙන් සෙබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා දක්වන අදහස් ඇසුරින් මෙම ලිපිය සකස්කර ඇත.
වසර බිලියන 16ක ස්වාභාවික ඉතිහාසයක් ඇති ලෝකය 1815 වන විට යුරෝපය මුල් කරගත් කාර්මිකකරණ නගර තුළ එහි තිබූ සම්පත් විශාල වශයෙන් නිෂ්පාදනයන්ට යොමු වන්නට විය. 1815 යුරෝපයෙන් ආරම්භ වන ආර්ථිකය ලෝකයට කියා සිටියේ ස්වාභාවික සම්පත් හා එයින් ලැබෙන සේවාවන් නිෂ්පාදන භාණ්ඩ බවට පත් කර ගතහොත් ඒවා තුළින් ආර්ථික වාසි ලබා ගත හැකි බවයි.
සොබාදහම භාණ්ඩ හෝ සේවාවන් බවට පත්කර, එම භාණ්ඩ විකුණා ලාභ ලැබීමත්, එම එන ලාභය තමන් තුළ ගොඩගසා ගැනීමත් යන කරුණු තුළින් ආර්ථික සංවර්ධන ඉලක්කයන් ළඟා කරගැනීම උදෙසා යුරෝපය පෙලඹුණ අතර එම ආර්ථික දියුණුව මනින ඒකකයන්ද පෙර කාලයේ සිටම නිර්මාණය කර තිබුණි. ඒ අනුව යුරෝපයෙන් ආරම්භ වූ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය දේශසීමා ඉක්මවන ක්‍රියාවලියක් බවට පත් වූ අතර, එය දේශ සීමා ජයගත් සංකල්පයක් බවටද පත්වුණි. යුරෝපයෙන් ආරම්භ වුවත් පසුකාලීනව මුළු ලෝකය පුරාම සංවර්ධන සංකල්පයක් ලෙස මෙම ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ව්‍යාප්ත විය. 2019 වසර වන විට එය කොතරම් ප්‍රබල වූවේද යත් ලෝකයේ තිබූ ස්වාභාවික සම්පත්වලින් හතරෙන් දෙකකට වැඩි කොටසක් තමන්ගේ නිෂ්පාදන භාණ්ඩ බවට පත් කර ගැනීමට හැකි විය. ස්වාභාවික වෙළෙඳාමේ ඉතිහාසය ලියමින් ජෝන් ඊට්ස් දෙන නිර්වචනය නම් “ආර්ථික විද්‍යාව යනු කපා ඉවත් නොකරන ලද ගස් වැල් හා කඩා ඉවත් නොකරන ලද පාංශු කොටස් භාණ්ඩ බවට පත් කිරීම” යි. එය ජෝන් ඊට්ස්ගේ මතය පමණක් නොව මේ ආර්ථික සංවර්ධනයේ පොදු මූල න්‍යායධර්මය බවට පත් වේ.
ඒ අනුව මුළු ලෝකයම තමන්ගේ ස්වාභාවික ජීවන රටාව වෙනස් කර වසර බිලියන 16ක ඉතිහාසයක් ඇති සොබාදහමේ සියලු සම්පත් වසර 205ක් පමණ ඇතුළත හරි අඩකටත් වැඩි කොටසක් විනාශ කර දැමීමට හැකි විය. නමුත් අද වන විට එහි ප්‍රතිඵල සමස්ත ජන සමාජයටම සහ සොබාදහමටම නැවත පැමිණ ඇත. සුළි සුළං, ගංවතුර, භූමිකම්පා, සුනාමි වැනි තත්ත්වයන්වලින් සිදුවන විනාශයන් මෙයට හොඳම උදාහරණයක් වන අතර, සාර්ස්,ඉබෝලා, කොරෝනා වැනි වෛරසද සොබාදහමේ සමතුලිතතාව විනාශ වීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට ලෝකයට පැමිණ ඇත. දේශගුණික විපර්යාස නිසා සමස්ත ලෝකයේම දැවැන්ත විනාශයක් පසුගිය අවුරුදු කිහිපය තුළ සිදු වී ඇති අතර, ලෝකයේ අද වන විට සත්ත්ව ශාක විශාල ප්‍රමාණයක් දැවැන්ත ඝාතනයකට ලක් වී ලෝකයෙන් සමුගෙන ඇත.
පෙර කියූ පරිදි ලොව ඇති ඉහළම වටිනාකමින් යුත් සදාචාර සම්පන්න මානව ක්‍රියාවලිය, ආර්ථික දියුණුව ලබාගැනීම යන මතය මෙම අවුරුදු 205 තුළ ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට ධනවාදී ආර්ථික ක්‍රියාවලියට හැකි වී ඇති අතර පෙර කියූ පරිදි එය මනින ඒකකයන් ද නිර්මාණය කරන ලදී. දළ දේශීය නිෂ්පාදනය (GDP) කියා සිටින්නේ දියුණු ජන සමාජයක්, දියුණු පුද්ගලයෙක්, රටක් දියුණු වේ නම් එය මැනිය හැකි ඒකකය නම් දළ දේශීය නිෂ්පාදනය (GDP) ලෙසයි. ඒ අනුව තමන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩය හෝ සේවාව විකුණා එයින් ආර්ථික ලාභයක් ලබන්නේ නම් එම පුද්ගලයා හෝ සමාජය දියුණු ආර්ථිකයකට හිමිකම් කියන සාමාජයක් හෝ පුද්ගලයෙක් ලෙස ගැනේ. යමෙක් නිෂ්පාදනය කරන භාණ්ඩ ආහාර හෝ අනෙක් ද්‍රව්‍ය තමාව භුක්ති විඳින්නේ නම් ඔහු හෝ එම රට සමාජය නොදියුණු සමාජයක් ලෙස ගණන් ගැනීමට GDP විසින් නිර්ණායකය නිකුත් කරන ලදී. එයට හේතුව දළ දේශීය නිෂ්පාදනයට තමන් ආහාර ගන්නා ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය මැනිය නොහැකි වීමයි. මේ අනුව ලෝකයේ නොදියුණු සමාජ ලෙස බොහෝ විට නම් කරනු ලැබුවේ ස්වයංපෝෂිත ආර්ථිකයක් හිමි බෙදාහදා ගැනීමට උරුමකම් කී ජනතාව, පුද්ගලයන් හා ඒ ජනකණඩායම් ය.
වරක් ගාන්ධි පැවසුවේ “ලෝකයේ ඇති සම්පත් මිනිස්සුන්ට ජීවත් වීමට ඇති නමුත්, ඔවුන්ගේ තෘෂ්ණාව නැති කිරීමට මේ සම්පත් ප්‍රමාණවත් නොවේ” යනුවෙනි. කෙසේ වෙතත් මෙම සත්‍යය තවදුරටත් තහවුරු කරමින් මිනිසුන්ගේ ආර්ථික දියුණුවත් සමගම තිබූ පොදු දේපළ පෞද්ගලික දේපළ බවට පත්වූයෙන් තම තමන්ගේ පෞද්ගලික දේපළ වැඩි කර ගැනීමේ මානව සංහතියේ සහ ආර්ථික ක්‍රමයේ ඇති තෘෂ්ණාව නිසා සමස්ත ලෝකයේ ජනතාවට මෙන්ම අනෙකුත් ලෝකයේ සතුන්ටද ජීවත් වීමට තිබූ අයිතිය විනාශ කර දමන ලදී. ඒ අනුව පුරාණ සමාජවල තිබූ මූලික අයිතිය නම් සියලු සත්ත්වයන් උදෙසා සියල්ල නැතහොත් “ලෝකා සමස්ථාහ සුකිනෝ භවන්තු” යන පදයෙන් නිරුක්ත වන්නේද එයයි. එනම් සියලු සත්ත්වයෝ වෙනුවෙන් සියල්ල යන පොදු කාරණයයි. නමුත් එම මූලික පදනම විනාශ කර දැමූ මෙම ආර්ථිකය හා මානව සංහතිය අද වන විට දැවැන්ත අභියෝගවලට මුහුණපා ඇත. උදාහරණයක් ලෙස කොරෝනා (covid 19) වෛරස ව්‍යාප්ත වීම අපිට මේ දිනවල ගත හැකි හොඳම උදාහරණයයි. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, චීනය ඇතුළු ලෝකයේ දියුණුතම රටවල අධික වේගයෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය සිදුවෙමින් ඇත. එමෙන්ම මේ වන විට ලෝකයේ දියුණුම රට ලෙස හැඳින්වෙන ඇමරිකාව තුළ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් ඇති අතර, මුළු යුරෝපය සහ ඇමරිකාව ගත් කල වැඩිම මරණ වාර්තා වී ඇත්තේ එම අතිමහත් ආර්ථික දියුණුව, භෞතික දියුණුව තිබූ සමාජවලය. ලෝකයේ දෙවැනියට සෞඛ්‍ය අංශයෙන් දියුණු යැයි සලකන ඉතාලියෙන්ද වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වූයෙන් මේ කියූ සංවර්ධනයේ ප්‍රතිඵල ඔවුන් විසින්ද අත්කරගෙන ඇති ආකාරය අපට දත්ත වශයෙන් වුවද පෙන්වා දිය හැකිය. අවසාන වශයෙන් මෙම ආර්ථික සංවර්ධනය ලෝකයට අත්පත් කර දෙන්නේ මෙවැනි තත්ත්වයන් නම් නැවතත් අපි මේ සිදුකරන සංවර්ධනයන් පිළිබඳව සිතාමතා කටයුතු කළ යුතුමය. මිනිසෙකුට සංවර්ධනයක් අවශ්‍ය නොවේ යැයි මින් අදහස් නොකෙරේ. නමුත් අප සංවර්ධනය කළ යුත්තේ අපේ භූමියට, සංස්කෘතික අංගවලට සහ අපගේ වටිනාකම්, ස්වාභාවික පරිසර පද්ධති යන මේ සියලු දෑ සලකා බලමින්ය. උදාහරණයක් ලෙස භූතානය වැනි රටක් ගත් කල එම රටවල්වල භෞතික සංවර්ධනය හෝ ආර්ථික සංවර්ධනය සිදුවන්නේ ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට, මූල්‍ය ආයතනවලට අවශ්‍ය පරිදි නොව, එම රටේ ස්වාභාවික සම්පත් හා රටවැසියන්ගේ අවශ්‍යතාවන්ට අනුවය.
අප රටවල සංවර්ධන කාර්ය එසේ නොවීය. අද වන විට යුරෝපයේ තරම් කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තියක් ලංකාව තුළ සිදු නොවුණද ලංකාවේ බොහෝ ප්‍රදේශවල මිනිසුන්ට අවශ්‍ය ආහාර පවා නොමැතිව කුසගින්නෙන් පෙළෙයි. සතුන්ට ජීවත් වීමට තිබූ වනාන්තර,මිනිසුන්ට ආහාර වශයෙන් අවශ්‍ය දෑ වගා කර ගැනීමට තිබූ වනාන්තර බහුජාතික සමාගම්වලට, ගුවන්තොටුපළ ඉදිකිරීමට, මාර්ග ඉදිකිරීමට ගත් විට රට තුළ ඉතිරි වන්නේ ආහාර නිෂ්පාදනයේ අතිරික්තයක් නොව හිඟයකි. එම හිඟය අද වන විට රටක් ලෙස අපට බලපාමින් තිබේ. 2010න් ආරම්භ වූ 2050 දක්වා දිවෙන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය තුළ ලංකාවේ ගුවන් මධ්‍යස්ථානයක්, අධ්‍යාපන මධ්‍යස්ථානයක්, ආර්ථික මධ්‍යස්ථානයක්, බලශක්ති මධ්‍යස්ථානයක් ඇති කරනවා යැයි සංවර්ධන සැලසුම් වල තිබුණද මෙය කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් බවට පත්කරනවා යැයි පවසා නැත. එම නිසාම මෙවන් අවස්ථාවක ජනතාවට සිදුවන්නේ පිටරටින් එන සැමන් ටින් එකට හෝ පරිප්පු කිලෝවක් ගැනීමට පෝලිමේ සිටීමටත්, පොළොස් ගෙඩියක් වැනි සුළු දෙයක් වෙනුවෙන් මිනී මරා ගැනීමටත්ය. දේශීය ආර්ථිකයක් හෝ දේශීය කෘෂිකර්මයට හෝ කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් බවට මෙම බිම් පත් නොකර ඉදිකරනු ලැබූ මහාමාර්ග, ඉදිකරනු ලැබූ වරායන්, ගුවන්තොටුපළවල්ද මේ මොහොතේදී කිසිදු වැඩක් ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. එම නිසා මෙම සංවර්ධන ක්‍රියාවලිය යන්නේ වැරදි දිශානතියකට බව අප අවුරුදු ගණනාවක් තිස්සේ පෙන්වා දුන්නද, රටේ පාලකයන් මෙන්ම පුරවැසියන්ද එම වැරදි දිශානතියට රට තල්ලු කිරීමට උදව් කරන ලදී.
අද වන විට එහි ප්‍රතිඵල අප භුක්ති විඳිමින් සිටින අතර, මෙම සංවර්ධන ක්‍රියාවලියට හසු නොවූ පුද්ගලයන් හා ඈත ගම් පළාත්වල ජනතාව කිසිදු ආහාර හිඟයක් තබා ඖෂධ හිඟයක්වත් නැතිව ජීවත් වන අයුරු අපට දැක ගත හැකිය.
අද වන විට වෙනස් ජීවන රටාවක අවශ්‍යතාව යක් පැමිණ ඇත. කොරෝනා රෝගය සැබවින්ම හානි කරනු ලබන්නේ ජනතාවට මිස සොබාදහමට නොවන බව අද වන විට දත්ත මඟින් ඔප්පු කර හමාරය.
කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයම lockdown කර ඇති මේ මොහොතේ ලෝකය තුළ සිදු වී ඇති කාබන් විමෝචනය ගණනය කර බැලුවහොත්, විශේෂයෙන්ම ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, කල්කටා, චන්දිගාර් වැනි ප්‍රදේශවල 29෴ක් වැනි ප්‍රතිශතයකින් අඩු වී ඇති බව ඉන්දියාවේ මධ්‍යම දූෂණ කාරක මැනීමේ ඒකකය විසින් පෙන්වා දෙනු ලැබේ. මොන්ගබේ ආයතනය විසින් පසුගිය 29 වන දින නිකුත් කරන ලද ලිපියක දැක්වෙන්නේ චීනයේ අඩුම වශයෙන් වසරකට ළමුන් 4000ක්, වැඩිහිටියන් 73000ක් වායු දූෂණය හේතුවෙන් මිය යන බවයි. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට කර්මාන්ත වසා රට lockdown කිරීමේ තත්ත්වය බලපා ඇති බව එම දත්ත පෙන්වා දෙයි. විශේෂයෙන්ම වුහාන් ප්‍රාන්තය තුළ කර්මාන්ත විශාල ප්‍රමාණයක් ඇති අතර, මෙය lockdown කිරීම නිසා වුහාන් ප්‍රාන්තයේ අහස නිල් පැහැයක් ගෙන ඇති බව නාසා ආයතනය ජායාරූප මඟින් පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය ඉතාලියේ ගතහොත් මිලානෝ, රෝමය, ටොරීනෝ වැනි අගනුවරවල 24%කින් පමණ වායු දූෂණය අවම වී ඇති බව පෙන්වා දී ඇත. එමෙන්ම ස්පාඤ්ඤය, ප්‍රංශයේ පැරිස්, බෙල්ජියම්, ස්වීඩන්, ජර්මනිය වැනි රටවල වායු දූෂණය අවම මට්ටමකට පැමිණ ඇති අතර, 23%ක් 24%ක ප්‍රමාණයෙන් වායු දූෂණය අඩු වී ඇත. ඇමරිකාවේ නිව්යෝර්ක් අගනුවර කර්මාන්තශාලා වසා දැමීමට පටන් ගත් මොහොතේ සිට මේ දක්වා කාලය තුළ එම ප්‍රදේශයේ වායු දූෂණය ඉතා ඉහළ මට්ටමකින් අඩු වී ඇති බව විදෙස් වාර්තා මඟින් ඔප්පු කර හමාරය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන දත්ත අනුව ලෝකයේම වායු දූෂණය හේතුවෙන් වසරකට මිලියන 7ක් වත් ජනතාව ලෝකයෙන් සමුගනිමින් සිටී. මෙම තත්ත්වය අවම කිරීමට සති දෙකක් හෝ තුනක කාලයක් ලෝකයම වසා දැමීම හේතු වනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. කොරෝනා මිනිස්සුන්ට අහිතකර වුවත්, ලෝකයේ වායු දූෂණය අඩු කිරීමට සහ එහි ජීවත් වන සත්ත්ව ප්‍රජාවට ඉතාමත් සැනසුමක් ගෙන දී ඇති බව මෙයින් පැහැදිලි වේ.
ලෝකයේ බොහෝ රටවල කර්මාන්තශාලා සති දෙකක් තුළ වසා දැමීමෙන් පරිසරයට සතා සිවුපාවන්ට හුස්මක් ගැනීමට අවස්ථාවක් ලැබී ඇති අතර, පරිසර පද්ධතිය සැලකිය යුතු මට්ටමකින් වෙනස් වී ඇති බව නාසා ආයතනයට සහ පරිසර විද්‍යාඥයන්ට සිය මිනුම්දඬුවලින් මැනගත හැකි වී තිබේ. සමාජය හා පරිසරය වනසන මෙම ජීවත් වීමේ කලාව වෙනස් නොකළහොත් බොහෝ ඉක්මනින් සමස්ත මානව සමාජයම දරුණු අගාධයකට යනු නොඅනුමානය.
අපට අවශ්‍යව ඇත්තේ සාමූහිකව හැමදෙනාටම වග කියන, සොබාදහමට හා මානව සමාජයට හිතැති ජීවත් වීමේ කලාවක් මිස, සොබාදහමට හා මානව සමාජය වනසන ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට හසු වූ මේ මිථ්‍යාවක් නොවන බව අපට තේරුම් ගැනීමට ඇති අවසාන අවස්ථාව දැන් උදාවී ඇත.