ගෝඨාභය හිට්ලර්ට ඇඳ ගැනීම


ලංකාවේ දේශපාලනය තීරණාත්මක තැනකට පැමිණ තිබේ. පසුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය දා ලංකාවේ ප්‍රකට හාමුදුරු නමක් විසින් ගෝඨාභය රාජපක්ෂගෙන් මෙරට නූතන හිට්ලර් වන ලෙස ඉල්ලා සිටියේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිට්ලර් යනු වදහිංසාවේත්, අසාධාරණයේත්, අවිද්‍යාවේත්, විනාශයේත්, දේශපාලන සංකේතයයි. හිට්ලර් විසින් මේ සියවස තුළ ලෝකයට සිදු කරන ලද හානිය තක්සේරු කළ නොහැකිය. හිට්ලර් මෙලොවට බිහි නොවුණා නම් ලෝකය මීට වඩා ලස්සන සුන්දර තැනක් වීමට ඉඩ තිබුණි. ඔහු විසින් ගොඩනගන ලද ජාතිවාදයේ, ආගම්වාදයේ පටු සීමා ලෝකයේ සියලුම සමාජවල හොල්මන් ලෙස පැතිරෙමින් තිබේ.

අද දියුණු ලෝකයේ ඇති ප්‍රතිගාමී එකම අදහස වන්නේ ජාතිය හා ආගම සම්බන්ධයෙන් ඇති අදහසයි. එම අදහස ස්ථාපිත වීමටත්, එය දේශපාලන අදහසක් ලෙස වර්ධනය වීමටත්, අවශ්‍ය න්‍යායාත්මක පදනම ගොඩනගන ලද්දේ හිට්ලර් හා ඔහුගේ නාසි රෙජීමය විසිනි.

හිට්ලර් උපත ලද ජර්මනිය, තම මධ්‍යම රජයේ මුදල්වෙන් කරමින් වසර පනහකටත් වඩා වැඩි කාලයක් තිස්සේ හිට්ලර් විසින් ගොඩනගන ලද නාසිවාදී වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා විශාල උත්සාහයක යෙදේ. හිට්ලර් විසින් ජර්මනියට සිදු කරන ලද විනාශය නැවත ප්‍රතිසංවිධානය කිරීමට වසර 300ක්වත් ගතවන බවට ජර්මානු ආණ්ඩුව ඇස්තමේන්තුගත කර තිබේ. 1931දී බලයට පත් වන හිට්ලර් විසින් 1945 වනවිට ජර්මනිය පස් ගොඩක් බවට පත් කරන ලද්දේය. ජර්මනියේ විසූ විවිධ වූ ජනයා සමූල ඝාතනය කරන ලද මුළු යුරෝපයේම විසූ යුදෙව් ජනයා මිලියන 30කට ආසන්න ප්‍රමාණයකි. ඔවුන්ව ගෑස් කාමරවල මරා දමන ලදී. ශතවර්ෂ ගණනාවක් තිස්සේ යුරෝපයේ ආර්ථිකය තුළ යුදෙව්වන් විසින් සිදු කරන ලද කාර්යයන් සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. යුරෝපය අද මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ එම ආර්ථිකය තුළින් යුදෙව්වන් ඉවත් කිරීමට හිට්ලර් ගත් මෝඩ තකතීරු තීන්දුවයි.

විශේෂයෙන් මැදපෙරදිග අද ඇති වී ඇති අස්ථාවරත්වයට හේතුවක් වන්නේ හිට්ලර්ගේ නැගීමයි. හිට්ලර් විසින් යුරෝපයේ යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද මෙම අමානුෂික සංහාරය නිසාවෙන් තමන්ගේ නිජ භූමියට සපැමිණි යුදෙව්වෝ මැදපෙරදිග ඊශ්‍රායලය ගොඩනගන ලදී. ඇමෙරිකාව හා ඊශ්‍රායලය නැග සිටීම අද ලෝකය එක්තරා ආකාරයක තර්ජනයක් ලෙස දකී. සැබැවින්ම ඇමෙරිකාව හා ඊශ්‍රායලය නැගී සිටීමට ප්‍රධාන වශයෙන්ම බලපාන ලද්දේ හිට්ලර්ගේ මෝඩ තකතීරු ක්‍රියාකලාපයයි.

ඉතින් මෙවැනි නායකයකු වෙනුවෙන් 'එවැනි නායකයකු වගේ වෙන්න' යැයි ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවේ බෞද්ධ සංඝ සමාජය යෝජනා කර සිටීම පුදුම සහගත කාරණයකි. ගෝඨාභය රාජපක්ෂගේ මුළු පදනමම විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගෙන් සැදී සිටින අතර, ඔවුන් විසින් ගොඩනැගීමට යන සමාජ, ආර්ථික වැඩපිළිවෙළ හිට්ලර්ගේ ආර්ථික හා සමාජ වැඩපිළිවෙළ යැයි මෙම බෞද්ධ භික්ෂූන් වහන්සේලා කල්පනා කරනවා විය හැකිය.

දේශපාලන නායකයෙකුට ක්‍රියාත්මක කිරීමට ඇති පහසුම හා හොඳම ක්‍රමයක් ලෙස, උන්වහන්සේගේ දේශනාවලට හා උන්වහන්සේගේ කල්පනාවලට අනුව මෙය ඉතාම බෞද්ධ විරෝධී වැඩපිළිවෙළකි. නමුත් ලංකාවේ සංඝ සමාජය කල්පනා කරනුයේ ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙකු රට පාලනය කළ යුතුය යනුවෙනි. යම් දේශපාලන බලවේගයකට අවශ්‍යතාවක් ඇති නම් ඉතාම පහසුවෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී අමානුෂික ක්‍රමවේදයකට ගමන් කළ හැකිය. මන්දයත් රාජ්‍ය තන්ත්‍රයේ සියලුම හමුදාවන් හා රාජ්‍ය තන්ත්‍රයේ බලය, ධනය සතුව ඇති දේශපාලන බලවේගයට ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජන ඝාතක උපකරණයක් ලෙස කටයුතු කිරීම ඉතාම පහසු කටයුත්තක් වේ. එමෙන්ම එවැනි ආකාරයේ රාජ්‍ය පාලනයක්ද එතරම් අපහසු නොවනු ඇත.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් සාමකාමීව සියලුම දෙනාගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් ඉටු කරමින් ඒවාට ගරු කරමින් කටයුතු කිරීම ඉතාම අපහසුය. මන්දයත් ප්‍රතිගාමී බලවේගවලට එම ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තුළ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව නිසාවෙනි. එවැනි දේශපාලන බලවේගයකට බලය පවත්වා ගැනීමම එක්තරා ආකාරයකට අභියෝගයක් හා ඉතාම අපහසු කටයුත්තක් වේ. මෙවැනි තත්ත්වයක් යහපාලන ආණ්ඩුව තුළ රටේ සුපිරි ප්‍රතිගාමී බලවේග සලකා බලනුයේ දුර්වල ආණ්ඩුවක් ලෙසයි. නමුත් යහපාලන ආණ්ඩුව කටයුතු කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වටිනාකම්වලට අනුවය.

මෙවැනි තත්ත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර්ට ඇන්දවීම සිංහල බෞද්ධ සමාජයේ, සිංහල බෞද්ධ මතය උඩු යටිකුරු කොට හොරෙන් සිට වීමක් වැනිය. මන්ද ගෝඨාභය හිට්ලර්ට ඇඳ ගැනීම තුළින් ගෝඨාභයට එරෙහිව මේ රටේ සියලුම බුද්ධිමත් බලවේග නැගී සිටිනු ඇත. එබැවින් ගෝඨාභයට නීත්‍යනුකූලව මේ රටේ බලයට පත් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව මාගේ තක්සේරුවයි.



Recommended Articles