ගාලුමුවදොර ආශ්‍රිතව 'ගෝඨාගෝගම' ජනපදය පිහිටුවා දැන් සති දෙකකට අධික කාලයක් ගත වී තිබේ. ශ්‍රී ලංකාවේ මහජන අරගලයකින් ප්‍රථමවරට පැනනැගුණු සංකල්පයක් වූ එය දිනෙන් දින නව අංග එකතුවෙමින් දියුණු වෙමින් පවතී. එනිසාම ගෝඨාගෝගම සහ ඒ අවට පිළිබඳ විමසුමක් කරන්නට අපි තීරණය කළෙමු.
පසුගිය අප්‍රේල් 09 වැනිදා 'ලංකාවම ගාලුමුවදොරට' යනුවෙන් ඇරඹුණු ගාලුමුවදොර විරෝධයට අතිවිශාල ජනතාවක් පැමිණියහ. එදින රාත්‍රී වනතුරුද එහි සිටි ඔවුහු මහ වැස්සේ තෙමුණහ. කෙසේ වුවද රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ හෙයින් එතැන තරුණයෝ 'අපි ආවේ යන්න නෙවෙයි' කියමින් එහි රෑ පහන් කළහ. මහ වැසි මැද තෙමුණහ. අවසානයේ එතැන රැඳී සිටි පිරිසට පහසුකම් සපයන්නටත්, නොතෙමී සිටින්නටත් ඉටිකොළ කිහිපයක් ඇද තනාගත් 'කුඩාරමකින්' ගෝඨාගෝගම ඇරඹිණි.
පසුදින (10දා) මූලිකව කඳවුරු කුඩාරම් කිහිපයක් ඇටවුණු අතර, 11 වෙනිදා උදෑසන වනවිට 'ගෝඨාගෝගම' නමින් නාමපුවරුවක්ද එල්ලනු ලැබිණි. එලෙස සරලව ආරම්භ කෙරුණු මෙහි දැන් දැන් නියම ආදර්ශ ගම්මානයක ඇති බොහෝ සාධනීය දේ තිබෙනු පෙනෙන්නට තිබේ.
එහි සංචාරය කරන ඇතැමුන්ට අනුව එහි ඇත්තේ කොමියුනිස්ට් සමාජයක ලක්ෂණයි. තවත් අයෙකුට අනුව මේ අනාගත ශ්‍රී ලංකාවේ නිර්මාණය වියයුතු සාධනීය සමාජයේ හරස්කඩකි. කෙසේ වුවද එහි දක්නට ඇති සාධනීය ලක්ෂණ බොහෝමයකි. සියලු දෙනාගේ මෙන්ම විවිධ අදහස්වලට ඉඩ ලැබෙන ගම්මානයක ස්වරූපය එහි උසුලයි. ලංකාවේ නා නා ප්‍රදේශවලින් පැමිණි, විවිධ දේශපාලනික සහ සමාජීය මතවාද දරන මෙන්ම විවිධ සමාජ ස්ථරවලට අයත් තරුණ තරුණියෝ එහි කඳවුරු ලා සිටිති. දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ අවශ්‍ය පරිදි අරගලයේ කටයුතුවලට දායක වන ඔවුහු ගිමන් නිවන්නට, පැය කිහිපයක නින්දක් ලබන්නට ගෝඨාගෝමට එති.
එමෙන්ම 'හැකි පමණ දී, අවශ්‍ය පමණ ගන්නා' සාමූහිකත්වයක් එහි තිබේ. එය මෙහි ඇති විශේෂතාවකි. පුස්තකාලයේද, ගබඩාවේද වෙනත් තැනකද කියා එහි වෙනසක් නැත. මේ පිළිබඳ මෑතක තිළිණ කුමාරසිංහ නමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අපූරු සටහනක් තබා තිබිණි. ගෝඨාගෝගම පිළිබඳ ආර්ථික විද්‍යා දෘෂ්ටියකින් බලන ඔහු 'ගෝඨාගෝගම ආර්ථිකය' යන හිසින් යුතුව ලියා තිබූ එම සටහනේ මෙලෙස දක්වා තිබිණි.
'ඇතැම් අය මෙය දකින්නේ කිසිදු නිෂ්පාදනයක් නොකෙරෙන අපූරු කොමියුනිස්ට් සමාජයක් ලෙසයි. නලින් ද සිල්වා විසින් ටික දවසකට කලින් කියා තිබුණේ ගෝඨාගෝගම නිෂ්පාදනය කරන්නේ ආතල් බවයි. මෙය සමච්චලයට කර තිබෙන ප්‍රකාශයක් විය හැකි වුවත්, ඒ ප්‍රකාශය පදනම් කරගෙන ගෝඨාගෝගම ආර්ථිකය වගේම ලංකාවේ ආර්ථිකයත් විස්තර කරන්න පුළුවන්.
ගෝඨාගෝගම කිසිදු නිෂ්පාදනයක් සිදු නොවන බව කියන නලින් ද සිල්වාද ඇතුළු අනෙකුත් අය එසේ කියන්නේ ද්‍රව්‍යවාදී, මාක්ස්වාදී අර්ථයකින්. ගෝඨාගෝගම කවුරුවත් තක්කාලි වවන්නේ නැහැ. තණ පිඩලි ගලවා මුං වපුරන්නේ නැහැ. අඩු වශයෙන් ළඟම තියෙන මුහුදට ගොස් මාළු අල්ලන්නේ නැහැ. කොටින්ම ගෝටාගෝගම කිසිදු ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. එහෙත්, සුළු වශයෙන් වුවත්, ද්වීතියික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට පිටි 'ආනයනය කරලා' රොටී හදද්දී එතැන නිෂ්පාදනයක් වෙනවා. අගය එකතු කිරීමක් වෙනවා.
භාණ්ඩ නිෂ්පාදනයක් ලොකුවට සිදු නොවුණත් ගෝඨාගෝගම ඇතුළේ සේවා නිෂ්පාදනයක් නම් ලොකුවටම සිදු වෙනවා. ගෝඨාගෝගම පුරවැසියන් වෛද්‍ය සේවා, අධ්‍යාපන සේවා, විනෝදාස්වාද සේවා, නීති සේවා, ආහාර බෙදාහැරීමේ සේවා, සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ සේවා, පිරිසුදු කිරීමේ සේවා ආදිය සපයනවා. ඒ කියන්නේ සැලකිය යුතු සේවා නිෂ්පාදනයක් මෙහි සිදු වෙනවා. ගෝඨාගෝගම වෙනම ආර්ථික ඒකකයක් සේ සැලකුවොත් එහි ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතයක් නැති තරම්. ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් නැති බව කියන අය එසේ කියන්නේ මාක්ස්-ලෙනින්වාදී පදනමක සිටයි. එහෙත්, එහි සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් තිබෙනවා.
කිසිදු ද්‍රව්‍යමය නිෂ්පාදනයක් සිදු නොකර රටකට හෝ ආර්ථික කලාපයකට පැවතිය හැකිද? ඉතා පැහැදිලි ලෙසම පුළුවන්. එසේ කළ නොහැක්කේ අදාළ ආර්ථික කලාපය සංවෘත ආර්ථික කලාපයක් නම් පමණයි. ටිකක් ලොකු ගෝඨාගෝගමක් වන සිංගප්පූරුවේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවන තරම්. එහෙත්, සිංගප්පූරුව ලෝකයේ රටවල් අතරින් ආහාර සුරක්ෂිතතාව වැඩිම රටක්. එහි රහස ලෝකයට විවෘත වීමයි.
ගෝඨාගෝගම ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක්. ප්‍රාග්ධනයට හෝ ශ්‍රමයට ගෝඨාගෝගමට හෝ එයින් පිටතට යාමට කිසිම බාධාවක් නැහැ. ගෝඨාගෝගම පුරවැසියෝ යම් පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ගෝඨාගෝගමෙන් පිට රැකියා කරන අය. ඒ අය ගෝඨාගෝගමෙන් පිට රැකියා කරලා ගෝඨාගෝගමට ශ්‍රමික ප්‍රේෂණ එවනවා. තව ඉන්නවා ගෝඨාගෝගමට එන විශාල සංචාරකයෝ පිරිසක්. ඒ අය ගෝඨාගෝගමට ඇවිත් තමන්ගේ සල්ලි වියදම් කරනවා'
උක්ත ප්‍රකාශය පරිදිම ගෝඨාගෝගමේ බොහෝ සේවා නිෂ්පාදන කෙරේ. ඒ වෙනුවෙන් වෙන වෙනම ස්ථාන සහ අංශද පිහිටුවා තිබේ. මීට අමතරව තවත් බොහෝ දෙයින් ගෝඨාගෝගම පෝෂිතය. කොටින්ම ඉවුම් පිහුම් ස්ථාන, පොදු නාන ස්ථානයක් ආදී මූලික පහසුකම් පවා එහි ස්ථාපිතය. පූර්ණකාලීනව එහි රැඳී අරගලයට දායකවන්නට කිසිවෙකුට බාධාවක් නැත. මූලික අවශ්‍යතා සියල්ල ගමෙන් සැපයෙයි. එනිසාම මහජන අරගලයක වඩා දියුණු තත්ත්වයක් ලෙස මේ ගෝඨාගෝගම හැඳින්විය හැකිය. ගෝල්ෆේස් ගෝඨාගෝගම අනුගමනය රට වටා තවත් අනු ගෝඨාගෝගම් කීපයක් බිහිවන්නට ඇත්තේද එනිසාම විය හැකිය.
මේ භූමියට නිශ්චිත හැඩයක්, නායකත්වයක් නැතත්, නිශ්චිත අරමුණක් තියෙනවා සුජිත් අන්නමලේ - සමාජ මාධ්‍ය ක්‍රියාකාරික
ගෝඨාගෝගම ආරම්භ වෙලා අදට දවස් දහතුනක් වෙනවා. මේක අරගල භූමියක්. රටේ සාමාන්‍ය පුරවැසියා තමන්ගෙ ජීවත්වීමේ අයිතිය ඉල්ලලා සටන් වදින අරගල භූමියක්. මේ භූමියට නිශ්චිත හැඩයක් නෑ නිශ්චිත නායකත්වයක් නෑ. හැබැයි නිශ්චිත අරමුණක් තියෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රාජපක්ෂ රෙජීමය සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි කියන එක. විවිධ මතවාද තියෙන විවිධ අදහස් තියෙන මිනිස්සු රටේ විවිධ පැතිවලින් මෙතනට ඒකරාශී වෙන්නෙ මේ අරමුණ මූලික කරගෙන. මේ අරගල භූමිය ඉතාම සාමකාමී තැනක්.
විවිධ සංස්කෘතික අංග මේ භූමියේ පැවැත්වෙනවා, ජන පරිත්‍යාගයෙන් හැදුණ පුස්තකාලයක් තියෙනවා, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඇතුළු සංවිධාන ඒ භූමියෙ ඉන්නවා ඒ අය අසනීප වෙන ජනතාවට ප්‍රතිකාර කරනවා. ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා. එළිමහන් රංග පීඨයක් තියෙනවා, දිනපතා එතන නාට්‍ය පෙන්නනවා. නීති උපදෙස් ලබාගන්න ඕන කෙනෙක් ඉන්නව නම් ඒ අයට වෙන්වුණ දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑම කෙනෙකුට මේ අරගල භූමිය විවෘතයි.
මේ අරගල භූමිය ඇතුළෙ ප්‍රශ්නයක් ඇති කරන්න විවිධ පාර්ශ්ව කඩාකප්පල්කාරී ක්‍රියා කරමින් ඉන්නවා. නමුත් මේ භූමියට ඒකරාශී වෙච්ච මිනිස්සුන්ගෙ අරමුණ ඊට වඩා ප්‍රබල නිසා ඒ හැම එකක්ම සාමකාමීව නවත්තගන්න මෙතන ඉන්න පිරිසට පුළුවන් වෙලා තියෙනවා.
ගෝඨාගෝගම සාමූහික, දියුණු ආදර්ශ ගම්මානයක් එම්.කේ.සී.පී. ශෂීන් - සමාජ මාධ්‍ය ක්‍රියාකාරික
පුංචි කුඩාරම් දෙකතුනකින් පටන්ගත්තු දේ දැන් සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් තරමට වර්ධනය වෙලා තියෙනවා. ඇත්තෙන්ම මේක 'නොනිදන අරගලයක්' විදියට කරගෙන යන්න අවශ්‍ය ක්‍රමවේදයක් තමයි මෙතන මුලින්ම හැදුණෙ. ඊටපස්සෙ මෙතන එක්කෙනෙක් ඇවිත් තේ හදන වැඩක් පටන්ගත්තා, තව කෙනෙක් එන අයට වතුර බෝතල් බෙදන්න පටන්ගත්තා, ඊටපස්සෙ කට්ටිය තම තමන්ගෙ පෞද්ගලික කුඩාරම් එහෙමත් අරගෙන මෙතනට ආවා. එතනින් පස්සෙ එකින් එක කොටසින් කොටස දියුණු වෙලා තමයි මේ තියෙන දියුණු තත්ත්වෙට ආවේ.
මේ වැඩේ මෙහෙම වෙනකොට විවිධ හේතූන් මත මෙතනට එන්න අපහසු අය හිටියා. ඒ අය කළේ මෙතනට අවශ්‍ය දේ සහ පහසුකම් සපයමින් මේකට දායක වුණ එක. ඒක දත් බුරුසුවේ, වතුර බෝතලේ ඉඳන් බේත්හේත් වෙනකං සැපයුවා. මේකෙ කවුරුවත් මඟපෙන්වන හෝ ඉල්ලීම් කරන අය හිටියෙ නෑ. මේ ඉන්න හැමෝම ස්වේච්ඡාවෙන් ආපු අය. වෛද්‍යවරු, සර්වෝදය ඇතුළු පාර්ශ්ව වෛද්‍ය සේවා සපයන්නෙත්, නීතිඥවරු නීති ආධාර සපයන්නෙත් කොටින්ම කවුරුහරි ඇවිත් වතුර බෝතලයක් බෙදන්නෙත් ස්වේච්ඡාවෙන්.
මේ හැමදෙයක් හරහාම සිද්ධ වුණේ මේ අරගලය එක් අරමුණක් ඔස්සේ ඉදිරියට අරන් යන්න පහසුකම් සලසන එකයි.
මේක ඇතුළෙ හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ සාමූහිකව. මොකද මෙතන ඉන්නවා විවිධ අදහස් තියෙන පිරිස්. තම තමන්ට මොන විදියේ පෞද්ගලික අදහස් හා මතවාද තිබුණත් මේ සියලු දෙනාම එකතු වෙලා ඉන්නෙ එක පොදු අරමුණක් වෙනුවෙන්.
එතකොට කිසි කෙනෙක් කාටවත් කියන්නෙ නෑ 'මෙහෙම කරන්න අරම කරන්න' කියලා, ඒ වගේම කවුරුවත් කාටවත් කියන්නෙත් නෑ 'එහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා' කියලත්. මොකක් හෝ ගැටලුවක් තියෙනවා නම් සාමූහිකව ඒක සාකච්ඡා කරලා විසඳගන්නවා. කළ යුතු වැඩක් නම් සාකච්ඡා කරලා ඉදිරියට අරන් යනවා. මේක පොදු සාමූහිකයක්. ඒ නිසාම හැමෝම දේවල් තේරුම් ගනිමින්, අන්‍යොන්‍ය අවබෝධයෙන් මේක කරගෙන යනවා.
මෙතන අවධාරණය කරන්න ඕනි දෙයක් තියෙනවා. දේශපාලනිකව වේවා, ආගමිකව වේවා, සමාජීයව වේවා වෙනස් වෙනස් අදහස් තියෙන, වෙනස් වෙනස් දර්ශනයන් සහිත පුද්ගලයො එකම අරමුණක් වෙනුවෙන් එකඟ වුණා සහ එකට හිටගත්තා. යම් යම් සංවාද විසංවාද තිබුණත් අවසානයේ මූලික අදහස එක්ක මේක ඉස්සරහට අරන් යන්න තරම් සංයමයක් මෙතන හැදුණා. ඒකයි ඉතා වැදගත්. ඒ නිසා මේක ඇත්තටම බොහොම දියුණු ආදර්ශ ගම්මානයක්. අපි විශ්වාස කරනවා අනාගත ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන්නෙත් මෙහෙම සමාජ සංකල්පයක්.
පුස්තකාලය
ගෝඨාගෝගම ආදර්ශ ගම්මානයේ ජන පරිත්‍යාගයෙන් පොත් කිහිපයකින් ආරම්භ කෙරුණු මෙම පුස්තකාලය දැන් පොත් දහසකට ආසන්න ප්‍රමාණයකින් පොහොසත්ය. එය කෙරතම්ද යත් මෑතකදී මේ පුස්තකාලයේ අතිරික්ත පොත් තොගයක් ගාල්ලේ පිහිටි ගෝඨාගෝගමටද පරිත්‍යාග කර තිබිණි. පුස්තකාලය ආරම්භ කළ දා පටන් අඛණ්ඩව එහි රැඳී සිටින තරුණ තරුණියන් පිරිසක් එහි එන ඕනෑම කෙනෙකුට බාධාවකින් තොරව පොත්පත් කියවීමේ අවකාශය තනාදෙමින් එය මනාව පවත්වාගෙන යයි.
සූර්ය විදුලි බලාගාරය
පුස්තකාලයට යාබදව පිහිටුවා ඇති මෙහි සූර්ය බලයෙන් දුරකථන ඇතුළු විදුලි උපකරණ ආරෝපණය (චාර්ජ්) කිරීමේ පහසුකම් සලසා තිබේ. අවැසි ඕනෑම මොහොතක එහි සේවාව නොමිලයේ ලබාගැනීමේ පහසුව ඕනෑම අයෙකුට හිමි වෙයි.
ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය
ගෝල්ෆේස් අරගලය හා සම්බන්ධ සියලු මාධ්‍ය මෙහෙයුම් වෙනුවෙන් එහි ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. දේශීය මෙන්ම විදේශීය මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු එහි සිදු කෙරෙයි. ජනමාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් එහි රැඳී සිටිමින් සිය කාර්යයන් සිදු කරන අතර, අරගලයේ නිරත පිරිස් සම්බන්ධීකරණ කටයුතුද එමඟින් සිදු කෙරෙයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව
සමාජ මාධ්‍ය හරහා පැනනැගුණු මෙම මහජන අරගලයට විවිධ අයුරින් දායක වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට මෙහි අවස්ථාව විවෘතව තිබේ. ඔවුහු සමාජ මාධ්‍ය හරහා අරගල භූමියට අවශ්‍ය දේ සම්බන්ධීකරණය කරති. එහි යටිතල පහසුකම් සැපයීම සහ වෙනත් ප්‍රවර්ධන කටයුතුද සිදු කරති. ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය සමග එක්ව එහි කටයුතුවලටද සහාය දෙති.
වෛද්‍ය සහ ප්‍රථමාධාර සේවා
සර්වෝදය, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ සාමාජිකයෝ කඳවුරු බැඳගෙන මෙහි ප්‍රථමාධාර කටයුතු සහ වෛද්‍යාධාර සැපයීම සිදු කරති. ස්වේච්ඡාවෙන් එහි පැමිණෙන වෛද්‍ය කණ්ඩායමක්ද දිවා රෑ නොබලා අරගලකරුවන්ගේ සෞඛ්‍ය ගැටලු වෙනුවෙන් කැප වී සිටිති. හදිසි ගිලන්රථ සේවාවක්ද එහි ස්ථාපිතය. මීට අමතරව ආයුර්වේද වෛද්‍ය කණ්ඩායම් දෙකක්ද එහි සිය වෛද්‍ය සේවා සපයති.
නීති ආධාර
මෙහි නීති ආධාර සැපයීමද සිදු කෙරෙයි. පුස්තකාලය පසෙකින් පිහිටි එක් කුටියක එක් නීතීඥ පිරිසක් සිය සේවා ලබාදෙති. එමෙන්ම තවත් පසෙක 'නීති ආධාර කාර්යාලය' නමින් තවත් වේදිකාවකි. ඒ තැන් දෙකෙහිම රැඳී සිටින නීතිඥයන් අරගලයට සම්බන්ධ කාරණාවලදී මෙන්ම එහි පැමිණෙන පිරිසට අවශ්‍ය නීතී ආධාර සැපයීමද සිදු කරති.
ස්මාරක
ගෝඨාගෝගම පිහිටුවූ ආසන්න කාලයේම එම භූමිය පසෙක ස්මාරකයක් තැනිණි. එය %ගෝඨාගෝගම ස්මාරකය^ ලෙස පොදුවේ හැඳින්වෙන අතර, සම්පූර්ණයෙන්ම අරගල භූමියේ භාවිතයෙන් ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිත කොට එය නිර්මාණය කිරීම විශේෂත්වයකි. එමෙන්ම පසුගියදා රඹුක්කනදී තරුණයෙකු මියයෑමේ සිද්ධියට සමගාමීව %නිරායුධ මිනිසුන් ඝාතනයට එරෙහිව^ ස්මාරකයක්ද නිර්මාණය කෙරිණි. තවද පාස්කු ප්‍රහාර සැමරුම් වෙනුවෙන් ඉකුත් 21 වැනිදා ගෝඨාගෝගමින් මුහුදු දෙසට වන්නට තවත් ස්මාරකයක් තනා තිබිණි. පාස්කු වින්දිතයන් අනුස්මරණය කරමින් එහි වැඩසටහනක්ද පැවැත්විණි.
ප්ලාස්ටික් එකතු කිරීමේ මධ්‍යස්ථානය
අරගල භූමියේ දිනකට හිස් වතුර බෝතල් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගැසෙයි. ඒ සඳහා ගෝඨාගෝගම වැසියන් විසඳුමක් සොයාගෙන තිබේ. එහි ඉවතලන ප්ලාස්ටික් එකතු කරන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. ඕනෑම අයෙකුට ඒ වෙත ඉවතලන ප්ලාස්ටික් භාරදිය හැකි අතර, ඒවා ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා යොමු කෙරෙයි.
මහජන වේදිකා
ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා පුරවැසි යෝජනා එකතු කිරීමද මෙහි වෙයි. පාර්ශ්ව කිහිපයක් විසින් විවිධ ක්‍රමවේද භාවිත කරමින් එය සිදු කරයි. තැනෙක විවෘත මයික්‍රෆෝනයකි. කැමති අයෙකුට එය රැගෙන තම අදහස පොදු මහජනතාවට කිව හැකිය. කිසිවෙකුගෙන් ඊට බාධා නැත. තවත් තැනෙක ලිඛිත යෝජනා භාරගැනෙයි. මේ ආකාරයෙන් පුරවැසියන්ට සක්‍රියව තම අදහස් බෙදාහදාගන්නට සහ ප්‍රකාශ කරන්ට තැන් කිහිපයක්ම එහි නිර්මාණය වී තිබේ.
මහජන සරසවිය
ගෝඨාගෝගමේ මහජන සරසවියක්ද වෙයි. එහි දිනපතා දැනුම බෙදාදෙන වැඩසටහන් සිදු කෙරෙයි. විවිධ විෂයයන් සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමැති විද්වතුන් කැඳවා එහි අධ්‍යාපනික වැඩසටහන් සිදු කෙරෙයි.
එළිමහන් රංග පීඨය
ගෝඨාගෝගමේ කලා, සංස්කෘතික සහ සෞන්දර්ය වැඩ කටයුතු සිදු කෙරෙන ප්‍රධානම ස්ථානය මෙයයි. මෙහි දිනපතා විවිධ සංස්කෘතික සහ කලා වැඩසටහන් සිදු කෙරෙයි. අරගලය තේමාත්මක වන නාට්‍ය, සංගීත වැඩසටහන්, ස්ටෑන්ඩ්අප් කොමඩි වැඩසටහන් ආදී විවිධ කලා කටයුතු එහි වෙයි.
සමිත් බෝධිපක්ෂ