අද (24දා) ලෝක සමූද්‍ර දිනයයි. ලංකාවේ පැවැත්මට සමූද්‍රය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අපට අවශ්‍ය ප්‍රෝටීන 70%ක් පමණ ලබාදෙනුයේද මුහුදින්ය. එමෙන්ම කිලෝමීටර් 1340කට අධික බිම් ප්‍රමාණයක් මුහුදු වෙරළ සතුව පවතී. එය ආරක්ෂා කර ගැනීම තුළින් මුහුදින් රට තුළට පැමිණෙන ව්‍යසනයන්ගෙන් ආරක්ෂා විය හැකිය. මුහුදින් වට වූ දූපතක් ලෙස ලංකාව පැවතියත්, කාලයක පටන් අප මුහුදට කරන නොමනා කටයුතු ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.
දේශගුණික විපර්යාස තුළින් වන හානි
මේ වනවිට ලෝක සමූද්‍ර පද්ධතියට ඇති තර්ජන අතුරින් ප්‍රධාන තර්ජනයක් ලෙස දේශගුණික විපර්යාස මගින් සිදුවන ගැටලු හැඳින්විය හැකියි. මුහුදු ඛාදනය, මුහුදු ගොඩගැලීම, මුහුදු අවට පරිසරය විනාශ වීම අපට දැකිය හැකි ප්‍රධාන ගැටලුවකි. එමෙන්ම කාබන්ඩයොක්සයිඩ් වාතයේ වැඩි වීම මුහුදේ උෂ්ණත්වය වැඩි වීමට හේතු වී තිබෙන අතර, එමගින් කොරල්පර විනාශ වීමද තවත් ගැටලුවකි. විශේෂයෙන් මහා බාධක කොරල්පරය අහිමි වීම, ලංකාවේ සමූද්‍රයට අයත් කොරල්පර වන හික්කඩුව, රූමස්සල වැනි ප්‍රදේශවල තිබෙන කොරල්පර විනාශ වී තිබීම මෙහිදී දැකිය හැකිය.
කැළි කසළ මුහුදට දැමීම
ලංකාවේ සමූද්‍ර දූෂණයෙන් 80%ක් පමණ සිදුවන්නේ ගොඩබිමෙනි. ගොඩබිමෙන් සමූද්‍රයට වන හානිය සමූද්‍රය තුළින් සිදුවන හානියට වඩා විශාලය. විශේෂයෙන් මෙහිදී මුහුදට ගලාබසින සෑම ගංගාවක්ම සහ එම ගංගාවලට ඇළදොළ හරහා පාලනයකින් තොරව ගලාගෙන පැමිණෙන අපද්‍රව්‍ය මුහුදට වැටීම මෙම තත්ත්වයට හේතු වේ. සමුද්‍රයට කැළි කසළ දමන රටවල් අතුරින් ප්‍රධාන රටක් ලෙස ලංකාව හඳුනාගෙන තිබේ. ඉන් යම් ප්‍රමාණයක් දිරාපත් වුවත්, බහුතරයක් වූ ප්ලාස්ටික් ප්‍රමාණයන්ගෙන් යම් කොටසක් බෙංගාල බොක්කට ගලා යයි. ඉතිරිය ලංකාව අවට සමූද්‍රයේ තැන්පත්ව පවතී. එමෙන්ම මුහුදට අපද්‍රව්‍ය දැමීම, කැළි කසළ දැමීම පළාත් පාලන ආයතන තුළින්ද සිදුකරයි. තවද 2017 වර්ෂයේදී ඉන්දියාවේ කේරළයේ ඇතිවුණු ගංවතුරින් ප්ලාස්ටික්, සිරිංජ ඇතුළු අපද්‍රව්‍ය ලංකාවේ පුත්තලම මුහුදු තීරයේ කිලෝමීටර් දහයක පමණ ප්‍රදේශයක් පුරා ගසාගෙන විත් තිබිණි. එවැනි සිදුවීම් නිසා ලංකාවේ මුහුද විශාල වශයෙන් දූෂණයට ලක් වී තිබේ.
වැලි කැණීම් තුළින් වන හානි
එමෙන්ම මුහුදු වැලි කැණීම හේතුවෙන්ද පසුගිය කාල සීමාව පුරා මුහුද දූෂණයට ලක් වූ බව විටින් විට කතාබහට ලක්විය. විශේෂයෙන් පරිසර අධ්‍යයනයකින් තොරව ගැඹුරු මුහුදෙන් වැලි ගැනීම සහ නිසි අධ්‍යයනවලින් තොරව විවිධ සංවර්ධන කටයුතු සිදුකිරීම තුළින් වෙරළ විනාශ වීම සිදුවේ. එමෙන්ම ගංගා තුළින් මුහුදට අවශ්‍ය වැලි නොපැමිණ කැළි කසළ පමණක් පැමිණීමද මෙහිදී දැකිය හැකි තවත් ප්‍රධාන ගැටලුවකි.
කලපු සහ කඩොලාන විනාශය
වැඩිපුර මත්ස්‍යයන් අල්ලා ගැනීම, රසදිය සහිත මත්ස්‍යයන් හමුවීම, කලපු විනාශය වැනි කාරණාද මෙම සමූද්‍ර දූෂණයට ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. විශේෂයෙන් මීගමු කලපුව, රැකව කලපුව, මැඩිල්ල කලපුව ඇතුළු ලංකාවේ සමුද්‍රීය පරිසරයට ඉතා වැදගත් මෙහෙයක් ලබාදෙන කලපු සියල්ලම මේ වනවිට විනාශ වෙමින් තිබේ. මුහුද වටේ තිබෙන කඩොලාන පද්ධතීන් තුළින් ලබාදෙන පෝෂණයෙන් මුහුද නිරන්තරයෙන් පෝෂණය වේ. එම කඩොලාන පද්ධති විනාශ කරමින්, මුහුදු තෘණබිම් සහ ඒ අවට ජීවත් වන ජීවින් විනාශ කරමින් සමූද්‍රයට විශාල හානියක් සිදුකර තිබේ. ලංකාවේ ආරක්ෂාවට තිබෙන වෙරළ සහ ලංකාවට තිබෙන ප්‍රධාන ප්‍රෝටීන සම්පත, කඩොලාන සියල්ල විනාශ කිරීම ඉදිරි වසර පහළොව තුළ මුහුදින් ඇතිවිය හැකි සියලු හානි සඳහා තදින් බලපෑ හැකිය.
තෙල් කාන්දු වීම් තුළින් වන හානි
ධීවර වරායන් තුළ තෙල් හැසිරවීම විශාල වශයෙන් සමූද්‍ර දූෂණය වීමට ඇති තවත් හේතුවකි. තෙල්වලින් සිදුවිය හැකි දූෂණ අවදානම යම් කාලයක පටන් ලංකාවේ සමූද්‍ර කලාපයට පවතින ගැටලුවකි. පසුගියදා ලෝකයේම අවධානය යොමු වූ %නිව් ඩයමන්ඩ්^ නෞකාවේ සිදුවීමත් සමග එවැනි විශාල ප්‍රමාණයේ තෙල් කාන්දුවක් සිදුවුවහොත් එය ලංකාවට දරා ගැනීමේ හැකියාව අවම මට්ටමක පවතින බව පැහැදිලි විය. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය අත්‍යාවශ්‍ය බව මෙහිදී හඳුනාගත් ගැටලුවකි. නිව් ඩයමන්ඩ් සිදුවීමේදී ලංකා රජය සතුව තිබෙන උපකරණවල හිඟතාවයද තදින්ම දැනෙන්නට විය.
සමූද්‍ර දූෂණය වැළැක්වීමට රජයේ පියවර
නැංගුරම්පොළවල්, ධීවර කටයුතු ඇතුළු නාවුක කටයුතුවලදී සමූද්‍ර දූෂණයෙන් 20෴ක් පමණ සිදු වේ. නාවික කටයුතු තුළින් සිදුවන සමූද්‍ර දූෂණය වැළැක්වීමට වැඩකටයුතු කිරීමට මෙහිදී ප්‍රධාන අවධානයක් ලබාදිය යුතුය. එයට පිළියමක් වශයෙන් සමුද්‍රය තුළ තෙල් හැසිරවීම් සිදුකරන ආයතන සහ නැව් මඟින් භාණ්ඩ ගෙන එන ආයතනවලට රජයේ රෙගුලාසිවලට අනුව එවැනි දෑ සිදුකිරීමට බලපත්‍ර ලබාදීම සිදුකරයි. ඒ සඳහා පරිශ්‍රයක් තුළ තෙල් විසිරීමක් සිදු වුවහොත් එය වළක්වා ගන්නේ කෙසේද යන සැලැස්ම, ඒ සඳහා භාවිත කරනු ලබන උපකරණ ඇතුළු දෑ ඉදිරිපත් කළ යුතු වේ. ධීවර වරායන් තුළින් වන හානි වළක්වා ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ධීවර වරායන්, තෙල් සංස්ථාව වැනි ආයතන සමග සම්බන්ධ වී අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර තිබේ. මෙහි තාක්ෂණික දැනුම සහ ප්‍රධාන මෙහෙයුම් කටයුතු සිදුවන්නේද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙනි. නමුත් ඇතැම් අවස්ථාවල එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවයන්ද ඇති වී තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකාර කළමනාකරු (මෙහෙයුම්) ඉන්දික අමරනායක මහතා පවසයි. මන්ද ධීවර වරායන්හී ප්‍රධාන අරමුණ සිය ධීවර කර්මාන්තය දියුණු කිරීම, මත්ස්‍ය අස්වැන්න වැඩි කර ගැනීම මිස සමුද්‍ර දූෂණය වළක්වා ගැනීම හෝ සමුද්‍රය ආරක්ෂා කරගැනීම නොවන නිසාය. නමුත් රටේ දියුණුවත් සමගම සමුද්‍රය රැක ගනිමින් ධීවර වරායන්, ධීවර කර්මාන්තය රැක ගැනීමට කටයුතු කළ යුතුය. සමුද්‍ර දූෂණය වළක්වා ගතහොත් ධීවර කර්මාන්තයේ තිරසර පැවැත්මක් ඇති කරගත හැක. ඒ සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් වෙනමම මාර්ගෝපදේශන කටයුතු නිර්මාණය කරමින් වැඩපිළිවෙළක් සිදුකරගෙන යයි. මීට අමතරව මුහුද සහ වෙරළ සම්බන්ධ විවිධ රජයේ ආයතන විසින්ද සමුද්‍ර දූෂණය වළක්වා ගැනීමට විවිධ වැඩසටහන්, ව්‍යාපෘති සිදුකරගෙන යමින් පවතී.
තවද විද්වත් කමිටුවක් මගින් "නිව් ඩයමන්ඩ්" සිදුවීම පිළිබඳ සාම්පල ලබාගෙන පර්යේෂණයක් සිදුකොට ඇති අතර, මේ වනවිට එහි වාර්තාව සැකසෙමින් පවතී. එම වාර්තාව ලැබෙනතුරු නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවුණු සමුද්‍ර හානිය කොතෙක්දැයි කිව නොහැක. එමෙන්ම පසුගිය කාලයේ රත්මලාන ආශ්‍රිත මුහුදේ තිබූ කොළ පැහැති පැල්ලම පිළිබඳවද සාම්පල ලබාගෙන පර්යේෂණයක් සිදුකර තිබේ. එය තෙල් කාන්දු වීමකින් සිදුවූවක් නොවන බවට සහකාර කළමනාකාරවරයා ප්‍රකාශ කර සිටියි. බොහෝවිට දියවැල්හි ක්‍රියාකාරීත්වය සහ සුළං රටාවත් සමග යම් ඇල්ගී විශේෂ සාගරයට පැමිණීමේ හැකියාවක් පවතී. එවැනි අවස්ථාවලදී එය විවිධ වර්ණයෙන් පැමිණිය හැකිය. රත්මලාන මුහුද තුළ පැවති එම පැල්ලමද ඉහත සඳහන් කළ ඇල්ගී විශේෂයකගේ පැමිණීමකින් සිදුවූවක් විය හැකි බවද ඔහු පවසයි.