ගොඩනැගිලි ඉදිකිරීමේදී බුද්ධියෙන් කටයුතු කරන්න


පසුගියදා දහසක් දෙනා බලා සිටියදී කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි හැටන් නෝර්වුඩ් මාර්ගයේ නිවැලිගම පෙදෙසේ නිවාස හතරක් කාසල්රි ජලාශයට ගිලා බැස්සේය. මේ ඒ සම්බන්ධයෙන් නුවරඑළිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ  ආයතනයේ දිස්ත්‍රික් කළමනාකරු, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතාගෙන් අද අප පාඨකයන් වෙනුවෙන් සිදුකළ විමසුමකි.


 
කඳුකරය එළිපෙහෙළි කර කඳු මත සිට  බෑවුම දක්වා නිවාස ගොඩනැගිලි ඉදිවෙන බව පෙනෙනවා. එය හානියක් නෙවෙයිද?
කඳුකරය කියන්නේ කඳු ප්‍රදේශ නිසා එවැනි තැන්වල ගොඩනැගිලි ඉදිකළ හැකි සමතලා බිම් අඩුයි. එවැනි අවස්ථාවලදී නියමිත අණපනත් තුළ කටයුතු කරමින් එවැනි ස්ථානයන්හි එම ඉදිකිරීම් කළ යුතුයි.
 
පසුගිය සතියේ  නෝර්වුඩ් මාර්ගයේ නිව්වැලිගම නිවාස හතරක් කාසල්රි ජලාශයට ගිලා බසින ආකාරය ජනතාව කම්පනයෙන් බලා සිටියා. ඒ සිදුවීම අනුව ඔබ ආයතනය කටයුතු කළ ආකාරය පළමුව පැහැදිලි කළොත්?
 
මෙම අනතුරු පිළිබඳ දැනුම්වත් වූ අවස්ථාවේ සිට අපට පෙර සූදානමක් තිබුණා. ඒ අනුව එම අවදානම් සහගත පවුල් එතැනින් ඉවත් කරන්න අපට හැකියාව ලැබුණා.
 
ඒ කියන්නේ ඔබ ආයතනය මේ ගැන පෙර නිරීක්ෂණයක් කර ජනතාව දැනුම්වත් කළාද?
 
ඔව්. මෙම පාර මතුපිට කුඩාවට ඉරිතැලීම් පිළිබඳ  දැනුම්වත්වීම් අනුව අප වරින්වර නිරීක්ෂණය කළා. ඒ අනුව  අපද විමසිල්ලෙන් සිටියා. එහිදී අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලීසිය සමගද කටයුතු කළා.
 
එතෙන්දී මෙම මස 8 වැනි දිනවන විට සැලකිය යුතු තරමින්  මෙහි ඉරිතැලීම් නිරීක්ෂණය කිරීමට හැකිවුණා. අප එහි පවතින අවදානම අනුව පදිංචිකරුවන් දැනුම්වත් කළා. ඒ අනුව ඔවුන්ට එම ස්ථානය පදිංචියට නුසුදුසු සහ අන්තරායකාරී බව පෙන්වා දුන්නා. ඔවුන් එම නිවෙස්වලින් ඉවත්ව ගලවාගත හැකි ජනෙල්දොරවල් වහල පවා ඉවත් කරගත්තා. අනතුරුව 14 වැනිදා වනවිට ගොඩනැගිල්ල ගැලවී කාසල්රි ජලයට කඩා වැටුණා.
 
එහෙම වුණේ ඇයි?
 
එය කෙටියෙන් සරලව පැහැදිලි කළ හැකි දෙයක් නෙවෙයි. නිරීක්ෂණයන් අනුව ජලාශයට ඇලවී පවතින ගලක් මත ඉදිකිරීම සහ ඒ යට ගලන දිය පහරවල් ගැන අවධානයෙන් සිටිනවා. අනෙක එතැන සානුවක්ද නෙවෙයි. බැලූ බැල්මටම එවැනි අවදානමක් ගැන කෙනෙකුට හිතන්න බැහැ. ඒකයි පොළවේ ශක්තිය ගැන සිතිය යුත්තේ.
 
සමහර විට රටේ වෙනත් ස්ථානවලද භූමියේ කොතැනක හෝ  ඉරිතැලීම්, ගිලාබැසීම් වැනි තැන් තිබෙනවා නම් විමසිල්ලෙන් සිටින ලෙස අවදානම් කලාප ඇති තැන්වල සිටින ජනතාවට පෙන්වා දිය යුතුයි. එවැනි අවදානමක් දුටුවහොත් පොලීසියට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අප්‍රමාදව දැනුවත් කරන්න. ප්‍රදේශයේ ග්‍රාමානිලධාරීවරයාට වුවද එය දැන්විය හැකියි. ඔවුන් අප්‍රමාදව ඒ සඳහා පියවර ගනියි.
අප ආයතනය දිවයිනේ කොතැනක හෝ මෙවැනි අවදානමක්  පවතින ප්‍රදේශවල ජනතාවට නිතරම සිහිපත් කරන දෙයක් තමයි සතියකට වරක් දෙකක්වත් එවැනි අවදානම ඇතැයි හැඟෙන තැන්වල බෑවුම් සහ ඉරිතැලීම් පිළිබඳ නිරීක්ෂණ කරන්න කියන එක. ඒ වගේම හදිසි උල්පත් මතුවීම හෝ සිඳීම හෝ භූමියේ පිහිටීමේ වෙනත් වෙනස්කමක් දුටුවොත් එය නොසලකා ඉන්න එපා.
 
මෙවැනි අවදානම් තැන්වල නිවාස ගොඩනැගිලි ඉදිකිරීමේදී ජනතාව අනුගමනය කළ යුතු යම් ක්‍රමවේදයක් තිබෙනවාද?
 
අවදානම් තැනක් යන කරුණ ගැන කතාකරන විට කඳුකරය පමණක් නෙවෙයි, ඕනෑම තැනක ගොඩනැගිල්ලක් ඉදිකරන විට ඒ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් කර ඉඩම මිලදී ගැනීම හෝ නිවස ඉදකිරීම ආරම්භ කිරීම  අනිවාර්යය දෙයක්. එහිදී කරුණු ගණනාවක් යටතේ මෙය සාකච්ඡා කළ යුතුයි.
 
අපි ගෙයක් හදන්නේ පරම්පරා ගණනාවක් ඉන්න අදහසින් නම් ඒ ගෙය දොස් නැති එකක් විය යුතුයි. එහෙම නම් පිහිටි තැන භූමිය ගැනත් අවධානය යොමු කළ යුතුයි. නමුත් එතෙන්දී වැඩිදෙනෙක් කරන්නේ අතේ තියන මුදලට ලාභයට ඉඩමක් මිලදී අරගෙන තමන්ට අවශ්‍ය පරිදි එතැන ගොඩනැගිල්ල හෝ කාමරයක් ඉදිකර ගන්නවා. අතට මුදල් ලැබෙන විදිහට පසුකාලීනව කොටස් එකතු කරගන්නවා. එහෙත් එතැන තියෙන භූ විද්‍යාත්මක පැත්ත ගැන හිතත්නෙ නැහැ. 
 
එහෙම අවදානමක් තියෙනවා නම් ඒ ගැන කුමක් කළ යුතුද?
 
තියෙනවා යැයි කෙනෙකුට ඇස් මට්ටමෙන් කියන්න බැරිව ඇති. නමුත් ඒ පිළිබඳ විධිමත් විද්‍යාත්මක හැදෑරීමක් කළ හැකියි. එවිට  මේ අවදානම පිළිබඳ යම් තක්සේරුවකට පැමිණිය හැකියි.
ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී අප විමසන අයට උපදේශනය ලබාදෙනවා. නමුත් එසේ විමසන අය අඩුයි. ඇතමුන් අප හමුවුවත් ඒ සැබවින්ම එවැනි උපදේශයක් ගතයුතු නිසා නෙවෙයි. වෙනත් යම් නෛතික අවශ්‍යතා වෙනුවෙන් සපෝටිං ඩොකියුමන්ට්ස් (සහාය ලේඛන) හැටියට වාර්තා ලබාගැනීම වෙනුවෙන් පමණයි.
 
ඒ ගැන තවත් පැහැදිලි කළොත්?
 
දැන් මෙහෙම හිතන්නකො. යමෙකු ගොඩනගිල්ලක් හදා ගැනීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට මූල්‍ය ආයතනයකට යනවා. එතෙන්දී ඉදිරිපත් කළ යුතු ලේඛන අතර ගොඩනැගිල්ල ඉදිකිරීමට අපේක්ෂිත භූමිය පිළිබඳ වාර්තාවක්ද ඉල්ලා සිටින අවස්ථා තිබෙනවා. ඒ වාර්තාව ලබා නොගෙන මූල්‍ය ආයතනය ණය දෙන්නේ නැහැ. අන්න එතෙන්දී අපේ වාර්තා ලබා ගැනීමට යොමු වෙනවා. එවැනි අවස්ථාවක හැර බොහෝවිට ඉදි කිරීම්වලදී මෙවැනි වාර්තා ලබා ගන්නා පිරිස අඩුයි.
 
මෙවැනි හැදෑරීමක් කෙරෙහි ජනතාව යොමු නොවන්නේ ඇයි?
 
එකක් මේ දේ සඳහා යම් වියදමක් දැරිය යුතුයි. අනික තවත් සමහරු මෙවැනි දේ වෙනුවෙන් මහන්සි වෙන්න කැමති නැහැ. තවත් සමහරු මගේ ඉඩම මට විශ්වාසයි යන තැන ඉන්නවා. වියදම ගැන කීවොත් එහිදී දැරීමට සිදුවන වියදම යම් මට්ටමකින් වැඩියි. පවතින මතය නිසා ඔවුන් එය අතහැර දමනවා.
 
මෙය පුද්ගලයාගේ ආර්ථිකය සමග ගැටෙන කරුණක්. ඒවා ප්‍රායෝගික ගැටලු හැටියට දකින්නත් පුළුවන් නේද?
 
වෙන්න පුළුවන්. අනික තවත් අය මුදල් අතේ තියාගෙන ගොඩනැගිලි ඉදිකිරීමට යොමු වෙනවා. එහිදී ඔවුන්ට මූල්‍ය ආයතන අවශ්‍ය නැහැ. තමන්ගේ සල්ලිවලින් වැඩේ කරනවා. එනිසා පළාත් පාලන ආයතනයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීමෙන් ඒ කටයුතු කළ හැකියි. එවිට එවැනි වාර්තාවක් ලබා ගැනීම ඔවුන්  බැහැර කරනවා. 
 
එනිසා අවශ්‍ය තැන්වලදී මෙවැනි දේ තමන්ගේ උත්සාහයෙන් ‍ සහ උනන්දුවෙන් කරගත යුතුයි. නිසි ආයතන මගින් ඔවුන් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්නවා නම් බොහෝ දුරට ප්‍රායෝගිකව මතුවන ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. අප හැමවිටම අවදානම පිළිබඳ අවදියෙන් සිටිය යුතුයි.
 
ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී පිළිපැදිය යුතු වෙනත් කරුණු පිළිබඳව සිහිපත් කළොත් ?
 
විශේෂයෙන් කිව යුත්තේ ගොඩනැගිල්ල ඉදිකරන භූමියේ පිහිටීම ශක්තිමත් විය යුතු බවයි. බෑවුම් කැපීම, හෑරීම, පස් පිරවීම, අනවශ්‍ය දැරිය නොහැකි බැමි බැඳීම් නොකළ යුතුයි. එවිට ශක්තිය අඩුවෙනවා. ඉහළින් ඇති නිවාස සහ ඉදිකිරීම ගහකොළටද එයින් සිදුවන හානිය ක්‍රමයෙන් පහළට හානිකර විය හැකියි. එය ඒ ඒ ස්ථාන අනුව වෙනස් විය හැකියි. අන්න එනිසායි මේ පිළිබඳ විධිමත් උපදෙස් ලබාගත යුතුයි කියන්නේ.
 
තවත් දෙයක්. මනා ජල බැස්මක් ඇති කිරීම  පහසුවෙන් කළ හැකි දෙයක්. උදැල්ලක් අරගෙන හැකි සෑමවිටම ඉඩම නිවස වටා මනා ජල බැස්මක් ඇතිවන පරිදි කානු ටික සකස් කරගන්න. එය කිරීමට අපහසුවක් නැහැයි කියා මම හිතනවා.
 
අනික කඳුකරයේ වුවත් ගොඩනැඟිලි ඉදිකිරීමේදී හැමවිටම බෑවුම නැති තැන් සොයා ගැනීමට උනන්දු වන්න. ඉදිකිරීම කරනවිට හැමවිටම පොළවේ ස්වභාවය සහ එහි මතුපිට ගැන අවධානය යොමු කරන්න. ඉදිකිරීමට අපේක්ෂා කරන ගොඩනැගිල්ලේ ප්‍රමාණයන් ගැනත් සිතන්න. එය මහපොළවට දරා ගැනීමේ හැකියාව ගැනත් සිතන්න. මහපොළව රැවටීමට කිසිවෙකුට හැකියාවක් නැහැනේ. 
නමුත් ගලක් මතුපිට ඉදිවෙන නිවස ශක්තිමත් යැයි අතැමුන් තුළ මතයක් තියෙනවා. 
 
ගල මතුපිට තිබුණාට  වැඩක් නැහැ. එය ගලත් සමග සම්බන්ධවන ආකාරයක් නැතිනම් ගල මතුපිටින් එය ලෙස්සා යනවා. යටින් දිය පහරවල් යා හැකියි. නිව්වැලිගම නිවාස එක් සාක්ෂියක්. ඉතින් මෙවැනි තාක්ෂණික කරුණු ගැන ගොඩනැගිල්ල ඉදිකිරීමේ අංශ සමග දැනුම්වත් වීම උපදෙස් ගැනීම අවශ්‍යයි. අනික එය ගලක් වුවත් ඒ ගැනත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි.
 
ඒනිසා හැමවිටම ඔබ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී බුද්ධිමත් තීරණයක් ගන්න. ඉඩමක් අඩු මුදලට ලැබුණ නිසා හෝ කොහාම හරි ගෙයක් හදා ගන්නවා කියන උත්සාහය හොඳයි. ඒත්  මිලදී ගන්නා ඉඩම සහ ඉදිකර ගන්නා නිවසේ ශක්තිය ආරක්ෂාව සහ ඇතිවිය හැකි අවදානම ගැන සිතන්න.
 
අපි හැමවිටම ජනතාවට කියන්නේ තමන්ට යම් නාය යෑමක, ගිලා බැසීමක අවදානමක් පෙනෙනවා නම් ඒ ගැන අදාළ අංශවලට දන්වන්න කියන එකයි. ඒත් සමහර දෙනා එවැනි දේ වසන් කරගෙන ඉන්නවා. ඒ අයට එයින් හානියක් වෙයි කියන අදහසින්.
 
සමහරවිට ලොකු ව්‍යාපාරිකයන් වුණත් ඒ දේ කළ හැකියි. මොකද එයින් තම හෝටලයට, ව්‍යාපාරික ආයතනයට පැමිණෙන පිරිස අඩුවෙයි කියන එක නිසා.
 එහෙම කළ යුතු නැහැ. අපි එවැනි අවස්ථාවලදී අපව දැනුම්වත් කළොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදෙනවා. එය   ජනතාව අතරට විපතක් යෑමට වඩා හොඳ නැද්ද? සිදුවන අයහපත් දේ සැඟවීමෙන් අර්බුදය තවත් අර්බුදයක් විය හැකියි.
 
අනික අපි හැමවිටම එවැනි අවස්ථාවලදී ඒ අයගේ රහස්‍යභාවය රකිනවා. නමුත් යම්තැනකදී ඒ ගොඩනැගිල්ලටත් හානි සිදුවී අවට ප්‍රදේශවලටත් තවත් හානි සිදුවන  බව පෙනෙනවා නම් අපි එතෙන්දී ඒ බව ඒ අයටත් කියනවා. එහෙම නැතිනම් විශාල හානි ගණනාවක් විය හැකියි. උපදේශනය අවශ්‍ය දෙයක්.
 
යම් හෙයකින් යම් තැනකින් ඉවත්ව යා යුතුම නම් උපදෙස් දුන් පසු ඒ පදිංචිකරුවන්ට සිදුවන්නේ කුමක්ද?
 
එහෙම වෙනකොට ඔවුන්ගේ ජීවනෝපායට ආර්ථිකයට අනුබලයක්වන වෙනත් හඳුනාගත් තැන්වලට ඔවුන් යැවීමට රජයේ අදාළ ආයතන කටයුතු කරනවා. කොහාම වුණත් අපි එවැනි අවදානම් ඇති ප්‍රදේශවල ජනතාව ඒ තැන්වලින් ඉවත්වන ලෙස උනන්දු කරවනවා. නිව්වැලිගම නිවැසියන්ටත් අපි ඒ උපදෙස් දුන්නා. ඒ නිසා ඔවුන් ජීවිත අනතුරකට පෙර කල් තියාම එතැනින් තමන්ගේ දේපොළ පමණක් නෙවෙයි ගොඩනැගිලිවල කොටස්ද ගලවාගෙන ඉවත් කරගත්තා. 
 
ජනතාවට වාසස්ථාන ඉදිකිරීමේදී යම් ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයන් පිළිබඳ ඔබ ඉඟියක් කළා. ඒගැන කෙටියෙන් පැහැදිලි කළොත්?
 
ඔව්. කාර්මිකකරණය,  සංවර්ධනය ඉඩම් අහේනිය සමග ඇතිවන තරගය නිසා මිනිසුන් පදිංචිවීම පිළිබඳ යම් අර්බුද ඇතිවෙනවා. ඒ නිසා නේවාසික ප්‍රදේශ, ව්‍යාපාරික ප්‍රදේශ, කර්මාන්ත ප්‍රදේශ, කෘෂිකාර්මික ප්‍රදේශ ආදී වශයෙන් ඒවා හඳුනාගෙන වෙන් කරන්නේ නම් බොහෝ දුරට පිරිසිදු පරිසරයක් සමග අප කියන යහපත් වාසස්ථාන සඳහා යොමුවිය හැකියි. 
 අදටත් ටෝකියෝ නගරය අවට පවා කෘෂිකාර්මික කටයුතු සිදුවෙනවා. හැමදෙයක්ම ඒ ඒ පුද්ගලයන්ගේ සමාජ ආර්ථික ක්‍රියාවලිය සමග තීරණය විය යුතුයි.
 
ඉඩම් මිලදී ගැනීමේදී ගැනුම්කරුවාට යම් වගකීමක් තියෙනවා නේද?
 
ඔව්. කෙනෙකුගෙන් යම් ඉඩමක් මිලදී ගන්නා විට  අඩු වටිනාකම හෝ එතැන කළ හැකි ඉදිරි ව්‍යාපාර ගැන පමණක් හිතන්න එපා. හොඳ වීව් එකක් තියෙනවා. අනාගතයේ හොඳ වටිනාකමක් ලැබෙයි යනුවෙන් හිතනවා වගේම, යම් දවසක එම ඉඩමට අදාළව සිදුවිය හැකි නාය යෑම් ස්වභාවික විපත් හෝ අනපේක්ෂිත දෑ ගැනත් හිතන්න.
 
වෙන්දේසි ඉඩම්වලට මෙවැනි සහතිකයක් තියෙනවාද ?
 
එවැනි දේ ගැනුම්කරුවාට පරීක්ෂා කර බැලිය හැකියි. උදාහරණයක් හැටියට සමහර වෙන්දේසි ඉඩම් ආශ්‍රිතව අපජලය බැහැර කිරීමේ යම් ගැටලු වාර්තා වෙනවා. එතෙන්දී ඒ ඉඩම් කට්ටි කරන අය අදාළ පළාත් පාලන ආයතනය සමග එකඟතාවක් අපද්‍රව්‍ය පද්ධතියක් සකස් කිරීම ගැන ඇතිකර ගන්නවා. එවැනි හැම මූලික පොදු අවශ්‍යතා සම්බන්ධයෙන් විමසා බැලිය හැකියි.
 
ඔබ සඳහන් කළ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වන සහතිකය පිළිබඳ මතක් කළොත්?
 
ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් සහතිකයක් අවශ්‍ය විටකදී එය ලබාදීම අප ආයතනය කරනවා. එය ගොඩනැගිලි  ඉදිකිරීම සඳහා භූමි යෝග්‍යතා සහතිකය, නමින් හඳුන්වනවා. මෙම වාර්තාව ආයතනයකින් ණය මුදල් ලබාගැනීම වැනි අවස්ථාවලදී ඉදිරිපත් කරන සහාය ලේඛනයක් ලෙස දැක්විය හැකියි. එහි අදාළ භූමිය පිළිබඳ උපදේශන වාර්තාවක් ඇතුළත් වෙනවා.
 
ඇතැම්විට මෙවැනි වාර්තාවක් ලබා ගැනීමට යම් අයෙකුට මුදල් වැය කළ නොහැකි යැයි අදහසක්ද තියෙනවා?
 
වෙන්න පුළුවන්. එහෙම වුණත් එහෙම හිතලා අවදානමට යොමුවිය යුතු නැහැ. වඩා සුදුසු ක්‍රම විකල්පයන් සහ අවශ්‍යතාව ගැන අදාළ ආයතන හමුවී දැනුම්වත් වන්න. හඳුනාගත් නාය යන ප්‍රදේශ ගැන මූලික අවබෝධය ලබා ගන්න.
 
ගහ කොළ සිටුවීම මගින් නාය යෑම් ආදිය පාලනය කළ හැකි යැයි යම් මතයක් තියෙනවා?
 
ගහකොළ ගැන කතාකළොත් ශාක වර්ධනය වන ආකාර දෙකක් තියෙනවා. එතෙන්දී ගස් නිසා නාය යනවා සහ ගහකොළ වැවුවොත් එවැනි හානි අවම වෙනවා කියන තර්ක දෙකද මතුවෙනවා. එවැනි දේ ගැන තීරණය කළ යුත්තේ ශාකය නිසා එහි මූල පද්ධතියේ වැඩීම, විසිර යෑම, ගස තිබෙන තැන බෑවුම, පසේ සංයුතිය, භූගත තත්ත්වයන්, පසේ ගනකම වගේම ඒ ඒ ශාක වර්ග අනුව ඒවා තීරණය කිරීමට සිදුවෙනවා. එහෙම තැනකදී සමහරවිට දැවැන්ත ගස් වුවත් කපා දැමීමට සිදුවිය හැකියි. 
 
එහෙම නම්  යම් පරීක්ෂණයකින් එම ස්ථානය සම්බන්ධයෙන් සත්‍ය වශයෙන්ම සහතික කළ වාර්තාවක් ලබාගත හැකිද?
 
සදාකාලික කිසිවක් නැහැනෙ. ඒ නිසා මහපොළව තුළ ඇතිවිය හැකි යම් තත්ත්වයන් තුළ අප පවසන දේ යම් කාලයකදී වෙනස්විය හැකියි. නමුත් ඒ සඳහා ඉවහල් වන වෙනත් සාධක සාක්ෂි තිබෙනවා. එය ගැඹුරින් අවධාරණය කළ යුතු දෙයක්. මොකද සමහර තත්ත්වයන් ආශ්‍රිතව නිරීක්ෂණය නොවෙනදේත් තිබිය හැකි නිසා. 
 
අවසාන වශයෙන් හැම පුරවැසියෙකුටම කළ හැකි මග පෙන්වීමක් තියෙනවාද?
 
මෙහෙමයි. හැමවිටම තමන්ට සුදුසු ඉඩමක් මිලදී ගැනීමේදී මහපොළව රවටන්න බැහැ. අපිමයි රැවටෙන්නෙ. ඒ නිසා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ඒ තැන කෙතරම් සුදුසුද යන කරුණු ගැන පැහැදිලි අවබෝධයෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. අවශ්‍ය දැනුම  සඳහා පළාත් පාලන ආයතන හෝ අපෙන් හෝ නිසි අංශ මගින් උපදෙස් ලබාගත හැකියි.
 
(සටහන- මධ්‍ය කඳුකරයේ නුවරඑළිය සිට මහනුවර දක්වා වන කිලෝමීටර 70 ක දුර අතර පිහිටි හැම නගරයක් තුළම භූමියත්, වාසස්ථාන සහ ව්‍යාපාරික අවස්ථාවන්ද ජය ගැනීමට තැනිතලා බිම් සොයා ගැනීමට ඇති නොහැකියාව එක් අර්බුදයක් බව නිරීක්ෂණය කළෙමු. ඒනිසා හැමවිටම අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ උපදෙස් ලබාගැනීම ගොඩනැගිලි ඉදිකිරීමේදී දැඩි අවධානය යොමු කළ යුතු කරුණක් බව සඳහන් කරමු. එනිසා ඉදිරියේදීත් මෙවැනි අවසනාවන්ත සිදුවීම් අසන්නට නම් අතපසු වූ දේ අමතක කර දමා කළ යුතු දේ අනුව විමසිලිමත්වීම ආරක්ෂාව වෙනුවෙන් ලැබෙන වගකීම් සහතිකයක් වනු ඇත. 
යම් වාර්තාවක් ලබා ගැනීමේදී යම් මුදලක් වැයකළ යුතු වුවද එහිදී වඩාත් උචිත උපදෙසක් ලබා ගැනීමට රාජ්‍ය ආයතන නිලාධාරීන් දක්වන උනන්දුව පැසසුමට ලක් කළ යුතුය)

 



Recommended Articles