පසුගිය සති කිහිපයේම මෙරට වෙරළ තීරයන්ට මිය ගිය කැස්බෑවුන්, ඩොල්ෆින් මසුන්, තල්මසුන් ගොඩගසනු දැකගන්නට ලැබිණ. කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යම් බලපෑමක් මේ සතුන්ගේ මිය යෑම පසුපස ඇති බවට මත ප්‍රකාශ වුණද ඒ කුමන හේතුවක් නිසාද යන්න තවමත් නිශ්චිතව පරීක්ෂණ වලින් තහවුරු කරගෙන නැත. මේ, මෙරට සමුදුරු ක්ෂීරපායීන් සම්බන්ධ විශේෂඥවරයෙකු වන සමුද්‍රජීවී විද්‍යාඥ රනිල් නානායක්කාර මහතා සමග ඒ සම්බන්ධයෙන් අප සිදුකළ සාකච්ඡාවකි.
ඊයේ (22දා) මොරටුව අඟුලාන වෙරළට Dwarf Sperm whale මත්ස්‍යයෙක් ගොඩ ගසා තිබුණා. මුහුදු ක්ෂීරපායී සතුන් ගත්තාම කොටස් දෙකකට බෙදෙනවා. සමහර විශේෂ ඉන්නවා ගොඩබිමට ආසන්නයේ ජීවත් වෙන අය. අනිත් අය ගැඹුරු මුහුදේයි ජීවත් වෙන්නේ. මේ Dwarf sperm whale මත්ස්‍යයින් ගැඹුරු මුහුදේ ජීවත් වෙන අය නිසා නිතර දැකගන්න අමාරු මත්ස්‍යයන් ලෙස දක්වන්න පුළුවන්. මොවුන් උපරිම ලොකු වෙන්නේ මීටර 2.2ක් වගේ දිගකටයි. මේ අනුව මේ මත්ස්‍යයා වැඩුණු මත්ස්‍යයෙක් බවයි පෙනී යන්නේ.
අපි පසුගිය දිනවල ගොඩගහපු ගැඹුරු මුහුද ආශ්‍රිතව දකින්නට ලැබෙන මත්ස්‍ය සිරුරු දිහා බැලුවාම දක්නට තිබෙන විශේෂ කාරණයක් තමයි උන්ව මෝරුන් විසින් ආහාරයට ගත් බවක් පෙන්නුම් කිරීම. මේ මත්ස්‍යයාගෙත් අපි බැලුවොත් මෝරෙක් ඌව ආහාරයට ගෙන ඇති බව පේනවා. මින් පෙර ගොඩ ගැසූ මත්ස්‍යයන්ගෙත් මම මෙවැනි ලක්ෂණ දැක්කා.
නමුත් ඇතැමුන් සඳහන් කරනවා මේ ගොඩගසන මසුන්ට කපුටෙකුවත් කොටන්නේ නැති බව?
ඇත්තටම ගොඩගසනු ලැබූ මත්ස්‍යයන් සම්බන්ධයෙන් එවැනි දෙයක් දකිනවා. නමුත් මුහුදේදි ඒ කියන්නේ මේ සතුන් මැරුණ අලුත මෝරුන් විසින් මේ සතුන්ව ආහාරයට ගෙන ඇති බවයි පෙනී යන්නේ. අපි බැලුවොත් මේ මත්ස්‍යයන්ව මෝරුන් විසින් කාල තිබෙන ආකාරය දත් පාරවල් වලින් හොඳින් දැකගන්න ලැබෙනවා. ගොඩබිමට මේ සිරුරු ගොඩ ගැසුවාම වෙනත් සතුන් උන්ව ආහාරයට ගන්නා තත්ත්වයක් පෙන්වන්නේ නැහැ කියන මතය ගැන බැලුවාම ඇතැම් සතුන් මෙවැනි මළකුණු වල යම් දෙයක් තිබෙනවා නම් ඒවා අහාරයට නොගෙන ඉන්නවා. ඒ වගේම කපුටන් හැම මාළු වර්ගයකටම කොටන්නේ නැති බවත් අපි දකින දෙයක්. නමුත් මේ මත්ස්‍යයන් නම් මෙහෙම මැරිලා ගොඩ ගහන එක සම්බන්ධයෙන් ලොකු හේතුවක් තියෙනවා.
අපි වැඩි වශයෙන් දකින්නේ ක්ෂීරපායී මත්ස්‍යයන් හා කැස්බෑවුන්ගේ සිරුරු ගොඩගහන තත්ත්වයක්. ඒ අනුව මේ සතුන් මුහුණ දෙන සුවිශේෂී පොදු ගැටලුවක් පවතින බවද මේ පෙනී යන්නේ?
ක්ෂීරපායී මත්ස්‍යයන් හා උරග ගණයට වැටෙන කැස්බෑවුන් තමයි අපි වැඩි වශයෙන් මේ තත්ත්වයට මුහුණ දීලා ඉන්න බව දකින්නේ. නමුත් ඇත්තටම මේ වෙරළට ගොඩ ගසන්නේ මිය යන ප්‍රමාණයෙන් ¼ක වගේ ප්‍රමාණයක්. මේ ප්‍රමාණයට වඩා සිව් ගුණයක් Sea currents වලට හසුවෙලා එක එක තැන්වලට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තවත් මත්ස්‍යයන් මිය ගිය පසු ගිලී යන්න පුළුවන්. ගැඹුරු මුහුදේ මිය යන සතුන් විශේෂයෙන් මේ වගේ ගිලිලා යන්න පුළුවන්. ඒ අනුව අපි දකින්නේ මිය ගිය මත්ස්‍යයන්ගෙන් ඉතාම සුළු ප්‍රමාණයක්.
මින් පෙර මෙලෙස මත්ස්‍යයන් මිය ගොස් වෙරළට ගොඩ ගැසූ අවස්ථා ඉතිහාසයේ තිබෙනවාද?
මම අවුරුදු 20ක් වැනි කාලයක් ඉන්දියාව අවට සාගරයේ පර්යේෂණ කරනවා. නමුත් කිසිම දිනක මෙවැනි තත්ත්වයක් අත්දැකලා නැහැ. ඇතැමුන් වාරකන් නිසා මෙහෙම වෙන්නේ කියනවා. නමුත් වාරකන් වලට සතෙක් දෙන්නෙක් ගොඩගැසුවත් මෙහෙම වැඩි සංඛ්‍යාවක් ගොඩගසා නැහැ. වාරකන් වලට මෙහෙම සත්තු ගොඩගහනවා නම් වාරකන් තත්ත්ව දෙකක් තුනක් යද්දී සත්තු ගොඩක් වඳ වෙලා යයි.
ඔබගේ විශේෂඥ දැනුම අනුව මේ සතුන් මිය යාම පිටුපස කුමන ආකාරයේ සාධකයක් ඇති බව කිව හැකිද?
පිච්චිලා කියනවාට වඩා අනිවාර්යෙන් යම් රසායනිකයක බලපෑමක් නිසයි මෙහෙම වෙන්නේ කියලා මට කියන්න පුළුවන්. මම සහභාගී වූ විශේෂඥ කමිටු වලදීත් සඳහන් කළේ අපි පුළුවන් තරම් ඉක්මනට පරීක්ෂණ කරලා ඒවායේ ප්‍රතිඵල ඉක්මනින් ගැනීමට අවශ්‍ය බවයි. එවිට අපි දන්නවා මේ සතුන් මිය යන්න නිශ්චිත හේතුව මොකක්ද කියලා. කොහොම වුණත් අපිට මේ සත්තු දිහා බැලුවාම නිශ්චිතව කියන්න පුළුවන් යම් රසායනික ද්‍රව්‍යයකට මේ සත්තු නිරාවරණය වී ඇති බව. නමුත් ඒ රසායනික වර්ගය මොකක්ද කියන එක අපි නිශ්චිතව හඳුනාගත යුතුයි. එවිට අපිට පුළුවන් නිශ්චිතව යම් පියවරක් ගන්න. උදාහරණයක් ලෙස A කියන රසායන ද්‍රව්‍ය මේ සතුන්ගේ මරණයට හේතුව කියලා හොයාගත්තොත් අපිට හඳුනාගන්න පුළුවන් එකී රසායනය නිසා ඇතිවන තත්ත්වයක් කියලා. දැන් අපිට කිසිම තොරතුරක් හෝ දත්තයක් නැතිව හරිම අමාරුයි එක එක ඒවාට ඇගිලි දික් කරන්න.
මේ පරීක්ෂණ වලට අපේ රටේ සම්පත් ප්‍රමාණවත් නැති බව ඇතැමුන් ප්‍රකාශ කරනවා. එහි සත්‍යයක් තිබේද?
පහසුකම් අපිට තියෙනවා. නමුත් හැමතැනම, හැම ආයතනයකම පහසුකම් තිබෙන රසායනාගාර නැහැ. රසායනික ඇනලයිස් කරගන්නට පුළුවන් රසායනාගාර කිහිපයක් අපිට තිබෙනවා. නමුත් හැමතැනම අපට පහසුකම් නෑ. ඒ වගේම අපි මේ මුහුණ දෙන තත්ත්වය අලුත්. මේ වෙලාවේ අපිට තිබෙන පහසුකම් එක්ක පර්යේෂණ වාර්තා යම් තරමකින් හරි එළියට දැම්මොත් මේ ක්ෂේත්‍රයේ වැඩකරන අයට වැඩකටයුතු කරගෙන යන්න පහසුවක් වේවි.
මේ වන විට මිය ගොස් තිබෙන මත්ස්‍යයන් සම්බන්ධයෙන් පවතින අලුත්ම තොරතුරු මොනවාද?
අපිට පොඩි රටාවක් මේ වන විට දැකගන්න පුළුවන්. මේ වෙනකන් මම අධ්‍යයනය කරන්න යොමු කෙරුණු මෙම සිද්ධියට අදාළව ගොඩගසන සතුන්ගෙන් කීපදෙනෙක් තමයි මාළු වර්ගවලට ඇතුළත් වුණේ. කැස්බෑවුන්, ඩොල්ෆින් මසුන් හා තල්මසුන් තමයි මට වැඩි වශයෙන් යොමු කර තිබුණේ. අපිට මේ තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ගැන අධ්‍යනය කළාම රටාවක් හඳුනාගත හැකියි. මේ නැවේ ප්‍රශ්නය සිදුවූ අලුත ගොඩ ගැසූ මිය ගිය මසුන් වුණේ ගොඩබිම ආසන්නව ජීවත් වන අයයි. දැන් නැත්නම් පසුගිය සති දෙකක හා තුනක කාලයේදී දකින්නේ %ගැඹුරු මුහුදේ ජීවත් වන මසුන්^ වර්ගයි. ඒ කියන්නේ Ocean species වර්ගයි. Sripe Dolphins, frasal Dolphins, Dwarf Whale bottle nose Dholphins වගේ ගොඩ ගැසූ සියලුම මත්ස්‍යයන් %ගැඹුරු මුහුදේ ජීවත් වන^ අයයි. මේ ව්‍යසනය සිදුවුණ අවස්ථාවේ ගොඩගැසුණේ Hump back dolphins වගේ ගොඩබිමට කිට්ටුව ජීවත් වන අයයි.
ඒ කියන්නේ ගැඹුරු මුහුද දක්වා යම් බලපෑමක් වී ඇති බවද?
අනිවාර්යෙන්ම. මට පේන විදිහට Sea Current එක යන විදිහට තව සතියක් දෙකක් තුනක් යනකොට සිංගප්පූරුව, ඉන්දුනීසියාව වගේ පැතිවලට මෙහි බලපෑම් යන්න පුළුවන්. අප්‍රිකාව පැත්තෙන් ඇවිත් ඉන්දුනීසියාව දක්වා යන දියවැල් ප්‍රවාහයක් තමයි මේ දිනවල තිබෙන්නේ. ඒ අනුව ඉන්දුනීසියාව පැත්තට තමයි දැන් මේ බලපෑම යමින් තිබෙන්නේ. ප්ලාස්ටික් කැටිති එම රටවල වෙරළවලට ගොඩ ගසාවි. රසායන ද්‍රව්‍ය නම් මුහුදු වතුරට කැලතිලා දවස් කීපයක් යනකොට ටොක්සික් ස්වභාවය අඩුවෙලා යාවි. නමුත් ඒ තත්ත්වයට යද්දී මත්ස්‍යයන්ගේ ශරීරයට මේ රසායනික ඇතුළු වෙලා තිබේවි.
ආහාරයට ගන්නා විශාල ප්‍රමාණයේ මාළුන් මිය ගොස් ඇති ස්වභාවයක් වාර්තා වෙන්නේ නැතිද?
මුල් දිනවල මෝරෙකු ගොඩ ගසා තිබුණා. ඒ හැර කරමල් වල ප්ලාස්ටික් බීඩ්ස් හිරවෙලා තිබුණු මාළු වර්ග ගොඩගසා තිබෙනවා දැක්කා. නමුත් මේ දක්වා මට වාර්තා වුණේ නැහැ මිය ගිය මාළු සම්බන්ධයෙන්. මෙයට එක් හේතුවක් වෙන්න පුළුවන් මාළුන්ව ආහාරයට ගන්න මත්ස්‍යයන් ගණනාවක් මුහුදේ සිටීම. ඒ අනුව මේ මිය ගිය මාළුන් තවත් මත්ස්‍යයෙකුගේ ආහාරයක් බවට පත්වෙන්න පුළුවන්. ඒ වගේම මිය ගිය මාළුන්ගේ ශරීර ප්‍රමාණය පොඩි නිසා මුහුදේ ගිලී යන්නත් පුළුවන්. දැනට ගල්ගුල්ලන් නමින් හඳුන්වන මාළු විශේෂයෙන් කිහිපදෙනෙකු ගොඩගසා තිබෙනු දැකගන්නට හැකි වුණා. බහුලව අපි දකින්නේ කැස්බෑවුන් හා ඩොල්ෆින් වර්ගයේ මත්ස්‍ය වර්ගයි.
මේ පරිසර විනාශය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයත් මේ වන විට යොමු වී තිබෙනවා?
ඔව්. පුළුවන් ඉක්මනට මේ සත්තුන්ගේ මරණ පරීක්ෂණ වාර්තා එළිදක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අනුව අපිට ගත යුතු පියවරක් ගන්න හැකි වේවි. මේ තිබෙන ප්‍රශ්නය අපිට තවදුරටත් ඇතිවීම වළක්වා ගන්න යමක් කරන්න පුළුවන් වේවි. නැවේ කන්ටේනර්වල තිබෙන ද්‍රව්‍ය රැසක් තවම මුහුදට එකතු වෙලා නැහැ. බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මුහුදට එකතුවෙලා තිබෙනවා කියලා අනුමාන කරන්නේ. ඒ වගේම නැවේ අන්තර්ගත වූ රසායනික මොනවද කියලා හරියටම අපි දන්නෙත් නැහැ. ඉතින් මේ මිය යන සත්තු දැක්කාම අපිට ලොකු දුකක් තියෙන්නේ. මේ සත්තු හරිම අහිංසකයි. උන්ට මෙහෙම වෙලා තියෙන්නේ අපෙන් සිදුවුණ දෙයක් නිසයි. ඒ නිසා මේ හානිය තවදුරටත් බලපාන්න නොදී වළක්වා ගන්න අවශ්‍ය කටයුතු සලස්වන්න කඩිනමින් ක්‍රියා කළ යුතුයි.