රාජ්‍ය සේවයේ ඇතිවී තිබෙන වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් රජයේ විධායක සේවා නිලධාරීන් 2018 වසරේ සිටම විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරමින් තිබේ. මේ නිසා රාජ්‍ය සේවා කටයුතුවලට විවිධ බාධා ඇතිවෙමින් තිබෙන අතර, අදාළ ගැටලුව විසඳීමට තවමත් කටයුතු කර නොමැති නිසා ඉදිරියේදීද වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට විධායක සේවාවල නිලධාරීන් අනතුරු අඟවා තිබේ. මේ පිළිබඳව අද රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සභාපති නිමල් කරුණාසිරි මහතා සමග කතාබහක නිරත විය.
වැටුප් ගැටලුව
රජයේ විධායක සේවා නිලධාරීන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතාව ඉවත් කරන්න කියලා අපි 2018 ඉඳලා රජයට යෝජනා ඉදිරිපත් කළා. මීට අමතරව පසුගිය වසරේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කළා. මේ අනුව අදාළ වැටුප් විෂමතා ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. එම කමිටු වාර්තාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන්නා. හැබැයි කාලයක් යනතෙක් එම වාර්තාවට අනුව කටයුතු කළේ නැහැ. මේ නිසා අප සංගමය ඇතුළු සංගම් කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කළා. ඉන්පසු රනුග්ගේ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරනවා කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා වෙනත් සේවා කිහිපයකට පමණක් වැටුප් ඉහළ දැමීමට තීරණය කළා. ඒ තුළින් රජයේ විධායක සේවා නිලධාරීන්ගේ ගැටලුවට විසඳුම් ලැබුණෙ නැහැ. ඒ නිසා වැටුප් ප්‍රශ්නය තවමත් තියෙනවා.
ආර්ථික අර්බුදයට ලක්වූ අවස්ථාවක වැටුප් ඉල්ලීම සාධාරණද?
අපි වැටුප් ඉහළ දමන්න කියලා රජයෙන් කිසිම අවස්ථාවක ඉල්ලීම් කරලා නැහැ. අපි ඉල්ලීම් කරලා තියෙන්නේ 2018 වසරේදී නීති ක්ෂේත්‍රයට පමණක් වැටුප් වැඩි කිරීමත් සමග විධායක සේවාවලට ඇතිවී තිබෙන වැටුප් විෂමතාව ඉවත් කරන්න කියලා විතරයි. මෙම ගැටලුව ඇති කළේ ආණ්ඩුව. මේ නිසා මෙම ගැටලු විසඳන්න ඕනත් ආණ්ඩුවෙන්. මේ ප්‍රශ්නය විසඳන්න කල්ගත වීම තුළින් සිදුවන්නේ තව තවත් ප්‍රශ්න ඇතිවීමයි.
ගැටලු විසඳා ගැනීම
අපි තවදුරටත් ආණ්ඩුව සමග සාකච්ඡා කරනවා. අපිට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න උවමනාවක් නැහැ. ඒක නිසා ආණ්ඩුව සිදුකරන්න ඕනේ අපේ ඉල්ලීම් ගැන සලකා බලලා සාධාරණ විසඳුමක් ලබාදීම. විධායක සේවාව ගත්තම රජයේ ඉහළම තීන්දු තීරණ ගන්නා ආයතනවල සේවය කරන පිරිස් ප්‍රමාණයෙන් තිස්පන්දහසකට වැඩියි. ඉදිරියේදී ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය තියෙනවා. නොවැම්බර් 16 වන දින ජනාධිපතිවරණය පැවැත්වෙනවා. මේ නිසා රාජ්‍ය සේවක ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් රාජ්‍ය නිලධාරීන්ද තීරණයක් ගනීවි.
විධායක නිලධාරීන්ගේ හා පරිපාලන සේවයේ දීමනා ඉහළ දැමීම
දීමනා ඉහළ දැමීමට රජය කැබිනට් තීන්දුවක් ගත්ත කියලා කිව්වා. හැබැයි අදාළ දීමනාව ලබාදීමට චක්‍ර‘ලේඛයක් නැහැ. ඊට අදාළ මුදල් සොයාගන්න ආකාරයක් නැහැ. ඒ වගේම දීමනාවක් ලබාදීම තුළින් වැටුප් ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව යෝජනා කරල තියෙන්නේ දැනට ලබාදෙන දීමනාවලට සුළු මුදලක් ලබාදීම. දීමනාව ලබාදීම යටතේ බලධාරීන් මුලින් එකඟ වුණා රුපියල් විසිපන්දහසක් දෙන්න. අදාළ මුදල ලබාදීමේදී පළමු අදියරේදී රුපියල් පහළොස් දහසක් (15,000) හා දෙවන අදියරේදී රුපියල් දසදහසක් ලබාදෙන්න එකඟ වුණා. හැබැයි ඒ එකඟතාව ක්‍රියාත්මක උනේ නැහැ. පොදුවේ රුපියල් තුන්දහසේ සිට පහළොස්දහස දක්වා දීමනා ලබාදීමට කැබිනට් තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ක්‍රියාත්මක කරන දිනයක් ගැනවත් දන්නෙ නැහැ.
රනුග්ගේ වාර්තාව
රනුග්ගේ කමිටු වාර්තාවට අනුව නීති ක්ෂේත්‍ර‘යේ වැටුප් වැඩි වීමට සාපේක්ෂව 86෴ක් බවට හෙළිවෙලා තියෙනවා. ඒත් රනුග්ගේ කමිටු වාර්තාවට අනුව වැටුප් විෂමතා ඉවත් කරන්න විධායක සේවාවලට 53%කින් වැටුප ඉහළ දමන්න කියලා යෝජනා කරලා තියෙනවා. එහෙම බැලුවම 33෴ක වැටුප් විෂමතාවක් තියෙනවා. මේ මොහොතේ මේ දේ කරන්න බැරිනම් කරන්න පුළුවන් දේ කරන්න. හැබැයි දීමනා ගත්තම නීති ක්ෂේත්‍රයට ලබාදෙන දීමනාව තුන්ලක්ෂ පනස්දහස (350,000) ඉක්මවලා තියෙනවා. දීමනා විෂමතා විසඳා ගැනීමට තමයි අපි මුලින්ම විසිපන්දහසක් ඉල්ලුවා. ඒ කියන්නේ නීති ක්ෂේත්‍රයට ලබාදෙන දීමනාවෙන් හතෙන් එකක්. ඒකවත් දෙන්න ආණ්ඩුව තවමත් නිහතමානී නැහැ.
වැටුපට සාපේක්ෂව සේවාවක් නොමැති වීම
රාජ්‍ය සේවය කාර්යක්ෂම හෝ ඵලදායී වෙන්න නම් රජය ඉදිරිපත් කළයුතු ක්‍ර‘මවේදයක් තියෙන්න ඕන. රාජ්‍ය සේවකයන් සේවය කරන්නේ රජය සකස් කරන වාර්ෂික සැලැස්මකට අනුවයි. රජය ලබාදෙන වාර්ෂික ඉලක්ක ගත්තම 70%කට වැඩි ප්‍රමාණයක් සපුරා ගන්නවා. එහෙම බැලුවම රාජ්‍ය සේවකයා ඔහුගේ වගකීම ඉටුකරලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට ඉලක්කයක් සහිතව වැඩ පැවරුවොත් ඒක සිදුකිරීමට කටයුතු කරනවා. යම් රාජ්‍ය සේවකයෙකුට වගකීම් ඉටුකිරීමට නොහැකි වනවා නම් එය සිදුවන්නේ අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් නිසා.
රාජ්‍ය ස්වකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම
රාජ්‍ය සේවක ප්‍රමාණය වැඩිද අඩුද කියලා අපි දන්නෙ නැහැ. මොකද ඒවා තීන්දු කරන්නේ ප්‍රතිපත්ති බලධාරීන්. රාජ්‍ය සේවයේ විධායක සේවාවල ඉන්නේ තිස්දහසකට අධික ප්‍රමාණයක්. ඒත් රාජ්‍ය සේවයේ කම්කරු මට්ටමේ තනතුරු ගත්තාම ගොඩක්ම ඉන්නේ දේශපාලනඥයන්ට පෝස්ටර් ගහපු එහෙමත් නැත්නම් දේශපාලන වැඩකටයුතුවලට වැඩකරපු අය. ඒ අයගෙන් රාජකාරියක් ඉටුකර ගන්න ගියහම සමහර අවස්ථාවලදී මම ඇමතිතුමාගේ මිනිහෙක්, මන්ත්‍රීතුමාගේ මිනිහෙක් කියන කතාව කියනවා. හැබැයි තීන්දු තීරණ ගන්නා මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අඩුයි. වෘත්තීයවේදීන් අඩුයි. එහෙම බැලුවම අවශ්‍ය සේවකයන් නැහැ. අනවශ්‍ය සේවකයන් වැඩියි. ඒවාට අපිට වගකියන්න බැහැ. උදාහරණයක් ලෙස ගත්තම ඉස්සර පන්ති කාමරය පාසල් මිදුල අතු ගෑවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒත් අද ඒ දේ කරන්න ඕනතරම් කම්කරුවෝ ඉන්නවා.
රටේ සම්පත්වලින් ප්‍ර‘යෝජනයක් නොගැනීම
රටේ සම්පත් උපයෝගී කරගෙන ව්‍යාපෘති කරන ආකාරය හා රටේ ආර්ථිකය දියුණු කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය නිලධාරීන් වාර්තා ලබාදෙනවා. රාජ්‍ය සේවකයන් වාර්ෂිකව තමන්ගේ යුතුකම් කරනවා. හැබැයි ඒ දේවල් කරන්න රටේ තීන්දු තීරණ ගන්න දේශපාලනඥයන් කටයුතු කරන්නේ නැහැ. රටට අවශ්‍ය සීනි ටික, ධාන්‍ය ටික, එළවළු ටික, පලතුරු ටික, කිරි ටික, සහල් ටික නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන් කියලා රාජ්‍ය නිලධාරීන් නිරතුරුවම වාර්තා දෙනවා. ඒත් ඒ දේ ක්‍රියාත්මක නොකර දේශපාලනඥයන් සෑමවිටම මේ දේවල් ඇතුළු රටට අවශ්‍ය බොහෝ දේවල් පිටරටින් ගෙන්වීමට කටයුතු කරනවා. වී ගොවිතැන හොඳින් කරනකොට රටින් සහල් ගෙන්වන්නේ දේශපාලනඥයන්. ලොකු ලූනු අස්වැන්න, අර්තාපල් අස්වැන්න එනකොටත් මේ දේම කරනවා. ඒකට අපිට වගකියන්න බැහැ.
විධායක සේවාවලට වැටුප් වැඩි වීමත් සමග පහළ ශ්‍රේණිවලට වැටුප් විෂමතා ඇතිවීම
අපේ ගැටලුව විසඳා ගැනීමට පමණක් අපි සටන් කරන්නේ නැහැ. වැටුප් ගැටලුවට විසඳුමක් ලෙස එක් එක් සේවාවලට වැටුප් වැඩි කරන්න එපා කියලා අපි රජයට යෝජනා කරලා තියෙනවා. අපි කියන්නේ කාටත් අසාධාරණයක් නොවන ආකාරයට වැටුප් ප්‍රතිපත්තියක් සකස් කරන්න කියලයි. පොදුවේ කියනවා නම් රටේම රාජ්‍ය සේවා වෙන වෙනම නැතිව එක් රාජ්‍ය සේවාවක් ලෙසට ක්‍රියාත්මක කරන්න ඕන. මෙවැනි ක්‍රමයක් හැදුවොත් අසාධාරණයක් නොවන ආකාරයට කාටත් සාධාරණ වැටුපක් වගේම දීමනා ලබාදෙන්න පුළුවන්. දැන් සිදුකරමින් තිබෙන්නේ ගුරු සේවය, වෛද්‍ය සේවාව කියලා විවිධ බෙදීම් ඇතිකරලා වැටුප් හා දීමනා ලබාදීමයි. මෙහෙම කරන්න ගියාම තමයි එක් සේවාවකට වැටුප් වැඩි කිරීමේදී, දීමනා වැඩි කිරීමේදී වැටුප් විෂමතා ඇතිවෙන්නේ. එක් රාජ්‍ය සේවාවක් සේ සලකා සියලුම දෙනාට සාධාරණ ආකාරයට වැටුප් හා දීමනා ලබාදීම තුළින් වැටුප් ගැටලු විසඳාගන්න පුළුවන්.
පළාත් රාජ්‍ය සේවාව
මේ රට කුඩා රටක්. පළාත් රාජ්‍ය සේවාව සැලකීමේදී උතුරු, දකුණ, බස්නාහිර, වයඹ, උතුරුමැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව කියලා බෙදාගෙන තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ පළාත් රාජ්‍ය සේවයේ කටයුතු සිදුවන්නේ පළාත් සභාවල නීතිරීතිවලට අනුව. මේ නිසා උතුරේ ඉන්න කෙනාට දකුණට එන්න බැහැ. දකුණේ කෙනාට උතුරට යන්න බැහැ. අන්තිමට බෙදීමක් ඇතිවෙනවා. මේ බෙදීම ඇතිකරලා තියෙන්නේ දේශපාලනඥයින්. හැබැයි ජනතාවට බෙදිලා ඉන්න බැහැ. දේශපාලනඥයෝ හිතන් ඉන්නවා ජනතාව තමන්ට ඡන්දය දුන්න නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.
රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප
රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප පිළිබඳව ගැටලුව 2016 වසරේ ඉඳලා ඇතිවෙලා තියෙන්නේ. මේක ඇති කළේ වර්තමාන ආණ්ඩුව. පූර්ණ විශ්‍රාම වැටුප 2016 වසරේ ඉඳලා අහෝසි කළා කියලා ආණ්ඩුව කිව්වා. හැබැයි විශ්‍රාම වැටුපක් ලබාදෙනවා කියලා තියෙනවා. ලබාදෙන්නේ කුමන ආකාරයේ විශ්‍රාම වැටුපක්ද යන්න ආණ්ඩුවට තාම තීරණය කරන්න බැරි වුණා. රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප අහිමි කළත් ඒ වෙනුවෙන් මාසික වැටුපෙන් මුදල් අය කරනවා. ඒ වගේම කියන්න ඕන රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප ගැන දේශපාලනඥයන් මහ ලොකුවට කතා කළත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා වසර පහකදී ලැබෙන විශ්‍රාම වැටුප එපා කියලා කවුරුවත් කියන්නේ නැහැ. මේ නිසා ආණ්ඩුව කඩිනමින් කියන්න ඕන රාජ්‍ය සේවකයාට ලබාදෙන්නේ කුමන ආකාරයේ විශ්‍රාම වැටුපක්ද කියලා.