මුජීබ් සහ අලි භූතෝ මරා දැමීමෙන් පසු පිළිවෙළින් පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ බලය අත්කරගත් ජෙනරාල් මුහම්මද් ශියා-උල්-හක් සහ ජෙනරාල් ශියාවුර් රහ්මාන් කෙරෙහි මොස්කව් පරිපාලනයට එතරම් පිළිගැනීමක් නොතිබුණි. මන්ද මොස්කව් පරිපාලනයේ තක්සේරුවට අනුව නායකයන් දෙදෙනාම සෝවියට් දේශයට වඩා එක්සත් ජනපදය දෙසට නැඹුරු වූ පුද්ගලයන් වූහ.
බලය ලබා ගැනීමෙන් පසු රහ්මාන්ගේ පළමු තීරණවලින් එකක් වූයේ රටේ ප්‍රධාන ආර්ථික මොඩලය සමාජවාදය වෙනුවට %ආර්ථික සාධාරණත්වය සහ සමානාත්මතාවය^ ලෙස වෙස් ගන්වමින් ධනවාදී ආර්ථික රටාවට ඉඩ ලබා දීමය. ඒ සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීම සහ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කළේය. ඒ වන විට බංග්ලාදේශයට අත්‍යවශ්‍යව තිබූ විදේශ ආධාර, බටහිරට (විශේෂයෙන් එක්සත් ජනපදයට), මුස්ලිම් රටවලට සහ චීනයට සමීප වීමෙන් පමණක් ලබා ගත හැකි බව රහ්මාන් දැඩිව විශ්වාස කරමින් කටයුතු කළේය. එය සෝවියට් සංගමයට එල්ල වූ බරපතළ අතුල් පහරක් විය. බංග්ලාදේශයේ දක්ෂිණාංශික සහ මාඕවාදී බලවේග ‘සෝවියට් සංගමය ප්‍රකෝප කිරීමේ හා අපකීර්තියට පත්කිරීමේ ව්‍යාපාරයක් ගෙන යන බව සෝවියට් සංගමයේ ප්‍රධාන පුවත්පතක් වූ ඉස්වෙස්ටියා 1977දී ප්‍රචාරය කළේය. පැවැති තත්ත්වය වෙනස් කිරීමේ උත්සාහයක් ලෙස මොස්කව් පරිපාලනය පියවර රාශියක් ගත්තේය. ඇමෙරිකානු හමුදාවට බංග්ලාදේශයේ සාම සාධක කටයුතු භාරදීම සඳහා වොෂින්ටනය සමග ශියා පාලන තන්ත්‍රය විසින් අත්සන් කරන ලද ගිවිසුමට එරෙහිව 1978 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී විශාල විරෝධතා පෙළපාළි මාලාවක් සංවිධානය කිරීමට කේජිබිය සමත් විය.
කේජිබි සංඛ්‍යා ලේඛනවලට අනුව, බංග්ලාදේශයේ රහස් මෙහෙයුම් ගණනාවක් 1978-1979 කාලවලදී ක්‍රියාත්මක කළේය. මිට්‍රෝඛින් ලේඛනවල පෙන්වාදෙන පරිදි, 1979දී බංග්ලාදේශයේ ප්‍රසිද්ධ වූ පුවත්පත්වල තමන්ට පක්ෂපාති ලිපි 101ක් ප්‍රසිද්ධ කිරීමට කේජිබිය සමත්වූ අතර, වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා රැස්වීම් හතළිස් හතරක් සංවිධානය කළේය. එම ව්‍යාජ ලිපිවල ප්‍රධාන තේමාව වූයේ ශියාවුර් රහ්මාන්ගේ පාලනයට එරෙහි සී.අයි.ඒ. කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. නිදසුනක් වශයෙන්, 1979 අගෝස්තු මාසයේදී තමන් බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට රහ්මාන් නියෝග කළේය. එසේම ගුවන් හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් මුහම්මද් ගුලාම් ටවාබ් සේවයෙන් පහ කිරීමට හේතු වූයේ ඔහු කුමන්ත්‍රණකරුන්වට සහාය දෙන බවට චෝදනා කරමිනි. නමුත් ඒ සඳහා යොදා ගෙන ඇත්තේ කේජිබිය විසින් සකස් කළ ව්‍යාජ ලිපියකි. එය කේජිබිය විසින් එවකට සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් වූ යූරි ඇන්ඩ්‍රොපොව්ගේ විශේෂ නිර්දේශය මත ක්‍රියාත්මක කළ මෙහෙයුමකි. ටවාබ් වෙස්මුහුණු දාගෙන සිටින සී.අයි.ඒ. නියෝජිතයෙකු ලෙස හඳුන්වමින් ව්‍යාජ පුවත් බංග්ලාදේශයේ පුවත්පත් සහ සඟරාවල පමණක් නොව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍යවලද පළ කිරීමට කේජිබිය කටයුතු කළ බව කේජිබි ලේඛනවල සඳහන් වේ.
මේ අතර රහ්මාන්ට එරෙහි දක්ෂිණාංශික විරුද්ධවාදියෙකු වූ හිටපු නියෝජ්‍ය අගමැති මොවුඩුඩ් අහමඩ් වෙත එක්සත් ජනපදයේ සහයෝගය සහතික කරමින් ඩකාහි සේවය කරන්නේ යැයි කියන සී.අයි.ඒ. නිලධාරියෙකු විසින් යවන ආකාරයේ ව්‍යාජ ලිපියක් කේජිබිය විසින් සකස් කර බෙදා හරිනු ලැබීය. මුජීබ් ඝාතනය කිරීමෙන් පසු ඉතාම කෙටි කාලයකට රටේ ජනාධිපති ලෙස කටයුතු කළ ඛෝන්දකර් මුස්ටාක් අහමඩ් වෙත එක්සත් ජනපදයේ රේගන් පරිපාලනය රාහ්මාන් එලවා දැමීම සඳහා සහයෝගය දක්වන බව සඳහන් කරමින් ව්‍යාජ තොරතුරු ජනගත කිරීමට කේජිබිය කටයුතු කළේය.
රහ්මාන් විසින් 1976 සිට 1980 දක්වා වූ කාලය තුළදී මුස්ටාක් අහමඩ් සිරගත කර තිබුණි. කෙසේ වෙතත් මොස්කව් පරිපාලනය සහ එහි ඔත්තු සේවය කෙතරම් ව්‍යාජ තොරතුරු ජනගත කළද ඒ සඳහා විශාල පිරිවැයක් දැරුවද එය ෂියා රහ්මාන් පරිපාලනයට සැලකිය යුතු දේශපාලනික බලපෑමක් කිරීමට සමත් වූයේ නැත. බොහෝ ස්වාධීන ආයතන විසින් සාධාරණ ලෙස පවත්වන ලද්දේ යැයි නිරීක්ෂණය කළ 1979 මහ මැතිවරණයේදී රහ්මාන්ගේ බංග්ලාදේශ ජාතික පක්ෂය සමස්ත ආසන 300න් 207ක් දිනා ගත්තේය. රහ්මාන් දේශපාලන බලය ලබාගත්තද රට තුළ පැවැති බොහෝ ආරවුල් විසඳීමට ඔහු අසමත් විය. කුමන්ත්‍රණ සහ ඝාතනය කිරීමේ සැලසුම් රාශියකින් ජීවිතය බේරා ගැනීමට හැකි වූ ඔහුගේ වසර පහකට අධික කාලය 1981 මැයි මාසයේදී අවසන් විය. ප්‍රාදේශීය හමුදා නායකයෙකු විසින් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් නිරීක්ෂණය කිරීමට චිතගොං ප්‍රදේශයේ සංචාරය කළ සංචාරයක් අතරතුර ශියාවුර් රහ්මාන් 1981 මැයි මස 29වැනිදා ඝාතනය කරනු ලැබීය.
කෙසේ නමුත් බංග්ලාදේශයේ සහ පාකිස්තානයේ කේජිබි මෙහෙයුම්වලින් එතරම් බලපෑම් කිරීමට නොහැකි වීමට හේතු වූ ප්‍රධාන කරණු දෙකක් හඳුනාගත හැකිය. පළමුවැන්න නම් 1970 දශකයේ අග භාගයේ සිට සෝවියට් සංගමය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීම සහ ඒ වෙනුවන් වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීමය. දෙවැන්න සෝවියට් දේශය ඉන්දියාව සමග පැවැත්වූ ශක්තිමත් සම්බන්ධතාව නිසා දකුණු ආසියානු කලාපයේ බොහෝ කටයුතු ඉන්දියාවේ වුවමනා එපාකම්වලට අනුව සිදුකිරීම සඳහා අවශ්‍ය නිදහස ලබාදීමයි. ඉන්දියාවේ ඔත්තු සේවාවන්වලට බංග්ලාදේශය නිර්මාණය කිරීමේදී තීරණාත්මක කාර්යක් ඉටු කිරීමට හැකිවූයේ එහි ප්‍රතිඵලය ලෙසය. ඒ සඳහා නිර්මාණය වූ දේශපාලන පසුබිම කෙටියෙන් හෝ පැහැදිලි කිරීම වැදගත් වන්නේ මෙහි ඇති ප්‍රමිතීන් ගැන නිවැරදිව අවබෝධ කරගැනීම සඳහාය.
1953 මාර්තු පස්වැනි දින වස දීමෙන් මරා දමනු ලැබූ ජෝෂෆ් ස්ටාලින් මිය යන තෙක් සෝවියට් සංගමය පාලනය කළ අතර, එම කාලය තුළදී සෝවියට් පරිපාලනය ඉන්දියාවට සැලකුවේ අධිරාජ්‍යවාදීන්ගේ රූකඩයක් ලෙසය. විශේෂයෙන් මහත්මා ගාන්ධිට එරෙහිව විශාල ප්‍රචාරණ ව්‍යාපෘතියක් සෝවියට් සංගමය ක්‍රියාත්මක කර තිබුණි.
&මහත්මා ගාන්ධි යනු ප්‍රතිගාමී පුද්ගලයෙකි. ජනතාව නිර්දය ලෙස පාවා දී ඔවුන්ට එරෙහිව අධිරාජ්‍යවාදීන්ට උදව් කළ කෙනෙකි. ඉන්දියානු නිදහසේ ආධාරකරුවෙකු සහ බ්‍රිතාන්‍යයන්ගේ සතුරෙකු ලෙස වෙස්වලාගෙන සිටිමින් වාචාල කතා කියන ආගමික අසමගිය පුළුල් කරන වානර තාපසයෙකි* සෝවියට් සමූහාණ්ඩුව විසින් මුද්‍රණය කර බෙදා හරිනු ලැබූ මහා සෝවියට් විශ්වකෝෂයේ මහත්මා ගාන්ධි ගැන සඳහන් කළේ එලෙසය. එහෙත් එම විවේචනය මනාව තේරුම් ගැනීමට ජවහල්ලාර් නේරු සමත් විය.
එනම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නිදහසින් පසු ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ ජවහල්ලාර් නේරු බලයෙන් පහ කර ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය බලයට ගෙන ඒම සඳහා මාන බලමින් සිටි සෝවියට් සංගමයේ විභවයන් ගැන නිවැරදිව තේරුම් ගැනීමට සහ සෝවියට් සංගමය තමන්ගේ පැත්තට හරවා ගැනීමට නේරු සමත් විය.
ස්ටාලින්වාදීන්ගේ ප්‍රහාර ගැන නොතකා නේරු, ‘සෝවියට් විප්ලවය විශාල පිම්මකින් මිනිස් සමාජය ඉදිරියට ගෙන ගොස් නිවාදැමිය නොහැකි දීප්තිමත් දැල්ලක් දැල්වූ බව සඳහන් කළේය. පසුකාලීනව සෝවියට් ලේඛකයන් විසින් නේරු ‘විසිවැනි සියවසේ හොඳම බුද්ධිමතුන් අතරට ශ්‍රේණිගත කළ ‘පතාක යෝධයෙකු ලෙස ප්‍රශංසාවට ලක් කළද, 1953දී ස්ටාලින් මියයන තුරුම ගාන්ධිට මෙන් තමන්ටද සෝවියට් පරිපාලනය ප්‍රතිගාමී ලෙස සලකනු ලැබූ බව නේරු හොඳින් දැනගෙන සිටියේය.
මේ නිසා බ්‍රිතාන්‍ය පරිපාලනය යටතේ සිටම ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයට මොස්කව් පරිපාලනයෙන් ලැබුණු සියලුම පණිවිඩවලට හොරෙන් ඇහුන්කන් දීමට නවදිල්ලි නුවර සිට ක්‍රියාත්මක වූ ඉන්දියාවේ ප්‍රථම ඔත්තු සේවාව වූ බුද්ධි ශාඛාව (අයී.බි.) කටයුතු කළේය. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වී ඉන්දියාව පාලනය කළ දාහත් වසර පුරාම ඉන්දියාවේ අගමැති ධුරය හොඹවනු ලැබූ නේරුගේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ බී.එන්. මුලික් සඳහන් කර ඇති පරිදි මොස්කව් වෙතින් නිකුත් කරන ලද සෑම පණිවිඩයකම සඳහන් කර ඇත්තේ &ප්‍රතිගාමී නේරු ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඉන්දියානු කොමියුනිස්ට්වාදීන්ට සහයෝගය දීමේ ඇති අවශ්‍යතාව සහ වැදගත්කමයි.*
මේ අතර 1951දී කිසිම තත්ත්වයක් යටතේ හෝ ආණ්ඩුව අතට හසු නොවිය යුතු යැයි සඳහන් කරමින් මොස්කව් පරිපාලනයෙන් ඉන්දියානු කොමියුනිස්ට්වාදීන්ට ලැබුණු නවතම උපදෙස්වල පිටපතක් මුලික් විසින් නේරු අගමැතිවරයාට ලබා දුන්නේය. එය කියවා බැලූ නේරු මහ හඬින් සිනාසෙමින් ප්‍රකාශ කර ඇත්තේ, &පෙනෙන විදිහට මොස්කව් ආණ්ඩුව අපේ බුද්ධි අංශය කෙතරම් බුද්ධිමත් දැයි නොදන්නා බවයි* කියාය.
ජෝෂෆ් ස්ටාලින්ගේ මරණයෙන් පසු කෙටි කාලයකට ජෝර්ජි මැලෙන්කොව් රටේ නායකත්වයට පත් විය. එය සෝවියට් සමුහාණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් විය. මැලෙන්කොව්ගේ කෙටි ධුර කාලයෙන් පසු 1953 සැප්තැම්බර් මාසයේදී නිකිටා කෘෂෙව් සෝවියට් සමුහාණ්ඩුවේ නායකයා බවට පත් විය. කෘෂෙව් ඒ වනවිට තෙවැනි ලෝකයේ රටවල සිදුවෙමින් පැවැති දේශපාලන පරිවර්තනය මනාව අවබෝධ කරගත් බවක් පෙනේ. 1955දී බැන්ඩුන්ග් සමුළුවේදී හැඩ ගැන්වූ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය බටහිර රටවලට එරෙහි තම මෙහෙයුමේ කොටස්කරුවෙකු ලෙස භාවිත කළ හැකි ආකාරය ගැන ඔහු කල්පනා කළේය. යුගෝස්ලාවියාවේ සමාජවාදී ෆෙඩරල් ජනරජයේ ජනාධිපති ජොසිප් බ්‍රොස් ටිටෝ සහ ඊජිප්තුවේ ජනාධිපති වූ ගමාල් අබ්දෙල් නසාර් සමග කෘෂෙව්ට තිබූ ඇයි හොඳයිය නොබැඳි ව්‍යාපාරයේ ප්‍රධාන නායකයෙකු ලෙස මතු වූ නේරු සමග දේශපාලන සහවාසයකට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ බව සඳහන් වේ. එය සාර්ථක දේශපාලන තීරණයක් විය.
1955දී කෘෂෙව් සහ ඔහුගේ අගමැති වූ බල්ගානින් ඉන්දියාවේ කළ සංචාරය දෙරට අතර පැවැති සැක සංකා බිඳ දමමින් ඉන්දු-සෝවියට් සබඳතාවල නව යුගයක් ආරම්භ කළේය. ඇත්ත වශයෙන්ම, ආසියාවේ සෝවියට් බලපෑමට එරෙහිව කටයුතු කිරීම සඳහා මූලෝපායික සඟයෙකු ලෙස එක්සත් ජනපදය පාකිස්තානය කෙරෙහි පමණක් දැඩිව විශ්වාසය තැබීම, ඉන්දියාවට සෝවියට් සමූහාණ්ඩුව සමග එකතු වීම සඳහා දිරිමත් කළේය. එසේම, 1960 දශකය වනවිට ඉන්දියාව සහ සෝවියට් සංගමයට තම රාජතාන්ත්‍රික සම්බන්ධතා මිත්‍රත්වයක් බවට පත් කර ගැනීම සඳහා පොදු සතුරෙකු සිටියේය. ඒ මාඕගේ චීනයයි. නමුත් කේජිබි ආයතනය ඉන්දියාවේ කටයුතු ගැන පෙර පරිදිම අවධානය යොමු කිරීමට සහ ඉන්දීය ජාතිකයන් තම තොරතුරුකරුවන් ලෙස භාවිත කිරීමට අමතක නොකළේය.
කේජිබිය විසින් සිය සුපුරුදු උපයාක් වූ සුන්දර රුසියානු කාන්තාවන් ලිංගික ගුණ්ඩු (හනි ට්‍රැප්) ලෙස භාවිත කරමින් මොස්කව්හි ඉන්දියානු තානාපති කාර්යාලයේ අභ්‍යන්තර කටයුතුවලට කෙතරම් ගැඹුරින් සම්බන්ධ වී තිබුණේද යන්න බොහෝ කාලයක් යන තෙක් නේරු හෝ ඔහුගේ බුද්ධි අංශය වූ බුද්ධි ශාඛාව වටහා ගෙන නොතිබුණි. ප්‍රොඛෝර් නමැති ඛේත නාමයෙන් හඳුන්වනු ලැබූ ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු තම පාලනයට ගැනීම සඳහා කේජිබිය විසින් නෙවෙරෝනා නමැති ඛේත නාමයෙන් හඳුන්වනු ලැබූ රුසියානු ස්ත්‍රිය ලිංගික ගුණ්ඩුවක් ලෙස භාවිත කළේය. ඔහුට ඉන්දීය රුපියල් 1000ක මාසික දීමනාවක් ලැබුණු අතර, 1954දී එය රුපියල් 4,000ක් දක්වා වැඩි කළේය. ඔහු තානාපති කාර්යාලයේ ඛේත ඇතුළත් පොත ඇතුළු ලිපිගොනු සහ වෙනත් තොරතුරු රාශියක් කේජිබිය වෙත ලබා දෙනු ලැබීය. රේඩාර් නමැති ඛේත නාමයෙන් හඳුන්වනු ලැබූ තවත් ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු 1956දී බඳවා ගත් අතර, ණය බරකින් සිරවී සිටි ආතර් නමැති ඛේත නාමයෙන් හඳුන්වනු ලැබූ ඉන්දීය තානාපති කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ අයෙකුද 1957දී තම නියෝජිතයෙකු ලෙස බඳවා ගැනීමට කළු කඩකාරයෙකු ලෙස වෙස්වලාගෙන සිටි කේජිබි නිලධාරියෙකු සමත් විය.
1950 සහ 1960 දශකයන්වලදී ඉන්දියාවේ කෙජිබි මෙහෙයුම් ව්‍යාප්ත වීමත් සමග ඉන්දීය බුද්ධි අංශයද ඉන්දීය කොමුනිස්ට්වාදීන් අතරට රිංගා ගැනීමට සමත් වී සිටියේය. එක් කේජිබි වාර්තාවක සඳහන් පරිදි, පසු කාලයකදී බෙංගාල කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් බවට පත් වූ ප්‍රොමෝද් දාස් ගුප්තා පිළිබඳ විමර්ශනයකදී, ඔහු 1947 තරම් ඈත කාලයකදී ඉන්දීය බුද්ධි අංශය විසින් තම නියෝජිතයෙකු ලෙස බඳවාගෙන ඇති බව හෙළිවී ඇත.
සේයාරුව - නේරු විසින් සෝවියට් සංගමයේ කළ පළමු සංචාරය (එහිදී ඔහු දින 16ක් ඇතුළත කිලෝමීටර් 13,000ක් පමණ ආවරණය කළ බව සඳහන් වේ.)
සටහන - නිලන්ත ඉලංගමුව
අටවන කොටස සඳුදා දින බලාපොරොත්තු වන්න
හත්වන කොටස කියවීම සඳහා පිවිසෙන්න click here - https://bit.ly/3ei2yWG