ඉපැරණි ග්‍රීසියේ මිනිසුන් නිරුවතින් දිවීම ඇතුළු ක්‍රීඩා කළේ ඇයි? නිරුවත් කලා නිර්මාණ බිහි කළේ ඇයි? යන්න බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. ඉපැරණි ග්‍රීසිය තුළ නිරුවත සම්න්ධයෙන් තිබුණු හැඟීම නූතන අදහසින් අර්ථගැන්වීමට අපහසු වේ. නිරුවත් සිරුර සම්බන්ධයෙන් පැරණි ග්‍රීසියේ පැවතියේ පූජනීය තත්ත්වයකි.
ග්‍රීසියේ ආරම්භ වූ බොහෝ ඔලිම්පික් තරග රැසක් පැවැත්වුණේ නිරුවතිනි. එසේම, ක්‍රීඩා පුහුණුව සිදු වුණේ ද නිරුවතිනි. අදත් ක්රීඩාගාර සඳහා යෙදෙන ජිම් හෙවත් ජිම්නේසියම් යන්නෙහි අරුත නිරුවතින් ක්‍රීඩාව පුහුණුව ස්ථානය යන්නයි. ජිම්නේසියම් යන වචනය සෑදෙන gymos යන්නෙහි අරුත වන්නේ ඇඳුම් නොහැඳීම යන්නයි.
නිරුවත සඳහා ග්‍රීකයන් මේ තරම් ප්රමුඛත්වයක් දීමට හේතු වූයේ ඔවුන් අඩෝනිස් නම් දෙවියා නිසා මිනිස් ශරීරයේ ඇති සුන්දරත්වය පිළිබඳ තැබූ විශ්වාසයත්, සොබා දහම සම. එහි ඇති සමාවායත් යන කරුණුය. නිරුවත මේ තරමින් උත්කර්ෂයට නැගූ ශිෂ්ටාචාරයක් ග්‍රීසියට පෙර හමු නොවේ. ග්‍රීකයන්ට පෙර ඇසිරියන්වරුන් නිරුවත් සිරුරු ප්රතිමාවලට නගා තිබුණ ද ඒවා හුදෙක් යුද්ධයෙන් විනාශයට පත්කරන ලද සතුරන්ගේ සිරුරු අවමානයට ලක් කිරීමේ අරමුණින් සිදු වූ ඒවාය. එහෙත්, ග්‍රීකයන් නිරුවත් සිරුරු මූර්තිමත් කළේ අලංකාරය ඉස්මතු වන ආකාරයෙනි.
ග්‍රීකයන් නිරුවතින් යුද්ධයට ගියේ නැත. එහෙත්, යුද්ධයේදී ඇද වැටුණු වීරයන් ද චිත්රණය කර තිබුණේ නිරුවතිනි. එසේම, සාමාන්‍ය ජීවිතයේ දී ද නිරුවතින් මිනිසුන් හැසුරුණු ආකාරය පිළිබඳ සාක්ෂි නොමැත. එහෙත්, කලාවේ දී සහ ක්‍රීඩාවේ දී නිරුවත ප්රමුඛත්වයට ගැනීමට විශේෂිත තත්ත්වයකි. අතීත ග්‍රීසිය තුළ දී නිරුවත යනු වීරත්වයහා බැඳුණු යමක් විය (Heroicnudity) .
සාමාන්‍ය මිනිසුන් පමණක් නොව දෙවියන්ගේ ද නිරුවත් රූප ඇඳීමට ග්‍රීකයෝ කටයුතු කළහ. උදාහරණයක් ලෙස ඇපලෝ, සියුස්, පොසෙයිඩන් වැනි දෙවිවරුන්ගේ නිරුවත් දේවරූප ඉපැරණි ග්‍රීසියෙන් හමු වෙයි. මෙහි දී වැඩි වශයෙන් ම නිර්මාණය වී ඇත්තේ නිරුවත් පිරිමි රූපයි. නිරුවත් කාන්තා රූප අඹා ඇත්තේ ඉතා අඩු වශයෙනි.
කෙනත් ක්ලාර්ක් වැනි කලා ඉතිහාසය පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන්නේ ග්‍රීකයන් විසින් නිරුවත පාදක කර ගනිමින් මානව ශිෂ්ටාචාරය වෙත නව කලා මාදිලියක් තිළිණ කළ බවයි. එය ඔහු සමාන කරන්නේ 17 වැනි සියවසේ දී ඉතාලිය පාදක කර ගනිමින් ඔපෙරා කලාව නිර්මාණය වීමටයි.
ග්‍රීක නිරුවත් රූප කලාව පසු කාලයක දී රෝම ශිෂ්ටාචාරයට ද බලපෑවේය. එය රෝම ශිෂ්ටාචාරයෙන් නොනැවතී යුරෝපයේ පුනරුද යුගය දක්වා පැමිණියේය. මයිකල් ආන්ජලෝගේ නිරුවත් ආදම්ගේ රූපය එම ග්‍රීක ආභාසය ඔස්සේ ලැබුණකි. එහෙත් පසුකාලයක දී එංගලන්තයේ වික්ටෝරියා මහරැජිනගේ පාලන කාලය තුළ නිරුවත යනු පිළිකුල් සහගත දෙයක් ලෙස බැහැර කෙරිණි. එම වික්ටෝරියානු අදහස යුරෝපය තුළ දීර්ඝ කලක් අධිගෘහිතව පැවතිණ.