සටහන සහ සේයා රූ- ලාල් ජයසුන්දර
ශ්‍රී ලංකාවේ සමස්ත දියර කිරි නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් ලබාදෙනුයේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනක සුන්දර කඳුකරයෙන් යැයි කීවොත් එය මෙතෙක් ඔබ නොදත් පුවතක් විය හැකිය. එය ප්‍රමාණයෙන් 37%කි.
මේ පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම පළාතේ සත්්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කේ.පී.එම්.ආර්. රාජනායක මහත්මිය මෙසේ පැවසුවාය.
“මධ්‍යම පළාත තුළ සත්ත්ව පාලනයේ නිරත ගොවි පවුල් 60000ක් පමණ ඉන්නවා. ගවයන් 150000 පමණ සිටිනවා. මී ගවයන් ගත්තොත් සතුන් 10000ක් පමණ ඇති. පවතින වසංගත තත්ත්වය යටතේ වුවද දෙපාර්තමේන්තුවක් වශයෙන් මෙම නිෂ්පාදන තත්ත්වයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සෑම ක්‍රියා මාර්ගයක්ම ගනිමින් සිටිනවා. එතෙන්දී අප දියත් කළ වැඩසටහන් සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලසුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේ පශූ වෛද්‍ය මධ්‍යස්ථාන කටයුතු කරමින් සිටිනවා. අප කියනවාට වඩා ක්ෂේත්‍රයෙන් ඒ අවබෝධය ලබාගත හැකියි.”
මේ එසේ ගව පාලනයෙන් දිවිය ජයගත් මධ්‍යම පළාතේ වෙසෙන ව්‍යවසායකයන් තිදෙනෙකු පිළිබඳ තොරතුරු බිඳකි.
ප්‍රියන්ත ලසිත බණ්ඩාර
මහනුවර, මාරස්සන, නිකතැන්න, 414 ප්‍රදේශයේ වෙසෙන ප්‍රියන්ත ලසිත බණ්ඩාර හේරත් මහතා දැනට ඉතා සාර්ථක ලෙස කිරි ගොවිපොළක් පවත්වාගෙන යන ව්‍යවසායකයෙකි. මහනුවර සිට, කන්ද හන්දිය, කොළඹිස්ස මුරපොළ ඇළ පාරේ කි.මී. 2 ක දුර ගෙවා පැමිණි විට ඔහුගේ ගොවිපොළ හමුවේ.
“මට අවුරුදු 25යි. මහනුවර විද්‍යාර්ථ විදුහලෙන් වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වුණා. ගොවිපොළ ආරම්භ කළේ 2016දී. අලුත් වැඩක් පටන් ගන්නකොට මුහුණදිය යුතු ගැටලු ගණනාවක් මටත් මතු වුණා. ඒ හැම අභියෝගයකටම මුහුණ දුන්නා.
ගොවිපොළ පිහිටි භූමි ප්‍රදේශයට යම් කාලවලදී අධික සුළං තත්ත්වයක් ඇති වෙනවා. එයට ඔරොත්තු දෙන ආකාරයට ගොවිපොළ සකස් කර ගැනීම ලොකු අභියෝගයක් වුණා. මුලින්ම කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොමු වුණා. ඒ සඳහා අවශ්‍ය ගොම ලබා ගැනීමේ අපහසුතාවට පිළියමක් හැටියට මුලින්ම කිරි ගවයන් දෙදෙනෙකු ඇති කලා.
ඊළඟ පියවර හැටියට යෝගට් නිෂ්පාදනයට යොමු වුණත් අධික පිරිවැයක් අවශ්‍ය බව දැනුණා. පශු වෛද්‍ය නිලධාරී ඒ.පී. බෝධි හේවා මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සතුන් 20 දෙනෙකු සඳහා පහසුකම් ඇති ගව ගාලක් ඉදිකර ගැනීමට හැකි වුණා.
මේ වනවිට කිරි ගවයන් 29 දෙනෙකුගෙන් යුත් සත්ත්ව පාලන ගොවිපොළක් ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා. ඒ සමගම සතුන් සඳහා ආහාර අවශ්‍යතාව වැඩි වීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවීම අනිවාර්යයි. සතුන්ට අවශ්‍ය තණකොළ මගේම ඉඩමක වගා කළා. ඒත් තණකොළ කපන යන්ත්‍ර ආදිය භාවිත කිරීමට හැකි වුවහොත් වඩා කාර්යක්ෂමව තම කටයුතු කරගත හැකියි.
සතුන්ගේ ආහාර අවශ්‍යතාව වැඩිවන විට ඊට පිළියමක් ලෙස අඩු වියදමකින් සයිලේජ් ආහාර නිෂ්පාදනය කිරීම ගැන පශූ වෛද්‍ය උපදෙස් මත අවධානය යොමු වුණා. එයට අවශ්‍ය ආධාර ලබාදීමට රජය කටයුතු කරනවා නම් වැදගත්.
මගේ ගොවිපොළෙන් දෛනිකව ලැබෙන කිරි ලීටර් 80 – 100ක ප්‍රමාණය පෞද්ගලික ආයතනයක් මගින් මිලදී ගන්නවා. මෙවැනි රැකියා අවස්ථා සඳහා යොමු වන ලෙස තරුණ පරපුරට ආරාධනා කරනවා. විදේශීය තාක්ෂණය හා තාක්ෂණික උපකරණ ගෙන්වා ගැනීමට බදු සහන ලබාදීම වැදගත්. සම්ප්‍රදායකත්වයෙන් මිදී නව තාක්ෂණය ඔස්සේ ඉතා දියුණු මට්ටමේ ගොවිපොළවල් බිහි කිරීමේ හැකියාවක් පවතිනවා.
සමන් කරුණාසිරි
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, කිඹිස්ස, රවුඩංගාව, ත්‍රිකුණාමලය පාර, නො 70 ලිපිනයේ පදිංචි සමන් කරුණාසිරි මහතාද මෙසේ තම දිවිය ජයගත් ව්‍යවසායකයෙකි. ඔහු අප සමග මෙසේ සංවාදයට එක්විය.
“දැනට අවුරුදු 20ක් විතර මම සත්ත්ව පාලන කටයුතුවල යෙදෙනවා. මම මේ වනවිට මීකිරි නිෂ්පාදකයෙක් හැටියට කටයුතු කරනවා. මම මෙයට පෙර සත්ත්ව ගොවිපොළක සේවය කළේ. එතෙන්දී මේ ක්ෂේත්‍රය පිළිබඳව මට උනන්දුවක් ඇති වුණා. මුරා වර්ගයේ මී ගවයන් 6 දෙනෙකුගෙන් ගොවිපොළක් ආරම්භ කළා. අද මී ගවයන් 48-50 පමණ ප්‍රමාණයක් මගේ ගොවිපොළේ ඉන්නවා. දවසකට කිරි ලීටර 100 කට වැඩි ප්‍රමාණයක් ලැබෙනවා.
මී කිරි හට්ටි නිෂ්පාදනය කර මගේම වෙළෙඳසැලක් “තිළිණි ෆාම් මුදවපු මී කිරි” යනුවෙන් පවත්වාගෙන යනවා. මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් සඳහා දිනකට කිරි හට්ටි 100කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර බෙදා හරිනවා. වෙළෙඳ පොළේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒත් ඒ එම ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට තරම් නිෂ්පාදන ප්‍රමාණවත් නැහැ. සේවකයන් කිහිපදෙනකු මා ළඟ සේවය කරනවා.
මගේ ව්‍යාපාරය වෙනුවෙන් මධ්‍යම පළාත් සම්මාන මට ලැබී තිබෙනවා. 2017 මට මී ගව අභිජනන ගොවිපොළ සම්මානය හිමි වුණා. 2019 දී අතුරු නිෂ්පාදන 2 ස්ථානයත්, නැවත 2019 මී ගව අභිජනන ගොවිපොළ 2 ස්ථානයත් ලැබුණා.
සතුන්ට ප්‍රමාණවත් ගාලක් තිබුණේ නැහැ. දඹුල්ල පශු වෛද්‍ය කාර්යාලයේ මගපෙන්වීම යටතේ ඒ සඳහා ප්‍රතිපාදන ලබාදුන්නා. ක්‍රීම් සෙපරේටර් යන්ත්‍රයක්ද බොයිලේරුවක්ද මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලැබුණා.
තවදුරටත් අපද්‍රව්‍ය භාවිත කර ජීවවායු ඒකකයක් ඇතිකර ගැනීම මගින් දැනට මී කිරි නිෂ්පාදනය සඳහා භාවිත කරන කිරි උණු කර ගැනීමටත්, එමගින් නිෂ්පාදන පිරිවැය තවදුරටත් අඩුකර ගැනීමටත් අදහසක් තිබෙනවා.
සත්ත්ව පාලන ක්ෂේත්‍රයෙන් ඉහළ ආදායමක් උපයාගත හැකියි. ඒ සඳහා කිරි අතුරු නිෂ්පාදනවලට යොමුවීම ඉතා වැදගත්. රජයේ රැකියා අවස්ථාවන් කෙරෙහි පමණක් බලා සිටිනවාට වඩා, තමන්ගේම ස්වයං රැකියා අවස්ථා ගැන උනන්දු වුවහොත් ඉදිරියේ රට තුළ ඇතිවිය හැකි අවශ්‍යතාවන්ට අනුව හොඳ ව්‍යාපාරයක් කළ හැකි යැයි මම යෝජනා කරනවා.”
ආර්.බී. ධර්මසිරි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන උඩබුලත්ගම, අඔගමුව කඩවීදිය, 51/1 ,ලිපිනයේ පදිංචි ආර්.බී. ධර්මසිරි මහතාද කිරි අතුරු නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැළී සිටිමින් ඉතා සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යවසායකයෙකි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ඔහු වසර දෙකක පමණ කාලයක සිට ‘මිහිරි’ වෙළෙඳ නාමය යටතේ සිය ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යයි.
“මම කාලයක් මෙරට වගේම විදේශගතවද විවිධ රැකියාවන් කිහිපයක නිරත වුණා. ඒ අතර මම දීර්ඝ කාලයක් සත්ත්ව පාලන ගොවිපළක සේවය කළා. ඒ නිසාම වෙන්න ඇති මට කිරි අතුරු නිෂ්පාදන පිළිබඳව උනන්දුවක් වුණේ.
මුලින්ම කිරි ටොෆී නිෂ්පාදනය අත්හදා බැලීම කළා. අවස්ථා කිහිපයකදී අසාර්ථක වුණා. ඒත් උත්සාහය අත්හැරියේ නැහැ. විවිධ අත්හදා බැලීම් කළා. ඒ අනුව සාර්ථකව කිරි ටොෆි නිෂ්පාදන කර ගැනීමට හැකි වුණා. මේ වනවිට එළකිරි යොදා ගනිමින් කිරි ටොෆි හදනවා. එයට අමතරව කිරි අළුවා, පොල් ටොෆි, දොදොල්, යෝගට්, එළඟි තෙල් නිෂ්පාදනය ඉතා සාර්ථකව කරගෙන යනවා. දිනකට කිරි ලීටර් 80ක පමණ කිරිටොෆි පමණක් නිෂ්පාදනය කරනවා.
මම ප්‍රදේශයේ වෙනත් කිරි ගොවියන් දහදෙනෙකුගේ පමණ කිරි නිෂ්පාදනත් මිලට ගන්නවා. ඔවුන්ට අවශ්‍ය පුන්නක්කු විටමින් වර්ග පවා ණය ක්‍රමයට ලබාදෙනවා. වෙළෙඳපොළ මිලට වඩා කිරි ලීටරයකට රුපියල් පහක් ඔවුන්ට ගෙවනවා. එයත් මගේ ව්‍යාපෘතිය තුළ මට සතුට දනවන දෙයක්. දැන් මම තණකොළ වගාවට කටයුතු කර තිබෙනවා.
මගේම කියලා දැනට අලෙවි වාහනයක් තිබෙනවා. ඒ නිසා නිෂ්පාදන අලෙවි කිරීමත් මට පහසුවෙන් කළ හැකියි. ඉල්ලුමට නිෂ්පාදන ප්‍රමාණවත් නැහැ. මම කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් භාවිත කරන්නේ නැහැ. එයින් මගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
ඉදිරියේදී අයිස්ක්‍රීම් යන්ත්‍රයක් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ඉතා සාර්ථක මට්ටමෙන් ව්‍යාපාරය පවත්වාගෙන යන නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධානයක් කිරි අතුරු නිෂ්පාදනට අවශ්‍ය බහුකාර්ය යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කළා. මම මගේ ව්‍යාපාරය පවත්වාගෙන යන අතර, නවකයන්ට මගේ දැනුම අත්දැකීම් ලබාදීමට කැමතියි.
මෙම ක‍්ෂේත්‍රය තුළ රැඳෙන්නට අවශ්‍ය දැනුම අනුබලය තාක්ෂණය නිරතුරුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් පුහුණු හා උපකරණ වෙනුවෙන් පළාත් අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්යමණ්ඩලයට හද පිරි ස්තූතිය පිරිනමනවා.
ඉදිරි සැලසුම් පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ පළාත් අධ්‍යක්ෂිකා ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය,
“විශේෂයෙන්ම මෙම ක‍්ෂේත්‍ර සේවාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුකූලව ගොවි ප්‍රජාවගේ අවශ්‍යතා සඳහා යොදාගත හැකි උපරිම ආකාරයෙන් අපි පෙළ ගස්වනවා.
ඉදිරි සැලසුම් ගැන කියනවා නම් දැනට පශු වෛද්‍ය කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සත්ත්ව පාලන සමිති මගින් සෘජුවම ගොවියන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ සහ දැනුම අත්දැකීම් අවස්ථා බෙදාගැනීමට පියවර ගෙන තිබෙනවා. සත්ත්ව පාලනයේ උනන්දු වන කාටත් පශු වෛද්‍ය නිලධාරී හමුවී අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි.
වසංගත තත්ත්වය දෛනික කිරි නිෂ්පාදනය පහළ වැටීමේ අවදානමක් පවතින බව පෙනෙනවා.
නමුත් මේ සඳහා දීර්ඝකාලීන විසඳුම් සෙවීමට දෙපාර්තමේන්තුව අවධානය යොමු කළා. ඒ අනුව පහසුවෙන් එළ ගවයන් පෝෂණය කළ හැකි සංරක්ෂණ පෝෂණ ආහාර සයිලේජ් කුට්ටි වශයෙන් නිපදවීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ කළා. එයින් දිනකට එක් එළදෙනකගෙන් සාමාන්‍යයෙන් ලීටර් 18ක පමණ ඉහළ අගයක් දක්වා වර්ධනය කළ හැකියි.
තවත් පියවරක් හැටියට මෙම කේෂේත්‍රය ගැන උනන්දු වන නවකයන් හෝ සාමාන්‍ය දැනුම ඇති තරුණයන්ට NVQ 4 මට්ටමට ගැළපෙන එක් අවුරුදු න්‍යායික සහ ප්‍රායෝගික වෘත්තීය පුහුණුවක් සංවිධානය කළා. මේ පිළිබඳව උනන්දු වන අයට අප සමග එකතු විය හැකියි. සියලු සේවාවන් ග්‍රාමීය මට්ටමේ සිට පවත්වාගෙන යමින් ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කර, ඔවුන්ගේ ජීවිත ප්‍රීතිමත් ව්‍යවසායකයන් බවට පත්කිරීමට අප තුළ අධිෂ්ඨානයක් තිබෙනවා.”