ගල් පතලේ නිධන් සොයා ගියෙමු


වසර සියයකට එපිටදී ගල් පතල නම් වූ එය අද අත්තනගල්ල, කරස්නාගල මිනිරන් පතලයි. නැතහොත් එය මේ වනවිට ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම මිනිරන්පතලයි. එය ලොව සුපිරිසුදුම මිනිරන් වලට හිමිකම් කියන ශ්‍රී ලංකා භූමියෙන් මතුවන තවත් ධන උල්පතකි. එහි මෑත කාලයේ අස්වැන්න පසුගියදා නෙළා ගනු ලැබුවේ ශ්‍රී ලංකා මාතෘ භූමියට සිය ගණනක් ආර්ථික නිධන් විවර කරමිනි. ඉදින් පාඨක ඔබ වෙනුවෙන් අද සොබා බදාදා එහි පතුල් බැස්සෙමු.


සියවසකට පෙර

වසර සියයකට පෙර  මිනිරන් කැණීම් සිදුකළ බවට මෙහි සාක්ෂි හමුව ඇත. එහිදී ගලක් විද නිර්මාණය කරන ලද පතලක් හේතුවෙන් එවකට %ගල් පතල^ නම් වී ඇතැයි පැවසේ. පොළොව මතුපිට සිට අඩි 153ක් පමණ දක්වා මිනිස් ශ්‍රමයෙන් කැණීම් සිදුකිරීමට සමත්ව ඇත. පතුල තුළ ජලය එක්රැස් වීම  හා ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැතිව හුස්ම ගැනීමේ අපහසුව තුළ තවදුරටත් කැණීම් සිදුකිරීම නවතා ඇති බවට අනුමාන කෙරේ. 

දෙවැනි ලෝක යුද සමය 

දෙවැනි ලෝක යුද සමයේදී මිනිරන් සඳහා අධික විදේශීය ඉල්ලුමක් පැවතියෙන් මෙම මිනිරන් සඳහා ලොව ඉහළ වටිනාකමක් හිමිව ඇති බව සඳහන්ය. 1945 වසරේ දෙවැනි ලෝක යුද සමය අවසනදී මිනිරන්වල වටිනාකම පහළ යෑම හේතුවෙන් පතල අත්හැර දමා ඇත.

ගල් පතලින් කරස්නාගලට

ගල් පතල,  කරස්නාගල වනුයේ දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුවය. ඒ අනුව එය කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් නිර්දේශිත භූගත සිතියම් අංක 60, අත්තනගල්ල IML/A/HO/132/9 බලපත්‍ර අංක දරන ඌරාපොල, කරස්නාගල මිනිරන් පතල විය. එය දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් අනතුරුව බලපත්‍ර ලබාදුන් තෙවැනි මිනිරන් පතලය.

මෑත කාලය

2015 වසරේදී සාර්කෝන් ඩිවලොප්මන්ට් පෞද්ගලික සමාගම මෙහි බලපත්‍රලාභියා බවට පත්වනුයේ ඩොලර් මිලියන 500ක ආයෝජනයකිනි. ඒ සඳහා ප්‍රථම කාර්ය ලෙස ඔවුන් සිය ව්‍යාපෘතිය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත ඉල්ලීමක් කර තිබුණි. අනතුරුව කාර්යාංශය විසින් අතීතයේ මිනිරන් තිබූ බවට සාක්ෂි තිබූ අත්තනගල්ල, පස්යාල සහ ඌරාපොල යනාදී ප්‍රදේශ තෝරා ගනිමින් වර්ග කිලෝමීටර් 27ක පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි භූ භෞතික විද්‍යා සමීක්ෂණ සිදුකර ඇත. එහිදී ප්‍රදේශ 03ක අතීතයේදී මිනිරන් කැණීම් සිදුකර ඇති බවට හඳුනාගෙන තිබූ අතර, වර්තමානයේදී මිනිරන් කැණීම සඳහා යෝග්‍යතම භූමිය බවට අක්කර 07කින් යුත් මෙම කරස්නාගල හඳුනාගෙන තිබිණි. ඒ අනුව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය  පාරිසරික හා තාක්ෂණික ඇගයීම් සමීක්ෂණ සිදුකර ඇත.

කැණීම

භූමියේ විදුම් කටයුතු කර යෝග්‍යතාව පරීක්ෂා කරමින් පොළොව අභ්‍යන්තරයේ අක්කර 04ක පමණ වපසරියකින් විහිදී යන ලෙසට කැණීම් සිදුකර තිබේ. එහිදී විදුම් වළවල් 23ක පමණ අභ්‍යන්තරයට කැණීම් සිදුකර ඇති අතර, ඉන් වළවල් 10ක පමණ මිනිරන් සොයා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව මේ වනවිට පතල අඩි 200ක ප්‍රමාණයක් ඉක්මවමින් කැණීම් සිදුකර ඇති අතර, එහිදී මීටර භාගයක පමණ ඝනකමැති මිනිරන් ධමනි හමුව තිබේ.

ලොව සුපිරිසුදුම මිනිරන් 

මෙලෙස හමුව ඇති ධමනි නියධි වශයෙන් ගෙන තිබුණේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විද්‍යාගාර හරහා තවදුරටත් විශ්ලේෂණය කිරීමටය. එහිදී අනාවරණය වී ඇති වඩා වැදගත්ම කරුණ නම් කරස්නාගල පතලින් මතුවන මිනිරන්හි කාබන් ප්‍රතිශතය 97.5%ක් වන බවය. එනම් ඒවා ලොව ඉහළම සුපිරිසුදුභාවයකින් යුත් මිනිරන් වන අතරම, ආර්ථිකමය වශයෙන් ලොව ඉතා ලාභදායී මිනිරන්ය. සාමාන්‍යයෙන් ලොව බොහෝ රටවල මිනිරන් තුළ ඇත්තේ 10%ත් 40%ත් අතර කාබන් ප්‍රතිශතයකි.

මිනිරන් හෙවත් ග්‍රැෆයිට් සඳහා අගය එකතු කිරීම

මිනිරන් හෙවත් ග්‍රැෆයිට් අමුද්‍රව්‍යයක් ලෙස ඍජුව කර්මාන්තයෙහිදී භාවිතයට ගත නොහැකි වන අතර, ඒ සඳහා එය රසායනිකව යම් වෙනස් කිරීමකට ලක් කළ යුතුය. එහිදී ග්‍රැෆයිට්හි අඩංගු අණුක ව්‍යුහයේ කාබන් ස්ථරය වෙනස් කිරීමෙන් ග්‍රැෆීන් නිර්මාණය කෙරේ. ග්‍රැෆීන් සඳහා ලොව විශාල ඉල්ලුමක් පවතී. විශේෂයෙන් ලිහිසිකාරක වර්ග, බ්‍රේක් පෑඩ් සහ වාහන බැටරි නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ මිනිරන් වෙත ලොව ඉහළ ඉල්ලුමක් පවතී. 

ආර්ථික වාසි 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන පරිදි ග්‍රැෆයිට් මෙට්‍රික් ටොන් 01ක් මේ වනවිට අපනයනය කෙරෙන මිල ඇමරිකානු ඩොලර් 2000ක් වන අතර, ග්‍රැෆීන් කිලෝග්‍රෑමයක අපනයන වටිනාකම ඩොලර් 5000කි. එනම් කිලෝග්‍රෑම් 1000ක අපනයන මිල ඩොලර් 2000ක් වන ග්‍රැෆයිට්, ග්‍රැෆීන් බවට පත්කිරීම හරහා එක් කිලෝග්‍රෑමයකින් ඩොලර් 5000ක් ඉපයිය හැකිය. කරස්නාගල පතලින් ඉදිරි වසර 20ක කාලයක් තුළ ලබාගැනීමට අපේක්ෂිත මිනිරන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 53000කට අධිකය. 
මීට අමතරව මෙම ව්‍යාපෘතිය මගින් ඛනිජ ක්ෂේත්‍රය තුළ රැකියා බොහොමයක් උත්පාදනය වීමට නියමිත වන අතර, එහිදී කැණීම්කරුවන් ඇතුළු කැණීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 150කට අධික ප්‍රමාණයකට ඝෘජු රැකියා හිමිවීමට නියමිතය.



Recommended Articles