ගර්භිණී සමයේදී නොසැලකිලිමත්කමින් බිහිවන ’උපත් ආබාධ’


රටක, ලෝකයක අනාගතය වර්ණවත් කළ හැක්කේ නිරෝගී දරු පරපුරක් බිහිවීම තුළිනි. නමුත් ගර්භිණී සමයේදී ඇතිවන විවිධ ජානමය සහ පාරිසරික හේතූන් මත ඇතැම් දරුවන් විවිධ ආබාධයන් සහිතව ඉපදීම ලෝකය පුරාම දක්නට ලැබෙන සංවේදී කරුණකි. සෑම වසරකම මාර්තු තුන්වැනිදා 'ලෝක උපත් ආබාධ වළක්වා ගැනීමේ දිනය' ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙන්නේද උපත් ආබාධ පිළිබඳව දැනුම්වත් කරමින් අලුත උපදින බිලිඳුන් සියලුදෙනා නිරෝගී සෞඛ්‍යයකින් පරිපූර්ණ කිරීමටය.

'ජානමය හෝ පාරිසරික සාධක හේතුවෙන් ගර්භය තුළදීම ඇතිවන ශරීර කොටස්වල ඇතිවන ව්‍යුහාත්මක හෝ ක්‍රියාකාරීත්වයේ විකෘතිතාවන්' උපත් ආබාධයන් ලෙස හඳුන්වයි. මෙම විකෘතිතාවයන් ගර්භිණී සමයේදී හෝ උපතේදී හෝ උපතින් පසු කාලයේදී හඳුනා ගැනේ.

ලොව පුරා මිලියන 8ක් පමණ පුද්ගලයන් උපත් ආබාධ නිසා පීඩා විඳින අතර, බිලිඳු මරණ වලින් 11% කටද, කුස තුළ මිය යන දරුවන්ගෙන් 10% කටද උපත් ආබාධ හේතු වේ. මෙම උපත් ආබාධ සහිත දරුවන්ගෙන් 90%කටත් වඩා සිටිනුයේ අඩු සහ මධ්‍යම ආදායම් රටවලය. ශ්‍රී ලංකාවේ සෑම වසරකම 360,000ක් පමණ කාන්තාවන් ගර්භිණීභාවයට පත්වන අතර, ඉන් 326,000ක් සජීවී දරු උපත් බිහි කරයි. තවත් දරුවන් 5800ක් පමණ විවිධ උපත් ආබාධ සහිතව උපත ලබයි. දෛනික ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16ක් උපදින අතර, ඉන් දෙදෙනෙක් සෑම දිනකම තම පළමු උපන් දිනයටත් පෙර මිය යති. එලෙසම වසරකට 500 - 600ක් අතර ප්‍රමාණයක් උපත් අබාධ හේතුවෙන් කුස තුළම මිය යති. උපත් අබාධ ඇතිව ජීවත්වන්නන්ද ජීවිත කාලය පුරාම අබාධිතව කල් ගෙවයි.

ලංකාව තුළ නිතර දැකිය හැකි උපත් ආබාධ තත්ත්වයන්

ලංකාවේ උපත් ආබාධ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී 24%ක් පමණ ඇත්තේ හෘදය සම්බන්ධ උපත් ආබාධ රෝගයන්ය. එමෙන්ම 20.3෴ක් පමණ 'ගාත්‍රා ආබාධ' හෙවත් කකුල් දෙකේ පිහිටීමේ තිබෙන ගැටලු වන අතර, 'පැලි තොල්' හෙවත් තල්ලේ ආබාධ 8.5%ක් පමණ වාර්ෂිකව වාර්තා වේ. තවද ජානමය ආබාධ (ඩවුන්ස් සහ ලක්ෂණය හා ඒ ආශ්‍රිත) 6.7%ක්, ස්නායු නාල ආබාධ 5.9෴ක්, වකුගඩු ආබාධ 2.7%ක්, සුළු ආබාධ 10.1%ක් හා අනෙකුත් ආබාධ 21.9%ක් පමණ ලංකාව තුළින් වාර්ෂිකව වාර්තා වන උපත් ආබාධ තත්ත්වයන්ය.

උපත් ආබාධ සහිත දරුවෙකු බිහිවීමට හේතු

උපත් ආබාධ ඇති වීමට හේතු රැසක්ම බලපානු ලබන අතර, මව්පියන් දුම්පානය, මත්පැන් භාවිතය සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී තිබීම කුස තුළ වැඩෙන කලලයන්ට හා දරුවන්ට අයහපත් ලෙස බලපානු ලබයි. එය උපත් ආබාධයන් සහිත දරුවන් බිහිවීමට ප්‍රධානම හේතුවක් ලෙස වෛද්‍යවරු පෙන්වා දෙති. එමෙන්ම අධි ස්ථුලතාවයන් සහිත මවුවරුන්ට බිහිවන දරුවන්ටද මෙවැනි සංකූලතා ඇතිවන්නට විශාල ඉඩකඩක් තිබේ. තවද ගර්භිණී සමයේදී ගැබිනි මව්වරුන් විසින් ලබාගන්නා ඇතැම් ඖෂධ වර්ගවලින් වැලඳිය හැකි අතුරු ආබාධයන්ද උපත් ආබාධ සහිත දරුවන් බිහිවීමට බලපානු ලබයි. මවකට ගර්භිණී සමයේ හෝ ඊට පෙර පැවති දියවැඩියාව වැනි රෝග තත්ත්වයනුත්, ඊට පෙරත් මෙවැනි උපත් ආබාධ සහිත දරුවෙකු සිටියේ නම් එම ප්‍රවේණිය හරහා අනෙක් ළමයාටද මෙවැනි උපත් ආබාධ තත්ත්වයන් ඇතිවන්නට හැකියාවක් තිබෙන බවද වෛද්‍යවරු පෙන්වා දෙති. මවට වයස අවුරුදු 34 - 35න් පසුව ඇතිවන ගර්භයන්ටද උපත් ආබාධ තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තිබෙන අතර, හෘදරෝග වැනි උපත් ආබාධ දරුවෙකුට ඇති වීමට ඉහත කී සාධකයන් එකක් හෝ කිහිපයක් බලපානු ලබයි. 

උපත් ආබාධයන් වළක්වා ගත හැකිද

උපත් ආබාධ වළක්වා ගැනීම අවස්ථා ත්‍රිත්වයකදී සිදුකළ හැකි අතර, 'ප්‍රාථමික වැළැක්වීම' යටතේ දරුවෙකු මවගේ කුස තුළට පැමිණීමට පෙර 'ෆෝලික් ඇසිඩ්' ලබාගැනීම, ශරීරයේ ස්ථුලතාව අඩුකර ගැනීම, ශරීරය මනා සෞඛ්‍යයකින් පවත්වා ගැනීම වැනි දෑ මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටිනා කාන්තාවන් විසින් සිදුකළ යුතුය. එමෙන්ම 'ද්විතීයීක වළක්වා ගැනීම' ක්‍රමය ඔස්සේ මෙවැනි තත්ත්වයන් ඇතිවීම හඳුනාගැනීම, තෘතීයීකව හඳුනාගත් තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම හා පුනරුත්ථාපනය කිරීම වැනි ප්‍රතිකාරයන් කර ගැනීම තුළින් උපත් ආබාධ තත්ත්වයන් ඇතිවීම අවම කරගත හැකිය. තවද මිනිස් සිරුරේ රෝග ගණනාවකටම ප්‍රධාන හේතූන් ලෙස සැලකෙන දුම්පානය, මත්පැන් පානය හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීම සහ එවැනි ස්ථාන තුළ ගැවසීමෙන් වැළකී සිටීම තුළින්ද මෙම උපත් ආබාධ ඇතිවීම වළක්වාගත හැකිය. එමෙන්ම විවිධ විකිරණයන්ට මුහුණදීමෙන් වැළකී සිටීම ගර්භිණී කාන්තාවකගේ ප්‍රධාන වගකීමකි.

සෞඛ්‍යවත්, ගුණාත්මක ආහාර රටාවකට හුරු වීම, ව්‍යායාම සිදුකිරීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු නව යෞවනියන් ලෙසම පවත්වා ගත යුතු වන අතර, මවක් වීමට පෙර කාන්තාවක් වෛද්‍ය පරීක්ෂණවලට යොමු වීම, තමන් යම් රෝගයකට දීර්ඝකාලීනව ඖෂධ ගන්නේ නම් ගැබ් ගැනීමට පෙර ඒ පිළිබඳ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කිරීම, පවුලේ මෙවන් උපත් ආබාධයක් සහිත පුද්ගලයෙකු සිටී නම් පවුලේ ඉතිහාසය පිළිබඳ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර උපදෙස් ගැනීම මෙහිදී අත්‍යාවශ්‍ය කරුණු ලෙස දැක්විය හැක.

උපත් අබාධ සත්කාරය සහ වැළැක්වීම සඳහා උපදේශනයේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සහ '63 වන ලෝක සෞඛ්‍ය රැස්වීමේදී' උපත් අබාධ පිළිබඳ යෝජනා සමග අනුගත වෙමින් 2020 සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 09වන ජාත්‍යන්තර සමුළුවේ සහභාගී වූවන් %උපත් අබාධ සත්කාරය සහ වැළැක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය^ නමින් ප්‍රකාශනයක් නිර්මාණය කිරීමට අදහස් හා යෝජනා සැපයීය.

ලෝක උපත් ආබාධ දිනයට සමගාමීව මෙම 'උපත් ආබාධ සත්කාරය සහ වැළැක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය' එළිදැක්වීම ඊයේ (03දා) දින කොළඹ වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, කෝවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනියට සහ ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මියට පිළිගැන්වූ අතර, මෙම ප්‍රකාශනය ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානය වෙත යොමු කරයි.

2030 වසරේදී තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට සැලසුම් ක්‍රියාත්මක කරන අවස්ථාවක, උපත් අබාධ සත්කාරය සහ වැළැක්වීම අරමුණු කරගත් සේවා සැපයීම ලොව පුරා සෑම ආණ්ඩුවකම සැලකිල්ලට භාජනය විය යුතු කරුණකි.

 



Recommended Articles