ගම්මුන්ගේ හෙළ බොජුන් හළ වනජීවියෙන් වැසු‍ෙණ්ය


භූ විද්‍යාත්මකව ගතහොත් මධ්‍යම කඳුකරයේ ඇති අවසාන මිටියාවත සැරසුන්තැන්නයි. වළගම්බා රජු යුද්ධයෙන් පැරදී නැවත යුද්ධයට සැරසුණු ස්ථානය සැරසුන්තැන්න ලෙස හැඳින්වූ බව ප්‍රචලිත මතයකි. ජනප්‍රවාදයේ සේම ඒ සඳහා භූවිද්‍යාත්මක පදනමක්ද ඇති අතර, මෙම මිටියාවත යුද්ධයක ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වීමේ ඉඩකඩ පවතින බව ඉතිහාසඥයන් නොයෙක්වර පවසා තිබුණි.  ඒ ආසන්නයේ තිබූ ස්ත්‍රීපුරය රජුගේ බිසෝවරුන් සඟවා තිබූ ස්ථානය බවට විශ්වාසයක් පවතී. හුණු ගලින් සෑදුණ ලෙන් විශේෂයක් වූ එහි පුරාවෘතය රාවණා යුගය දක්වාම ඈතට ඇදී යයි. ඉන් හතර අතට විහිද ගිය බිංගෙවල් දහඅටක් තිබූ බවට පැරුන්නෝ අදත් කියති. එසේම ඌවවෙල්ලස්ස කැරැල්ල වකවානුවේත් සැරසුන්තැන්න ප්‍රදේශය විශාල කාර්යභාරයක් ඉටුකර ඇති මුත්, ඒ සම්බන්ධයෙන් නිවැරදි අධ්‍යයනයක් මේතාක් සිදුකර නැත. අද ඒ ඉතිහාසගත සැරසුන්තැන්න පවතින්නේ රන්දෙණිගල ජලාශය පතුලේය. එහෙත් ජලයෙන් වැසී ගිය සැරසුන්තැන්නත්, අද ප්‍රශ්නගත කීර්තිබණ්ඩාරපුරත් වෙන් කළ නොහැකි සම්බන්ධතාවයකින් වෙළී පවතින බව සඳහන් කළ යුතුමය.


රන්දෙණිගල ජලාශය ඉදිකිරීමෙන් අනතුරුව එයට යාබද ප්‍රදේශ ගණනාවකුත් සම්බන්ධ කරමින් රන්දෙණිගල අභයභූමිය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරන ලද්දේ 1987 වසරේදීය. අභයභූමියක් ලෙස සලකුණු කළ එම ප්‍රදේශයේ රක්ෂිත භූමි මෙන්ම පාරම්පරික ගම්මානද පැවති අතර, ජලයෙන් යටවූ සැරසුන්තැන්න වෙනුවට ඉදිකළ කීර්තිබණ්ඩාරපුර නව ගම්මානයක් මෙකී අභයභූමියට ඇතුළත් විය.

එතැන් පටන් මෙම ගම්මානවල සියලුම ජනජීවිත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට නතු විය. තමන් සිටුවූ ගසකින් අත්තක් කපා ගැනීමටත්, ගෙපලක්, ඇළක් දොළක්, ළිඳක් කපා ගැනීමටත් තහංචි පැන විය. එහෙත් ඒ තහංචි උඩින් පැන ගියෝ එමටය. ඇති හැකි අය තට්ටු ගණන් ගොඩනැගිලි ඉදිකරන විට නැති බැරි උන්ට තම ඉඩමේ වැටුණු ගසත් පොළොවට දිරා යාමට ඉඩදී බලා සිටීමට සිදුවිය.

වනජීවී නීතිය එසේ වංගු ගසමින් ගමන් කරද්දී නැවත වතාවක් ඒ තුළින් පීඩාවට පත්වූ කාන්තාවන් පිරිසක් ඇති බවට කණ වැකුණු අප ඔවුන් සොයා කීර්තිබණ්ඩාරපුරට යාමට තීරණය කළෙමු. මෙවර වනජීවී නීතියට හිරවී තිබුණේ පෞද්ගලික දේපළක් නොව රාජ්‍ය මැදිහත් වීමෙන්, වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් සම්බන්ධ කර ගනිමින් ඉදිකරන ලද හෙළ බොජුන්හලකි.  

හෙළ බොජුන්හලේ ගොඩනැගිල්ල හා වැසිකිළි පද්ධතිය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 75ක පමණ මුදලක් වැය වී තිබේ. මෙම ස්ථානයට විදුලි පහසුකම් නොමැති බැවින්, සූර්ය පැනල සවිකර විදුලිය ලබාගැනීමට තවත් ලක්ෂ 10ක පමණ මුදලක් වැය වී තිබේ. මේ සඳහා තෝරාගත් ග්‍රාමීය කාන්තාවන් පුහුණුකිරීමේ කටයුතු සඳහා ලක්ෂ 5ක පමණ මුදලක් සහ එයට අවශ්‍ය ශීතකරණ ආදී උපකරණ සඳහා තවත් ලක්ෂ 10ක පමණ මුදලක් වැයවී ඇති බව දැනගන්නට ලැබිණි. එහෙත් ඒ සියල්ල අද දිරායමින් පවතී. මේ සියල්ල අප වෙත විස්තර කරමින් එහි සේවය කර අද රැකියා අහිමිව සිටින එම්. ඒ. කුසුමාවතී මහත්මිය ඒ පිළිබඳව විස්තර කළේ මෙසේය. 

මේ කලාපය 1987දී තමයි වනජීවී කලාපයක් බවට පත් කළේ. එදා ඉඳලම අපිට ගහක් කොළක් කපා ගන්නවත්, ගෙපලක් කපාගන්නවත් බෑ. අපි බොහොම දුක් විඳලා මේ ගමේ ජීවත් වෙන්නේ. ගමේ රස්සාවල් කරන අය පස් හය දෙනෙක් වත් නෑ. ගොවිතැන තමයි අපේ ආදායම් මාර්ගය. පෑව්වොත් ඒක විනාශ වෙනවා. බොන්නවත් වතුර නැති වෙනවා. ඒ තරම් දුෂ්කර ගම්මානයක්. දෙයියො දුන්න වගේ අපිට සම්පතක් මේ හෙළ බොජුන්හල. අපි ගොඩක් සතුටින් ඒක කරගෙන ගියා. ඒ දවස්වල මහන්සියේ හැටියට සෑහෙන ගාණක් අපිට ලැබුණා. ඊට පස්සේ වනජීවී එකේ මහත්තයෙක් මේක වහාම නවත්වන්න කියලා ලියුමක් ගහලා ගියාට පස්සෙ පෙබරවාරි 28 අපිට මේක නවත්වන්න සිද්ධ වුණා. එයාල කියන්නේ මේක හදන්න අවසර ගත්තෙ නැතිලු. වනජීවී එකේ මහත්වරුන්ට පේන්නෙ මේක විතරද? හෝටල් තියෙනවා, මිනිස්සු බිලිගන්න බාර් තියෙනවා. ඒ ඔක්කොම තියෙන්නෙ පාර අයිනේ. ඒවා පෙනෙන්නෙ නැද්ද? එක හෝටලයකින් මට කිව්වා “නැන්දා මොකවත් බඩු ගන්න එපා. අපි ඕක මාසයක් දෙකක් ඇතුළත වහනවා කියලා”. මේක පළිගැනීමක්ද කියලත් හිතෙනවා. කිසිම දේශපාලඥයෙක් ඇවිල්ලා මේක  ඇරල දෙන එක ගැන කතා කළේ නෑ. අපි කිසිම වැරැද්දක් කරල නෑ. රොටියක්, ඉදිආප්පයක් විකුණලා දුප්පත් පවුල් ටිකක් ජීවත් වුණ එක විතරයි සිද්ධ වුණේ.

 මෙම හෙළ බොජුන්හලේ කාන්තාවන් 15ක් පමණ සේවය කර ඇති අතර, අද ඒ සියල්ලන්ගේම ජීවනෝපායන් ඇණහිට තිබේ. හෙළ බොජුන්හල විවෘත කර එය ජනප්‍රිය වීමත් සමග ඒ ආසන්නයේ තිබූ වෙනත් හෝටල් සඳහා ආදායම අඩු වීමේ කාරණයද මේ හෙළ බොජුන්හල වැසී යාමට හේතුවක් වශයෙන් පවතී. එසේම මෙම ස්ථානයේ වස විස නැති කාබනික එළවළු විකුණුම් මධ්‍යස්ථානයක්ද තිබූ බව අපට පෙන්වා දුන්නේ එහි සිටි විමලා විජේරත්න මහත්මියයි. 

මම මේ හෙළ බොජුන්හලේ කොටසක වස විස නැති කාබනික එළවළු විකුණන එකයි කළේ. මුළු වලපනේම 600ක විතර ගොවීන් පිරිසක් එකතු කරගෙන අපි කාබනික එළවළු ගොවීන්ගේ සංගමයක් පිහිටුවලා තියෙනවා. මගේ ගොවි සමිතියේ කාබනික එළවළු ගොවියෝ දහදෙනෙක් ඉන්නවා. ඒ දහදෙනාගේ එළවළු ටික ගෙනල්ලා සුළු ලාභයක් තියාගෙන තමයි මේ ව්‍යාපාරය අපි කළේ. මෙතන මාස දෙකක් වෙළඳාම් කළත් ඊට මාස හත අටකට කලිනුයි ඒකට සූදානම් වුනේ. මේ ආයතනය වැහුවට පස්සේ ලොකුම අසීරුතාවයට පත්වුණේ මමයි. මොකද මගේ ගොවියන්ගේ එළවළු ටික මට ගන්න බැරි වුණා. රසායනික බොහෙත් පොහොර වගේ නෙමෙයි කාබනික පොහොර යොදලා හදන එළවළු වල ලොකු අස්වැන්නක් එන්නෙ නෑ. අපි ඒ පැත්තට හුරුවෙලා වෙළෙඳපොළක් හදාගෙන එනකොට, මේක වහපු එකෙන් කබලෙන් ළිපට වැටුණා. එකපාර වැහුවට පස්සේ මට මෙතනට ගෙනාපු එළවළු සේරම විසි කරන්නයි උනේ. මොකද අපි හදපු කාබනික එළවළු වෙන තැනකට විකුණගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. අනාගත පරපුර ගැන හරි හිතලා මෙතන විවෘත කරන්න කියලයි අපි කියන්නේ.* 

සැබවින්ම එහි සිදුවූයේ කුමක්ද? යන්න සිදුකළ නිරීක්ෂණයේදී වලපනේ ප්‍රාදේශීය ලේකම් ධුරය දරමින් හිඳ, පසුගියදා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ භාරගත් අයි. එම්. සේනානායක මහතා අප දැනුවත් කළේ මේ ආකාරයෙනි.

මෙම හෙළ බොජුන්හල ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය අපි ලබාගත්තා. ඒ වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළාප භාර සහකාර අධ්‍යක්ෂ වීරසිංහ මහතාටයි, වනජීවී අඩවි භාර නිලධාරී ජයකොඩි මහතාටයි කතාකරලා වාචික අවසරයක් ලබාගෙනයි වැඩ ආරම්භ කළේ. එයාලා අපිට කිව්වා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිඛිත අවසරය ලබාගන්න කියලා. ඒ අතර වැඩකටයුතු ආරම්භ කරන්න කියලත් කිව්වා. ඒ වගේම ඒ අය ඇවිත් බැලුවා. මෙතන කසළ බැහැර කරන්නේ කොහොමද කියන එක ඒ අයට ලිඛිතව දැනුම් දුන්නා. අපි ඉදිකිරීම් ආරම්භ කරනවාත් එක්කම අදාළ අවසරය ලබාදෙන්න කියලා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක් ඉදිරිපත් කළා.  ඒ කිසිදේකට උත්තර නැති නිසා මම නැවතත් ලිඛිත ඉල්ලීමක් කළා. ඒ අවස්ථාවේදී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මට කතා කරලා කිව්වා, ඒ වෙනකොට සිදුවෙච්ච ආණ්ඩු මාරුවත් එක්ක තවම ලේකම්වරයෙක් පත්කරලා නෑ. ඒක නිසා වගකීම ගන්න කවුරුවත් නෑ වගේ අදහසක්. ඒක වුණේ පසුගිය වසර අගදී සිදුවුණ ආණ්ඩු මාරු වකවානුවේ. ඒ වෙනකොට මම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට ලිපි තුනක් විතර ඉදිරිපත් කරලා තිබුණා. කොහොම හරි අපි දෙසැම්බර් 28 මේ ගොඩනැගිල්ල හදලා විවෘත කළා. ජනවාරි මාසය තුළ නැවතත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමා මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක් යැව්වා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්ට දුරකථනයෙන් කතා කරලා මේ තත්ත්වය කිව්වම, ඔහු පොරොන්දු වුණා මේ සඳහා අවසරය ලබාදෙන්න. මමත් ඒ වෙලාවේ ඔහුට කතා කළා. දිස්ත්‍රික් ලේකම්තුමාගේ ලියුම යවලා මාසයක් විතර ගතවුණත් අවසරය ලබාදුන්නේ නෑ. ඊට පස්සේ තමයි හෙළ බොජුන්හල වහන්න කියලා ලියුම් ගහලා තියෙන්නේ. ඒ වෙනකොට අපි අදාළ අවසරය ලබාගන්න ලියුම් හතක් විතර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම මේක වැහුවට පස්සේ මම දුරකථනයෙන් කතා කරලා මේ තත්ත්වය ඔහුට පැවසුවා. මෙතන අපි තණකොළ ගහකටවත් හානියක් කරලා නෑ. අවශ්‍ය වුණොත් ඕන වෙලාවක කඩන්න එකඟවෙලා හදපු මේ ගොඩනැගිල්ලට විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අනික් පෞද්ගලික ගොඩනැගිලි වලට ඒක අදාළ වෙලා නෑ. මේ ප්‍රදේශයේ හැමතැනම ඉදිකිරීම් කරලා තියෙනවා. එහෙනම් ඒ ඔක්කොමත් තහනම් කරන්න ඕනනේ.*

රන්දෙණිගල වනජීවී රක්ෂිතයේ මායිම් ගැසට් කිරීමේදී පාරම්පරික ගම්බිම් ඒ තුළට ඇතුල්වීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බව මීට පෙර අවස්ථාවන් ගණනාවකදී අප විසින් බලධාරින්ගේ අවධානයට යෙමු කළද, ගැටලුව තවමත් එකතැනය. කීර්ති බණ්ඩාරපුර, සේරුපිටිය  ප්‍රදේශයේ ඉදිකරන ලද හෙළ බොජුන්හල අද මුහුණ පා සිටින්නේද එම ඛේදවාචකයටයි. 

දීර්ඝකාලයක් පවතින මෙම ගැටලු කෙරෙහි මෙන්ම හෙළ බොජුන්හල වසා දැමීම සම්බන්ධයෙන් අප කළ විමසීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ඩී. එම්. වීරසිංහ මහතා පළ කළේ මෙවන් අදහසකි.

&වනජීවී රක්ෂිතය තුළ තියෙන මේ ඉඩම දෙපාර්තමේන්තුවට පැවරුණේ උසාවි නියෝගයක් මතයි. නමුත් ඒ ඉඩම තුළ ඉදිකිරීමක් සඳහා අවසර ලබාදෙන්න වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට බලය තියෙනවා. මේ වැඩේ කරනකොටම මම කිව්වා අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරය ලබාගන්න කියලා. නමුත් ප්‍රාදේශීය ලේකම් ඒක කළේ නෑ. මම වාචිකව අවසර දුන්නා කියන කතාව බොරුවක්. මම කිව්වේ අවසර අරන් වැඩේ කරන්න කියලයි. මම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්ට දැන්වුවට පස්සේ එහෙනුත් ලිපියක් කොළඹට ගිහින් තිබුණා. නමුත් තවමත් අනුමැතියක් ලැබිලා නෑ. අපි ඉදිකිරීම් නවත්වන්න කියලා කිව්වත් ඇහුවෙ නෑ. අවසානයේ හෙළ බොජුන්හල ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී අපිට ඒක තාවකාලිකව නවත්වන්න සිද්ධ වුණා. මෙතන කරන දේ ගැන අපිට ව්‍යාපෘති වාර්තාවක් දෙන්න කියලා කිව්වත්, තාම ඒක දීලත් නෑ. අපිට නිර්දේශ කරලා හරි යවන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා දැනගන්න ඕනනේ. අපි එතන පරික්ෂා කරන්න නිලධාරීන් යැව්වා. ඒ අය කියන්නේ මෙතන බැහැර කරන අපජලය ඔක්කොම ගඟට හරවලා තියෙනවා කියලයි. මේ ගැටලුව ගැන කොළඹින් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් මංජුල අමරරත්න මහතා ඇතුළු පිරිසක් ඇවිත් පරික්ෂා කර බැලුවා. නමුත් තවමත් අනුමැතියක් ලැබිලා නෑ. එදාම ඒ ආසන්නයේ ඉදිකරන නිවසකුත් ආපු කණ්ඩායම පරික්ෂා කරලා මේ වෙනකොට කොන්දේසි සහිත අනුමැතිය ලබාදීලා තියෙනවා. මමත් කියන්නේ කොන්දේසි සහිතව හෝ මේ හෙළ බොජුන්හලටත් අනුමැතිය ලබාදෙන්න කියලයි. මේ රක්ෂිතය තුළ රජයේ වගේම පෞද්ගලික ඉඩම් තියෙනවා. 1987දී රක්ෂිතයක් වශයෙන් නම් කරනකොට ඔප්පු තිබුණ අයට අපි මොකවත් කරන්නේ නෑ. ඒ අය, වන අපරාධයක් සිදුකරනවා නම් විතරයි අපි ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නේ. හෙළ බොජුන්හල වහන්න කියලා කිසිම බලපෑමක් ඇවිල්ලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම වහන්න කියලා අපි කියන්නේ නෑ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එක්ක කතා කරලා එකඟතාවකට ඇවිල්ලා නැවතත් ඉක්මනින් පටන් ගන්න කියලයි අපිත් කියන්නේ. මොකද මේකත් රජයේ ව්‍යාපෘතියක්නේ. 

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතාද මෙම ගැටලුව කෙරෙහි මැදිහත් වූ එක් පාර්ශ්වකරුවෙකි. මේ ඔහු පළ කළ අදහසයි.

මේ ඉඩම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් වුණාට කැලයක්වත්, වනජීවියෙක්වත් එතන නෑ. ඒක සම්පූර්ණයෙන්ම මාර්ග රක්ෂිතයක් එක්ක තියෙන එළිමහන් ඉඩමක්. ඒ ආසන්නයේ තවත් ගොඩනැගිලි ඉදිකරලා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයත් මේකට ලැබිලා තියෙනවා. ඒ වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලාප භාර සහකාර අධ්‍යක්ෂවරයාගේ වාචික උපදෙස් හා අවසරය මත තමයි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ අනුව මේක සාර්ථකව කරගෙන යද්දී තමයි නිසි අවසරයක් නැති නිසා හෙළ බොජුන්හල වහන්න කියලා නියෝග කරන්නේ. මේ ප්‍රශ්නය ආපු වෙලාවේ වලපනේ ප්‍රාදේශීය ලේකම්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්ට ලිව්වා. ඒකටත් විසඳුමක් නැති නිසා මට විස්තරය කිව්වම මමත් එයාට කරුණු පැහැදිලි කරලා ලිපියක් දැම්මා, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා අවසරය ලබාදෙන්න කියලා. ඒ වගේම දුරකථනයෙන් කතා කරලා විස්තර කිව්වා. එතකොටත් ඔහු කිව්වේ මේ සඳහා අවසර දෙන්නම් කියලයි. ඒ විතරක් නෙමෙයි වලපනේ ප්‍රදේශයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමා ආපු වෙලාවේ රක්ෂාව අහිමි වුණ පවුල්වල අය මේ ප්‍රශ්නය කිව්වම, අපිත් ඉන්න අවස්ථාවේදීම ඔහු වනජීවි අධ්‍යක්ෂ ජනරාල්ට කතා කළා. ඒ වෙලාවෙත් පොරොන්දු වුණා මේ සඳහා අවසරය ලබාදෙන්න. නමුත් එය තවමත් ලැබිලා නෑ. මම හිතන්නේ දෙපාර්තමේන්තුවකින් එහෙම කරන එක වැරදියි. වලපනේ කියන්නේ අඩු ආදායම්ලාභීන් ජීවත් වෙන ප්‍රදේශයක්. අපි ලොකු කැපවීමක් කරලා, පවුල් ගණනාවකගේ ආර්ථිකය නංවන්නයි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. එහෙව් එකේ තාක්ෂණික කරුණු මුල් කරගෙන මේකට අවසර ලබානොදෙන එක ප්‍රදේශයේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්. මෙතන අපි හැදුවේ රජයේ ගොඩනැගිල්ලක්. ඒ තුළ තියෙන්නේ ග්‍රාමීය ආර්ථිකය ඉහළ නංවන ව්‍යාපෘතියක්. ඒකට දාන තහංචි පෞද්ගලික ඉදිකිරීම්වලට දාල නෑ. ඒක වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට යොමුකරන්න ඕන ප්‍රශ්නයක්. විධිමත් සැලැස්මක් අනුව ප්‍රදේශයේ අනවසර ගොඩනැගිලි ඉවත්කරන වැඩපිළිවෙළක් මේ තාක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නෑ. මේ තත්ත්වය හරිම ගැටලුකාරියි. ඉක්මනින් මේකට පිළියමක් යොදනවා නම් තමයි හොඳ. 

මෙම ගැටලුව සම්බන්ධයෙන් විමසීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, එම්. ජී. සී. සූරියබණ්ඩාර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් අතර, මෙය පරිපාලන ගැටලුවක් බවත්, ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදීමට තමා අකමැති බවත් ඔහු අප හමුවේ පැවසීය.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඍජු ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළද, අප හමුවේ ප්‍රශ්න රාශියක් පැන නගී. එනම්, 

“රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක් වැයකොට ඉදිකළ රජයේ ගොඩනැගිල්ලක් වූ හෙළ බොජුන්හලට අවසර ලබානොදෙන්නේ ඇයි?”

 “වනජීවී කලාපයේ කොන්දේසි සහිතව හෝ පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ඇයි?”

“එම කොන්දේසි හෙළ බොජුන්හල සඳහා බලනොපාන්නේ ඇයි?” යන්නයි.

හෙළ බොජුන්හලට අවසර ලබාදීම සම්බන්ධයෙන් පරික්ෂා කර බැලීම සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පැමිණි වනජීවී මෙහෙයුම් අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා ඇතුළු කණ්ඩායම, එදිනම ඒ ආසන්නයේ පරික්ෂා කරනු ලැබූ පෞද්ගලික ඉදිකිරීම සඳහා කොන්දේසි සහිත අවසරය මේ වන විට ලබා දී තිබියදී, හෙළ බොජුන්හල සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොතිබෙන්නේ “වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය සම්පත් ප්‍රවර්ධනයට වඩා පෞද්ගලික දේපළ වැඩිදියුණු කිරීමෙහිලා වැඩි උනන්දුවක් දක්වන නිසාද?” යන්න පිළිබඳවත් අප ඔවුන්ගෙන් විමසා සිටිය යුතුය. මේ පිටුපස ඇති යථාර්ථය ප්‍රාදේශීය ලේකම් අයි. එම්. සේනානායක මහතා කියන පරිදි උසස් නිලධාරීන් තීරණ ගැනීමේදී දක්වන උදාසීනත්වයද, නැතිනම් වෙනත් ලාභ ප්‍රයෝජනද යන්න සොයා බැලීම අද දවසේ ප්‍රමුඛතම කාර්යයක් බවට පත්වී ඇත.

සටහන හා ඡායාරූප - නුවරඑළිය සම්පත් ජයලාල්

 



Recommended Articles