මොනවද මේ පෙට්‍රෝලියම්?
පෙට්‍රෝලියම් යනු විවිධ අණුක භාරයන් සහ අනෙකුත් දියර කාබනික සංයුතියෙන් යුතු, ස්වාභාවිකව සෑදෙන, සංකීර්ණ හයිඩ්‍රෝකාබන්වලින් සමන්විත වන, වහා ගිනි ඇවිළීමට ලක්වීමේ අවදානමක් සහිත දියරයකි. මෙම පෙට්‍රෝලියම් ප්‍රධාන වශයෙන් සොයා ගනු ලබන්නේ තෙල් කැණීම් කිරීම මගිනි. තෙල් කැණීම සිදු කරනු ලබන්නේ ව්‍යූහමය භූ විද්‍යාව, රොන් මඩ තැම්පත්වීමේ විශ්ලේෂණය සහ ජලාශවල පවත්නා විවිධ වූ ආවේණික ලක්‍ෂණ ආදී සාධක පිළිබඳ සූක්‍ෂම සහ විධිමත් අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුවය.
පෙට්‍රෝලියම් සෑදෙන හැටි
ෆොසිල ඉන්ධනයක් වූ ඛනිජ තෙල් සඳහා පෙට්‍රෝලියම් යන නාමය ලැබී ඇත්තේ ලතින් භාෂාවෙනි. පෙට්‍රෝලියම් නිර්මාණය වී ඇත්තේ ප්‍රාග් ඓතිහාසික ශාක හා සත්ත්ව කොටස් මුහුදු පතුලේ ඇති වැලි, රොන් මඩ සහ ගල් සමග තැම්පත්වීම මගිනි. ගල් සහ රොන් මඩ ස්ථර වශයෙන් කාබනික ද්‍රව්‍ය සමග මිශ්‍ර වීමෙන් අනතුරුව ගංගා ආශ්‍රිතව, මුහුදු තීරය ආශ්‍රිතව සහ මුහුදු පතුලේ තැම්පත්ව තිබේ. මේ කාබනික ස්ථර, වාතය නොලැබීම නිසා වියෝජනය වීමකට භාජනය නොවිණි.
පසුව කාලයාගේ ඇවෑමෙන් පීඩනය සහ උෂ්ණත්වය වැඩි වීම හේතුකොට ගෙන එහි පවතින වැලි, මඩ හා රොන් මඩ ගල් බවට පරිවර්තනය විය. ඒවා %සම්පත් ගල්^ ලෙසද හැඳින්වේ. අනතුරුව ක්‍රමයෙන් මන්දගාමී ලෙස මෙහි පවතින කාබනික ද්‍රව්‍යයන් පෙට්‍රෝලියම් බවට පත්විය. මෙම පෙට්‍රෝලියම් දියරය, ගල් තුළ රඳවාගෙන වසර මිලියනක කාලයක් ගෙවී ගිය පසු එම ගල් තුළ පවතින ඉතා කුඩා සිදුරු ඔස්සේ පෙට්‍රෝලියම් මතුපිටට පැමිණීම සිදුවේ. සරලව පැහැදිලි කළහොත් එය ස්පොන්ජ් එකක් ආධාරයෙන් ජලය රඳවා ගැනීමට සමාන වූ ක්‍රියාවලියකි.
පෙට්‍රෝලියම්වල භාවිතයන්
පෙට්‍රෝලියම් තාපාංකයේදී ඉතා පහසුවෙන් විවිධ හා සුලභ පාරිභෝගික ද්‍රව්‍යයන් වන පෙට්‍රල් (ගැසලින්), භූමිතෙල්, ඈෂ්ෆල්ට් සහ ප්ලාස්ටික මෙන්ම බෙහෙත් උපකරණ සඳහා භාවිත කරනු ලබන රසායනික ප්‍රතිකාරක නිෂ්පාදනයට යොදා ගැනීමට හැකිය. නොයෙකුත් දෛනික අවශ්‍යතා රැසක් සපුරා ගැනීම සඳහා මෙම පෙට්‍රෝලියම් සම්පත භාවිත වන අතර, දිනකට බැරල් දසලක්‍ෂ 88ක පමණ ප්‍රමාණයක් ලොව පුරා භාවිත වන බවට දළ වශයෙන් මේ වනවිට ගණන් බලා ඇත.
මෙම පෙට්‍රෝලියම් වැනි ෆොසිල ඉන්ධන අධික භාවිතය හේතු කොට ගෙන පෘථිවි ජෛව ගෝලයට විශාල වශයෙන් බලපෑම් සිදුවේ. වාතයට දූෂ්‍ය කාරක මුසුවීම, වායුගෝලය වෙත හරිතාගාර වායු මුසු වීම සහ තෙල් විසිරීම ආදී අහිතකර තත්ත්ව මින් ප්‍රධාන කොට සැලකෙයි.
මොනවාද මේ ස්වාභාවික ගෑස්?
ස්වාභාවික ගෑස් යනු ස්වාභාවිකව සිදුවන, මූලික වශයෙන් මීතෙන් අඩංගු අනෙකුත් හයිඩ්‍රෝකාබන් වර්ග වන කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ්වලින් සමන්විත වූ හයිඩ්‍රෝකාබන් ගෑස් මිශ්‍රණයකි. ඉතා ගැඹුරු පොළොව අභ්‍යන්තරයේ ඇති පර්වත තුළ හෝ ගල් අඟුරු නිධිවල ඇති හයිඩ්‍රෝකාබන් ජලාශවල හෝ මීතේන් ආකාරයෙන් සොයාගත හැකිය.
පෙට්‍රෝලියම්, ස්වාභාවික ගෑස්වලට ආසන්නයෙන්ම හෝ ස්වාභාවික ගෑස් සමගම සොයා ගැනීමට හැකියාව ඇති අගනා සම්පතකි. බොහෝ ස්වාභාවික ගෑස් කාලයාගේ ඇවෑමෙන් යාන්ත්‍රික කොටස් දෙකකින් සෑදී ඇත. එනම් බයෝජෙනික් (Biogenic) සහ තර්මෝජෙනික් (Thermogenic) ගෑස් යනුවෙනි. මෙම බයෝජෙනික් ගෑස් නිර්මාණය වී ඇත්තේ මඩ වගුරු, මඩ වළවල්, ගොඩ වූ භූමිවල සහ නොගැඹුරු මඩ තුළය. ඉතා අධික උෂ්ණත්වයේදී සහ පීඩනයේදී පෘථිවියේ ඉතා ගැඹුරු ස්ථානවල වැළලී ඇති කාබනික ද්‍රව්‍යවලින් තර්මෝජෙනික් වායුව සෑදේ.
ස්වාභාවික ගෑස් භාවිතයන්
මෙම ස්වාභාවික ගෑස් තාපය සහ විදුලි බලය ලබාදෙන අතිශය වැදගත් ශක්ති ප්‍රභවයකි. එය රථවාහන සඳහා ඉන්ධනයක් වශයෙන් මෙන්ම ප්ලාස්ටික් සහ වාණිජ වශයෙන් වැදගත්කමක් උසුලන කාබනික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහාද භාවිතයට ගනු ලබයි.
අතුරු ඵල
ස්වාභාවික ගෑස් ඉන්ධනයක් වශයෙන් භාවිත කිරීමට පෙර එය වෙළෙඳ පොළට යැවිය හැකි පරිභෝජන තත්ත්වයට පත්කිරීම සඳහා ඒවායේ ඇති ජලය සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලිය වෙත භාජනය කළ යුතුය. මෙම ක්‍රියාවලියේ අතුරු ඵල ලෙස එතේන්, ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන් සහ අණුක භාරයක් සහිත හයිඩ්‍රෝකාබන් වර්ග හයිඩ්‍රජන් සල්ෆයිඩ්, කාබන්ඩයොක්සයිඩ්, ජල වාෂ්ප මෙන්ම සමහර අවස්ථාවලදී හීලියම් සහ නයිට්‍රජන් නිෂ්පාදනය සිදුවේ.
ශ්‍රී ලංකාවේ පවතින ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් සම්පත
මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 1,750ක ප්‍රමාණයක් ඛනිජ තෙල් හා ස්වාභාවික වායු අන්තර්ගතව පවතින බව මේ වනවිට සොයා ගෙන ඇත. මෙහි බොරතෙල් බැරල් බිලියනයක පමණ ප්‍රමාණයක් අවසාධිත ලෙස පවතින බවට විද්වතුන් සහ පර්යේෂකයන් විශ්වාස කරන අතර, මෙහි වාණිජමය උපයෝගීතාව සහ වටිනාකම තවමත් තීරණය කර නොමැත.
මන්නාරම් ද්‍රෝණියේ මෙතෙක් සිදුකර ඇති කැණීම් හා පර්යේෂණවලදී මේ දක්වා වාණිජ හයිඩ්‍රෝකාබන් සොයාගෙන නොමැති අතර, යම් යම් ආයතන මගින් සම්පත් පාෂාණවල කාබන් ද්‍රව්‍ය අඩංගු බවත්, ඒවා මගින් හයිඩ්‍රෝකාබන් සෑදීම අපහසු බවත් සොයාගෙන ඇත. TOC හෙවත් Total Original Carbon යනු මිම්මකි. මෙමගින් සම්පත් පාෂාණවල කොපමණ ප්‍රමාණයක් කාබනික ද්‍රව්‍ය හෙවත් මළ සත්ත්ව හා ශාක කොටස් අඩංගු දැයි සොයාගත හැකිය.
ඇතැම් සම්පත් පාෂාණවල 2%-3%ක් දක්වා TOC ප්‍රමාණයක් පවතී. කෙසේ වෙතත් මන්නාරම් බොක්කේ සිදු කරන ලද පෙර කැණීම් හා පර්යේෂණ මගින් 7%ක ප්‍රමාණයක් ඇති බව සොයා ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට තෙල් ලබා ගැනීමේ හැකියාව පවතින බව නිශ්චය කිරීමට හැකියාව තිබේ.
තෙල් ගවේෂණ අධීක්‍ෂණය
2008 අංක 35 දරන සම්‍රද්‍ර දූෂණ වැළැක්වීමේ පනත ප්‍රකාරව ඛනිජ තෙල් හෝ ආශ්‍රිත ක්‍රියාකරකම් ඇතුළු ස්වාභාවික සම්පත් ගවේෂණය කිරීමේ හෝ එම කාර්යයේ නියැළී සිටින කොන්ත්‍රාත්කරුවන්, උපසේවා කොන්ත්‍රාත්කරුවන් සහ වෙනත් පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්වය අධීක්‍ෂණය කිරීම, විධිමත් කිරීම සහ පරීක්‍ෂා කිරීම සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙත පැවරී ඇති වගකීමකි. මේ වනවිට සිදුවන මන්නාරම් බොක්කේ තෙල් කැණීම් කටයුතු සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙමින් පවතී.
නඳුන් ශ්‍යාමාල්