කෝවිඩ් හමුවේදී 2020ත් ආර්ථික අවපාතයකට හසුවූවාද?


කෝවිඩ් 19 වෛරසය සමග පුරා වර්ෂයක්ම ලෝක ජනතාව ජීවත් වන අතර, තවමත් මේ සඳහා සියයට සියයක් සාර්ථක ප්‍රතිකාරයක් සොයාගැනීමට වෛද්‍ය අංශ සමත් වී නැත. නමුත් සැලකිය හැකි සාර්ථක එන්නතක් මෙම වෛරසය සඳහා නිර්මාණය වී ඇති අතර, ලෝකයේ රටවල් ගණනාවක් මේ වන විට එම එන්නත ලබාගනිමින් සිටියි. කෝවිඩ් සමග වර්ෂයක් අවසන් කරමින් අලුත් වර්ෂයකට ගමන් කිරීම සිදුවන මේ මොහොතේදී පසුගිය කාලය පුරාවට ලෝකය ආක්‍රමණය කළ මෙම වෛරසයේ ස්වභාවයේ වෙනස්වීම් සහ අලුතෙන් එකතු වුණු තත්ත්වයන් පිළිබඳව මෙම ලිපිය සකස් වී ඇත. මේ සඳහා පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ක්ෂුද්‍ර ජීවවිද්‍යා විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි චන්ද්‍රසිරි මහත්මිය පැවසූ කරුණු පදනම් කරගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බෙදාහරින විස්තර ලේඛන කාලයත් සමග සහ වෛරස ස්වභාවය සමග වෙනස් වන බව සාකච්ඡාවට එක්වෙමින් ඇය පැවසුවාය. උදාහරණ ලෙස මුල් කාලයේදී රෝගීන්ව රෝහල්වලින් මුදාහැරීමට භාවිත කළ මාර්ගෝපදේශනය මේ වනවිට භාවිත නොකරන අතර, වෛරසයේ කාලීන ස්වරූප මත එය වෙනස් වී ඇත. නව පර්යේෂණයන්, නව විද්‍යාත්මක මත සමග එවැනි මාර්ගෝපදේශනයන්ද විටින් විට වෙනස් විය හැකි බවද ඇය පවසයි.

එමෙන්ම මෑත කාලයේදී බ්‍රිතාන්‍ය තුළ ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේදය පිළිබඳවද ඇය අදහස් දැක්විය. මෙම නව වෛරස ප්‍රභේදය RNA වෛරසයක් වන අතර, එය අනෙක් DNA වෛරසවලට වඩා ප්‍රභේද පහළ වීම ඉක්මනින් සිදුවේ. එබැවින් විවිධ ප්‍රභේද නිර්මාණය වීම සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වෙයි.  බ්‍රිතාන්‍යයේ තිබෙන වෛරසයෙන් දක්නට ලැබෙන ප්‍රධාන දෙය නම් එය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වීමක් සිදුවේ. ඒ හැරුණුකොට බ්‍රිතාන්‍යයේ පැතිරෙන නව වෛරස ප්‍රභේදය පිළිබඳ වැඩි යමක් තවමත් සොයා ගැනීමට නොහැක. මෙහි ජානමය වෙනස්කම් ඇති බැවින්, එය නව ප්‍රභේදයක් ලෙස හැඳින්විය හැක. යම් අයුරකින් මෙම නව වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු ලංකාවට පැමිණියහොත් එය හඳුනා ගැනීමේ විශාල අසීරුතාවයක් ඇත. පුද්ගලයෙකු කෝවිඩ් රෝගියෙකුදැයි හඳුනාගන්නා පී.සී.ආර් පරීක්ෂණය තුළින් එහි ප්‍රභේදය කුමක්ද යන්න හඳුනාගත නොහැක. සාමාන්‍ය පී.සී.ආර් පර්යේෂණයකින් කෝවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වන්නේ එහි තිබෙන ජාන කිහිපයකිනි. නමුත් බ්‍රිතාන්‍යයේ පැතිරෙන නව වෛරස ප්‍රභේදයේ රෝගීන් සිටිනවාද යන්න සොයා ගැනීමට ඉතා දිගු විශ්ලේෂණයක් අවශ්‍යය. එහිදී වෛරසයේ ඇති සෑම ජානයක්ම පරික්ෂා කළයුතු වේ. රටවල්වල ගමනාගමනයට සිදුවන සීමාවන් පනවා ඇත්තේද එම නිසාය. විදේශයකින් පැමිණි අයෙකු පී.සී.ආර් පර්යේෂණයකින් පසුව කෝවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වුවත්, ඔහුගේ වෛරස තත්ත්වය කුමක්ද යන්න තහවුරු කරගැනීමට වෙනම විශ්ලේෂණයක් අවශ්‍ය බව මෙහිදී සාකච්ඡා විය.

කෝවිඩ් වෛරසයේ ජාන සියල්ලම විශ්ලේෂණය කිරීම සඳහා යන්ත්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිබෙන බව ක්ෂ්‍රද්‍රජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි චන්ද්‍රසිරි මහත්මිය පවසයි. එමෙන්ම මෙම නව වෛරස ප්‍රභේදය පිළිබඳව විශ්ලේෂණයන් වෛද්‍ය පර්යේෂණ ආයතනය හොංකොං රාජ්‍යයත් සමග එකතු වී සිදුකරමින් පවතී. මේ වනවිට ලංකාව තුළ බ්‍රිතාන්‍යයේ පැතිරෙන නව වෛරස ප්‍රභේදය වැලඳුණු රෝගියෙකු හමු වී නොමැති අතර, යම් සැකයක් හෝ යම් අවස්ථාවක එවැන්නක් සිදු වී ඇතිද යන්න පිළිබඳව පරික්ෂා කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා පී.සී.ආර් පර්යේෂණයක් වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාදෙමින් එය තහවුරු කරගැනීමට හැකි බවද වෛද්‍යතුමිය පවසා සිටියාය. සාමාන්‍යයෙන් එවැනි විශ්ලේෂණයක් සඳහා දැවැන්ත වියදමක් දැරීමට සිදුවේ. නමුත් මේ මොහොතේදී අවශ්‍ය වන්නේ බ්‍රිතාන්‍ය වෛරසය පිළිබඳ පර්යේෂණ කිරීම වෙනුවට ලංකාවේ පවතින තත්ත්වය (බස්නාහිර පළාතේ තත්ත්වය) සමනය කර ගැනීමට කටයුතු කිරීම බව තමන් විශ්වාස කරන බව ඇය පැවසීය.

නව කෝවිඩ් වෛරසය ලෝකයට ව්‍යාප්ත වන විට චීනයේ සහ ඉතාලියේ පැවතුනේ ශීත සෘතුව වන අතර, එවිට ඝර්ම කලාපීය රටවල් විශ්වාස කළේ සිය දේශගුණික තත්ත්වය මත නව කෝවිඩ් වෛරසය වැඩි ප්‍රමාණයකින් පැතිරෙන්නේ නැති බවය. නමුත් එය තහවුරු කරගත හැකි වන්නේද මේ කාලයේදී වන බව වෛද්‍යතුමිය සඳහන් කළාය. එයට හේතුව වන්නේ කෝවිඩ් වෛරසයත් සමග ලෝකය ගත කරන්නේ දෙවැනි ශීත සෘතුව බැවින් සැබැවින්ම එම මතය තහවුරු කරගත හැක්කේ එමගින් බවයි. සාමාන්‍යයෙන් වෛරසයක් ආසාදනය වීමත් සමගම ඊට එරෙහි ප්‍රතිශක්තියක් නිපද වීම සිදුවන අතර, කෝවිඩ් වෛරසයටද එය පොදුය. ඇතැම් වෛරසවලට ජීවිත කාලයටම සරිලන ආකාරයේ ප්‍රතිශක්ති නිකුත් වන නමුත්, මෙම වෛරසයට එවැන්නක් නිකුත් නොවේ. එබැවින් සමාජය පුරා පැතිරෙන කතාවක් වන පුද්ගලයෙකුගේ ශරීරයට වෛරසය පැමිණ ඔහුගේ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියත් සමගම පුද්ගලයාටත් නොදැනීම වෛරසය සුව වීමද සිදුවිය හැකි බව එතුමිය පවසයි. නමුත් එම ප්‍රතිශක්තීකරණ ශක්තිය කොපමණ කාලයක් රඳා පවතීද යන්න පිළිබඳව තවමත් ගැටලුවකි. දැනට පවතින දත්ත මත එම ප්‍රතිශක්තීකරණය දීර්ඝකාලීනව පවතින්නක් නොවන බවටද තහවුරු වී ඇති අතර, එය මාස තුනක් හෝ හයක් පමණ විය හැකි බවද ප්‍රකාශ විය. එමෙන්ම පී.සී.ආර් පර්යේෂණ මගින් තහවුරු වූ දත්ත අනුව කඩදාසි මත වෛරසය පැය විසි හතරක් සහ ලෝහමය ද්‍රව්‍ය මත දින පහක් වැනි කාලයක් පැවතිය හැකි බව වෛද්‍යතුමිය පැවසුවාය. එමෙන්ම සාමාන්‍ය පෘෂ්ඨ මත වැඩි වේලාවක් වෛරසය පවතින්නේ නැති අතර, ජලය මත කොපමණ කාලයක් වෛරසය රඳා පවතිනවාද යන්න පිළිබඳව ලෝකයේ විශේෂඥ වෛද්‍යවරුන් තවමත් පර්යේෂණ සිදුකරන අතර, ඒ පිළිබඳව විවිධ මත පළවී තිබෙන බවද ඇය පැවසුවාය. එමෙන්ම පෘෂ්ඨ මත පවතින වෛරසය මිය ගිය හෝ ජීවී වෛරසයක්ද විය හැකි බවද ඇය පැවසුවාය.

මේ වනවිට රට විවෘත වී තිබීමත් සමගම ජනතාව යම් අයුරිකින් නිදහසේ හැසිරෙන අයුරු දක්නට ලැබේ. එවැනි නිදහසක කටයුතු කිරීම තුළින් ජනතාව තමන්ගේ සමාජ වගකීමෙන් මිදී ඇති තත්ත්වයක්ද දක්නට ලැබේ. එමෙන්ම එළඹෙන වර්ෂ අවසානයේ විවිධ උත්සව පවත්වමින් සමාජ වගකීම පැහැර හරිමින් කටයුතු කළහොත්, මෙම පවතින තත්ත්වයද තව තවත් වර්ධනය විය හැකි බව ක්ෂද්‍ර වෛද්‍ය ශ්‍රියානි චන්ද්‍රසිරි මහත්මිය පැවසුවාය. ලෝකය පුරා ඉක්මනින් පැතිරෙන වෛරසයක් සමග ජීවත් වීමේදී එම තත්ත්වය පිළිබඳව ඇති අවධානයෙන් ගිලිහී නොගොස් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන බවද ඇය පැවසුවාය. එමෙන්ම කෝවිඩ් වෛරසයට තවමත් සියයට සියයක් සාර්ථක ප්‍රතිකාරයක් ලෝකයේ කොතැනකවත් සොයාගෙන නොමැති බව සිහියේ තබාගෙන කටයුතු කළ යුතුය. විශේෂයෙන් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීම සහ නව වසර ආරම්භ වීමේදී විශාල වශයෙන් පිරිස් එකතු නොවී කටයුතු කිරීම ඉතා වැදගත් බව මෙහිදී කථිකා විය. එබැවින් සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශනයන් පිළිපදිමින් ඉදිරි කාලයේදීත් කටයුතු කළහොත් පළමු කෝවිඩ් පොකුර මැඬපවත්වා ගැනීමට හැකි වූවා සේම මෙම දෙවැනි කෝවිඩ් පොකුරත් ජයගැනීමට හැකි වන බවත්, එසේ නොමැති වුවහොත් මීට වඩා වැඩි පිරිසක් ඉදිරි උත්සව සමයෙන් පසුවද රෝහල්ගත කිරීමට සිදුවනු ඇති බවට වෛද්‍යතුමිය පැවසුවාය. එමෙන්ම වසර අවසානය සහ උත්සව සමය සමග නිවෙස් කරා යන පිරිස් හට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදුකර ගැනීමට රෝහල්වලට යාමට අවස්ථාවද තිබෙන බැවින් එවැනි දෑ සිදුකර ගැනීමට කටයුතු කරන ලෙසද මෙහිදී සාකච්ඡා විය.



Recommended Articles