ලංකාව වසර කිහිපයක පටන් දරුණු ආර්ථික අවපාතයකට ගමන් කරමින් සිටියදී, කෝවිඩ් වසංගතය වර්ෂයක් පුරාවටම රට තුළ පැවතීම තුළින් රටේ ආර්ථිකය තවත් දරුණු ලෙස පසුබෑමකට ලක්ව ඇති බව ගෙවී ගිය මාස කිහිපය තුළ අපට දක්නට ලැබිණි. එවැනි වාතාවරණයකදී එළැඹෙන 2021 වර්ෂයට යාමට ලැබෙන්නේද කෝවිඩ් අර්බුදය මැදය. එසේ නම් 2021දී රට තවත් ආර්ථික පසුබෑමකට ලක්වීමේ ඉඩකඩ අතිවිශාලය. එය සීමා කරගන්නේ සහ ඒ සඳහා කළයුතු ක්‍රියාවලීන් පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශාධිපති මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසූ කරුණු ඔස්සේ මෙම ලිපිය සකස් වී ඇත.
2020 වර්ෂයේ ලංකාවේ ආර්ථිකය ගමන් කළ රටාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී මූලික වශයෙන් කරුණු දෙකකට අවධානය යොමු කළ යුතුය. කෝවිඩ් වසංගතය හමුවේ ලෝකයේ සෑම රටක්ම දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබීම ඉන් පළමු වැන්නය. චීනය හැරුණුකොට මේ වර්ෂයේ පළමු කාර්තුව, දෙවැනි කාර්තුව සහ තෙවැනි කාර්තුව තුළ බටහිර රටවල (ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව) ආර්ථික වර්ධන වේගයන් අඩු වී තිබේ. රැකියා අහිමිවීම්, ව්‍යාපාර කටයුතු අඩාල වීම් ලෝකයේ සෑම පුරවැසියෙකුටම තදින් බලපා තිබේ. ඒවා ලෝක ආර්ථික අර්බුදයක ලක්ෂණයන්ය. ඒවා අහිමි වීම තුළින් නිෂ්පාදන අඩු වන විට රටක ආණ්ඩුවලට බදු මුදල් පිළිබඳව විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවේ. එමෙන්ම ආණ්ඩුවල වියදම වැඩි වේ. විශේෂයෙන් කෝවිඩ් නිවාරණයට, කෝවිඩ් රෝගීන්ට, සාමාන්‍ය ජනයාට වියදම් කිරීමට සිදුවන්නේ රටක ආණ්ඩුවටය. මේ නිසා වැඩියෙන් මුදල් නෝට්ටු නිකුත් කිරීමට සිදුවේ. මෙය ලෝකයේ සෑම රටක්ම මේ වර්ෂය පුරා මුහුණ දුන් ප්‍රශ්නයක් වන අතර, ලංකාවටද ඒ ආකාරයටම මුහුණ දීමට සිදුවිය.
මෙහි දෙවැනි කාරණය වන්නේ ලංකාවේ තත්ත්වය ලෝකයේ අනෙක් රටවල තත්ත්වයන්ට වඩා බරපතළ වීමය. එයට හේතු වන්නේ කෝවිඩ් නැති වුවත් ලංකාව ගමන් කරමින් සිටියේ දරුණු ආර්ථික අර්බුදයකට වීමයි. මෙය පසුගිය වසර දහයකට පමණ පෙර පටන්ම ක්‍රම ක්‍රමයෙන් සිදුවෙමින් පැමිණි ක්‍රියාවකි. පසුගිය දස වසරක කාලය තුළ රට තුළ පෞද්ගලික ආයෝජන වැඩිවීමක් දක්නට නොලැබිණි. යුද්ධය අවසන් වුවත් විදෙස් ආයෝජකයන් ලංකාවට පැමිණීමේ ප්‍රවණතාවය අවම මට්ටමක පැවතිණි. එමෙන්ම රටේ අපනයන වේගයද වර්ධනය නොවීය. විදේශ විනිමය අඩු වීම, බදු ආදායම පහතට වැටීම වැනි කාරණා පසුගිය වසරවල දක්නට ලැබුණු බැවින් කෝවිඩ් ප්‍රශ්නය නැති වුවත් අප ආර්ථික අර්බුදයකට ගමන් කරමින් සිටියේය. එම අර්බුදය තවත් ඉක්මන් වීමක් පමණක් කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සිදුවිය.
පසුගිය වසරවලට සාපේක්ෂව ලංකාවේ ආර්ථික වේගය මේ වසරේදී කෙතරම් පහතට වැටුණාදැයි අංකනය කිරීමට නොහැකිය. එහි ප්‍රධාන හේතුව ලංකාව එවැනි දේක දත්ත එක්රැස් කිරීම් අතිදුර්වල තත්ත්වයක පැවතීමය. ඇතැම් රටවල මසකට වරක්, කාර්තුවකට වරක්, වසරකට වරක් ජනතාවගේ රැකියා අහිමිවීම්, ව්‍යාපාර අඩාල වීම්, ආර්ථිකයේ ගමන් මග පිළිබඳව දත්ත එක්රැස් කළද, ලංකාවේ එවැනි ආකාරයකට දත්ත එක්රැස් කිරීම් කඩිනමින් සිදුනොවේ. කාලයක් ගත වූ පසු එවැනි දත්ත එකතුකිරීම් සිදුකළත් ඉන් ඵලක් වන්නේ නැත. පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසර තුළ රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වයන් පහත වැටීම දක්නට ලැබිණි. රැකියා අහිමිවීම් දක්නට ලැබිණ. ව්‍යාපාර කටයුතු අඩාල වීම් දක්නට ලැබිණි. රටේ රැකියා ගැටලුව තවත් උග්‍ර විය. මැදපෙරදිග රැකියාවල නියුතු වූවන්ට රැකියා අහිමි විය. මෙවැනි කාරණා දෙස බැලීම තුළින් පමණක් රටේ ආර්ථික වර්ධන වේගය අඩු වූ බවට පැහැදිලි කරගත හැක. මේ කාරණා තුළින් රටේ ආර්ථිකය ශීඝ්‍ර හැකිලීමක් දක්නට ලැබිණි. ජනයා මේ කාලය තුළ ගමන් බිමන්, කෑම බීම, සේවා බොහෝ ප්‍රමාණයකින් සීමා කරගෙන තිබේ. සාමාන්‍යයෙන් වසර අවසානයේදී තිබෙන උත්සව ආදීන් පිළිබඳව ජනයාගේ උනන්දුව අඩු වීම එම හැකිළීම තුළින් දැකගත හැක.
මේ වසර තුළ රජය ආරම්භ කළ ව්‍යාපෘති කිසිවක් රටේ ආර්ථිකයේ තිරසාර වර්ධනයකට හෝ රැකියා බිහිවීමකට බලපාන්නේ නැත. 2020ට පෙර රජයන් විසින් සෑදූ ක්‍රීඩාංගණ, අධිවේගී මාර්ග, සම්මන්ත්‍රණ ශාලා, බලාගාර, ගුවන්තොටුපළවල් වැනි විශාල ව්‍යාපෘති තුළින් රටේ ආර්ථිකයට ධනාත්මක ආකාරයෙන් ප්‍රතිඵලයක් නොලැබිණ. පසුගිය වසරවල් තුළ පැවති රැකියා හිඟය තවමත් එලෙසම පවතී. රටක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන්නේ නම් සිදුකරන ව්‍යාපෘති තිරසාර විය යුතුය. රැකියා අවස්ථා හිමි කර දීම, කුඩා වෙළෙඳ පොළ නගාසිටුවන්නට මෙම සංවර්ධන ව්‍යාපෘති සිදුකරන්නේ නම් ඒ ව්‍යාපෘති සිදුකළ යුත්තේ පෞද්ගලික අයෝජන වැඩිකර ගැනීමේ අපේක්ෂාවෙනි. පෞද්ගලික ආයෝජන වැඩි වන්නේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිෂ්පාදන කටයුතු වැඩි වීම තුළය. ඉහත සඳහන් සංවර්ධන ව්‍යාපෘති කිසිවක් නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු නොවන අතර, නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයන කටයුතු වේ. එවැනි පහසුකම් සපයන ව්‍යාපෘති සිදුකිරීම තුළින් ප්‍රතිලාභයක් බලාපොරොත්තු විය හැක්කේ නිෂ්පාදන ක්‍රියාවලීන් විවෘත කර, ඒ සඳහා පෞද්ගලික ආයෝජකයන්ට අවස්ථාව හිමි කර දීම තුළිනි.
නව රජය පත්වීම සහ කෝවිඩ් හමුවේ බිඳවැටෙන ආර්ථිකය ගොඩනැංවීමට දේශීය වෙළෙඳ පොළ තුළින් හැකි බව සහ ඒ සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමට කටයුතු කිරීම තුළින් කිසිසේත්ම ආර්ථික වර්ධන වේගයක් කරා යාමට නොහැකිය. පහළට ගමන් කරන ආර්ථික රටාවකදී දේශීය වෙළෙඳ පොළ තුළින් ඉනිමං නැගීම කළ නොහැක්කකි. රටක් ඉදිරියට යන්නේ රටට තිබෙන වෙළෙඳ පොළ ප්‍රමාණය මතය. ගූගල් සමාගම, ඇපල් සමාගම, සැම්සුන්ග් ආයතනය, ටොයොටා වැනි සමාගම් එක් රටක් ඇතුළත පවතින සමාගම් නොව, ලෝකයටම විවෘත වුණු සමාගම්ය. ඔවුහු සමස්ත ලෝකයටම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරති. ඒ තුළින් අපට දැකගත හැකි වන්නේ රටක් ඉදිරියට ගෙන යාමට නිෂ්පාදන ක්‍රියාවලි ලෝකයටම ගෙන යා යුතු බවය. දේශීය වෙළෙඳ පොළ තුළින් ආර්ථිකය ගොඩනගා ගැනීමට උත්සාහ දැරීමේදී දේශීය නිෂ්පාදකයන් පවා කටයුතු කරන්නේ රට තුළ තිබෙන කුඩා වෙළෙඳ පොළ මතම යැපීමටය. නමුත් ඒ තුළින් ඔවුන්ට දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය.
තවද මෙම කෝවිඩ් අර්බුදය හමුවේ රජය විසින් ඉදිරි මාස තිහ ඇතුළත රථ වාහන ගෙන්වීම සීමාකර තිබීම පැති දෙකක් තුළින් නිරීක්ෂණය කළ හැක. වාහන ගෙන්වීම සීමා කිරීම මෙවැනි අවස්ථාවකදී නොවැළැක්විය හැකි දෙයකි. එය වළක්වා ගැනීමට නොහැකි තරමටම ලංකාව ආර්ථික මට්ටමෙන් පහත වැටී තිබේ. එය මේ අවස්ථාවේදී ගත හැකි තාවකාලික විසඳුමක් වන අතර, ඉන් තාවකාලික ප්‍රයෝජනයක් ගත හැකිය. නමුත් දිගුකාලීනව බලන විට (කෝවිඩ් අර්බුදයෙන් එළියට පැමිණි විට) වාහන ආනයනය සීමා කිරීම විශාල ප්‍රශ්නයක් විය හැක. මෙතුළින් ලංකාව ඉදිරියට ගමන් කිරීමද සීමා විය හැක.
කෝවිඩ් වසංගතය එළඹෙන 2021 වසර තුළත් මේ ආකාරයෙන්ම පැවතියහොත්, මේ තිබෙන ආකාරයටත් වඩා පහතට වැටී තවත් දුප්පත් ජනජීවිතයක් ගත කිරීමට සිදුවිය හැක. ජාතියක් වශයෙන් කුඩා කුඩා දේවල් සිදුකරමින්, රැකියා ගැටලු මත පෙළෙමින් ජීවත් වීමට සිදුවේ. කෝවිඩ් අර්බුදය ඉදිරි වසරේදීත් පැවතුණහොත් 2021 පමණක් නොව ඉදිරි වසර කිහිපය තුළද මේ ආකාරයෙන්ම ජීවත් වීමට සිදුවෙයි. එය අපට ඉලක්කම් තුළින් බැලිය හැකි වන්නේ රටේ අපනයන වර්ධනය, නිෂ්පාදන වර්ධනය මතය.
කෝවිඩ් ව්‍යසනය නොමැති වූවා නම් සිදුවෙමින් පැවතුණු ආර්ථික අවපාතය නවත්වා ගැනීමට කටයුතු කිරීමට තිරසර ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම, තීන්දු තීරණ ගැනීම කඩිනමින් කළ යුතුව තිබිණි. නමුත් කිසිදු අවස්ථාවක පසුගිය රජයන් තුළ එවැනි දෙයක් පිළිබඳව කථිකාවත් නිර්මාණය නොවීය. රටේ පරිපාලනය හෝ ජනයා වෙනස් නොවන්නේ නම් රටක ආර්ථික වෙනසක් බලාපොරොත්තු වීමට නොහැකිය. එවැනි අවස්ථාවකදී රජයක් විසින් ආර්ථිකය වෙනස් නොවන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුය. ආයෝජනයන් ගලා නොඑන්නේ ඇයි? මිනිස්සුන්ගේ අපනයනය වැඩි නොවන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුය. අසල්වැසි රටවල් තමන්ගේ ආර්ථීකය දියුණුකර ගැනීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සොයා නිරීක්ෂණය කළ යුතුය. අපනයන වැඩි නොවීමට සහ ආයෝජන වැඩි නොවීමට ලංකාව තුළ පවතින හේතු සහ ඒ පිළිබඳව සඳහන් වන ජාත්‍යන්තර වාර්තා අධ්‍යයනය කරමින් තීන්දු තීරණ ගත යුතුය. එවැනි හිඩැස් පුරවමින් ලංකාවේ ආර්ථිකය ඉහළට ගෙන යා හැකිය. කෝවිඩ් අවස්ථාව නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන රට ගමන් කරන අවපාතය යම් ආකාරයෙන් සීමා කරගත හැක. මේ අවස්ථාවේදී රටේ ආර්ථිකයට ධනාත්මක ආකාරයෙන් බලපානු ලබන ප්‍රතිපත්තිමය තීරණ රාශියක් ගත හැකි නමුත්, තවම එවැනි තීරණ ගැනීමට පාලන අධිකාරීන් කටයුතු කර නොමැත. එසේ නොමැතිව කෝවිඩ් අර්බුදය වෙනුවෙන් වෙනත් රටවලින් ණය අරගෙන ජීවත් වුවහොත්, කෝවිඩ් අර්බුදය තුරන් වූ දවසක නැවතත් සුපුරුදු ආකාරයටම රාජ්‍යය ඇදවැටීමට ලක් වේ.