කෝවිඩ් සමය තුළ රුධිර හිඟයට පිළියමක් වූ සමූහයක්


ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර, මේ නිසාම සමාජ මාධ්‍ය නියාමයනය සම්බන්ධ කාරණා පිළිබඳවද පසුගිය දිනවල රජයේ පාර්ශ්වයෙන් අදහස් ප්‍රකාශ විය. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය භාවිතයෙන් සමාජයේ යහපත සඳහා සිදුකෙරෙන කාර්යයන් රාශියක් ඇත.

මෙරට අසාධ්‍ය රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් "සමස්ත ලංකා රුධිර දායකයන්ගේ සංසදය" නමින් සමාජ මාධ්‍ය සමූහයක් නිර්මණය වී ඇති අතර, ඔවුන් ස්වේච්ඡාවෙන් සිදුකරන සමාජ සේවයක් ලෙස එය සිදුකරගෙන යයි. කෝවිඩ් වසංගතය හේතුවෙන් සියලු වැඩකටයුතු අතරමග නැවතී ඇති මොහොතක, ආසාධ්‍ය රෝගීන් රැසකට පිළිසරණක් වීමට මෙම සමූහයට හැකිවීම නිසාම ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් අපි සොයා බැලීමක් සිදුකළෙමු.

"පුදමු ලේ බිඳක් - සුරකිමු ජීවිත රැසක්" තේමාව යටතේ  මෙම සමුහය ක්‍රියාත්මක වේ. රෝගීන්ට අවශ්‍ය රුධිරය පරිත්‍යාග කිරීම මෙන්ම පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය රුධිර පට්ටිකා, ප්ලාස්මා ආදිය පරිත්‍යාග කිරීම සඳහාද මෙම සමූහයේ සාමාජිකයන් නිරන්තරයෙන් කටයුතු කරයි. මෙම සමූහයේ නිර්මාතෘවරයා වන්නේ පොල්ගහවෙල පදිංචි කසුන් බුද්ධික රත්නායක නම් තරුණයෙකි. මෙම සත්කාරය සම්බන්ධයෙන් හෙතෙම මෙසේ අදහස් දැක්වීය.

සමූහයේ ආරම්භය

වර්තමානයේදී විවිධ විෂය ක්ෂේත්‍ර සඳහා සමූහ සංගම් නිර්මාණය වන බව අපි දකිනවා. බෙහෝවිට මේවායේ අරමුණු එකිනෙකට වෙනස්.  නමුත් සමාජ සේවාවන් සඳහා නිර්මාණය වී තිබෙන ස්වේච්ඡා සංවිධාන දුර්ලබයි. ලංකාව පුරා විසිරී සිටින දීපව්‍යාප්ත රුධිර පරිත්‍යාගශීලීන් එකතු කර ගැනීමේ අරමුණෙන් මෙවැනි සමූහයක් නිර්මාණය කරන්න මම අදහස් කළා.

ඒ අනුව නිර්මාණය කළ "සමස්ත ලංකා රුධිර දායකයන්ගේ සංසදය" මගින් මේ වන විට දිවයින පුරා රෝගීන්ගේ හදිසි රුධිර අවශ්‍යතා සපයා දීමට කැපවීමෙන් කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම පළාත්, දිස්ත්‍රික් මට්ටමින් වගේම ප්‍රාදේශීය මට්ටමින්ද රුධිර පරිත්‍යාගශීලීන්ගේ කඳවුරු ක්‍රියාත්මක කිරීම, නිරෝගී තරුණ පිරිස් රුධිර පරිත්‍යාගශීලීත්වයට යොමු කිරීම, හදිසි රුධිර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට උපකාර වීම, දීපව්‍යාප්තව ඕනෑම ස්ථානයක සංවිධානය කරන රුධිර පරිත්‍යාග කිරීමේ කඳවුරු සඳහා අවශ්‍ය ප්‍රචාරණයන් ලබාදීම සහ සහයෝගය දීම අපි විසින් සිදුකරනු ලබනවා.

කෝවිඩ් තත්ත්වය තුළත් ක්‍රියාත්මක වීම

කෝවිඩ් වසංගතය නිසා  සියලුදෙනා අපහසුතාවයට පත්වයි සිටින්නේ. අපි හැමෝම දන්න දෙයක් තමයි කෝවිඩ් වසංගතය නිසා ලංකාවේ රුධිර පරිත්‍යාගශීලීන්ගේ කඳවුරු පැවැත්වීම සීමා කරන්න සිදුවුණා. මේ නිසාම ලංකාවේ ලේ හිඟයක් පවතිනවා.

මේ නිසා රෝගීන් බොහොමයක් අසරණභාවයට පත්වුණා. විශේෂයෙන්ම හදිසි ශල්‍යකර්ම සිදුකළ රෝගීන්ට රුධිර අවශ්‍යතා ඇති වුණා. මෙවැනි අවස්ථා බොහොමයක ඇතිවුණ අපහසුතා මඟහරවා ගැනීමට අපේ සමූහය උපකාර වුණා. මේ කාලය තුළ රුධිර හිඟය මඟහරවා ගැනීමට අපේ සමූහයේ බොහෝ දෙනෙක් දිවයිනේ විවිධ රුධිර මධ්‍යස්ථාන වෙත ගොස් රුධිරය ලබාදීම සිදුකරනවා. රජයේ රෝහල් වල වගේම පෞද්ගලික රෝහල්වල සිටින රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් අපි සහයෝගය ලබාදී තිබෙනවා.

මේ වසංගත තත්ත්වය තුළ මා ඇතුළු අපි බොහෝ දෙනෙක්  රුධිර ප්ලාස්මා, රුධිර පට්ටිකා ප්‍රදානයට යොමු වුණා. මේ ක්‍රියාවලිය සෑම තැනකම සිදුකරන්නේ නැහැ. නාරාහේන්පිට ජාතික ම්‍යධ්‍යස්ථානයේ, මහරගම අපේක්ෂා රෝහලේ, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර සහ යාපනය  රෝහල්වල පමණයි රුධිර පට්ටිකා සහ ප්ලාස්මා ලබාගැනීම් සිදුකරන්නේ. එවැනි ස්ථානවලට සහභාගී වී අපි රුධිර පට්ටිකා සහ ප්ලාස්මා ලබාදීමට කටයුතු කරනවා. ලේ බැංකුවෙන් අපිට දුරකථන ඇමතුමක් ලබාදුන්නු ගමන් අපි කවුරුන් හෝ කෙනෙක් ඒ අවශ්‍යතාවය සැපයීමට ඉදිරිපත් වෙනවා. වාර 30කට වැඩි සංඛ්‍යාවක් මෙවැනි පරිත්‍යායන් සඳහා දායක වුණු සාමාජිකයිනුත් අපි සමග ඉන්නවා.

කෝවිඩ් අවදානම ඇති ප්‍රදේශවල රෝගීන්ගේ රුධිර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්, සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව අපි කටයුතු කළා. බොහෝ දුෂ්කර අවස්ථාවන්වල අපි රෝගීන්ට සහනයක් වන්නට කටයුතු කළා. මේ වසංගත සමය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අති විශාල සේවාවක් සිදුකරනවා. ඔවුන් සමග එක්ව අපිටත් නිහඬ සේවයක් සිදුකිරීමට හැකි වීම ගැන අපි සියලුදෙනාම සතුටු වෙනවා.

උත්තම රුහිර පූජා

දිවයින පුරා ජනතාව රුධිර පරිත්‍යාගශීලීන් කිරීමට උනන්දු කිරීමත්,  දිවයින පුරා රුධිර කඳවුරු පවත්වන්නන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමත් මෙම වැඩසටහනේ අරමුණයි. ඒ අනුව වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය මූලික කර ගනිමින්  ජනවාරි මස 09වන දින පෙරවරු 8.30 සිට නිකවැරටිය නගර ශාලාවේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන්න අපි සූදානම් කරලා තිබෙනවා. ජාතික රුධිර පාරවිලයන සේවය සමග ඒකාබද්ධව අපි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, දිවයින පුරා එවැනි වැඩසටහන් පවත්වන්න සූදානමින් සිටිනවා.

තවත් පුද්ගලයෙකුගේ ජීවිතයක් බේරාගැනීම සඳහා රුධිරය පරිත්‍යාග කිරීමට යොමු වීම ඇත්තටම උතුම් කාර්යයක්. ඒ නිසයි අපි මෙය %උත්තම රුහිරු පූජා^ ලෙස නම් කළේ.

සමාජ සද්කාරයට එකතු වන්න

මිනිස් ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් සිදුකරන මේ උතුම් සමාජ සද්කාරය වෙනුවෙන් උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක් ජාති‍්, ආගම්, කුල භේදයකින් තොරව අපි සමග එකතු වෙන්න කියලා මම ආරාධනා කරන්න කැමතියි. ඒ වගේම මේ සංසදය ක්‍රියාකාරීව පවත්වාගෙන යන්න බොහෝදෙනෙක් සම්බන්ධව සිටිනවා. ඒ සියලුදෙනාව ස්තූතිපූර්වකව මම මතක් කරනවා. ඒ වගේම අපිට සහයෝගය දෙන ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වගේම ප්‍රාදේශීය මධ්‍යස්ථානත්, අපි සමග එකතුව සිටින සියලුදෙනාවත් මම සිහිපත් කරන්න කැමතියි. 0768650009 (කසුන්)  0772821106(ක්‍රිෂාන්ත) 0773545798( සංජීව) දුරකථන අංක වලින් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ ජාතික සද්ක්‍රියාවට අපිත් සමග එකතුවෙන්න කියලා ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.



Recommended Articles