කෝවිඩ් වලින් පසුව රටේ අධ්‍යාපනය නව මාවතකට ගෙන යා හැකිද?


‘කෝවිඩ් - 19’ අවදානම හේතුවෙන් මාර්තු මාසයේ මැද සිට මේ වනතෙක් පාසල්වල අධ්‍යාපන කටයුතු සියල්ල නවතා තිබේ. එම නිසා මාස දෙකකට අධික කාලයක පටන් බොහෝ දරුවන් සිටින්නේ අධ්‍යාපන කටයුතුවලින් බැහැරවය. කෙසේ වෙතත් ඉදිරියේදී රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය කුමන තත්ත්වයකට පත් වේවිද යන්න විශාල ගැටලුවකි. රටේ අධ්‍යාපනය බිඳ වැටුණහොත් එය ඉදිරි අනාගතයට විශාල බලපෑමකි. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගමන් මග කෙසේ විය යුතුද යන්න පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, දේශමාන්‍ය, ආචාර්ය ඉන්දිරා ලීලාමනි ගිනිගේ මහත්මිය පැවසූ අදහස් ඔස්සේ මෙම ලිපිය සකස් වී ඇත.

මෙම කෝවිඩ් අවදානම සමග ලැබුණු නිවාඩු කාලය තුළදී ළමයාගේ අධ්‍යාපනය බිඳ නොවැටීම සඳහා රූපවාහිනී නාලිකා තුළ අධ්‍යාපනික වැඩසටහන් කිහිපයක්ම ආරම්භ වී තිබේ. විශේෂයෙන් ගුරුගෙදර වැනි වැඩසටහන් විකාශය වීම තුළින් දරුවන් සඳහා යම් දැනුමක් යා හැකිය. නමුත් එම වැඩසටහන් තුළ අධ්‍යාපනය ලබා දෙන්නේ ‘දේශන ක්‍රමය’ තුළිනි. දේශන ක්‍රමය තුළින් ඉගැන්වීම යල් පැනගිය කාලීන නොවන ක්‍රමයකි. නමුත් මෙම අවස්ථාවේදී එවැනි මට්ටමකින් හෝ දරුවන්ට සහ අධ්‍යාපනයට දායකත්වයක් ලබාදීම ඇගයිය යුතුය. රූපවාහිනිය තුළින් එවැනි අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම ඉදිරියටත් සිදු කෙරෙන්නේ නම් ඒ පිළිබඳව වඩ වඩාත් සිතා බලා නවීන අධ්‍යාපන රටා තුළින් එය සිදුකිරීම වඩාත් යෝග්‍ය වේ. කෙසේ වෙතත් දැනට පාසැල් තුළ පවා සිදුකෙරෙන දේශන ක්‍රමය ඔස්සේ ඉගැන්වීම සාර්ථක නොවන බව අප වටහා ගත යුතුය.

තවද මේ වනවිට පාසැල්වල ඉගැන්වීම් කටයුතු නතර වී ඇති බැවින් ගුරුවරු දරුවන් සමග සමාජ මාධ්‍ය තුළින් සම්බන්ධ වී (වට්ස්ඇප් ගෘප්, වයිබර් ගෘප්) හැකි ආකාරයට ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙයි. මෙය බොහෝවිට නාගරික පාසල් සිසුන් සහ ගුරුවරුන් සිදු කරයි. පවතින අධ්‍යාපන ක්‍රමය තුළ විභාගවලට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීම ප්‍රධාන අවශ්‍යතාවයක් වීම සහ විෂය නිර්දේශ ආවරණය කිරීමට සිදුවීම හේතුවෙන් එය යම් මට්ටමකට සාධාරණය. නමුත් ස්මාට් ජංගම දුරකතන නොමැති, නවීන තාක්ෂණය නොමැති දරුවන්ට ඉන් අසාධාරණයක් සිදුවන බව දැනගත යුතුය. ඇතැම් දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ පවුල්වලට ජංගම දුරකථනයක් හෝ නොමැත. මේ නිසා අධ්‍යාපනයේ විශාල පරතරයක් ඇතිවිය හැක. ඇති හැකි අය සිය පහසුකම් තුළින් අධ්‍යාපනය හදාරන අතර නැති බැරි දරුවන් සඳහා ඒ අවස්ථාව අහිමි වේ. ඒ අධ්‍යාපන පරතරය අවම කිරීමට රජය කටයුතු කළ යුතු අතරම සෑම පුද්ගලයෙකුටම ඉතා ළඟම මාධ්‍ය වන මුද්‍රිත මාධ්‍යවලටද මේ සඳහා දායක විය හැක. විශේෂයෙන් අධ්‍යාපනික ලිපි පුවත්පත් මගින් පළ කරමින් අන්තර්ජාල තාක්ෂණය නොමැති දරුවන්ට එය විශාල අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

‍මේ වනවිට මාස දෙකක අධ්‍යාපන කටයුතු මග හැරී තිබෙන බැවින් ළඟදීම පාසැල් අධ්‍යාපන කටයුතු ආරම්භ නොකෙරුණහොත් ළමුන්ට වැඩ කිරිමේ කාලය තවත් අතපසු වේ. විශේෂයෙන් ඉදිරි විභාග කටයුතුවලටද මින් බලපෑමක් ඇති වේ. උසස් පෙළ විභාගය අගෝස්තු මස හෝ සැප්තැම්බර් මසදී පැවැත්විය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්තුමන් මේ වනවිට ප්‍රකාශ කර තිබෙන අතර ජූලි මාසය සහ අගෝස්තු මාසයේදී පාසැල් පවත්වා විභාගය පැවැත්විය හැකි බව ඔවුන්ගේ මතයයි. මේ පිළිබඳව විවිධ පාර්ශ්ව අතර විවිධ මත පවතින අතර ඇතැම් පිරිස් පවසනුයේ මේ වනවිට අවසන් කර ඇති පාඩම් තුළින් විභාගය පැවැත්වීම කළ යුතු බවයි. නමුත් ඉන් අවාසිය සිදුවන්නේ දෙවැනි, තෙවැනි වරට විභාගයන්ට මුහුණදෙන දරුවන් සහ පැරණි විෂය නිර්දේශයෙන් විභාගවලට මුහුණදීමට සිටින සිසුන්ටය. එම නිසා මේ මොහොතේදී විෂය නිර්දේශය අඩු කර විභාග පැවැත්වීමද සිදු කළ නොහැකිය. නමුත් ළඟදීම පාසැල් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ හැකි වේ නම් අගෝස්තු නිවාඩුව අවලංගු කර ඒ මාසය තුළදීත් ඉගැන්වීම් කටයුතු සිදුකර විභාගවලට ළමුන් සූදානම් කළ හැකිය. මේ මොහොතේදී එලෙසින් පාසැල් කටයුතු ආරම්භ කළ හැකිද යන්නද ගැටලු සහගතය. එමෙන්ම පවතින අධ්‍යාපන රටාව තුළ විභාග නොපැවත්වා සිටීමද සිදුකළ නොහැක. විභාග පැවැත්වීම සහ විභාගවලට මුල් තැන දීම කාලීන අධ්‍යාපන ක්‍රමයක් නොවේ. ඉන් සිදුවන්නේ කටපාඩම් කිරීමේ හැකියාව වර්ධනය වීමක් පමණි. නමුත් මේ අධ්‍යාපන රටාව කිසිවෙක් වෙනස් කිරීමට උත්සහ නොගන්නා නිසා මෙවැනි ගැටලුවලට මුහුණදීමට සිදුව තිබේ. ජාත්‍යන්තර විභාග කිසිවක් මේ කාලය තුළ නොපවත්වන බවට තීරණය කර තිබෙන අතර ඒ වෙනුවට %අඛණ්ඩ ඇගයීම් ලකුණු^ යොදාගැනීම ඔවුන් විසින් සිදුකරයි. නමුත් එම ක්‍රමවේදය ලංකාවට සිදුකළ නොහැකිය. ඊට හේතුව අප අධ්‍යාපන රටාව තුළ අඛණ්ඩ ඇගයීම් ක්‍රමවේද නිසි ලෙස සිදු නොකර තිබීම සහ එම ඇගයීම් ලකුණු විශ්වාස කිරීමට නොහැකි වීමයි. ඒ පිළිබඳව යෝජනා කලින් කලට ගෙන ආවත් එය ක්‍රියාත්මක කිරීමට කිසිවෙකු මැදිහත් වූයේ නැත.

කෝවිඩ් අවදානම හේතුවෙන් රටේ අධ්‍යාපනය පිළිබඳව වෙනස්ම ආකාරයට සිතීමට සිදුවිය. මේ තුළින් අධ්‍යාපනයට විශාල වෙනසක් සිදු කළ හැකි බව බලධාරීන් සිහියේ තබාගත යුතුය. මේ තුළින් පාසැල් දරුවන් නව චින්තනයකට යොමු කළ හැකිය. විශේෂයෙන් නව තාක්ෂණය සෑම පාසලකටම, සෑම සිසු දරුවෙකුටම ලබාදීමට මේ මොහොතේ සිට හෝ සිදු කිරීමට තීරණය කළ හැකි නම් එය ඉදිරි අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල පිටිවහලක් වනු නියතය. මේ දිනවල සිසු දරුවන් සහ ගුරුවරුන් නිවසේ සිට අධ්‍යන කටයුතුවල නිරත වූවා සේ එවැනි ආකාරයට ඉදිරියටත් ගෙන යා හැකි මට්ටමට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු විය යුතුය. එමෙන්ම එම පාඩම් වැඩ අධීක්ෂණය කිරීම සඳහාද ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසිය යුතුය.

මේ තාක්ෂණික ක්‍රමවේද අධ්‍යාපනයට යොදාගැනීම විවිධ පැතිකඩවලින් සිදුකළ හැකිය. සාමාන්‍යයෙන් ගුරුවරුන් දැනුවත් කිරීමකදී පවා ඔවුන්ගේ ස්වභාවය අනුව ඔවුන් එය තේරුම් ගැනීම විවිධාකාර වේ. මේ නිසා දරුවන් සඳහා ගෙන යන පණිවුඩය විෂමතාවයන්ට ලක් වේ. විශේෂයෙන් මෙම පැරණි අධ්‍යාපන ක්‍රමවේදය තුළ සිදුවන්නේ පණිවුඩ හුවමාරුවක් වැනි දෙයක් බැවින් දරුවන් ඒ තුළ අතරමං විය හැක. එම විෂමතා වෙනස් කිරීමට නවීන තාක්ෂණයට හැකි වන බව නියතය.

එමෙන්ම මේ මොහොතේදී අපට ‘විසි එක්වන සියවසේ අධ්‍යාපන ක්‍රමයන්ට’ යා හැකි නම් එය දරුවන්ට මහත් ශක්තියක් වනු ඇත. 2007 වසරේදී මෙම අධ්‍යාපන රටාව ගෙන ආවත් එය ක්‍රියාත්මක කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවීය. මේ වනවිට ගුරුවරුන් සිදුකරන්නේ ලෙහෙසි පහසු ක්‍රම මඟින් ඉගැන්වීමය. විශේෂයෙන් ප්‍රශ්න පත්‍රවලට හුරු කිරීම, පෙළපොතේ දැනුම පමණක් ඉගැන්වීම ඔවුන් සිදු කරයි. ඒ තුළින් ළමයා සක්‍රීය දරුවෙක් බවට පත් නොවේ. විසි එක්වන ශතවර්ෂයේ අධ්‍යාපනය යනු ළමයා සක්‍රීය කරන අධ්‍යාපන ක්‍රමයක් වන අතර මේ තුළ ළමයා ඔහු විසින්ම සොයාගැනීම් සිදු කරන, ගවේෂණයන්ට යොමුවීම සිදු වේ. මෙම අධ්‍යාපන රටාව තුළ ප්‍රධාන වන්නේ කණ්ඩායම් වැඩ සිදු කිරීමයි. දැනට ලංකාවේ අධ්‍යාපන රටාවේ භාවිතා වන්නේ දේශන මඟින් ඉගැන්වීම වන අතර දේශන ක්‍රමය, පෙළපොතෙන් ඉගැන්වීම ජාත්‍යන්තරයෙන් පවා නිෂ්ප්‍රභා කළ ක්‍රමවේදය. ප්‍රශ්න උත්තර යනු සෘජුවම ළමයා විභාගවලට හුරුපුරුදු කරවීමකි. ඉන් ඇතිවන්නේ මතුපිට දැනුමක් ඇති වන එක පමණයි. එමෙන්ම මේ වනවිට එක් පන්තියක ළමුන් 50 දෙනෙකුට වඩා සිටීම තුළින් දේශන ක්‍රමය හැර වෙනත් ක්‍රමවේද මගින් ඉගැන්වීමට නොහැකිය. එම නිසා කණ්ඩායම් වැඩ සිදු කිරීමට නොහැක. බොහෝ විට පසුපෙළේ සිටින දරුවන්ට ගුරුවරයා නොපෙනෙන තරමටම පන්ති කාමරයේ සිසුන් වැඩිය. ඒ නිසා පන්තියක උපරිම ළමුන් ප්‍රමාණය 30ක් දක්වා අවම කළ යුතුය. එමෙන්ම නිෂ්ප්‍රභා කළ අධ්‍යාපන රටා ඉවත් කරමින් තාක්ෂණය මඟින් විශාල වැඩ කටයුත්තක් අධ්‍යාපනයට සිදු කළ හැකියි.

විශේෂයෙන් කොරොනාවලින් අනතුරුව අධ්‍යාපනය වෙනස් මඟකට ගෙන ඒමට නම් වර්තමානයේ ක්‍රියාත්මක වන ‘බුද්ධිඵලය මැනීමේ’ ක්‍රමය ඉවත් කර ‘චිත්තවේගඵලය මැනීමේ’ ක්‍රමයට යා යුතුය. උදාහරණයක් ලෙස ශිෂ්‍යත්ව විභාගය ගතහොත් එය හුදෙක්ම නිර්මාණය වී තිබෙන්නේ මොළයේ වම් කොටස වර්ධනය වූ දරුවන්ටය. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සම්පූර්ණම බුද්ධිඵලය මැනීමේ ක්‍රමයකි. වම් මොළය සංවර්ධනය වූ පිරිස් ඉන් ජය ලබන විට නිර්මාණශීලී පිරිස් ඉන් අකර්මණ්‍ය වේ. එම නිසා ශිෂ්‍යත්ව විභාගය වර්තමානයට කිසිසේත් වැදගත් නොවන්නකි. බහුතර පිරිසක් ඉන් විශාල අසාධාරණයට ලක් වේ. ඒ වෙනුවට ළමුන්ට සියලු පහසුකම් සපිරි සහතික පාසලක් දක්වා සියලු පාසල් නිර්මාණය කළ යුතුය. එය නිර්මාණය නොකර ශිෂ්‍යත්ව විභාගය අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් කිරීමටද නොහැකිය. මේ මොහොත එවැනි තීරණ ගැනීමට සුදුසු කාලවකවානුවක් බවද අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් සිහි තබා ගත යුතුය.  



Recommended Articles