කෝවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට ලොව පුරා මරණ 100,000 වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මෙම රෝගී තත්ත්වය හේතුවෙන් වයස්ගත වූවන් වැඩි වශයෙන් මිය යාමේ අවදානමක් ඇති බව මේ වනවිට සොයාගෙන තිබේ.
එමෙන්ම කෝවිඩ් ආසාදනයෙන් මිය යන වයස 70ට අඩු පුද්ගලයන් අතර, වැඩි සංඛ්‍යාවක් දුම් වැටි පානය කරන්නන් බව සනාථ වී ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසයි.
එබැවින් තවමත් දුම්පානය අත් නොහළ අය මෙම වෛරසයෙන් වෙසෙසින්ම ආරක්ෂා කරගත යුතු බවද එම මධ්‍යස්ථානය සඳහන් කර සිටී.
මේ සම්බන්ධයෙන් එම ආයතනයෙන් විමසූ අවස්ථාවේදී තවදුරටත් කරුණු පැහැදිලි කළ එම ආයතනය මෙසේද සඳහන් කළේය.
“නිරෝගී වැඩිහිටියන් අතරේ කෝවිඩ් 19 වෛරසය අසාදනය වීම හේතුවෙන් බොහෝ විට මිය යන්නේ අවුරුදු 70 සහ ඊට වැඩි පුද්ගලයන් වන අතර, අන් අයගේ මරණ අනුපාතය අඩුයි. මේ රෝගයෙන් මිය යන අවුරුදු 70ට අඩු අය අතර, වැඩි සංඛ්‍යාවක් දුම් බොන්නන් බව සනාථ වී තිබෙනවා. මෙම රෝගයෙන් සිදුවන මරණ අනුපාතය අඩු කර ගැනීම උදෙසා වැඩිහිටියන්ව ආරක්ෂා කිරීමට දක්වන විශේෂ උනන්දුව මෙන්ම, දුම් බොන්නන්ගේ දුම්බීම නතර කිරීමට උනන්දු වීමෙන්ද එම මරණ අනුපාතය තව දුරටත් අඩු කරගත හැකි වීමට ඉඩ තිබෙනවා.
ඇතැම් රටවල දුම්පානය කරන්නන්ට ප්‍රසිද්ධියේ අනතුරු අඟවා නැති අතර, පූර්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙස පමණක් ඉල්ලා සිටිනවා. බොහෝ විට දුම්පානය කරන්නන්ට මෙහි වැඩි අවදානමක් ඇති බව සැඟවීමට දුම්කොළ කර්මාන්තයට අවශ්‍ය බැවින් මෙසේ වනවා ඇතැයි කියා අපි සිතනවා.
දුම්කොළ කර්මාන්තයට මෙම පණිවිඩය පැතිරවීමට අවශ්‍ය නොවන අතර, එම කර්මාන්තයට අවශ්‍ය නොවන දේ සාමාන්‍යයෙන් සිදුනොවන බව අප සියලුදෙනා දන්නා රහසක්. අනෙක් අතට දුම්බීම හේතුවෙන් ඇති වන පිළිකා සහ හෘද රෝග නිසා දුම් බොන්නන් මිය යාමට පෙර, ඔවුන් කෝවිඩ් රෝගයෙන් මිය යනවා දැකීමටද මේ කර්මාන්තය කිසිසේත් කැමති නැහැ.
දුම්කොළ කර්මාන්තය බොහෝ විට කැමති වන්නේ දැන් මෙන් ජනගහනය තුළ වෛරසය පැතිරීම නැවැත්වීමට උත්සහ කරන ක්‍රියාමාර්ග පමණක් ගන්නවා දැකීමටයි.
මෙහිදී වැඩිහිටි හෝ තරුණ දුම් බොන්නන්ට පූර්ව අරක්ෂිත පියවරක් ලෙස වහාම දුම් බීම නැවැත්වීමට අනතුරු අඟවා තිබීම යහපත්. මන්ද ඔවුන් කෝවිඩ් ආසාදනයෙන් මිය යෑමේ වැඩි අවදානමක් ඇති හෙයින්. නමුත් දුම්කොළ කර්මාන්තය කැමති වන්නේ එයට නොවේ. එය ඔවුන්ගේ ප්‍රතිරූපයට දැවැන්ත හානියක්.
අපි දැන් රටක් ලෙස වැඩිහිටියන් වෛරසයට නිරාවරණය වීම අවම කිරීමට සහ ස්වයං හුදෙකලා වීමට බලගන්වන අකාරයෙන්ම දුම්බොන්නන් එයින් නිදහස් වීමද බලගැන්විය යුතුයි. නමුත්මෙම පණිවිඩය ප්‍රසිද්ධියේ නොඇසෙන්නේ මන්දැයි තේරුම් ගැනීමෙන් දුම් බොන්නන්ටද බොහෝ දෑ අවබෝධ කරගත හැකියි.
දුම් බොන්නන් සඳහා මෙහි ඇති අවදානම පැහැදිලිවම සනාථ වී තිබියදීත්, තම පාරිභෝගිකයන්ට ප්‍රසිද්ධියේ නිල වශයෙන් අනතුරු හැඟවීමක් නොකර නිහඬව සිටින මේ තත්ත්වය හරහා දුම් කොළ කර්මාන්තය තම පාරිභෝගිකයන් කෙරෙහි දක්වන සැලකිල්ල මොනවට පැහැදිලි වෙනවා.”
මේ වනවිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු විවිධ පාර්ශ්ව මේ පිළිබඳ ප්‍රකාශ කර තිබේ. කෝවිඩ් -19 වසංගතය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගයක් බැවින් දුම්පානය කරන්නන් මෙහිදී වඩාත් ප්‍රවේශම් විය යුතු බව ඔවුන්ද අවධාරණය කර තිබේ. එබැවින් ඔබ තවදුරටත් දුම්පානය කරන්නෙක් නම් මේ සිහි කැඳවීම ඔබ වෙනුවෙන්මය.