ලොව සිදුවන මරණවලට ප්‍රධාන හේතුවක් බවට හෘද රෝග හා රුධිරවාහිනී සම්බන්ධ රෝග බලපා තිබේ. 2016 වර්ෂයේ ඇස්තමේන්තුවකට අනුව ලංකාවේ සිදුවන මරණවලින් 83%කටම හේතුව බෝ නොවන රෝග බවත්, එයින් 1/3කට හේතු වී තිබෙනුයේ රුධිරවාහිනීගත හා හෘද රෝග බවත් සඳහන් කරයි.
එසේම හදවත හා සම්බන්ධ රෝග නිසා දිනකට මෙරට පුද්ගලයන් 100දෙනෙකු මිය යයි. හෘද රෝගවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අධිරුධිර පීඩනය වන අතර, මෙරට ජනගහනයෙන් 26.5%ක පිරිසක් අධිරුධිර පීඩනයෙන් පෙළෙයි.
තවද තමන්ට අධිරුධිර පීඩනය පවතින බව දන්නා පිරිසෙන් 35%ක්ම ඒ සදහා ලබාදෙන ඖෂධ නිසි ලෙස භාවිත නොකරයි. එසේම 30%ක පිරිසක් තමාට අධිරුධිර පීඩනය ඇති බව නොදැන සිටී. මෙවන් පසුබිමක මෙවරද ලෝක හදවත් දිනය සැප්තැම්බර් 29 වැනි දින (අද) සමරනු ලබයි.
මේ ඒ වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂඥ වෛද්‍යවරුන් දැක්වූ අදහස්ය.
මේ වසරේ තේමාව වී තිබෙන්නේ හදවතින්ම හදවත රකිමු කියන එකයි
- සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි
සැප්තැම්බර් 29 වැනිදාට ලෝක හදවත් දිනය යෙදී තිබෙනවා. එහි ප්‍රධාන අරමුණ වෙන්නේ හෘද හා රුධිරවාහිනී ආශ්‍රිත රෝග වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ලොව පුරා සිටින ජනතාව දැනුම්වත් කිරීමයි. මේ වසරේ තේමාව වී තිබෙනුයේ හදවතින්ම හදවත රකිමු කියන එකයි. ලෝක හදවත් දිනය සැමරීම සඳහා බෝ නොවන රෝග ඒකකය හා ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. බෝ නොවන රෝග ලෙස හෘද හා රුධිර නාළගත රෝග,දියවැඩියාව, පිළිකා,නිදන්ගත ශ්වසන රෝග සහ වකුගඩු රෝග හඳුන්වනු ලබනවා. 2016 වර්ෂයේ ලෝකයේ සිදු වූ මරණවලින් 31%ක් එනම් 1/3කට හේතු වෙලා තිබෙන්නේ හෘද හා රුධිරවාහිනී ගත රෝගයි. එයින් බහුතරය එනම් 85%කට හේතු වෙලා තිබෙන්නේ හෘද්‍යාබාධ හා ආඝාතයයි. මේ සඳහා හේතුවන චර්යා රටාවන් සම්බන්ධ ගැටලු හතරක් මෙරට ජනතාව අතර තිබෙනවා. ඒවා තමයි දුම්කොළ හා දුම්වැටි භාවිතය, මත්පැන් පානය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර භාවිතය හා ක්‍රියාශීලී නොවීම යන ඒවා. මේ අවදානම් සාධක මගහරවා ගැනීමෙන් හෘද රෝග පමණක් නොව අනෙක් බෝ නොවන රෝගත් මගහරවා ගත හැකියි.
මේ වසරේ තේමාව යටතේ හෘදරෝග හා රුධිරනාළගත රෝගවලට හේතුවක් වන අධිරුධිර පීඩනය ගැන දැනුවත් කිරීම හා කලින් හඳුන්වා ගැනීම කෙරෙහි ජනතාව පෙළගැස්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කරන්නට ජාතික බෝ නොවන රෝග ඒකකය හා හෘදරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව හදවත් දිනය වෙනුවෙන් සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 2 දක්වා සතියක කාලයක් විවිධ සැමරුම් සංවිධානය කර තිබෙනවා.
තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ 2025 වනවිට සියලුම බෝ නොවන රෝග නිසා ඇතිවන අකල් මරණ 25%කින් අඩු කිරීමට ශ්‍රී ලංකාවද බැඳී සිටිනවා. ඒ අනුව අපි අකල් මරණයක් ලෙස හඳුන්වන්නේ අවුරුදු 30ත් 70ත් අතර මරණයි. මේ වසරේ තේමාවත් එක්ක අපේ රටේ හෘදරෝග හා ඊට ප්‍රධාන හේතුවක් වන අධිරුධිර පීඩනය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමත්, එම රෝග කලින් හඳුනා ගැනීමට ජනතාව යොමු කිරීමත් කියන දේ. ඒ අනුව ලංකාව පුරාම මේ වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
ළමා කාලයේත් මේ රෝගවලට ගොදුරු වීමේ හැකියාවක් තිබෙන බව දැන් සොයාගෙන තිබෙනවා
- හෘදරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර
ලෝකයේ වාර්ෂිකව මරණ මිලියන 17.9කට වඩා සිදුවෙනවා. මේ මරණවලින් වැඩිම සංඛ්‍යාවකට හේතුව තමයි හෘද රෝග. මේ මරණවලින් වැඩි සංඛ්‍යාවක්ම වාර්තා වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලයි. එම රටවල්වලත් මධ්‍යම ආදායම් හා අඩු ආදායම් ලබන ජනතාව අතරයි මේ තත්ත්වය වැඩි. රටක සක්‍රීයව ආදායම් ලබාදෙන පිරිසක් තමයි වැඩි වශයෙන්ම මේ මරණවලට ගොදුරු වන්නේ. අපේ වගේ රටවල්වල මේ වගේ රෝගවලට ගොදුරු වුණාට පසුව රෝගය පාලනයට හා රෝගයෙන් මිදෙන්න කෙතරම් මුදලක් වැය කරන්න සිදුවෙනවාද කියන කාරණය අපි සිතා බැලිය යුතුයි. අපි උදාහරණයක් ලෙස බැලුවොත් බයිපාස් සැත්කමක් කරන්න හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් කරන්න කෙතරම් මුදලක් වැය වෙනවාද? මේ නිසාම ඉතාම වැදගත් වන්නේ හෘද රෝග වළක්වා ගැනීමයි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ලෝක හෘද රෝග සංවිධානයත් එකතුවෙලා ලෝක හෘද දිනය ලෙස දිනයක් නම් කරන්න තීරණය කළා. ඒ අනුව 2000 වර්ෂයේ සිට සැප්තැම්බර් මස අවසන් ඉරු දිනයේ මේ දිනය සමරනු ලැබුවා. 2011 වර්ෂයේ මේ සඳහා ස්ථිර දිනයක් ලෙස සැප්තැම්බර් මස 29 වැනිදා නම් කරනු ලැබුවා. මෙම දිනයේදී හෘද රෝග වළක්වා ගැනීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා.
එලෙස හෘද රෝග වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තුන් ආකාරයි.
පළමු ක්‍රියාමාර්ගය තමයි රෝග කාරක හඳුනා ගන්න පෙර රෝගය වළක්වා ගැනීම, දෙවැන්න රෝග කාරක වැලඳුනාට පසු රෝගියෙක් බවට පත්වෙන්නට පෙර වළක්වා ගැනීම, තෙවැන්න වන්නේ රෝගය ඇතිවූ පසු රෝගය වළක්වා ගැනීමයි. මේ අවස්ථාවේ අපි හෘද රෝග සඳහා රෝග කාරක ලෙස හඳුනාගෙන තිබෙන ප්‍රධාන සාධක වන දුම් බීම, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඇති වීම ආදී රෝගකාරක ගැන මේ වෙද්දී හැමෝම දැනුවත්. මේ අවදානම් සාධක පිළිබඳව රෝගීන් 87000ක පමණ යොදාගෙන සිදුකරනු ලැබූ අධ්‍යනයක් 2003 වර්ෂයේ ජමා වෛද්‍ය සඟරාවේ පළවුණා. එහි කිරීටක ධමනි ආශ්‍රිත රෝග සම්බන්ධ අධ්‍යයනයක් කර තිබෙනවා. එහිදී සොයාගෙන තිබෙනවා, රෝග කාරක හතරක් තිබෙන කිරීටක ධමණි රෝගීන් සිටින්නේ 1 ෴ටත් වඩා අඩුවෙන් බව. රෝග කාරක 03ක් තිබෙන කිරීටක ධමණි ආශ්‍රිත රෝගවලින් හෘද්‍යාබාධයක් හැදෙන්නට හැකියාවක් ඇති රෝගින් හමුවී තිබෙන්නේ 9%ක් පමණයි. රෝග කාරක දෙකක් තිබෙන රෝගීන් හමුවී තිබෙන්නේ 27%ක් පමණයි. ඒ වගේම රෝග කාරක 1ක් තිබෙන රෝගීන් 42%ක් හමු වී තිබෙනවා. ඒ වගේම 20%ක්ම ඉඳලා තිබෙනවා රෝග කාරක එකක්වත් නොමැති අය. අපි අතර මතයක් තිබෙනවා මට දියවැඩියාව නැහැ, අධිරුධිර පීඩනය නැහැ, මම සිගරට් බොන්නේ නැහැ, මට කොලෙස්ටරෝල් නැහැ. මේ නිසා මට හෘදරෝග හැදෙන්නේ නැහැ යනුවෙන්. මේ අධ්‍යයනයෙන් පැහැදිලි වෙන දේ තමයි එහෙම දෙයක් නැහැ. මේ රෝගයට හේතුවන සැඟවුණු රෝග කාරක තිබෙනවා. ඒවා අලුතින් හඳුනාගත් ඒවයි. ඒ අනුව ව්‍යායාම් නොකිරීම, සුථුලභාවය, අධික මානසික පීඩනය වගේ අලුත් රෝග කාරක හඳුනාගෙන තිබෙනවා. ළමා කාලයෙත් මේ රෝගවලට ගොදුරු වීමේ හැකියාවක් තිබෙන බව දැන් සොයාගෙන තිබෙනවා. ඒ නිසා හෘදයාබාධයක් හැදුනාට පස්සේ රෝගය වළක්වා ගැනීම නොවෙයි සිදුවිය යුත්තේ. පාසල් වයසේ සිටම ළමයින්ටත් මේ දැනුම ලබා දීම ඉතාම වැදගත්.
කෝවිඩ් - 19 නිසා ඇති වූ මානසික ආතතිය නිසා ඉදිරියට හෘද රෝග වැඩි වෙයි කියලා අනුමාන කරනවා
- දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ( කළුබෝවිල) හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් පතිරණ
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග ඉතා පැහැදිලිව හඳුනාගෙන තිබෙනවා අලුත් රෝග කාරක කිහිපයක්. දැනට හඳුනාගත් සාධක අපි කොටස් දෙකකට බෙදනවා. ඒ පහසුවෙන් වෙනස් කළ හැකි සාධක හා වෙනස් කළ නොහැකි සාධක ලෙසයි. මේ අතරින් අපිට වඩාත් වැදගත් වන්නේ පහසුවෙන් වෙනස් කළ හැකි සාධක පිළිබඳ දැනුවත් වෙලා ඒවා මගහරවා ගැනීමයි. ඒ හරහා අපිට හෘද රෝගවලට ගොදුරුවන පිරිසත් එයින් මිය යන පිරිසත් අඩු කරගත හැකියි.
ඒ අනුව වෙනස් කළ හැකි සාධකවලින් බොහෝමයක් අපේ ජීවන රටාවන්ට සම්බන්ධ දේවල්. වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙන ආකාරයට මෙලෙස වෙනස් කළ හැකි සාධක 09ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඒවා අතරින් ප්‍රධාන සාධකය තමයි රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම. සංකූලතාවක් නැත්නම් බොහෝ දුරට මෙය හඳුනා ගැනෙන්නේ නැහැ. ඒ අනුව රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සෑම පුද්ගලයෙක්ම තමන් මැදි වියට පත්වෙනකොටම පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍යයි. මීළඟට දුම්කොළ භාවිතය කියන දේ ඇතුළත් වෙනවා. එයට අයිති වෙනවා සියලුම දුම්පානයන් හා දුම්බොන්නන් අවට සිටින අක්‍රීය දුම්පානයට ලක්වෙන්නන්. ඒ එක්කම දුම්කොළ සැපීමත් මෙයට ඇතුළත් වෙනවා.
මානසික හා සමාජීය ආතතිය මීළඟට හඳුනාගත් හේතුවක් ලෙස දැක්විය හැකියි. කෝවිඩ් - 19 වෛරසයත් සමග ඇති වී තිබෙන රැකියා අහිමිවීම්, මූල්‍යමය ගැටලු වගේ දේවල් නිසා ඇතිව තිබෙන මානසික ආතතිය නිසා ඉදිරියට හෘදරෝග වැඩි වෙයි කියලා අනුමාන කරනවා.
මීළඟට පාලනය නොකළ අධිරුධිර පීඩනය හඳුන්වා දෙන්න පුළුවන්. පාලනය නොකළ අධිරුධිර පීඩනය රුධිර නාළවලටත් හෘදයටත් අහිතකර ලෙස බලපාන්නට පුළුවන්. මාරාන්තික සංකූලතාවක් එනකන්ම අපිට අධිරුධිර පීඩන තත්ත්වය දැනෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒ නිසා රුධිර පීඩනය මැන ගැනීම ඉතා වැදගත්.
මීළඟට අධි බර නැත්නම් තරබාරුකම හේතුවක් වෙනවා. විශේෂයෙන් උසට සරිලන බර පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනවා. උදරය ඉදිරියට නෙරා ඒම හෘදයාබාධ ඇතිවීමට සාධකයක් බවත් හඳුනාගෙන තිබෙනවා.
මීළඟට සෞඛ්‍යානුකූල නොවන ආහාර රටාවත් හේතුවක් වී තිබෙනවා. අහිතකර තෙල් වර්ග , අධික සීනි භාවිතය,අධික ලුණු භාවිතය, අධික පිෂ්ඨය අඩංගු ආහාරත් හෘදයාබාධවලට හේතුවක්.
මීළඟට කායික ක්‍රියාකාරීත්වය අඩුවීම. මෙහිදී ව්‍යායාම පමණක් නොව එදිනෙදා වැඩ කරද්දී ඇඟපත චලනය වීම අඩුකමත් හේතු වී තිබෙනවා. ඒ අනුව ව්‍යායාම් කිරීම වගේම එදිනෙදා ක්‍රියාකාරකම්වලදී ක්‍රියාශීලීවීමත් අත්‍යවශ්‍යයි.
අධික මධ්‍යසාර භාවිතයත් හෘද රෝගවලට හේතුවක්. මධ්‍යසාර භාවිතය හුරු නොවිය යුතු අතර, දැනට භාවිතයට හුරු වූ අයෙක් නම් තමන් මත්පැන් භාවිත කරන ප්‍රමාණය අවම මට්ටමකට රැගෙන ඒම ඉතාම වැදගත් වෙනවා.
මෙලෙස සාම්ප්‍රදායික කාරණාවලට අමතරව වායු දූෂණය හේතුවෙනවා. ගෘහස්ථව තිබෙන වායු දූෂණය හා අවට පරිසරයේ තිබෙන විෂ දුමත් මෙයට හේතුවෙනවා. ඒ වගේම කර්මාන්තශාලාවලින් නිකුත්වන විෂ අංශු පෙනහලුවලට ගිහින් රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා. ඒවා රුධිර වාහිනීවල අභ්‍යන්තර බිත්ති තුවාල කරනවා. ඒ අනුව හෘද රෝගවලට පමණක් නොව වෙනත් රෝගවලටත් හේතුවක් බවට වායු දූෂණය පත්වෙලා තිබෙනවා. මේ වගේ කාරණා තමයි අපිට වෙනස් කළ හැකි සාධක. අපිට වෙනස් කළ නොහැක්කක් ලෙස ජානවලින් හැදෙන හෘද රෝග හඳුන්වා දිය හැකියි. ඒ වගේම එකම ප්‍රදේශයක තිබෙන යම් යම් තත්ත්ව නිසාත් සිදුවෙන්න පුළුවන්. ඒ වගේම එක් හේතුවක් නොව හේතු ගණනාවක් හෘද රෝගවලට බලපාන්නට පුළුවන්.