කෝවිඩ් දැයි හඳුනාගන්න පී.සී.ආර්. වෙනුවට පරීක්ෂණ කට්ටලයක්


වෛද්‍ය විශේෂඥයන් පවසන පරිදි තවත් වසර ගණනාවක් අපට කෝවිඩ් රෝගය සමග ජීවත් වීමට සිදුවන බැවින්, නිරන්තරයෙන් කෝවිඩ් පර්යේෂණවලට මුහුණ දීමට සිදුවනු ඇත. එහිදී පී.සී.ආර්. පරීක්ෂණයකට විශාල මුදලක් සහ කාලයක් වැයවේ. නමුත් පුද්ගලයෙකුට කෝවිඩ් පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵලය කෙටි වේලාවකදී දැනගත හැකි කාර්යක්ෂම කෝවිඩ් පරීක්ෂණයක් සැලසුම් කිරීමට පසුගිය දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකවරු පිරිසක් සමත් වූහ. මේ, ඒ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු මහජන සෞඛ්‍ය සහ භිෂක්වේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස්ය.

නව කාර්යක්ෂම කෝවිඩ් පරීක්ෂණයක්

මේ පරීක්ෂණය Covid LAMP ලෙස හඳුන්වනවා. මේක LAMP කියන කෙටි නමින් හඳුන්වන ලෝකයේ බහුලව භාවිත වන ක්‍රමයක්. LAMP කියලා කියන්නේ Loop Mediated Isothermal Amplification කියන එකයි. මෙම ක්‍රමය ලෝකයට පළමුව හඳුන්වා දුන්නේ 2002 වර්ෂයේදියි. එදා පටන් අද දක්වා මෙම ක්‍රමය විවිධ වැඩවලට සහ රෝග නීර්ණයට භාවිත කරනවා. දැනට කෝවිඩ්වලටත් සමහර රටවල මෙම ක්‍රමවේදය යොදා ගනිමින් රෝග නිර්ණය කිරීමේ පරීක්‍ෂණ නිපදවා තිබෙනවා. අපේ පරීක්‍ෂණ කට්ටලයේ විශේෂත්වය වන්නේ ලෝකයේ බහුතරයක් පාවිච්චි කරන මෙවන් පරීක්‍ෂණ කට්ටලවලට වඩා ඉහළ සංවේදීතාවක් පැවතීමයි. මෙම LAMP ක්‍රමය පීසීආර් එක වගේම න්‍යෂ්ටික අම්ලය (nucleic අම්ලය) තමයි ගුණනය කරන්නේ. මේකෙ වාසිය තියෙන්නේ ඉතා කෙටි වෙලාවක් තුළදී, අඩු මුදලකින් පී.සී.ආර්. පරීක්‍ෂණය වගේම විශ්වසනීය ප්‍රතිඵලයක් ලබාදීමයි. ඒ වගේම මෙම ක්‍රමයට පී.සී.ආර්. යන්ත්‍ර වැනි අධිතාක්‍ෂණික උපකරණ අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාව වැනි දියුණු වන රටවලට වඩාත් යෝග්‍යයි.

Covid LAMP පරීක්ෂණයේ කාර්යක්ෂමතාව

මේ යන තත්ත්වය මත රජයට දිගින් දිගටම පීසීආර් කරන්න බැහැ. වියදම වැඩියිනේ. කොහොම වුණත් %කෝවිඩ් පරීක්ෂණ^ අපිට තව කාලයක් අවශ්‍යයි. ඉදිරියේදිත් අපට ගුවන් තොටුපළවල් වැනි ස්ථානවල කාලයක් යනතුරු කෝවිඩ් පරීක්‍ෂණ කරන්නට සිදුවේවි. මේකෙ වැදගත්කම තමයි විකෘති වෛරස ප්‍රභේද රට තුළට ඒම වළක්වා ගැනීම. මොකද මෙම සමහරක් විකෘති වූ වෛරස ප්‍රභේදවලට සමහර එන්නත්වලින් ප්‍රතිශක්තීකරණයක් ලැබෙන්නේ නැහැ. අපට මේක නිර්මාණය කිරීමේදී අරමුණු කිහිපයක් තිබුණා. ඉන් පළවෙනි අරමුණ තමයි කෝවිඩ් තිබෙනවාද නැද්ද කියන එක පරික්ෂා කිරීමට වැය වෙන මුදල අඩු කරන එක. ඒ වගේම පරීක්ෂණය සහ ප්‍රතිඵලය වේගවත් විය යුතුයි. පුද්ගලයෙක්ව රෝහලකට ගෙනහින් පීසීආර් එකක් කරලා පැය හතර පහක් ඉන්නවට වඩා පැයකින් වගේ ප්‍රතිඵලය ගෙන එන පරීක්ෂණයක් තිබෙනවා නම් ඒක කොච්චර හොඳයිද? ඒ වගේම ගුවන් තොටුපළෙන් රටට එන පුද්ගලයෙක්ගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල එනකල් පැය ගාණක් ගුවන් තොටුපළට වෙලා ඉන්නෙ නැතිව පැයකින් ඒ පුද්ගලයාට එළියට එන්න පුළුවන් නම් කොච්චර වාසිසහගතද? ඒ වගේම ක්ෂේත්‍රය තුළ පහසුවෙන් භාවිත කළ හැකි වෙන්න ඕනේ. හැබැයි දැනටත් භාවිත කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවල මේ හැමදෙයක්ම තිබෙනවා. නමුත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවල සංවේදීතාව ඉතාමත් පහළ මට්ටමක තිබෙන්නේ. බොහෝ වාර්තා පෙන්වන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 12% -70% අතර ප්‍රමාණයක් තමයි ප්‍රතිඵල පෙන්වන්නේ කියලා. 

අපි දන්නවා මේ වනවිට ලෝකයේ සාර්ථකම ක්‍රමවේදය පීසීආර් පර්යේෂණය කියලා. නමුත් පීසීආර් එකේ අඩුපාඩු කිහිපයක් තිබෙනවා. පීසීආර් යන්ත්‍රයක් මිලදී ගන්න විශාල වියදමක් යනවා. ඒ වගේම පරීක්ෂණවලට යන වියදම ටිකක් වැඩියි. අපේ පර්යේෂණයට එවැනි යන්ත්‍රයක් අවශ්‍ය නැහැ. වියදමත් සෑහෙන්න අඩුයි. දැනට අපගේ ගණනය කිරීම්වලට අනුව රුපියල් එක්දහස් පන්සියයකින් පමණ මෙම පරීක්‍ෂණය කරන්න පුළුවන්. නමුත් ඉදිරියේදී මෙය තවත් දියුණු කරලා රුපියල් දාහක පමණ වියදමකට මේක අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණ ප්‍රතිඵලය විනාඩි 45කින් පමණ ඛේටය මගින් කළ හැකි බවට අපි දැන් සනාථ කරගෙන තියෙනවා. මේ දිනවල මෙම දියුණු කළ ක්‍රමය සායනික මට්ටමින් අත්හදා බලමිනුයි ඉන්නේ. තවද මේ ක්‍රමයට අනුව පීසීආර් එකකදී නහයෙන් සාම්පල ගන්න භාවිතකරන උපකරණවලට, ප්‍රවාහනයට සහ rna extractionවලට යන වියදම සම්පූර්ණයෙන් ඉතිරි වෙනවා. ඛේට සාම්පල ලබාදීම නහයෙන් සාම්පල ලබාගන්නවා වගේ වේදනාකාරී නැහැ. පොඩි ළමයෙකුට වුණත් පහසුයි.

Covid LAMPහි ප්‍රතිඵලවල නිරවද්‍යතාව

අප මෙහි ප්‍රතිඵල පී.සී.ආර්. පරීක්‍ෂණය සමග සංසන්දනය කළා. පීසීආර් පරීක්ෂණය පොසිටිව් අය සියදෙනෙක් අපේ පර්යේෂණයෙන් කළාම 90කට වැඩි ප්‍රමාණයක් පොසිටිව් වුණා. ඒ කියන්නේ අපේ පරීක්‍ෂණයට හොඳ සංවේදීතාවක් තියෙනවා.

නිෂ්පාදනය සඳහා අනුමැතිය

අපි මේ පරීක්ෂණයේ සායනික අත්හදා බැලීම් කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ %ආචාර ධර්ම සමාලෝචන කමිටුවෙන්^ (ethics review committee) අනුමැතිය අරගෙන තිබෙනවා. දැනට අප මෙම පරීක්‍ෂණය ශ්‍රී ලංකාවේ භාවිත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙනුත් (NMRA) අනුමැතිය ඉල්ලලා අයදුම් කරලා තිබෙනවා. ඒ වගේම අපි මේකට පේටන්ට් බලපත්‍රයක් දාල තියෙන්නේ. ඒ අයිතිය ලබාදෙන්නේ විශ්ව විද්‍යාලයට.

CovidLAMP නිෂ්පාදන කටයුතු

මෙම පරීක‍්ෂණවල ප්‍රතිඵල සමාජයට දෙන්න නම් අප මේවා වාණිජ මට්ටමින් නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා මේ අවස්ථාවේදී අපි සමග ඖෂධ නිෂ්පාදන ආයතනයක් එකතු වෙලා තිබෙනවා. මේකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණොත් අපිත් සමග ඉදිරියට මේක ගෙනයන්න ඔවුන් කැමැත්ත පළ කරල තියෙනවා. ඒ ආයතනය දේශීය නිෂ්පාදන ආයතනයක්. යම්කිසි දවසක මේ මගින් ආදායමක් ලැබුණහොත් එයින් යම් කොටසක් අපේ විශ්වවිද්‍යාලයට කර්තෘභාගය ලෙස ලැබෙන අයුරින් අප ගිවිසුම්ගත වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ දේවල් දියුණු රටවල නිරන්තරයෙන්ම සිදුවෙනවා. මෙහිදී අපිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ AHEAD ව්‍යාපෘතිය විශාල උදව්වක් වුණා. AHEAD ව්‍යාපෘති හරහා කරන්නේ විශ්වවිද්‍යාලවලට නව නිර්මාණ වාණිජකරණය කරන්න උදව් කරලා, ඒ තුළින් විශ්ව විද්‍යාලවලට කීර්තියක් ලබාදීම හා සමාජයට සේවයක් කිරීමට ඇති අවස්ථාව පුළුල් කිරීමයි.‍

Covid LAMP කෝවිඩ් 19ට පමණද

මේ අවස්ථාවේදී මේක එළියට ගෙනාවොත් කෝවිඩ් නැතිවුණු දවසකත් මේක නවතින්නේ නැහැ. තවත් සත්ත්ව රෝග සහ මිනිස් රෝග හඳුනාගන්න අපිට මේ ක්‍රමවේදය ඉදිරියේදී භාවිත කරන්න පුළුවන්.

දැනට තිබෙන තොරතුරු අනුව එන්නත් ලබාගත් අයටත් කෝවිඩ් වැලඳීමේ හැකියාවක් තිබෙනවානේ. හැබැයි ඔවුන්ට මාරාන්තික ප්‍රතිඵල ගේන්නෙ නැහැ. තව වසර කිහිපයක් අපට කෝවිඩ් සමග ජීවත් වෙන්න වෙනවා. ඉතින් එතකොට අපිට නිරන්තරයෙන් පර්යේෂණවලට මුහුණ දෙන්න වෙනවා. එවිට යන වියදම වැඩියි. මේ කෝවිඩ් මර්දනයට කොච්චර එන්නත් ආවත් අපිට අනිවාර්යෙන්ම රෝගීන් හඳුනා ගැනීමට සහ නිරෝධායනය කිරීමට පරීක්ෂණයක් කිරීම අත්‍යාවශ්‍යයි. එතකොට ඒ පර්යේෂණයන්වල වියදම් අවම විය යුතුයි. ලාභදායී ක්‍රමවේදයක් නැතිවුණොත් අපිට ඉස්සරහට අමාරු වෙනවා. දවසට අපි පීසීආර් විසිදාහක් කරනවා කියලා හිතමුකෝ. ඒ විසිදාහෙන් දහදාහක් මේකෙන් කළොත් දවසකට මිලියන පහළොවක් රටට ඉතිරි වෙනවා.

Covid LAMP පසුපස සිටින සාමාජිකයන්

විශේෂයෙන් මේ පිටුපස අපිත් සමග හිටියා අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා සහ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ AHEAD ව්‍යාපෘතියේ මහාචාර්ය තුසිතා අබේතුංග මහත්මිය, මේ පර්යේෂණය කිරීමේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල මහතා, මහනුවර ජාතික රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය තරින්දි අතපත්තු මහත්මිය සහභාගි වුණා. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ BLIITTO ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය දර්ශන යාපා මෙහි ලියාපදිංචි කටයුතු සහ වාණිජකරණ කටයුතු පසුපස ඉන්නවා. තවද මෙහිදී මූල්‍ය පහසුකම් ලබාදුන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ AHEAD ව්‍යාපෘතියයි.



Recommended Articles