කෝවිඩ් ගැන වගේම ඩෙංගු ගැනත් සැලකිලිමත් වෙන්න


වැසි සමය පටන් අරන් කඩින්කඩ ඇදහැළෙන මහ වැස්සත් සමග නැවතත් තැන් තැන්වල වතුර එකතු වෙයි. වැහිපිහිලි, ඉවතලන යෝගට් කෝප්ප, හිස් ටින්, පොල්කටු, ඉටිකොළ, පරණ ටයර් වැනි බඳුන්වල එකතු වෙන වතුරේ ඩෙංගු මදුරුවන් බිත්තර දමයි. ආයෙමත් මදුරු ගහණය වැඩි වී ඩෙංගු රෝගය හිස ඔසවයි.

පවතින කෝවිඩ් 19 වසංගත තත්ත්වය සමග දැන් බොහෝ දෙනෙකුට ඩෙංගු උණ රෝගය අමතක වී තිබෙයි. ඩෙංගු අවධානයෙන් රට භීතියට පත්ව තිබූ කාලයේ රෝගයෙන් වැළකෙන්නට ජනතාව තුළ තිබූ උනන්දුව ක්‍රමයෙන් හීන වී ගොසිනි. නමුත් වැසි සමයේ ඇරඹුමත් සමග යළිත් ඩෙංගු රෝගය පැතිර යන්නට පටන් ගෙන තිබේ. වැසි ඇරඹුණු පසුගිය සති දෙක තුනේ පටන් නැවතත් ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

කෝවිඩ් රෝගීන් වාර්තා වන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වන අතර, රට පුරා විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ. ඩෙංගු රෝගයේ ප්‍රභේද කිහිපයක් පවතින අතර, වර්තමානය වන විට ඩෙංගු රෝගයේ දෙවැනි, තුන්වැනි ප්‍රභේද වැලඳුණු රෝගීන් වාර්තා වන බවද වෛද්‍යවරයා පවසා සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව රෝගවලට නිතරම ගොදුරු වෙයි. වර්තමානයේ බොහෝ දෙනෙකුගේ අවධානය කෝවිඩ් රෝගය වෙත යොමු වී ඇති හෙයින්, ඩෙංගු රෝගය පිළිබඳ ජනතාවට අමතක වූ ස්වරූපයක් පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි.

කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට වුවත් දින දෙකක් හෝ තුනකට වඩා පවතින තද උණ, ඇඟපත වේදනාව, හිසරදය, අත්පා සහ සන්ධි වේදනාවන් ඇත්නම් ඒවා ඩෙංගු රෝග ලක්ෂණ විය හැකිය. දින තුනකට වඩා පවතින උණ හෝ එවැනි රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් ඔබ නොදැනුවත්වම ඩෙංගු රක්තපාත උණ හෝ කම්පන තත්ත්වයට පත්වීමෙන් මරණය පවා සිදුවිය හැකිය.

තවමත් අපේ රටේ කෝවිඩ් රෝගයෙන් මිය යන සංඛ්‍යාව ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩුය. ඩෙංගු මාරාන්තිකය. එහෙත් කල්තියා සැලකිලිමත් වුවහොත් ඒ මරණ සියල්ල වළක්වාග හැකිය. එහෙයින් ඩෙංගු රෝගය පිළිබඳ ජනතාව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

උණ ගැනී පළමු දිනයේදීම සම්පූර්ණ රුධිර පරික්ෂාවක් කරගත්තද ඔබට හෝ දරුවාට ඩෙංගු රෝගය වැලඳී ඇත්දැයි එකවරම සොයාගත ‍නොහැකිය. උණ ඇතිවී දෙවන දිනයේදී ඔබ කළ යුත්තේ රෝගියාගේ ප්‍රතිදේහජනක පරික්ෂාවක් (Dengue Antigen Test) සිදුකර බැලීමයි. පළමු දිනයේ සම්පූර්ණ රුධිර පරික්ෂාවක් (Full Blood Count) කර බැලුවහොත් ඇතැම්විට සුදු රුධිරාණු මට්ටම පහත බැස තිබිය හැක. එයින් ඩෙංගු රෝගය වැලඳී ඇතැයි නිගමනය කළ නොහැක. උණ ගැනී තුන්වන දිනයේදී සම්පූර්ණ රුධිර පරික්ෂාවක් (Full Blood Count) සිදුකළ විට රෝගියාගේ රුධිර පට්ටිකා අඩු වී ඇත්නම් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇතැයි නිගමනය කළ හැකිය.

උණ ගැනීමෙන් පසු පස්වැනි දිනයේදී පමණ සිදුකරනු ලබන ඩෙංගු ප්‍රතිදේහ පරික්ෂාව (Dengue Antibody Test) මගින් රෝගයේ බරපතළ බව තීරණය කෙරේ. එහෙත් උණ ගැනීමෙන් පස්වන දිනය වනතුරු බලා සිටීමෙන් ඩෙංගු රක්තපාතය හෝ කම්පන තත්ත්වයට පත්විය හැකිය. එසේ හෙයින් සාමාන්‍යයෙන් දින තුනකින් පසු ඩෙංගු රෝගය විය හැකි යැයි සැකකොට වෛද්‍ය උපදෙස් අනුව පරීක්ෂණ සිදුකර ගැනීම වැදගත් වේ.

තද උණ සමග ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් දින තුනකට වඩා නිවසේ රැඳී සිටීම නුසුදුසුය. විශේෂයෙන්ම කුඩා දරුවන් රෝහල්ගත කළ යුතුයි. උණ ගත් විට දරුවන්ට හොඳින් පාන වර්ග ලබාදීමත්, විවේකීව තැබීමත් වැදගත් වේ. පාසල් හෝ පන්තිවලට යැවීමෙන් වැළකී හැකිතාක් ඇඳ විවේකය ලබාදෙන්න. උණුකර නිවාගත් වතුර, තැඹිලි හෝ ජීවනී වැනි අවර්ණ පාන වර්ග වැඩිපුර ලබාදෙන්න. රතු පැහැති බීම හෝ ආහාර ලබාදීමෙන් වළකින්න. දරුවාගේ සිරුරෙහි ඩෙංගු රක්තපාත තත්ත්වය නිසා රුධිර වහනයක් සිදුවේදැයි සොයා ගැනීමට අපහසු වන බැවින් රතු පැහැති පාන වර්ග දීමෙන් වැළකිය යුතුයි.

උණ සහ වේදනාව සමනය කිරීම සඳහා දරුවාගේ බර අනුව වෛද්‍ය උපදෙස් මත නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ඖෂධය ලබාදිය යුතුය. ඇස්ප්‍රීන් හෝ ඉබියුප්‍රොපින් වැනි ඖෂධ ලබාදීමෙන් වැළකෙන්න. ඩෙංගු රෝගය හේතුවෙන් අක්මාවට හානි සිදුවිය හැකි නිසා හිතුමතේට පමණට වඩා පැරසිටමෝල් ඖෂධය වුවද ලබාදීම නොකළ යුතුයි.

දරුවාගේ සිරුරේ බරෙහි ප්‍රමාණය අනුව ගණන් බලා පාන වර්ග ලබාදීමත්, බොන ප්‍රමාණයට සරිලන තරම් මුත්‍රා පිටකෙරෙනවාද යන්න පිළිබඳ සොයා බැලීමත් කළ යුතුය. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 10ක් බර දරුවකු නම් පැයකට මිලි ලීටර් 10ක් වත් මුත්‍රා පිටකළ යුතුය. රෝගීන් නිවසේ රඳවාගෙන රැකබලා ගැනීමට වඩා රෝහල්ගත කිරීමෙන් වඩාත් නිවැරදි ලෙස මෙවැනි පරික්ෂා කිරීම් සිදුකළ හැකි අතරම, හදිසි අවස්ථාවකදී ක්ෂණිකව ඖෂධ හා ප්‍රතිකාර ලබාදීමටද අවස්ථාව සැලසේ. උණ ගැනීමෙන් පසු දින තුනක් ගතවීද දරුවා මළානිකව, අලස ගතියෙන් යුතුව සිටී නම්, ආහාර රුචිය අඩු නම් වහාම රෝහල්ගත කළ යුතුය.

ඩෙංගු රෝගය පැතිරෙන්නේ මදුරුවන් මගිනි. ඩෙංගු වළක්වාගත හැකි හොඳම පියවර වන්නේ මදුරුවන්ගෙන් ආරක්ෂා වීමයි. මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කරන්න. ඔබේ නිවසේ, කාර්යාලයේ, පාසලේ හෝ වැඩබිම්වල වතුර රැඳෙන බඳුන් හෝ ස්ථාන ඇත්නම් ඒවා ඉවත් කරන්න. කුණු කසළ ක්‍රමවත්ව ඉවත් කරන්න. සතියකට වරක් වත් ඔබේ නිවස හා ගෙවත්ත, කාණු, වැහිපිහිලි ආදිය සුද්ධ පවිත්‍ර කරන්න. ඩෙංගු රෝගයෙන් වැළකීම සඳහා මින් පෙර තිබු උනන්දුව නැවත ඇතිකර ගන්න. කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භිණී මාතාවන්ද රෝගය පිළිබඳ විශේෂ අවදානමක් දරන බැවින්, උණ රෝග ලක්ෂණ පහළ වීමෙන් දින තුනකට වඩා කල් නිවසේ රඳවාගෙන සිටීම අවදානම් වේ.

දරුවන් දහවල් නිදන විටද මදුරු දැලක් භාවිත කිරීම සුදුසුය. අත් පා වැසෙන පරිදි ඇඳුම් ඇන්දවීම මෙන්ම මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ස්වාභාවික දුම් ඇල්ලීම හෝ මදුරු විකර්ෂක ආලේප කිරීම කළ හැකිය. කෝවිඩ් අවදානම ගැන ඔබ දක්වන සැලකිල්ල හා අවධානය ඩෙංගු රෝගය පිළිබඳවත් යෙදවුවහොත් ඩෙංගු රෝගයට බිලි වී අකාලයේ මිය යන ජීවිත රැසක් බේරා ගැනීමට හැකිවනු නිසැකය.

සාගරිකා දිසානායක

උපදෙස් - බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා



Recommended Articles