කෝවිඩ් ගැන දමිල මාධ්‍ය දුටු හැටි


සිංහල සහ දෙමළ භාෂා පුවත්පත් වාර්තා සැසඳුම

අවසන් සතිය තුල ආවරණය වූ පුවත්වල බෙදීයාම

පසුගිය සතියේ හිඩැස විශ්ලේෂණය මගින් පෙන්වා දෙනු ලැබුයේ, පසුගිය සතියට පෙර සතියේ දමිළ භාෂා පුවත්පත් වාර්තාකරණය හිටපු මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ලැබුණු ජනාධිපති සමාව සහ කොවිඩ්-19 පැතිර යෑම අතර බෙදී ගොස් තිබූ බවයි. පසුගිය සතියේ දමිළ භාෂා පුවත්පත් වාර්තාකරණය ප්‍රමුඛ වශයෙන්ම කේන්ද්‍රගත වී තිබුණේ කොවිඩ්-19 වටායි.

කොවිඩ්-19: දැනුවත් කිරීම, සාධනීයත්වය සහ සවිබලගැන්වීම

කොවිඩ්-19 සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන් තුළ අවධානය යොමු වී තිබුණේ, කොවිඩ්-19 පැතිර යෑම මර්දනය කිරීමට සහ කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතයෙන් අනතුරුව ඇතිවන ඵලවිපාකයන් හා සාධනීය ලෙසින් කටයුතු කිරීමට වන උපාය මාර්ගයන් තුනක් වෙතයි.

පළමුව දමිළ භාෂා පුවත්පත් තුළින් වෛරසය සහ එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ උපාය මාර්ගයක් ලෙසින් මතු කොට දක්වන ලද්දේ දැනුම ලබාදීමයි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සාවද්‍ය තොරතුරු පැතිර යාම ප්‍රශ්නයක් බව මෙහිදී පුවත්පත් මගින් දක්වා සිටි අතර, එය මහජනතාව අතර භීතියක් ඇති වීමට එක් හේතුවක් ලෙසින් දක්වන්නට යෙදිණි. ඒ අනුව දමිළ භාෂා පුවත්පත් දැරූ මතය වූයේ වෛරසයේ පැතිර යෑම මැඩ පැවැත්වීමට නම්, වෛරසය පිළිබඳ සත්‍ය තොරතුරු මගින් මහජනතාව දැනුවත් කළ යුතු බවයි. මෙය දමිළ භාෂා පුවත්පත් මින් පෙර සතියේදී විශේෂයෙන්ම සාකච්ඡාවට ගත් උපාය මාර්ගයක් විණි.

දෙවෙනුව, කොවිඩ්-19 පැතිර යෑම මර්දනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගන්නා ක්‍රියාමාර්ගයන් කාර්යක්ෂම හා සාධනීය වීමේ වැදගත්කමද දමිළ භාෂා පුවත්පත් මගින් මතු කොට දක්වන්නට යෙදිණි. ඈඳිරි නීතිය පැනවීම, එකිනෙකා අතර පරතරයක් තබා ගන්නා ලෙසින් හා සෞඛ්‍ය සම්පන්න බව පවත්වා ගන්නා ලෙසින් මහජනතාව වෙත උපදෙස් දීම ඔස්සේ මහජනතාවගේ ආරක්ෂාව සහතික කරනු වස් රජය මගින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් කෙරෙහි දමිළ භාෂා පුවත්පත් ප්‍රශංසාව පළ කොට තිබිණි.

ප්‍රධාන ධාරාවේ සිංහල භාෂා පුවත්පත් වාර්තාකරණයන්ට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත්ද මත දක්වා තිබුණේ, රජය සහ අදාළ අධිකාරීන් විසින් ගනු ලැබූ පියවර හා ක්‍රියාමාර්ගයන් සඵලදායී බවටයි.

කොවිඩ්-19 පාලනය කිරීම සඳහා රජය ගත් පියවර සම්බන්ධයෙන් වන විවේචනයන් පසුගිය සතියේ දමිළ භාෂා පුවත්පත් තුළ විශාල වශයෙන් දක්නට නොලැබුණි. එය විකල්ප ධාරාවේ සිංහල පුවත්පත් භාෂා වාර්තාකරණයෙන් වෙනස් විණි. විකල්ප ධාරාවේ සිංහල භාෂා පුවත්පත් වාර්තාකරණයන්, කොවිඩ්-19 පාලනයේදී ක්‍රමයෙන් ඉහළ යන හමුදා බුද්ධි අංශයන්ගේ භූමිකාව සම්බන්ධයෙන් පමණක් නොව, රට ‘ඒකාධිපතිවාදී’ රාජ්‍යයක් කරා යෑමට පෙන්වන නැඹුරුව සම්බන්ධයෙන්ද විවේචනාත්මක වී තිබිණි.

කෙසේ වුවත් කොවිඩ්-19 වැළඳීමෙන් මිය ගිය අයවලුන් භූමදානය කරන්නේද නැතිනම් ආදාහනය කරන්නේද යන විවාදය සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් තුළ සුළු කොටසක විවේචනයන් දක්නට ලැබිණි.

වීරකේසරී මගින් තර්ක කොට සිටියේ, මුස්ලිම් ප්‍රජාවගේ හැඟීම් සැලකිල්ලට නොගැනීම ඔස්සේ මුස්ලිම් ප්‍රජාවට සිත්වේදනා ඇතිවී ඇති බවටයි. තවදුරටත් එම පුවත්පත මගින් පෙන්වා දෙනු ලැබුවේ, මේ සම්බන්ධයෙන් වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය තුළ ආදාහනය කිරීම මෙන්ම භූමිදානය කිරීමද අනුදැක ඇති බවයි.

එනිසා, බහු වාර්ගික රටක් ලෙසට ශ්‍රී ලංකාව සියලුම ජන ප්‍රජාවන්ගේ හැඟීම් සඳහා ගරු කළ යුතු යැයි පුවත්පත් කරුණු පෙන්වා දී තිබිණි. මේ සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් මගින් දැක්වූ සැලකිලිමත් වීම්, විකල්ප ධාරාවේ සිංහල භාෂා පුවත්පත් සමගින් අතිපිහිත වී තිබිණි.

මෙයට අමතරව පුවත්පත් මගින් නැවත නැවතත් කියා සිටින්නට යෙදුණේ, වෛරසයේ පැතිරීම මැඩ පැවැත්වීම උදෙසා රජය විසින් ගනු ලැබ ඇති මුල් පිරීම් සම්පූර්ණ කිරීම සඳහා පරෙස්සම පුරුදු පුහුණු කිරීමෙහි ලා මහජනතාව අත ඇති භූමිකාවේ වැදගත්කම සම්බන්ධවයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, ඇඳිරි නීතිය ඉවත් කළ වහාම ජනතාව තමන්ට අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා දිව යෑම, ඇඳිරි නීතිය පැනවීමේ පරමාර්ථයට විරුද්ධව කටයුතු සිදුවන අවස්ථාවක් ලෙසින් දැක තිබිණි.

තවදුරටත්, දිගින් දිගටම සිදුවන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම් උක්ත කාරණාවට තවත් උදාහරණයක් ලෙසින් දැක්වී තිබුණු අතර, එය වැළැක්වීම සඳහා මහජනතාවගේ සහයෝගය පුවත්පත් මගින් ඉල්ලා සිටින ලදී. වෛරසය පැතිර යෑම පාලනය කිරීමෙහි ලා මහජනතාව ප්‍රවේසම තකමින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා රජය ගන්නා ප්‍රයත්නයන්ට සහයෝගය ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමෙහිදී සිංහල භාෂා ප්‍රධාන ධාරාවේ පුවත්පත් සහ දමිළ භාෂා පුවත්පත් සමාන මගක් ගෙන තිබිණි.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දිනකදී ශ්‍රී දළදා මාලිගාවට සහ නුවර මල්වතු සහ අස්ගිරි පාර්ශවයන් බැහැදැකීමට යෑම වීරකේසරී පුවත්පතේ විවේචනයට ලක්ව තිබුණේ, සමාජය තුළ එකිනෙකා’තර භෞතිකව පරතරය තබා ගැනීම සහ නිවසට වී සිටීම යන කාරණාවන්ට නායකයන් ආදර්ශයක් නොවෙන්නේය යන පදනමේ පිහිටමිනි.

කාටූනය - වීරකේසරී

මෙහිදී දමිළ භාෂා පුවත්පත් වාර්තාකරණය සිංහල භාෂා පුවත්පත් වාර්තාකරණයෙන් වෙනස් වී තිබුණේ, සිංහල භාෂා පුවත්පත් මෙම බැහැදැකීම් සම්බන්ධයෙන් දමිළ භාෂ පුවත්පත් වලට සමාන ලෙසින් විවේචනයන් ඉදිරිපත් කොට නොතිබූ හෙයිනි.

තුන්වනුව, ජනතාවගේ එදිනෙදා ජීවිත වෙත තාවකාලිකව නැවතුමක් ගෙනැවිත් ඇති කොවිඩ්-19 නිසා සිදුවන ඵලවිපාකයන්ට මුහුණ දෙන්නට ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන ක්‍රියාමාර්ගයන් ආරම්භ කිරීමේ වැදගත්කමද දමිළ භාෂා පුවත්පත් මගින් අවධාරණය කොට තිබිණි.

පුවත්පත් මෙහිදී දරා සිටි මතය ඔස්සේ දැක්වුණේ, මහජනතාව -විශේෂයෙන්ම දෛනික වේතනයන් මත යැපෙනා, වර්තමාන තත්වය තුළ තවදුරටත් සිය ජීවිකාව සරි කරගැනීමට නොහැකිව සිටිනා ජනතාව- ආර්ථිකව සවිබලගැන්වීම රජයේ සහනසාධක ක්‍රියාමාර්ගයන් ඔස්සේ සහතික කිරීමේ අවශ්‍යතාවයයි. කොවිඩ්-19 සමගින් රටේ ආර්ථිකය වෙත සමස්තයක් ලෙසින් එයින් ඇතිකරනා බලපෑම තිනකුරල් මගින් සාකච්ඡාවට ගෙන තිබූ අතර, රටේ ආර්ථිකය නැවතත් හරි මගට ගෙන ඒම සඳහා රජය විසින් යම් කිසි උපාය මාර්ගයක් ගෙන ඒමේ වැදගත්කම ඒ ඔස්සේ අවධාරණය කෙරී තිබිණි.

තවදුරටත්, ඇඳිරි නීතිය පනවා ජනතාවගේ ගමන් බිමන් සීමා කෙරී ඇති අවස්ථාවක ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙත ප්‍රවේශ විය හැකි බව සහතික කරනු වස් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු කරවන්නටද පුවත්පත් කටයුතු කොට තිබිණි. මෙහි වැදගත්කම ඉස්මතු කොට දක්වා තිබුණේ, ඇතැමුන් භාණ්ඩ කළු කඩ මිලට විකුණන බවට සහ වෙළඳුන් භාණ්ඩ ගොඩ ගසා සඟවා ගෙන සිටිනා බවට වන ආරංචි පසුතල කරගනිමිනි.

විකල්ප ධාරාවේ සිංහල භාෂා පුවත්පත් මගින් මෙහිදී පාර්ලිමේන්තුව නැවත කැඳවා ජාතික අය වැය සම්මත කර ගැනීමේ වැදගත්කම වෙත අවධානය යොමු කොට, එසේම මෙම සෞඛ්‍ය අර්බුදය විෂයෙහි තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා රජයේ සියලුම සාමාජිකයින් එකතු කරගැනීමට පක්ෂව කරුණු දක්වා තිබුණත්, ඒ සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් තුළ සාකච්ඡා වී තිබෙනු දක්නට නොලැබුණි.



Recommended Articles