කෝවිඩ් එන්නත් දරුවන්ට ලබාදිය හැකිද?


කෝවිඩ් වසංගතය වසර එකහමාරකට වැඩි කාලයක් පුරාවට ලෝකයේ පැතිර යමින් තිබෙන අතර, මේ වනවිට එම වසංගතය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මිලියන 3.5ක් පමණ වේ. මේ වනවිට ශ්‍රී ලංකාවද ඇතුළු සෑම රටකම පාහේ වැඩිහිටි පරපුරට කෝවිඩ් එන්නත් ලබාදීමට එම රටවල සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින අතර, ඊට අමතරව දරුවන් සඳහාද එන්නත් සකස් කිරීම සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.


ළමුන්ට කෝවිඩ් එන්නතක් ලබාදීම හරහා කෝවිඩ් වෛරසය වැලඳීමෙන් ආරක්ෂා විය හැකි අතර,  එය ආසාදනය වී ඇතිනම් බරපතළ රෝගාතුරවීම් වළක්වාගත හැකි බවද ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම දරුවන්ට කෝවිඩ් එන්නතක් ලබාදීම හරහා ඔවුන්ගේ පවුල් ආරක්ෂා කර ගැනීමට උපකාරී වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

දරුවන්ට කෝවිඩ්-19 වෛසරය ආසාදනය වුවද ඔවුන්ට රෝග ලක්ෂණ අඩුවෙන් පෙන්නුම් කරන අතර, දරුණු ආසාදන ඇති නොවන බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ. ඒ අතරින් කිහිපදෙනෙකුට බරපතළ සංකූලතා ඇතිවිය හැකි අතර, එන්නත් ලබාදීම මගින් එය වළක්වාගත හැකි බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන්, ලන්ඩනයේ සෞඛ්‍ය සේවා රසායනාගාර සහ රාජකීය නිදහස් රෝහලේ සහ ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සායනික ප්‍රතිශක්තීකරණය සහ අසාත්මිකාව පිළිබඳ මහාචාර්ය සහ උපදේශක මහාචාර්ය සුරන්ජිත් සෙනවිරත්න මහතාගෙන් විමසූ අතර, මේ සම්බන්ධයෙන් හෙතෙම පැවසුවේ මෙවැනි අදහසකි.

"කුඩා දරුවන් පහසුවෙන් වෛරසයට නැඹුරු විය හැකි නමුත්, දරුවන්ට එතරම් දරුණු රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. හැබැයි ආසාදිත දරුවන් මගින් වැඩිහිටියන්ට කෝවිඩ් ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා."

දරුවන්ට එන්නත ලබාදීම වැදගත්ද?

කෝවිඩ් - 19 දරුවන්ට ආසාදනය වීමෙන් පසුව එහි බලපෑම දීර්ඝකාලීනව තිබෙන්නට පුළුවන්. ආරම්භක රෝගයෙන් ඔබ්බට සති හෝ මාස ගණනක් එය පැවතිය හැකියි. ඒ නිසා මෙවැනි ප්‍රතිඵල ඇතිවීම වැළැක්වීම සඳහා දරුවන්ට එන්නත ලබාදීම ඉතාම වැදගත්.

පුළුල් ප්‍රජාවේ සෞඛ්‍ය ආරක්ෂාව

ළමුන් සඳහාත් කෝවිඩ් එන්නතක් ලබාදීම පිළිබඳව සලකා බැලීමට තවත් කාරණයක් තමයි සමස්තය‍ක් ලෙස මේ සියලුම ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම. මොකද වෛරසය ආසාදනය වූ සෑම දරුවෙකුටම හෝ වැඩිහිටියෙකුගේම වෛරසය විකෘති වීමට සහ වෛරස් ප්‍රභේද නිර්මාණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. එය වඩාත් භයානක හෝ ප්‍රතිරෝධී වීමට පුළුවන්. මේ නිසා එන්නත් හා ප්‍රතිකාර සඳහා ප්‍රතිශක්තිකාරක අවශ්‍ය වෙනවා.

ලෝක මට්ටමින් භාවිත කරන එන්නත් වර්ග 07ක්

මේ වනවිට කෝවිඩ් -19 වෛරසය මර්දනය කිරීමට වැඩිහිටියන් සඳහා භාවිත කිරීමට එන්නත් වර්ග හතකට අවසරය හිමිව තිබේ. ඒ අනුව අවුරුදු 16ට වැඩි පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබාදී ඇති අතර, අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සඳහා මොඩර්නා සහ ජොන්සන් සහ ජොන්සන් එන්නත් හඳුන්වා දී තිබෙනවා.

ඒ වගේම ඇමරිකාවේ අවුරුදු 12-15 අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට මේ වනවිට අවසරය හිමිව තිබෙනවා. ෆයිසර් එන්නත වයස අවුරුදු 12- 15ත් අතර ළමුන් තුළ සියයට සියයක කාර්යක්ෂමතාවයක් ඇති බව සොයාගෙන තිබෙනවා.

මේ වනවිට ඔවුන් වයස අවුරුදු 6ත් 11ත් අතර දරුවන්ට එන්නත ලබාදීමේ හැකියාව අධ්‍යයනය කරමින් සිටිනවා. 

එමෙන්ම එන්නත් ලබාදීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක  වයස් කාණ්ඩ තුනක් අත්හදාබැලීම් සිදුකර තිබෙනවා. වයස අවුරුදු 5- 11, අවුරදු 2 -5 සහ මාස 6 සිට අවුරුදු 2 දක්වා වූ දරුවන් සම්බන්ධයෙන් මේ වනවිට එම පර්යේෂණ සිදුකරනවා. ඒ වගේම ඇතැම් වයස් කාණ්ඩවල පළමු වයස් කාණ්ඩ දෙක සඳහා එන්නත ලබාදීමට සුදුසු බවට අනුමත කර තිබෙනවා.

වසය අවුරුදු 12- 15ත් අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට කැනඩාවත් මේ වනවිට අනුමැතිය ලබාදී තිබෙනවා.  ඒ අනුව එරට එම වයස් කාණ්ඩයේ ළමුන් එන්නත්කරණය කිරීම පසුගිය සතියේ ආරම්භ කළා.

මොඩර්නා එන්නත

වයස අවුරුදු 12 – 17ත් අතර ළමුන් සඳහා මොඩර්නා එන්නත පිළිබඳ සායනික පරීක්ෂණ මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එහි ප්‍රතිඵල ඉතාම කඩිනමින් අපට දැනගැනීමට හැකි වේවි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත

කොවිෂීල්ඩ් එන්නත ලෙස ශ්‍රී ලංකාවට ලැබුණේද මෙම එන්නතයි. වයස අවුරුදු 6 -17ත් අතර නිරෝගී දරුවන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ හැකියාව අධ්‍යයනය කරමින් සිටින අතර, ඉතා ඉක්මනින් මේ පිළිබඳව දැනගැනීමට හැකි වේවි.

ජොන්සන් සහ ජොන්සන් එන්නත

වයස අවුරුදු 12-17ත් අතර ළමුන් සඳහා ජොන්සන් සහ ජොන්සන් එන්නත මේ වනවිට පරික්ෂාවට ලක්කරමින් තිබෙනවා. 

ස්පුට්නික් එන්නත

ළමුන් සහ වැඩිහිටි දරුවන් සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත භාවිත කළ හැකි ආකාරය පිළිබඳවත් අත්හදාබැලීමක් ලබන මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

සිනොෆාර්ම් එන්නත

චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම් එන්නත දරුවන්ට ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් අධ්‍යයනය කර තිබෙනවා. ඒ අනුව වසය අවුරුදු 03–17ත් අතර දරුවන්ට සිනොෆාර්ම් එන්නත ලබාදීමට හැකි බව සඳහන් කරමින් ඔවුන් වාර්තාවක් නිකුත් කර තිබෙවා.

දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අදහස

එන්නත් සම්බන්ධයෙන් විවිධ මත සමාජයේ පවතිනවා. මෙම එන්නත් ඉතාමත් කෙටි කාලයකින් ලෝකයට හඳුන්වාදීමත්, එම එන්නත් සම්බන්ධයෙන් තමවත් පරීක්ෂණ සිදුකරන නිසාත් මෙම මත පවතිනවා. කොහොම වුණත් දරුවන්ට එන්නත්කරණය සම්බන්ධයෙන් ඇමරිකාවේ සිදුකළ සමීක්ෂණයකදී දෙමාපියන්ගෙන් 53%ක් ප්‍රකාශ කර ඇත්තේ දරුවන්ට එන්නත ලබාදෙන බවයි. එමෙන්ම 26%ක් අනිවාර්යෙන්ම එන්නත ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන්ම දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදීම තුළ ඔවුන් නැවත පාසලට පැමිණි විට ඔවුන් හරහා වසංගතය පැතිරීම සීමා වෙනවා. ඒ හරහා පාසලේ සාමාන්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමට, මිතුරන් සමග සෙල්ලම් කිරීමට මෙන්ම කිසිදු බාධාවකින් තොරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමටත් ඔවුන්ට අවස්ථාව හිමි වෙනවා. එය ඉතාම වැදගත්.

විශේෂයෙන්ම මෙවැනි ගෝලීය වසංගත තත්ත්වයන් හමුවේ සෑම කෙනෙකුටම යථා තත්ත්වයට පැමිණීමට හැකි වන පරිදි සියලු වයස් කාණ්ඩයන් සාර්ථකව එන්නත්කරණයකට යොමු කිරීම ඉතාම වැදගත්. මොකද එන්නතක් ලබාදීම හරහා මෙම වෛරසය පැතිරීම, වසංගත තත්ත්වය ඇතිවීම වළක්වනවා.

මේ පසුබිම තුළ දරුවන්ට එන්නත ලබාදීමෙන් පසුගිය වසර එකහමාරක කාලය තුළ මගහැරුණු ක්‍රියාකාරකම්වලට යළිත් සමීපවීමට දරුවන්ට හැකි වේවි.

 



Recommended Articles