කෝවිඩ් 19 රෝග ව්‍යාප්ත වීම හමුවේ රට මාසයකට අධික කාලයක් පුරාවට ඇඳිරිනීතියට යටත්ව පාලනය වෙයි. මේ කාල සීමාව තුළදී සෞඛ්‍ය අංශ, රජය, මහජනතාව ඇතුළු රටේ සෑම පුරවැසියෙකුගේම ප්‍රධාන මෙන්ම එකම මාතෘකාව වූයේ කෝවිඩ් 19 රෝගය සහ ඇඳිරිනීති තත්ත්වයේ නවමු විස්තරයන් දැන ගැනීම පිළිබඳවය. මේ නිසාම අප අවධානයෙන් මිදී රිසි සේ පැතිරුණු බෝ වන රෝග රැසකි.
පැනවුණු ඇඳිරිනීතියත් සමග නිවෙසට වී කාලය ගතකරන සියලුදෙනාම හැකි පමණින් කෘෂිකර්මාන්තයට යොමු වීම ප්‍රධාන වශයෙන් මේ කාලය තුළදී දක්නට ලැබිණි. කෘෂිකාර්මික කටයුතු සඳහා රජයෙන් අවසර ලබාදීම හේතුවෙන් නිදහසේ එම කටයුතුවල නියැළෙන්නට ඔවුනට හැකි විය. මේ අවස්ථාවේදී රට පත්ව ඇති තත්ත්වය හමුවේ කෘෂිකාර්මික කටයුතුවල නිරත වීම අප ආර්ථිකයටද යම් ශක්තියක් වන නමුත්, අනාරක්ෂිත ලෙස කෘෂිකාර්මික කටයුතුවල නිරත වීම තුළින් විවිධ රෝගයන්ටද ගොදුරු වීමට ඉඩකඩ ඇත. විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතුවලදී වැළඳෙන ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) හෙවත් 'මී උණ' රෝගය කෝවිඩ් 19 අවදානමට සමගාමීව මේ දිනවල රටේ පවතින තවත් රෝගයකි.
කෝවිඩ් අවදානමෙන් මිදීමට මීටරයක දුර පවත්වා ගැනීම, නිරතුරුවම මුඛ ආවරණ පැලඳීම සිදුකළත් ගොවිතැන් කටයුතුවලදී ආරක්ෂිත පැලඳුම්, ඖෂධ භාවිත නොකළ පිරිස් ඕනෑවටත් වැඩිය. කාලයක පටන්ම ලංකාව පුරා විටින් විට මතුවන මී උණ රෝගය මීයන් සහ ගවයන්ගෙන් (ප්‍රධාන වශයෙන් මීයන්ගෙන්) බෝවන රෝගයකි. මෙම රෝගයම 'වෙල් උණ', 'පතල් උණ', සහ 'මඩ උණ' ලෙසද විවිධ ග්‍රාමීය ව්‍යවහාරයන් තුළ හඳුන්වනු ලබයි. 'Leptospira interrogans' නැමැති බැක්ටීරියාව මීයන්ගේ වකුගඩු තුළ ගුණනය වී මී මුත්‍රා සමග පිටවේ. එම මී මුත්‍රා ජලයට එකතු වී ජලය තුළ රැඳී තිබේ. කුඹුරු, වගාබිම්, ජලය ගලා නොයන දියකඩිති තුළ මී මුත්‍රා රැඳී තිබීමෙන් කැපුම් තුවාල, සිරීම් තුවාල හරහා මෙම බැක්ටීරියාව ශරීරයට එකතු විය හැක. ගොවිබිම් ආශ්‍රිතව මෙන්ම නාගරික ප්‍රදේශවල ඇති අපිරිසුදු කාණු, ජලය අවහිර වන ස්ථානවලටද මී මුත්‍රා එකතු වීම සිදුවනු ඇත. මෙහි ඇති විශේෂත්වය වනුයේ සමෙහි ඇති ඇසට නොපෙනෙන කුඩා සීරිමක් තුළින් වුවද බැක්ටීරියාව ශරීරගත විය හැකි වීමයි. එමෙන්ම මී මුත්‍රා මිශ්‍ර වූ ජලය පානය කිරීමෙන් හෝ මුහුණ අත් පා සේදීමෙන් පවා ලෙප්ටොස්පයිරෝසිස් රෝගය වැළඳිය හැක. නමුත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගය වැළඳුණු අයෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝ වන බවට වාර්තා වී නොමැත.
වසර පුරාම මී උණ රෝගීන් රට තුළින් වාර්තා වන අතර, වැඩි වශයෙන් වාතයේ තෙතමනය වැඩි, වැසි කාලවලදී සහ ගංවතුර අවස්ථාවකදී වසංගතයක් ලෙස පැතිරීමේ අවදානමක් තිබේ. මෝසම් වැසි ආශ්‍රිතව රෝගය පැතිරීම වැඩි විය හැකි කාල පරාසයන් දෙකක් මේ වනවිට හඳුනාගෙන තිබේ. ඒ මාර්තු සිට මැයි දක්වාත්, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වාත් වන කාලයන් තුළදීය. කෙසේ නමුත් මේ කාලයේදී සාමාන්‍ය අවස්ථාවන්ට වඩා වැඩි මී උණ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පවතින කෝවිඩ් 19 හමුවේ ලැබුණු දිගු නිවාඩුව හේතුවෙන් පුද්ගලයන් වගා කටයුතුවලට වැඩියෙන් යොමු වීමත් සමගය. විශේෂයෙන් එහිදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව නොසිතා අනාරක්ෂිත ලෙස ගොවිතැනෙහි නිරත වීම, පුරන්ව තිබූ කුඹුරු සහ වගාබිම් සැලසුම් රහිතව අස්වැද්දීමට කටයුතු කිරීම, ගොවිබිම් ආශ්‍රිත ජලය පරිහරණය කිරීම, ආරක්ෂක පැලඳුම් රහිතව ගෙවතු පිරිසුදු කිරීම තුළින් මී උණ රෝගීන් වැඩි වී තිබේ. එමෙන්ම මේ වනවිට ලංකාව පුරා ලෙප්ටොස්පයිරෝසිස් නව රෝගීන් 1403ක් වාර්තා වී තිබෙන අතර, ලෙප්ටොස්පයිරෝසිස් නව රෝග මරණ සියය ඉක්මවා සිදුවී ඇත. උතුරු මැද, වයඹ, සබරගමුව වැනි පළාත් තුළ මී උණ රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.
Leptospira interrogans බැක්ටීරියාව ශරීරගත වී දින පහත් දාහතරක් අතර කාලයකදී මෙහි රෝග ලක්ෂණ මතු වේ. මස්පිඬුවල තදබල වේදනාව, තද උණ, ඇස් තද රතු පැහැ වීම සහ දැවිල්ලක් හටගැනීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයන් වේ. එමෙන්ම දැඩි හිසරදය, ඔක්කාරය සහ වමනය, අප්‍රාණික බව, මුත්‍රා කහ පැහැවීම, මුත්‍රා සමග ලේ යෑම, සමේ පලු මතු වීම, කැස්ස වැනි රෝග ලක්ෂණද මී උණ රෝගය වැළඳුණු විට මතු වේ. බොහෝ විට මී උණ වැළඳුණු රෝගීන්ගේ රෝග ලක්ෂණ ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා වැනි රෝගවලටද සමාන වන අවස්ථා පැවතිය හැක.
මෙම බැක්ටීරියාවෙන් ආරක්ෂා වීම සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධය වන්නේ ඩොක්සිසයික්ලින් (Doxycycline) ඖෂධයයි. ගොවිබිම්හී වැඩකරන ගොවීන් මෙම ඖෂධය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් ලබාගත යුතු අතර, සතියකට මිලිග්‍රෑම් දෙසීයක් බැගින් ඔවුන් ගොවීන්ට නොමිලේ බෙදා දෙනු ලබයි. එය මාසයක කාලයක් පුරාවට ලබාදෙන අතර, නිසි වේලාවට මෙම ඖෂධය ලබාගැනීම තුළින් රෝගයෙන් ආරක්ෂා විය හැකිය. ඩොක්සිසයික්ලින් ඖෂධය පිළිබඳව ගොවි මහතුන් තුළ දැනුමක් නොමැති නම් ඒ පිළිබඳව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් විමසා දැනුවත් විය හැකිය. ඊට අමතරව ගොවිබිම්, පතල් කර්මාන්තය තුළ වැඩකටයුතු කරන විටදී නිරන්තරයෙන් මුව ආවරණ, අත්පා ආවරණ සහ හිස්වැසුම් පැලඳීමද සිදුකළ යුතුය. විශේෂයෙන් කුඹුරු ආශ්‍රිත වැඩ කිරීමේදී පා ආවරණය දණහිස මට්ටමට පැලඳීම අනිවාර්ය වේ.
මෙහිදී මෙවැනි ස්ථාන ආශ්‍රිතව වැඩකරන පුද්ගලයන් සිය අවට පරිසරය නිරතුරුව පිරිසුදුව තබා ගැනීමට කටයුතු කළ යුතුය. එමෙන්ම නාගරිකව ජීවත්වන්නන් අක්‍රමවත් කැළිකසළ බැහැර කිරීම් සිදුනොකළ යුතු අතර, නිවෙස තුළ මී ගහණය වළක්වා ගැනීමටද කටයුතු කළ යුතුය. මී ගුල් විනාශ කිරීම, මී උගුල් විනාශ කිරීම, මී නාශක බෙහෙත් භාවිතයද ඒ සඳහා යොදා ගත හැක. එමෙන්ම කුඹුරු, වගා බිම් ආශ්‍රිතව මීයන් ගැවසීම වළක්වා ගැනීමට ප්‍රාදේශීයව සහ සාම්ප්‍රදායික උපක්‍රම (පොල්පිති, ඉනි සිටුවා බකමූණන් වැඩි කර ගැනීම) වැනි දෑ භාවිත කළ හැක.
අසාමාන්‍ය ලෙස මෙම ලෙප්ටොස්පයිරෝසිස් රෝගය වැඩි වූයේ කෙසේද යන්න අප 'මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ' සභාපති උපුල් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙවැන්නකි.
'මේ ගොවිතැන් කරන කාලෙදි ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගය බෝ වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. නමුත් මෙලෙස අසාමාන්‍ය ලෙසින් වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ කෝවිඩ් 19 රෝගය නිසා පැනවුණු ඇඳිරිනීතිය නිසයි. මේ නිසා බොහෝ ගොවීන් මෙන්ම ගොවිතැනට නැඹුරු වුණු අලුත් පිරිස වැඩි වුණා. එහිදී අත්හැර දැමූ කුඹුරු රැසක් මිනිස්සු අස්වද්දන්නට වුණා. ඇඳිරිනීතිය තුළදී කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමට අවසර ලැබුණු නිසා හැමදෙනාම ආරක්ෂාවකින් තොරව කෘෂිකර්මාන්තයේ නියැලුණා. ඒක තමයි මෙය වැඩි වෙන්න ප්‍රධානම හේතුව වුණේ. ඒ වගේම මහජන පරීක්ෂකවරුන් තමයි හැමදාම කෘෂිකාර්මික කටයුතුවලට පෙර ලෙප්ටොස්පයිරෝසිස් වලට ප්‍රතිජීවක ඖෂධ (Doxycycline) ගොවීන්ට ලබා දෙන්නේ. නමුත් ඒ සඳහා වෙනදා අපි කරන කාර්යභාරය කර ගැනීමේ අඩුවක් සිදුවුණා. කෝවිඩ් වැඩ වලින් කාර්යබහුල වුණු නිසා ගොවි සංවිධාන දැනුවත් කරන්න අපිට අතපසු වුණා. අපිට ඒ බෙහෙත් හරියට බෙදාගැනීමට නොහැකි වුණා. ඒ වගේම ගොවීන්ටත් ඇඳිරිනීති කාල සීමාව තුළ ඖෂධ ලබා ගැනීමට අප හමුවට එන්න නොහැකි වුණා. නමුත් මේ රෝගීන් වැඩි වීමත් සමගම අපි මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවලට අතිරේක නිලධාරියෙක් පත්කරලා මේ ඖෂධ බෙදා දීමේ ක්‍රියාවලිය සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කළා. තවම ඒ ඖෂධ ලැබුණේ නැති ගොවීන්ට ළඟම තිබෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට ගොස් ඒ ප්‍රතිකාර ලබාගත හැකියි.'
එමෙන්ම ඇතැම් පැරණි ගොවීන් මෙම උණ රෝගය පිළිබඳව නොසැලකිල්ලක් දක්වන බවද බොහෝවිට අසන්නට ලැබෙන කරුණකි. විශේෂයෙන් බටහිර ඖෂධ වලට ඇති නුපුරුදුකම හෝ රෝගය පිළිබඳව ඇති අවිශ්වාසය මෙයට ප්‍රධාන හේතුවකි. මේ පිළිබඳව ගොවි සංවිධානවල නිලධාරීන්ද ගොවීන් දැනුවත් කළ යුතුය. ගොවීන් තම සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් සිතා බැලිය යුතු වන්නේ ඔවුන් රටේ ආර්ථිකයට දක්වන විශාල දායකත්වය නිසාවෙනි. එබැවින් ඔබ අවට එවැනි රෝග ලක්ෂණ සහිත රෝගියෙකු සිටී නම් හැකි ඉක්මනින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට දන්වා ළඟම ඇති රෝහලට රැගෙන යන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.