කෝවිඩ් අවදානම මැද පවත්වාගෙන යන දුම්රිය සේවාව


පොදු ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වාගෙන යායුතු වේ. නමුත් පවතින වසංගත තත්ත්වය මත ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම එක් ආකාරයකට අභියෝගයක් වී ඇත. විශේෂයෙන් දුම්රිය සේවාව දැඩි අර්බුදයකට මුහුණදී තිබෙන්නේ දුම්රිය සේවකයන් හරහා කෝවිඩ් පොකුරක් නිර්මාණය වීමට හැකියාවක් බවතින බැවිනි. මේ පිළිබඳ අවධානය යොමුකර දුම්රිය සේවක සංගමය ක්‍රමවේද හතරක් බලධාරීන්ට ඉදිරිපත් කළද, එය ක්‍රියාත්මක නොවෙයි. එම තත්ත්වය මත දුම්රිය සේවකයන් කෝවිඩ් වෛරසයට ගොදුරු වීමේ අවදානමක් ඇතිවී තිබෙන අතර, එය පසුගියදා කොම්පඤ්ඤවීදිය දුම්රියපළේ කටයුතු සම්පූර්ණයෙන් අඩාල කරන මට්ටමටම පත්විය. දුම්රිය සේවකයන් කෝවිඩ් වෛරසයට ගොදුරු වීම තුළින් දුම්රිය මගීන්ද අවදානමට ලක්වන නිසාම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඒ වෙනුවෙන් යම් සාධනීය මැදිහත් වීමක් බලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙයි. මේ, පවතින තත්ත්වය පිළිබඳව එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අදට දැක්වූ අදහස් ඇසුරෙන් සකස් වූ සටහනකි.

කෝවිඩ් නිසා වැසුණු දුම්රිය ස්ථාන

මේ වන විට කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කෝවිඩ් 19 වෛරස ආසාදිතයෙක් බවට පත්වෙලා තිබෙනවා. ඒ අනුව එම දුම්රිය ස්ථානයේ කටයුතු දින කිහිපයකට සිදුවුණේ නැහැ. ඊයේ දිනයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව එහි වැඩකටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් පියවර ගනු ලැබුවා. ඊයේ (07දා) සිට හුණුපිටිය දුම්රිය ස්ථානයේ නැවත දැනුම් දෙනතුරු නොනවත්වා දුම්රිය ධාවනය කරන්නට තීරණය කළා. මොකද යළි එම ප්‍රදේශ හුදෙකලා කිරීම නිසා. ඒ වගේම මෙතෙක් දුම්රිය නොනවත්වා ධාවනය කළ වනවාසල දුම්රිය ස්ථානයේ ඊයේ දිනයේ සිට යළි දුම්රිය මගීන්ට විවෘත කරන නිසා දුම්රිය නවැත්වීම සිදුකරනවා. තවමත් දෙමටගොඩ, මරදාන, බේස්ලයින් යන දුම්රිය ස්ථාන මගීන්ට විවෘත නැහැ.

ක්‍රියාත්මක නොවන ක්‍රමවේද

අපි මීට පෙර දුම්රිය කෝවිඩ් පොකුරක් නිර්මාණය වීම වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කළා. නමුත් එය ක්‍රියාත්මක කරන්න කිසිදු බලධාරියෙකුගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. මේ නිසාම අපි මේ වන විට ගැටලු රැසකට මුහුණ දෙනවා. මෑත දිනයක වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා රුහුණු කුමාරි දුම්රිය භාවිත කළ මගීන්ට. කෝවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයෙක් දින 6ක් මේ දුම්රියෙන් ගමන්කර තිබීම නිසයි මේ නිවේදනය නිකුත් කර තිබුණේ. මේ දුම්රියේ අදාළ මැදිරියේ ගමන් කළ අය කවුද? කුමන ස්ථානයේද මේ මගියා ගමන් කළේ කියන දේ සම්බන්ධව සොයා බලන්න අපිට ක්‍රමවේදයක් නැහැ. අපි කෝවිඩ් පළමු රැල්ලේ සිටම මේ තත්ත්වය මඟහරවාගන්න ක්‍රමවේදයක් හඳුන්වා දී තිබුණා. දැන් දුරගමන් සේවා හැර සියලුම දුම්රියන් ධාවනය වෙනවා. මෙහිදී මගීන්ට දුම්රිය ආසනයක් පහසුවෙන් වෙන් කරගන්න ක්‍රමයක් තමයි අපි සකස් කළේ. එයට ක්‍රමවේද හතරක් අපි හඳුන්වා දුන්නා. ඒ අනුව ඕනෑම කෙනෙක්ට ආසනයක් වෙන් කරගන්න දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමට අපි යෝජනා කළා. ඕනෑම පුද්ගලයෙක්ට වර්තමානය වෙද්දී ස්මාර්ට් ජංගම දුරකථනයක් සතු නිසා ජංගම දුරකථන යෙදවුමක් හරහා ආසනයක් වෙන්කරගන්න පහසුකම් ලබාදීම වෙනුවෙන් යෝජනාවක් ගෙනාවා. තෙවනුම මාර්ගගත ක්‍රමවේදය හරහාත් ඉහත ක්‍රම තුනම අනුගමනය කරන්න නොහැකි අයට දුම්රිය ස්ථානයට පැමිණ ආසනයක් වෙන් කරගන්න ක්‍රමවේදයක් අපි හඳුන්වා දුන්නා. රජය නිර්දේශ කර ඇති ආකාරයට අපිට තවමත් හැකියාව තියෙන්නේ මගීන්ගෙන් 75%ක ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නයි. ඒ නීතිය තාම ඉවත් කරලා නැහැ. ඒ නිසා අපි හඳුන්වා දුන් ක්‍රමවේද හතරට අනුගතව මගීන් ප්‍රවාහනය කළා නම්, යම් මගියෙක් කෝවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වුණොත් අපිට ඒ මගියා වටා ගමන් කළ පිරිස හඳුනාගන්න වඩාත් පහසු වෙනවා. දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මෙම ක්‍රමවේදය ගැන තැකීමක් කරන්නේ නැති නිසා මගීන්ට තමන්ගේ ආරක්ෂාව තමන්ට තහවුරු කරගන්න සිදුවෙලා තිබෙනවා.

අවම පහසුකම් මත අවදානම් ජීවිත

දුම්රිය සේවකයන්ට කෝවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලැබෙන පහසුකම් ප්‍රමාණාත්මක නැහැ. අපි වාචිකව ඉල්ලීම් කර තිබෙනවා දුම්රිය සේවකයන්වත් අහඹු පී.සී.ආර් පරික්ෂාවට ලක් කරන්න කියලා. මොකද දුම්රිය සේවාව දීපව්‍යාප්තයි. දුර ගමන් සේවා හැර අනෙක් කලාපවල සියලුම දුම්රිය ධාවනය දැන් සිදුවෙනවා. ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරයෙක් ගැන අපි හිතුවොත් දුම්රිය ස්ථානාධිපතිවරයා දෛනිකව මගීන් කීදාහක් එක්ක ගනුදෙනු කරනවාද? මුදල් වලින් මේ වෛරසය සංසරණය වෙනවා කියලා කියනවා. යම් හෙයකින් දුම්රිය ස්ථානාධිපතිවරයා කෝවිඩ් ආසාදිතයෙක් වෙලා තිබුණොත් ඔහුගෙන් කී දෙනෙක්ට මේ වෛරසය පැතිරෙයිද? අපි ග්ලවුස් ඉල්ලලා තිබෙනවා. නමුත් මේ වනතෙක් අපිට ග්ලවුස් ලබාදීලා නැහැ. ඒ වගේම දුම්රිය ස්ථානවල දෑත් සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් ඇතැම් දුම්රිය ස්ථානවලට ප්‍රමාණාත්මකව ලැබෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕන මගියෙක්ගෙන් දුම්රිය සේවකයෙක්ට වෛරසය ආසාදනය වුණොත් එය සේවකයන්ගේ පවුල්වලට ආසාදනය වෙලා වැඩි පිරිසකට මෙම වෛරසය පැතිරිය හැකියි. මේ වෙද්දී දුම්රිය සේවකයන් කොපමණ සංඛ්‍යාවක් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන් බවට පත්වෙලාද කියලා මාධ්‍යවල පළවෙලා නැහැ. එම තොරතුරු පළවෙනවා නම් වඩාත් ප්‍රවේසම්ව මෙම සේවාව භාවිතයට ගැනීම සම්බන්ධයෙන් මගීන්ටත් දැනුම්වත් වෙන්න පුළුවන්. ඒ අනුව පළමුවරට මාධ්‍යයට කියන්න කැමතියි මේ වෙද්දී දුම්රිය සේවකයින් 20ක්  ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙන බව. අපි හඳුන්වා දුන් ක්‍රමවේද අනුගමනය කරන්න හැකි නම් අපිට වඩාත් ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යා හැකියි. ඒ වගේම කියන්න ඕන දැනට ධාවනය කරන දුම්රිය වල 75% මට්ටමෙන් මගීන් ධාවනය කරන්න අපි උත්සාහ කරනවා. නමුත් ඇතැම් දුම්රිය වල 90% සීමාවත් ඉක්මවා යන අවස්ථා නැතිවම නොවෙයි. මේ නිසා අපි මගීන්ටත් කියන්න කැමතියි සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගනිමින් මේ සේවාව පවත්වාගෙන යන්නට අවශ්‍ය සහය ලබාදෙන්න කියලා.

 



Recommended Articles