මේ මොහොතේ ලෝකවාසී සියලුදෙනාගේ වැඩි අවධානය යොමු වී තිබෙන්නේ කෝවිඩ් 19 රෝගය සඳහාය. නමුත් කෝවිඩ් හට පූර්ණ අවධානයක් යොමු වීමෙන් මඟහැරෙන තවත් අවදානම් රෝග තිබිය හැක. ඉන් එක් ප්‍රධාන රෝගයක් ලෙස ඩෙංගු රෝගය හැඳින්විය හැකිය. “ජාතික ඩෙංගු මර්දන සතිය” එළැඹෙන ඔක්තෝබර් 14දා සිට 20දා දක්වා දිවයින පුරා ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කර තිබේ. ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (07දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැත්විණ.
වසරේ කාල දෙකකදී ඩෙංගු රෝගය වැඩි වීමේ අවදානම තිබේ. ඒ නිරිත දිග මෝසම් වර්ෂාවෙන් පසු ජූලි, අගෝස්තු මාසවලදී සහ ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් පසු නොවැම්බර්, දෙසැම්බර් ජනවාරි යන කාලයන් තුළදීය. මෙය පසුගිය වසර විස්සක කාලය තුළදීම නිරන්තරයෙන් දක්නට ලැබුණු තත්ත්වයකි. පසුගිය දසවසරක කාලය තුළ ඩෙංගු රෝගය අඩුවෙන්ම පැවැති වර්ෂය මෙම 2020 වර්ෂයයි. මෙම වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 27,870කි. ගෙවුණු ජනවාරි මාසය තුළදී ඩෙංගු රෝගීන් 11,608ක් වාර්තා වී තිබුණු අතර, පසුගිය වසර දෙකෙහි ජනවාරි මාසයන් තුළ වාර්තා වුණු වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය වාර්තා වී තිබුණේ 2020 ජනවාරි මාසයේදීය. පෙබරවාරි මාසය තුළදී වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5,368ක් වන අතර, ඉන්පසුව ගෙවුණු සෑම මාසයකදීම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබුණේ ඉතා අඩු ප්‍රමාණයකිනි.
පසුගිය වසර තුළ වාර්තා වුණු සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 105,049ක් වන අතර, පසුගිය වර්ෂයේදී සිදු වූ ඩෙංගු මරණ ප්‍රමාණය 157කි. නමුත් මේ වසරේ සැප්තැම්බර් මස දක්වා සිදුව ඇත්තේ ඩෙංගු මරණ 33ක් පමණි. මේ වසරේ මාර්තු මාසයෙන් පසුව ඩෙංගු රෝගීන් වාර්තා වීම 75%කින් අඩු වී තිබේ. එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට 47%ක ප්‍රතිශතයකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩු වී තිබේ.
මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. පසුගිය වසර කිහිපය තුළදී දෙවැනියට වැඩිම රෝගීන් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වුවත්, මෙම වසරේදී දෙවැනියට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එය 24%ක ප්‍රතිශතයකි. එමෙන්ම ගම්පහ, පුත්තලම, ත්‍රිකුණාමලය, කළුතර වැනි දිස්ත්‍රික්ක ඩෙංගු රෝගය බෝ වීමේ අවදානම් කලාප ලෙස දැක්විය හැක.
තවද මඩකලපුව, යාපනය, කිලිනොච්චිය වැනි ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වැඩි වීමේ ප්‍රවණතාවයක් පසුගිය මාසයේ සිට දැකිය හැක. මෝසම් වර්ෂාවෙන් පසුව ඩෙංගු මදුරුවන් බෝ වීමේ ප්‍රවණතාවයක් දැකිය හැකි බැවින් මෙම තත්ත්වය මේ වසර අවසානය වන තෙක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසා සිටියි.
ඇඳිරි නීති සමය හැර අනෙක් මාසවලදී ඩෙංගු මදුරුවන් බෝ වීම අවම කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් සිදු කළ බව වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. එම වැඩසටහන්වලදී ස්ථාන පරික්ෂා කිරීම් 223,000ක් පමණ සිදු කර තිබේ. එම ස්ථාන අතුරින් මදුරු කීටයන් බෝ වීමේ වැඩි හැකියාවක් ඇති ස්ථාන අතරට ගොඩනැගිලි ඉදිකිරීම් ස්ථාන ඉහළ තැනක් ගනී. ඉන්පසුව පාසල්, කර්මාන්තශාලා, පොදු ස්ථාන, ආගමික ස්ථාන පිළිවෙළින් මදුරු කීටයන් බෝ වීමේ හැකියාව ඇති අනෙකුත් ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ. මෙහිදී නිවාස තුළ මදුරු කීටයන් බෝ වීමේ ස්ථාන ඉතා අඩු තත්ත්වයක තිබූ බවටද මෙම ස්ථාන පරික්ෂා කිරීම්වලදී සොයාගෙන තිබේ. නිවෙස් තුළ කීටයන් බෝ වීම අඩු වීම පසුගිය වසර කිහිපය තුළ සිදු කළ ප්‍රචාරක වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි බවද මෙහිදී වෛද්‍යවරයා පැවසීය.
“ඉදිරියේදීත් ඩෙංගු මර්දනයේදී පොදු ස්ථානවලට වැඩි අවධානයක් අත්‍යවශ්‍යයි*
මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩු වීම පිළිබඳව සඳහන් කරමින් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මෙලෙස අදහස් දැක්වීය.
"කෝවිඩ් 19 රෝගය නිසා මාර්තු මාසයේ සිට පැනවුණු ඇඳිරි නීතිය හේතුවෙන් ඩෙංගු වාර්තා වීම අඩු වුණා කියලා අපි විශ්වාස කරනවා. එයට හේතුව හැමෝම වගේ හිටියෙ තමන්ගේ නිවෙස් තුළ. නමුත් මේකෙම අනෙක් පැත්ත සිංගප්පූරුවේ සිදු වුණා. සිංගප්පූරුව ලොක් ඩවුන් කළාට පස්සෙ එහෙ කෝවිඩ් සමගම ඩෙංගු රෝගීනුත් වැඩි වෙන්න පටන්ගෙන තිබෙනවා. එහිදී අපිට හඳුනාගන්න පුළුවන් වුණා අපේ රෝගීන් වැඩි වෙන්නේ පොදු ස්ථානවල සහ පාසල්, ආගමික ස්ථානවලින් කියලා. මොකද ඒ ස්ථාන මාස ගණනාවක්ම වහලා තිබුණා. මිනිස්සු ගියේ නැහැ. නමුත් සිංගප්පූරුවේ වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ නිවෙස් තුළ ජීවත් වුණු නිසා. ඒ නිසා ඉදිරියේදීත් ඩෙංගු මර්දන වැඩසටහන්වලදී පොදු ස්ථානවලට වැඩි අවධානයක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස මම දකිනවා"
මේ මස ඔක්තෝබර් 14 දින සිට 20දා දක්වා පැවැත්වෙන ඩෙංගු මර්දන සතිය තුළ රට පුරා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු සූදානම් කර තිබේ. මෙහිදී අධිඅවදානම් කලාප, අවදානම් කලාප සහ අඩු අවදානම් කලාප ලෙස වෙන්කොට ගෙන තිබේ. අධිඅවදානම් කලාප 53ක් හඳුනාගෙන තිබෙන අතර, අවදානම් කලාප 147ක් හඳුනාගෙන තිබේ. මෙහිදී අඩු අවදානම් කලාප සඳහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැති බවද වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
“ඩෙංගු සඳහාත් එන්නතක්, බෙහෙතක් නැහැ*
මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් දැක්වීය.
&අපිට අලුත්ම කෝවිඩ් 19 පොකුර මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. කෝවිඩ් ගැන අවධානය යොමු කරලා තියෙද්දි ඩෙංගු වගේ තවත් වසංගත රෝගවලට තිබෙන අවධානය අඩු වෙනවා. අපි දන්නවා ඩෙංගු සඳහාත් එන්නතක්, බෙහෙතක් නැහැ. ඇතැම් කාලවලදී රෝහල්වලට දරාගන්න බැරි තරම් රෝගීන් වාර්තා වෙනවා. එම නිසා කෝවිඩ් සඳහා දෙනු ලබන අවධානය හා සමාන අවධානයක් ඩෙංගු සඳහාද ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.*
කෝවිඩ් අවදානම තිබුණද මේ අවස්ථාවේදී ඩෙංගු අවදානමද අඩු කර ගැනීමටද කටයුතු කළ යුතු බව මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා අංශයේ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමපුර මහත්මිය පැවසුවාය. ඩෙංගු යනු වළක්වාගත හැකි රෝගයක් බැවින් මේ සඳහා මහජනතාවගේ මැදිහත්වීමද අනිවාර්යෙන්ම අවශ්‍ය බවද පැවසුවාය. එම නිසා කෝවිඩ් 19 ආරක්ෂිත ක්‍රම අනුමගනය කරමින්, ජනතාව එක්රැස් නොවී ඩෙංගු මර්දන සතිය පැවැත්වීමට කටයුතු කළ හැකි බවද ඇය පවසා සිටියි. කුමන වසංගත රෝගී තත්ත්වයක් පැමිණියත්, ඩෙංගුවලට තිබෙන අවධානය අඩු නොකරමින් කටයුතු කිරීම ඉතා වැදගත්ය. එහිදී ඩෙංගු මර්දන වැඩසටහනට සහභාගී වන නිලධාරීන්ට මහජනතාවගෙන් උපරිම සහයෝගය ආරක්ෂිතව ලබාදෙන ලෙසද ඇය ඉල්ලා සිටියි. ඊට අමතරව තම නිවස සහ ඒ ආශ්‍රිත වටපිටාව පවුලේ සාමාජිකයන් සහභාගී කරගනිමින් පිරිසුදු කරගන්නා ලෙසටද මෙහිදී විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමපුර මහත්මිය පවසා සිටියාය.
“ගම්පහ දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මර්දන කටයුතු සිදු කිරීම තාවකාලිකව නැවැත්වීමට කටයුතු කර තිබේ*
ජාතික ඩෙංගු මර්දන සතිය සඳහා පාසල්වල දායකත්වය ලබාගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක සුදර්ශන පීරිස් මහතා සහභාගී විය. එහිදී ඔහු මෙසේ පැවසීය.
&ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එහිදී පාසල්වල විදුහල්පතිවරුන්, අධ්‍යාපන ආයතන ඇතුළු සියලු අංශ දැනුවත් කර තිබුණා. නමුත් කෝවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග මේ වනවිට පාසල් වහලා තියෙන්නේ. අපි ඩෙංගු මර්දන වැඩසටහන වෙනුවෙන් පාසල්වලින් ලබාගන්න පුළුවන් සහයෝගය ලබාගන්න අවශ්‍ය වන දැනුවත් කිරීම් සහ වැඩසටහන් පෙළගැස්වීම අමාත්‍යාංශය පැත්තෙන් සිදු කර තිබෙනවා. ඒකෙදි අපි ශ්‍රමදාන කටයුතු, දුම් ගැසීම් සහ පාසලක ඩෙංගු පවතිනවා යැයි සැකකරන ප්‍රදේශ පිරිසුදු කිරීම සඳහා අදාළ අංශවල සහයෝගය ලබාගන්නවා. ඒ සමගම භාවිතයට ගත නොහැකි, අලුත්වැඩියා කළ යුතු වැසිකිළි පද්ධති සහ ජලය එක්රැස් වන ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසුදු කරවන්නටත් දැනුවත් කරලා තිබෙනවා.*
හදිසියේ ඇතිවුණු කෝවිඩ් 19 පොකුර හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මර්දන කටයුතු සිදු කිරීම තාවකාලිකව නැවැත්වීමට කටයුතු කර තිබේ. පවතින කෝවිඩ් තත්ත්වය පහව ගිය පසු එම දිස්ත්‍රික්කවලද ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම ඉදිරි කාලය තුළදී කෝවිඩ් හේතුවෙන් ඇතැම්විට මෙම ඩෙංගු මර්දන වැඩසටහන්වලද යම් වෙනස්කම් ඇති විය හැකි බවද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් විය.
“ගිය වසරට සාපේක්ෂව 50%ක ප්‍රමාණයක් තමයි මේ වසරේදී කොළඹින් වාර්තා වී තිබෙන්නේ*
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා මෙලෙස අදහස් දැක්වීය.
"ජනවාරි පළමු වැනිදා සිට කොළඹ නගරය තුළින් ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් 991දෙනෙකු වාර්තා වෙලා තිබෙනවා. නමුත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වනවිට රෝගීන් 1957දෙනෙකු වාර්තා වුණා. ගිය වසරට සාපේක්ෂව 50%ක ප්‍රමාණයක් තමයි මේ වසරේදී කොළඹින් වාර්තා වී තිබෙන්නේ. කොළඹ නගරය තුළ බාහිර පරිසරයෙන් මදුරුවන් බෝ වීම වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. කීට විද්‍යා සමීක්ෂණවලට අනුව කොළඹ නගරයේ වැඩියෙන්ම මදුරුවන් බෝ වන්නේ නිවෙස තුළයි. කෝවිඩ් නිසා නිවෙස් තුළට ගොස් අපිට නිවෙස් පරික්ෂා කරන්න අමාරුයි. මේ නිසා නිවෙස් තුළ තිබෙන මදුරුවන් බෝ විය හැකි සහ ජලය රැඳෙන ස්ථාන පිරිසුදුව තබාගන්න එක වැදගත් වෙනවා."
ඩෙංගු මර්දන ව්‍යාපෘතිය වෙනුවෙන් නාවික හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පූර්ණ සහයෝගය ලබාදෙන බවද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් විය.