මැතිවරණ උණුසුමත් සමගම කෝවිඩ් - 19 වසංගතය අපගේ අවධානයෙන් ගිලිහෙමින් පවතී. නමුත් එය සිදුනොවිය යුත්තක් වන්නේ කෝවිඩ් - 19 මාරක වෛරසය තවම තුරන් කර නොමැති නිසාය. කෝවිඩ් -19න් රට බේරා ගන්නට බිම් මට්ටමේ සටන් වැදුණු සුවවිරුවන් වූයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ය. අපේ රටේ පවතින තත්ත්වය පිළිබඳව අපට හෙළි කරන්නට එක්වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන් බාලසූරිය මහතාය.
මේ කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට හඳුන්වා දුන් නිර්දේශ අමතක කරන්න පුළුවන් කාලයක්ද ?
කොහෙත්ම නැහැ. මේ කාලය තමයි නිර්දේශ හොඳින්ම ක්‍රියාත්මක කළ යුතු කාලය වන්නේ. මොකද අපි දැන් ගතකරන්නේ පශ්චාත් කෝවිඩ් සමයයි. මේ වසංගතය හොඳින් පාලනය කරගත් රටක නැවත රෝගය උත්සන්න වෙන්නට නොදී පවත්වාගෙන යෑමක් තමයි දැන් සිදුවෙන්නේ. ඒ නිසාම හැම දෙනෙක්ම මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට හා පිළිපදින්නට අත්‍යවශ්‍යයි. හැමෝම මාර්තු මාසයට පෙර සිටියාක් මෙන් ජීවත් වෙන්නට දැන් හිතනවා නම් එය වැරදියි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති මාර්ගඋපදේශවල යම් ගැටලුකාරී තත්ත්ව තිබෙනවා. ඒවා ජනතාවට පිළිපැදිය හැකි ආකාරවලට ඉදිරිපත් කරන්න කියලා අපේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සමහර නිර්දේශ යථාර්ථවාදී නිර්දේශ නොවුණත් පොදුවේ ගත්තොත් රෝගය පාලනයට අදාළ පොදු නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා. ජන ජීවිතයේ කටයුතු සිදුකරද්දී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන, තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව තහවුරු කරගෙන, කටයුතු කරගන්නා ආකාරයන් තමයි මේ නිර්දේශ හරහා ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ අනුව නිතර දෑත් සෝදන්න අපි අමතක නොකළ යුතුයි. තමන්ට දෑත් සෝදන්න තත්ත්පර 20ක් වැය කරන්න අපහසු නම් හැම වෙලාවෙම තමන් සන්තකයේ විෂබීජ නාශකයක් තබාගෙන විෂ බීජ නාෂණය කරගත යුතුයි. මොකද මේ දෑත්වලට ස්පර්ෂ වූ වෛරසය තමන්ගේ මුඛය හා ඇස්වලට ඇතුළු වීමෙන් තමාටද වෛරසය ආසාදනය වීම සිදුවිය හැකියි.
අපේ රටට යාබද රට වන ඉන්දියාවේ මේ වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙනවා. එය අපිට කෙසේ බලපායිද?
ආසියාතික කලාපයේ වැඩිම ආසාධිතයන් හා වැඩිම කෝවිඩ් මරණ වාර්තා වන රට බවට ඉන්දියාව පත්වෙලා. ඒ වගේම අපේ රට ගැන බැලුවොත් ඉන්දියාව සමග තිබෙන ආර්ථික සමාජීය හා දේශපාලන සම්බන්ධතා ඉතාම වැඩියි. ඒ වගේම අපේ රටේ පල්ලි, කෝවිල් වැනි ආගමික ස්ථානවලට එන ඉන්දීය බැතිමතුන් ඉන්නවා. ධීවර කටයුතුවලට ඉන්දියානුවන් අපේ රටට එනවා. ඔවුන් අපේ රටත් සමග ඥාති සම්බන්ධතා ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම නීති විරෝධී කටයුතු සිදුවෙනවා. මේවත් එක්ක බැලුවම ඉන්දියාවේ කර්නාටක් ප්‍රාන්තය, මුම්බාය වගේ ප්‍රදේශවල මේ වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන තත්ත්වය මත වරායන් හරහා ලංකාවට බෝට්ටු මගින් ඉන්දියානුවන් පැමිණීමට ඉඩක් තිබෙනවා. එහෙම වුණොත් ලංකාවේ උතුරුකරයෙන් මේ රෝගය යළි හිස ඔසවන්න අවස්ථාවක් තිබෙනවා. උතුරුකරයේ ජීවත්වන ජනතාවට කොළඹ, කන්ද උඩරට හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඥාති සබඳතා තිබෙනවා. ඒ අනුව ලංකාවේ සංචරණ සීමා ලිහිල් කර ඇති පසුබිමක උතුරුකරයෙන් යළි මේ රෝගය ව්‍යාප්තිය ආරම්භ වූවොත් රටේ අනෙක් ප්‍රදේශවලටත් රෝගය ව්‍යාප්ත වීමේ ඉඩක් පවතිනවා.
ඉදිරියේදී විදේශ සංචාරකයන් සඳහාද රට විවෘත වීමට නියමිතයි. මේ ගැනත් අවධානය යොමු විය යුතුයි නේද ?
විදේශිකයන් සඳහාත් අපේ රට අගෝස්තු මාසයේදී විවෘත කරන්නට නියමිතයි. අපි මෙහෙම කරන්නේ ලෝකයෙන් මේ වෛරසය සම්පූර්ණයෙන් තුරන් නොවූ තත්ත්වයක් තිබියදී බව අප සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි.
ඇතැම් රටවල් කෝවිඩ් - 19 මනාව පාලනය කරගෙන තිබුණත් ඔවුන් තවමත් ඉන්නේ ඒ ගැන විමසිල්ලෙන්. ලංකාවෙත් හොඳ අවධානයක් මේ සම්බන්ධයෙන් තිබීම අත්‍යවශ්‍යයි. එසේ නොවුණොත් ද්විතීයීක කොරෝනා අවදානමකට මුහුණ දෙන්න සිදුවෙනවා. චීනයට වුණ තත්ත්වය දැන් පේනවානේ. ඉතින් අපේ රට පසුගිය මාස දෙක තුන තුළ අපි ගතකරපු තත්ත්වය සැලකිල්ලට ගෙන වඩ වඩාත් අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව පවතින තත්ත්වය අවබෝධ කරගෙන රටේ මහජනතාව කටයුතු කිරීම ඉතාම අවශ්‍යයි. විශේෂයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම, තමන්ගේ කැළිකසළ නිසි ක්‍රමවේදයට බැහැර කිරීම පිළිබඳව අවධානයක් යොමු කළ යුතුයි. තමන් පාවිච්චි කරන මුව වැස්ම, තමන් ආහාරයට ගෙන ඉවත දමන දෙය ගැනත් සැලැකිලිමත් වෙන්න. මොකද මේවා පිරිසුදු කරන්නේ අපේ රටේම ජනතාව. ඔවුන්ට මේවා හරහා රෝගය වැලඳුනොත් එයින් සිදුවෙන්නේත් රටේ පුරවැසියන්ට මේ රෝගය ව්‍යාප්ත වීමයි. මේ නිසා හැමෝම අපි ජීවත් වෙන්නේ කොරෝනා අවදානම ඇති රටක බව සිතේ තබාගෙන වගකීම්සහගතව කටයුතු කළ යුතුයි.
මාස කිහිපයක් නිවසට සීමා වුණ ජනතාවක් තවදුරටත් තමන්ගේ අවමංගල්‍ය කටයුතු, මංගල කටයුතු සීමාවන්ට යටත්ව පවත්වන්න වීම ගැන ඉන්නේ අසතුටෙන්. විශේෂයෙන් ඉදිරි මාසවල දානමාන කටයුතු හා විවාහ මංගල කටයුතු සංවිධානය කරන්නට බලා සිටින අය මේ සීමාවන් ඉවත් වෙන දිනය කවදාද කියා විමසන තැනකට ඇවිත් නේද?
මිනිස්සුන්ගේ පැත්තෙන් මෙහෙම හිතන එක සාධාරණයි. මොකද මෙතෙක් සීමා දමා තිබූ ඒවා දැන් ක්‍රමයෙන් ලිහිල් වෙනවා.
අපිට මේ අලුත් ජීවිතයට හුරු වෙන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම මේක ගැන මිනිසුන්ට අවබෝධ කළ යුතුයි වගේම මතක් කළ යුතුයි. එයට රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත් විය යුතුයි. මොකද පවතින තත්ත්වය කිසිසේත්ම අමතක වෙන්නට දිය යුත්තක් නොවෙයි. විශේෂයෙන් මැතිවරණ උණුසුම තිබෙන කාලයක් නිසා මාධ්‍යවල පවා වැඩි අවධානයක් මැතිවරණය පිළිබඳ කාරණාවලට යොමු වෙනවා. ඒ හරහා කෝවිඩ් - 19 කියන වසංගතය යට ගිහින් ප්‍රමුඛතාව මැතිවරණයට ඉබේම ලැබෙනවා. මේ හේතුව නිසා කෝවිඩ් - 19 පාලනය වෙනුවෙන් දැමූ නිර්දේශ හා නීති රීති දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේ අදහසක් සමාජය තුළට යා හැකියි.
ඒ නිසයි අපි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ලෙස පසුගිය කාලය පුරාම වැඩවර්ජනවලට යන්නටත්, ඒ හරහා මේ ගැටලුව පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ ඇස් ඇරලා පෙන්වන්නටත් උත්සාහයක යෙදුෙණ්. මොකද මේ සෞඛ්‍ය පිළිවෙත්වලට සමාජය අනුගත කරවන්න නම් ජනතාවට ගැළපෙන ලෙස මේ මාර්ගෝපදේශ සකස් කළ යුතුයි. ඒ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන නිලධාරීන් සමග පවතින ගැටලු පිළිබඳ සාකච්ජා කිරීම සිදුකළ යුතුයි. ඒ හරහා අඩුපාඩු නිවැරදි කරගත යුතුයි. මොකද මේවා 1897 අංක 03 දරණ රෝග වැළැක්වීම හා නිරෝධායනය කිරීමේ අණපනත යටතේ නීතිගත කිරීම සිදුවිය යුතුයි.
ඔබ සඳහන් කරන්නේ නිර්දේශ හෝ මාර්ගෝපදේශ නීතිගත නොකර පවතින තත්ත්වයක් යටතේ මේ රෝගය පාලනය කිරීම අපහසු බවද ?
අපේ කටවහරේ තිබෙන දෙයක් තමයි සිංහලයාට ඕනම දෙයක් මතකයේ තිබෙන්නේ සති දෙකක් යනකම් විතරයි කියන දෙය. එයට හේතුව වන්නේ වෙනත් කාරණාවලට ප්‍රමුඛතාවක් දැක්වීමයි. යම් අවස්ථාවකදී රජය විසින් හඳුන්වා දී තිබෙන නිර්දේශ හෝ මාර්ගෝපදේශ පිළි නොපදින හෝ ඒවා කඩකරන අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන්නට හැකිවන්නේ නිර්දේශ හා මාර්ගෝපදේශ නීති ගත කළොත් පමණයි.
මෙය නීතියක් කළ පසු ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, බලධාරින් ආදර්ශමත්ව නීතියට අවනත වීම, ජනතාව අතර නීති ආරක්ෂා කරන්න පෙලඹවීමක් ඇතිකිරීම, ආදී කටයුතු සිදුවිය යුතුයි. එසේ සිදු වුණොත් තමයි ජන මනසට මේවා කා වදින්නේ. එසේ නොවුණොත් මේ මාර්ගෝපදේශ වැදි බණ බවට පත්වේවි. ඒ අනුව රටේ උස්පහත් භේදයකින් තොරව දේශපාලනඥයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා එකම නීතියක් ඇති කළ යුතුයි.
මේ නිසයි අපි බලධාරීන්ගෙන් ඉල්ලුවේ මේ නිර්දේශ හා මාර්ගෝපදේශ ගැසට් කරන්න කියලා. ඉදිරියේදී ඒ සඳහා පියවර ගන්නා බවට අමාත්‍යවරිය සඳහන් කළ බවට පසුගිය දිනක වාර්තා වුණා. ඒ වගේම මේ නීති ක්‍රියාත්මක කරන්න බලය සහිත අධිකාරින් පිහිටවීමත් අත්‍යවශ්‍යයි. දැනුවත්කිරීම් හා අනෙකුත් දේවල් අපි හැම දෙයක්ම යල් පැනගිය නීති එක්ක සිදුකළාට මේ වගේ තත්ත්වයකදී බලපැවැත්වෙන ප්‍රබලම නීතිය වන්නේ 1897 අංක 03 දරණ රෝග වැළැක්වීම හා නිරෝධායනය කිරීමේ ආඥා පනතයි. මේ පනත යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා දෙන්න කිව්වා. ඒකට හේතුව තමයි ලංකාවේ රෝග පාලනය සම්බන්ධයෙන් බිම්මට්ටමේ කටයුතු කරන නිලධාරියා වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වීම. ලංකාවේ දැනට බෝවන රෝග 35ක් තියෙනවා. කෝවිඩ් - 19 කියන්නේ 36 වැනි රෝගයයි. මේ වගේ ඕනම බෝවන රෝගයක් ආවම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමයි ක්‍ෂේත්‍රයේ වැඩ කරන්නේ.
ඒ වගේම තමයි අපි පසුගිය කාලේ පුද්ගලයන්ව දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කරනු ලැබුවා. දැනට මානව හිමිකම් කොමිසම් සභාව සඳහන් කර තිබෙන්නේ මේ කටයුත්ත සඳහා නීතියෙන් ප්‍රතිපාදන නැහැ කියලයි. එහෙම නීතියක් නැතිව කටයුතු කිරීම මානව හිමිකම් කඩ කිරීමක් ලෙස සැලකිය හැකි බවත් ඔවුන් දන්වා තිබෙනවා. එසේ නම් මේ වසංගතය පාලනය සඳහා අනුගමනය කළ යුතු නිර්නායක නීතිගත කිරීම අත්‍යවශ්‍යයි.
කෝවිඩ් - 19 තුරන් කරන්න කැප වූ බිම් මට්ටමේ විරුවන් වන ඔබලාට ඉටුකම ඉටු වී තිබෙනවාද ?
ඇත්තටම අපිට රාජකාරී මට්ටමේ පැවරුණු දෙයක් තමයි බෝවන රෝග තුරන් කිරීම කියන එක. එය අපි රාජකාරියක් ලෙස ඉටු කරනවා. නමුත් ගොනාගෙන් වැඩ අරන් මහලු වුණාම නොසලකා හරිනවා වගේ අපිට සලකන පිරිසක් ඉන්නවා. අඩුම ගානේ අපේ සේවය සලකා බලලා අපිව දිරිගන්වන්න ක්‍රමවේද හදලා රාජකාරියට උනන්දු කරන ක්‍රමවේද සකස් කළ යුතුයි. අඩුම ගානේ අපිට රාජකාරි කරන්න අවශ්‍ය මූලික පහසුකම් සපයන්න. අපිට අත්වැසුම් නැහැ. මුව ආවරණ නැහැ. විශබීජ හරණ ද්‍රාවණ නැහැ. අපි ඉල්ලුවේ නැහැ හෝටල්වල නොමිලේ ඉන්න පහසුකම්. අපේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන නීති පද්ධතියක් සකස් කරන්න කියලයි අපි ඉල්ලන්නේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපත් කරන කාරණා අනුව පසුගිය කාලයේ ඇඳිරි නීතිය පැනවීමත් නීත්‍යනුකූල නැහැ. ඒ වගේ ප්‍රදේශ අතර සංචරණ සීමා කිරීම පවා නීති විරෝධී බවයි ඔවුන් දක්වන්නේ. නිරෝධායන කටයුතුවලට පුද්ගලයන් යොමුකිරීම නීත්‍යනුකූල නොමැති තත්ත්වයකදී එලෙස කටයුතු කරන්නට උපදෙස් දෙන අයට එරෙහිව යම් අයෙක් නීති මාර්ගයට ගියෙත් සිදුවන්නේ පසුගිය කාලයේ යුද විරුවන්ව අධිකරණයට ගෙන ගියා වගේ සුව විරුවන්ව අධිකරණයට ගෙනයන වැඩක්. යමෙක් මානව හිමිකම් නඩුවක් ගොනු කළොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අධිකරණය හමුවේ වගඋත්තර බඳින්න සිදුවෙනවා. ඒ නිසයි නීති හදන්න කියලා අපි ඉල්ලන්නේ. අපි රාජකාරි කරන්නේ මහජනතාවට සේවයක් කරන්නයි. අපි රාජකාරී කළේ නිලධාරීන් 3000කටත් අඩු සංඛ්‍යාවක් සිටියදීයි. පසුගිය කාලේ අපි කිව්වා ජනගහනයෙන් දහදාහට එක් නිලධාරියෙක් ලෙසට නිලධාරීන් සංඛ්‍යාව ඉහළ දමන්න කියලා. එය ඉටු කර තිබුණ නම් අද වනවිට ඉතාම සාර්ථක අයුරින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට හැකියාවක් තිබුණා. පසුගිය දවස්වල අපේ නිලධාරීන් අසරණ වුණා. ගෙදරට යන්න බැරිව දරුවන්, බිරිඳගෙන් ඈත්ව සිටින්න සිදු වුණා. මොකද අපි තමයි බිම් මට්ටමෙන් රෝගීන් සොයාගෙන ගියේ. අපි සේවය සැපයූ පිරිස් අතරින් ඇතැමුන් රෝගීන් බවට තහවුරු වුණ අය. අපි ඔවුන්ගේ ගෙවල්වලට ගියේ ඔවුන් රෝගීන් බව නොදැනයි. අපි රෝගීන් හඳුනාගෙන රෝහල්වලට යොමු කළා. අපිට ඇතැම් අවස්ථාවල ආරක්ෂිත ඇඳුම් තිබුණේ නැහැ. ප්‍රවාහන අපහසුතා මැද අපි වැඩ කළා. එ අනුව අපි මේ පහසුකම් ඉල්ලුවා. ඒවට යහපත් පිළිතුරක් ලැබී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ පහසුකම් අපිට ලැබෙයි කියලා. නිලධාරීන්ගේ පැත්තෙන් අවශ්‍ය පහසුකම් ලබාදෙනවා වගේම ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනයට හා තාක්ෂණික දැනුම වර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයුවොත් වෘත්තියක් හා සේවාවක් ලෙස කැපවීමෙන් අපිට වැඩකරන්න යම් දිරියක් ලැබේවි. සෞඛ්‍ය සේවාවේ සේවාවන් 64ක් පමණ තිබෙනවා. ඒ අතරින් එක් කණ්ඩායමක් පමණක් දායක කරගෙන තීන්දු තීරණ ගන්නා තත්ත්වයකට ඇවිත් අනෙක් සේවාවන් ඈලියාවට හැරියොත් ඇමෙරිකාවට, ඉතාලියට අත්දකින්න වුණ තත්ත්වයක් ලංකාවටත් අත්දකින්නට සිදුවේවි. හැබැයි අපි ඒ තත්ත්වය ලංකාවට අත්වෙන්න දුන්නේ නැහැ. අවම වශයෙන් අපේ නිලධාරීන්ට සාධාරණයක් ඉටුකරන්න කියලයි ඉල්ලන්නේ.