කෝවිඩ් 19 වැනි වෛරස් තත්ත්ව වලදී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතිය


යුරෝපය ආක්‍රමණය කරමින් සිටි කොවිඩ්19 වෛරසය මේ වනවිට දකුණු ආසියානු කලාපයටද සේන්දු වෙමින් පවතී. මේ වනවිට චීනය එහි උපරිමයට ළඟා වී ඇති බව වාර්තා වන අතර, එය ලංකාවටද බලපෑම් එල්ල කරමින් තිබේ. කොවිඩ්19 වෛරසය සාර්ථකව මැඬපැවැත්වීම සඳහා ලංකාව තුළ බලපැවැත්වෙන්නා වූ නීතිමය පසුබිමක්ද පවතී. මේ සටහන ඒ පිළිබඳවය. මීට කාලයකට පෙර විදේශ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රටක පලතුරු මෙරටට ගෙන ඒමට ගුවන්තොටුපොළ තුළදී  උත්සහ කළ අවස්ථාවකදී ගුවන්තොටුපොළ තුළ සිටි නිරෝධායන නිලධාරීන් එය වැළැක්වීමට කටයුතු කළේ පවතින්නා වූ නීති උපයෝගී කර ගනිමිනි. එවන් අවස්ථාවක එහි සිටි පිරිසකගේ ප්‍රතිචාරය පහත පරිදි විය.

“අපි රට ඉඳන් එන්නේ අවුරුදු ගානක් වැඩ කරලා. අපි ඒ රටේ ඉන්නකොට කාපු පලතුරු ගෙඩියක් අපේ දරුවන්ට කන්න දෙන්න බැරිද? අපි රට ඉඳන් කාපු පලතුරු ගෙඩියක් අපේ ගෙදර අයට කන්න දෙන්න බැරිනම් මොකටද? මේවා අල්ලන්නේ නැතුව කෝටි ගානක කුඩු එහෙම එනවා, ඒවා අල්ලන්න. ආදී ලෙසින් එහිදී ඔවුහු දෝෂාරෝපණය කළහ.

මෙරට පමණක් නොව බොහෝ රටවල විදේශ රටක සිට පැමිණෙන්නා වූ පුද්ගලයෙකු රට තුළට ගන්නා ක්‍රමවේදයන් පවතී. උදාහරණයක් ලෙසින් ඔස්ට්‍රේලියාව වැනි රටක් වෙත අප අවධානය යොමු කළහොත් එවැනි රටක් තුළට ඇතුළු වීමේදී පාවහන්වල පස් පිඬක් තිබුණද, සපත්තු පවා පිරිසුදු කර රටට ගන්නා ක්‍රමවේදයක් තිබේ. ඔවුන් අන්තර්ජාතික වෙළෙඳාම තුළද, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ඔවුන්ගේ කන්ටේනර් තුළ බීජ හරණය සඳහා යොදා ගන්නා ක්‍රියාපටිපාටිය පවා සඳහන් කරයි. එම රටවල් එතරම් ආරක්ෂාව ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන බව දැකගත හැකිය. මේ නිසාම මෙවැනි රටවල්වලට ජීව ගුණයෙන් යුතු කිසිවක් ගෙන යෑමේ හැකියාවක් නොමැත. 

මෙහිදී පැළවෙන හැකියාවකින් යුත් ශාකයක්වත් ගෙන යා නොහැකිය. නමුත් පසුගිය කාලය තුළ අප රටට විදේශයෙන් ගෙන ආ යෝද නිදිකුම්බා ඔබට මතක ඇත. ඉන් අපගේ ජෛව පද්ධතියට සිදු වූ බලපෑමද අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.  කිසියම් ලෙසකින් ජෛව විවිධත්වයට (biodiversity) තර්ජනය වන ආකාරයේ වෘක්ෂයක් හෝ මෙහිදී ගෙන ඒමේ හැකියාවක් නැත. මෙවැනි කාරණා පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබුණ බොහෝ දෙනෙකුගේ අවදානය මේ පිළිබඳව වර්තමානයේ යොමුව තිබෙනුයේ කෝවිඩ්19 වෛරසය නිසාය. කෝවිඩ්19 වැනි වෛරස් තත්ත්වයන් නිරෝධායනය කරන්නා වූ නිලධාරීන් පිළිබඳව මේ මොහොතේ අප බලනා දෘෂ්ටියද එදාට වඩා වෙනස්ය. මේ ඇතිව තිබෙන්නා වූ තත්ත්වය සමගින්  මේ වනවිට නිරෝධායනයේ වටිනාකම මහජනතාව අවබෝධ කරගෙන තිබේ.

මෙලෙස නිරෝදායනය කිරීම, මෙම වෛරස් තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ලංකාව තුළ පවතින්නා වූ නීතිමය පසුබිම පිළිබඳව ඔබටද යම් අවබෝධයක් තිබිය යුතුමය. කෝවිඩ්19 වෛරසය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ලංකාවේ පවතින්නා වූ පනත වනුයේ 1897 අංක තුන දරන රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනතය. එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේද මේ පිළිබඳව සඳහන් වේ. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වනුයේ මේ තුළින් සිදුවන්නා වූ වැරදි හා ඊට ලබා දෙන්නා වූ දඬුවම් පිළිබඳවය. පනත තුළ මේ පිළිබඳව  සවිතරාත්මකව සඳහන් වේ. ගුවන් යානයක්, මුහුදේ ගමන් කරන යාත්‍රාවක් රටට ඇතුළු වීම සම්බන්ධ තීරණ, අයකිරීම්, තහංචි පැනවීම් සිදුකිරීම මෙම පනත  යටතේ සිදුකළ හැකිය. මේ පනත යටතේ මේ මාර්ගයෙන් රට තුළට එන භාණ්ඩ ගාල් කිරීම, නිදහස් කිරීම, ජෛව විවිධත්වයට  බලපාන්නා වූ ආකාරයේ යමක් පවතිනුයේ නම් නම් එවැන්නක්  වළක්වා ගැනීමට  රෙගුලාසි පැනවීම, ඒ සඳහා රජයට යන වියදමට අනුකූලව ඔවුන්ට යම් කිසි මුදලක් අයකර ගැනීමට, මෙම පනතේ තුන්වැනි කොටස (Quarantine and prevention of Deseases No 3 of 1897) යටතේ බලතල ලැබේ. 

එමෙන්ම මේ ආකාරයේ රෝගයක් සෑදුණු කෙනෙකු සිටිනවා නම් ඒ රෝගීන් වෙන්කර තැබීමට, නිවෙස් තුළ, ගොඩනැගිලිවල මෙවැනි දේ සිදුව ඇත්නම් විෂබීජ නාශක කරන බලතලද මෙම පනත තුළ පවතී. මේ පනත යටතේ රාජ්‍ය නිලධාරීන්ට එවැනි භාණ්ඩයක් මගින් වෛරසයක් හෝ ජෛව විවිධත්වයට බලපෑම් කරන්නා වූ යම්කිසි භාණ්ඩයක් ඇත්නම් වන්දි ගෙවීමකින් තොරව එය විනාශ කිරීමටද බලතල හිමිවේ.
මෙම පනතේ හතරවැනි කොටස මගින් වැරදි පිළිබඳ සඳහන් වේ. පස්වැනි කාණ්ඩය මගින් මේ සම්බන්ධයෙන් ලබාදිය හැකි දඬුවම් පිළිබඳ කතා කෙරේ. හයවැනි කොටස යටතේ පොලිස් නිලධාරීන්ට මේ යටතේ ලැබෙන බලතල ආදිය පිළිබඳ සඳහන් වන අතර, නිරෝධායනයේදී ගන්නා පූර්ව උපකල්පන පිළිබඳව හත්වැනි කොටසේ සඳහන් වේ.

මෙම පනතේ දැක්වෙන ආකාරයට නීත්‍යනුකූල බලතලයක්, නීත්‍යනුකූල අවසරයක්  රහිතව, කිසියම් පුද්ගලයෙක් පනත යටතේ පවරා ඇති නීති රෙගුලාසි කඩ කරමින් කටයුතු කරන්නේ නම්, රජය සිදුකළ යුතු යැයි සඳහන් කර පවතින ක්‍රියාවන්  නොකර සිටින්නේ නම්, එවැනි කටයුතු සිදුකිරීමේ බාධා ඇතිකරන්නේ නම් එවැනි පුද්ගලයන් මේ යටතේ වැරදිකරුවන් බවට පත්වේ. මෙලෙස වැරදිකරුවන් බවට පත්වන්නා වූ පුද්ගලයන් පොලීසියට වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින්නේය.

මේ පිළිබඳව  දණ්ඩ නීති සංග්‍රහයේ 262,263,264 යන වගන්ති මගින්ද සඳහන් කෙරේ. එහිදී 262 වගන්තියේ සඳහන් වන පරිදි මිනිස් ජීවිතයට අන්තරාදායක වන යම් රෝග තත්ත්වයක් පැතිරවීමට කටයුතු කරන හෝ එවැන්නක් සිදුවිය හැකි බව දනිමින්, නොසැලකිල්ලෙන් කටයුතු කරන තැනැත්තන් මාස හයක සිරදඬුවමකට යටත් විය හැකිය. 263 වගන්තියට අනුව මිනිස් ජීවිතයට අන්තරාදායක වන යම් රෝගයක් පැතිරවිය හැකි බව තමන් දන්නා හෝ විශ්වාස කරන ක්‍රියාවක් ද්වේෂසහගතව සිදුකරන පුදගලයෙකුට අවුරුදු දෙකක කාලයක සිරදඬුවමක්, දඩයක් සමග හෝ මේ ආකාර දෙකෙන් එකක් ලබාදිය හැකිය. දණ්ඩ නීති සංග්‍රහයේ 264 වැනි වගන්තියට අනුව බෝ වන රෝගයක් ඇති ස්ථානයක් වෙනත් ස්ථාන සමග ඇති සම්බන්ධතාව පාලනය කිරීම සඳහා ආණ්ඩුව විසින් යම් නීතියක් පනවා ඇති විටක එම නීතියට අකීකරු තැනැත්තන් මාස හයක කාලයක් බන්ධනාගාරගත කිරීම හෝ දඩයකට යටත් කිරීම හෝ මේ දඬුවම් දෙකම ලබාදිය හැකිය.

එවැනි රෝගයක් තිබී දණ්ඩ නීති සංග්‍රහයේ 262,263,264 යන වගන්තිවලට පටහැණිව කටයුතු කර ඇත්නම් ඔහු ඒ රෝගය පිළිබඳ දැනගෙන සිටියා යැයි පූර්ව උපකල්පනයකට (1897 අංක තුන දරන රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනතේ හත්වැනි වගන්තියට අනුව එළඹේ. රෝගය පිළිබඳ නොදැන මේ දේවල් සිදුකළා යැයි එවැනි පුද්ගලයෙකුට සඳහන් කළ නොහැකිය.
‍මෙවැනි වරදක කිසිවෙකු නිරත වන්නේ නම්, එවැනි පුද්ගලයෙකු වරෙන්තුවක් රහිතව රඳවා ගැනීමට පොලිස් නිලධාරීන්ට හා 1897 අංක තුන දරන රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනත තුළින් බලය ලැබෙන නිලධාරීන්ට අවස්ථාව හිමිවේ. එවැනි පුද්ගලයෙකුගේ අනන්‍යතාව තහවුරු කරගත නොහැකි නම් අනන්‍යතාව තහවුරු කරගන්නා තුරු වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට වුවද හැකියාව තිබේ. මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානවලට ආදියට සහභාගි නොවෙමින් ඊට බාධා කරන්නේ නම් පොලීසියට අවශ්‍ය බලය භාවිත කර එවැනි පුද්ගලයන් වළක්වා ගැනීමේ හැකියාවද පවතී.

විදෙස්ගත ශ්‍රමිකයන් හේතුවෙන් ප්‍රධාන ආදායමක් අප රටට ලැබෙන බව අප හොඳින් දන්නා කාරණයකි. මේ නිසාම ලංකාවේ සංවර්ධනය සඳහා ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අමිලය. මේ කෙසේ වුවද, නීතියේ ප්‍රධාන සිද්ධාන්තයකට අනුව හැම කෙනෙකුම නීතිය ඉදිරියේ එක හා සමානය. මේ නිසා සැමට අදාළ වනුයේ මේ නීතියය. මේ වනවිට මේ වෛරසය අප රට තුළටද සේන්දු වී හමාරය. මේ නිසා සැවොම කටයුතු කළ යුත්තේ මේ අභියෝගයද ජය ගැනීම උදෙසාය. වසර ගණනක් හමුදා සේවයේ නිරත වූ අපේම සහෝදරයන් තමන් නිදාගන්නා කොට්ට මෙට්ට පවා ලබාදී හැකි ලෙස නිරෝදායන කටයුතු සඳහා දායක වනුයේ ඔබව කොවිඩ් 19 ආසාදිත රෝගියෙකු නොකරන්නටය. ඔවුන් හැකි ලෙස උත්සහ ගනුයේ රටේ මානව ජීවිත ආරක්ෂා කිරීමටය. 

මේ නිසා සැවොම රටේ තත්ත්වය අවබෝධ කරගනිමින් කටයුතු කළ යුතු අවස්ථාවක් පැමිණ තිබේ. එසේ නොමැතිව මිලියන විසි දෙකක ජනතාවගේ ජීවිත අනතුරට ලක්කරමින් ආත්මාර්ථකාමී අයුරින් කටයුතු කරන්නේනම් එහි අනර්ථය සිදුවන්නේ ඔබට, ඔබේ පවුලට පමණක් නොව මුළු රටටමය. එබැවින් මේ පිළිබඳව සිතා ඔබ  මානුෂීයව කටයුතු කළ යුතුය.

නීති උපදෙස් - ආචාර්ය නීතිඥ අරුණ වීරසිංහ 

 

- නිදුක් මදුෂික



Recommended Articles