ඔබ කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක ජීවත් වන්නෙකු වුවත්, කොළඹින් පිටත ප්‍රදේශයක ජීවත් වන්නෙකු වුවත්, සංචාරයක් සඳහා කොළඹ තෝරාගැනීමට ඇත්තේ අඩු ඉඩක් බව නොකිවමනායි. පාසල් අධ්‍යාපන චාරිකාවක් සඳහා හෝ චිත්‍රපටයක් නැරඹීම, වන් ගෝල්ෆේස්, කලම්බු සිටි සෙන්ටර් වැනි ස්ථානයක් නැරඹීමට පැමිණීම හෝ ගාලුමුවදොර සන්ධ්‍යාවක් ගත කිරීමට පැමිණීම වැනි කරුණකට හැරෙන්නට, කොළඹ නගරයේ වෙනත් නැරඹිය යුතු ස්ථාන වෙත චාරිකාවක නිරත වීම ගැන බොහෝ දෙනෙක් නොසිතති. කෙසේ නමුත්, සැබැවින්ම කොළඹ කොටුව සහ පිටකොටුව අවට ප්‍රදේශයේ පමණක් ගත්තද නැරඹීමට බොහෝ ඓතිහාසික ස්ථාන තිබේ. විශේෂයෙන්ම මේ කාලවකවානුවේ කොළඹ කොටුව, පිටකොටුව ප්‍රදේශය සාපේක්ෂව ඉහළ ජනාකීර්ණ තත්ත්වයක් නොමැති බැවින්, කොළඹ සංචාරයක නිරත වන්නේ නම් මෙම කාලය ඊට හිතකර වනු ඇත. කෙසේ නමුත් කෝවිඩ්-19 තත්ත්වයත් සමගින් ඔබ කොළඹ නගරයේ සංචාරයක නිරත වන්නේ නම්, දෑත් සේදීම, මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය ඇතුළු නිර්දේශිත සෞඛ්‍ය පුරුදු පිළිපැදීම අත්‍යවශ්‍ය වන බවද සිහිපත් කළ යුතු වේ.
ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසල පිහිටා ඇති, මුහුදු යාත්‍රිකයන්ගේ මීසමට අයත් ශාන්ත පීතර පල්ලිය මතුපිටින් එතරම් පෙනුමක් නොදැරුවත්, සැබැවින්ම එය කොළඹ නගරයේ පිහිටා ඇති සැඟවුණු ආශ්චර්යයන්ගෙන් එකක් ලෙසින් හඳුනාගත හැකිය. එය මුලින්ම ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිවාසයේ උත්සව ශාලාවක් ලෙසින් නිර්මාණය වුවත් පසුව එංගලන්ත සභාවේ දේවස්ථානය බවට පත්විණි. මෙය ඇංග්ලිකානු ක්‍රිස්තියානුවන්ට අයත් පල්ලියක් වුවද ඕනෑම අයෙකුට එහි ගොස් සිරි නැරඹීමට කිසිදු ගැටලුවක් නැති බව කිව යුතුය.
ගාලු මුවදොර පසුකරමින් කොළඹ කොටුව දෙසට යන විට, කොළඹ කොටුවේ චැතැම් වීදිය සහ ජනාධිපති මාවත හමුවන මංසන්ධියේ පිහිටා ඇති පැරණි කොළඹ ප්‍රදීපාගාර කුලුන සැබැවින්ම 1860 දී ස්ථාපනය කෙරුණේ ඔරලෝසු කණුවක් ලෙසයි. කෙසේ නමුත් 1865 දී එයට ලාම්පුවක් එක් කරමින් ප්‍රදීපාගාරයක් බවට පත් කරන්නට කටයුතු කෙරිණි. එසේම පොදුවේ කියැවෙන්නේ, ලොව ඇති වේලාවද පෙන්වන එකම ප්‍රදීපාගාර කුලුනද මෙය බවයි.
ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ඇතැම් කෘති තුළද බොහෝ විට කොටුවේ පිහිටා ඇති මෙම ආදිකාලීන පෙනුමකින් යුක්ත රතු පැහැ ගොඩනැගිල්ල පිළිබඳ සඳහන් වේ. මෙය කාර්ගිල්ස් මිලර්ස් ගොඩනැඟිල්ලයි. 1844 වසරේදී බ්‍රිතාන්‍ය යටත් විජිත ගොඩනැඟිල්ලක ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනැංවුණු මෙය කොළඹ නගරයේ ඇති පැරණිතම ගොඩනැඟිල්ලක්ද වේ.
කොටුව/පිටකොටුව සීමාවේ මුස්ලිම් ජනයාගේ කාර්යබහුල ව්‍යාපාරික ස්ථාන මැද පිහිටා ඇති ජමි-උල් අල්ෆර් මස්ජිදය නැතිනම් පොදුවේ හැඳින්වෙන ලෙසට රතු පල්ලිය කොළඹ නගරයේ ඇති තවත් ඓතිහාසික ස්ථානයක් ලෙසින් හැඳින්විය හැක. මෙම රතු පල්ලිය ඉන්දු-සැරසෙනික ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිර්මාණයක් ලෙසින්ද සැලකේ. මෙය 1908 වසරේදී ඉදිකිරීම ආරම්භ වී ඇත.
වර්තමානයේදී ඕලන්ද කෞතුකාගාරය ලෙසින් හැඳින්වෙන මෙම 17 වැනි සියවසේ ඕලන්ද මන්දිරය සැබැවින්ම අතීතයේදී ඕගස්ට් වාන් රන්සෝ සිටුවරයාගේ නිවස්නය ලෙසින් පැවතුණත් පසුකාලීනව එය ඕලන්ද කාලයේ කෞතුකාගාරයක් බවට පත් කරන ලදී. යටත් විජිත සමය සම්බන්ධ ඉතිහාසය විදහා දක්වන කදිම ඓතිහාසික ස්ථානයක් ලෙසින් මෙය හැඳින්විය හැකි අතර, කොළඹ සංචාරය කරන්නෙකු නැරඹිය යුතුම ස්ථානයක් ලෙසින්ද දැක්විය හැක.
කොළඹ කොටුව ආශ්‍රිතව පිහිටි පුරාණම ඉතිහාසයක් ඇති ගොඩනැඟිල්ල ලෙසින් හැඳින්වෙන ඕලන්ද රෝහල් සංකීර්ණය, 1681 වසරේදී පවා පැවතුණු බවට වාර්තා තිබේ. 17 වැනි සියවසේ ඕලන්ද යටත්විජිත ගෘහ නිර්මාණ ශිල්පයට මනා උදාහරණයක් වන මෙම දිගු සුන්දර ගොඩනැඟිල්ල අද දිනයේද එහි සුන්දරත්වය මනාව රැකගනිමින් වැජඹේ. කෙසේ වුවත් අද දිනයේදී එය ඓතිහාසික ගොඩනැඟිල්ලක් පමණක් නොව, කොළඹ ඇති පළමු පංතියේ සාප්පු/අවන්හල් සංකීර්ණයක්ද, එසේම පළමු පෙළේ සංචාරක ආකර්ෂණයක්ද වේ.
කොළඹ නගරයේ සංචාරය කරන්නෙකුගේ සිත් ඇදගනු ඇත්තේ ඉහත දක්වා ඇති කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල ඇති ඓතිහාසික ස්ථාන පමණක් නොවේ. කොටුව, පිටකොටුව ප්‍රදේශයේ ඇති තවත් පැරණි ඉදිකිරීම්, නව ඉදිකිරීම් මෙන්ම ඔබට මෙම ප්‍රදේශයේදී මුණගැසෙන බොහෝ දෙනෙකුද ඔබේ සංචාරයට අමතර වර්ණයක් එක් කරනු ඇත.
සටහන -පැතුම් පුංචිහේවා/ ඡායාරූප - දර්ශන් ජූලීයන්