කොළඹට කෝවිඩ් වැඩි වෙලා ගමට කෝවිඩ් අඩු වුණේ කොහොමද?


ලෝකයටම තර්ජනයක් වූ කෝවිඩ් 19 රෝගය මේ වනවිට ලංකාව තුළ උඝ්‍ර ලෙසින් හිස ඔසවමින් සිටියි. කොළඹ ඇතුළු නගරාශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් කෝවිඩ් 19 රෝගීන් විශාල පිරිසක් හමුවීමත් සමගම එම ප්‍රදේශ අධි අවදානම් කලාප ලෙස වෙන්කර දීර්ඝ ඇඳිරිනීති කාලයක් තුළ පාලනය වන අතර, ග්‍රාමීය ප්‍රදේශවල මේ වනවිට ඇඳිරිනීතිය ලිහිල් කර තිබේ. මේ වනවිට කෝවිඩ් ආසාදිත පුද්ගලයන් ප්‍රමාණය තුන්සියයකට ආසන්න වීමත් සමග කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලිහිල් කිරීමට නියමිතව තිබූ ඇඳිරිනීතිය තවත් දීර්ඝ වී තිබේ. කොළඹ මෙම රෝගය පැතිරීම වැඩි වීමත්, ග්‍රාමීය ප්‍රදේශවලට කෝවිඩ් පැතිරීම අඩුවීමත් පිළිබඳව සාකච්ඡා කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන මහතාව අප සම්බන්ධ කරගතිමු.

කොළඹ ඇතුළු නගරාශ්‍රිත ප්‍රදේශවල කෝවිඩ් - 19 රෝගය වැඩි වශයෙන් පැතිරුණේ ඇයි?

නගරාශ්‍රිත ප්‍රදේශවලට කොරෝනා රෝගය වැඩි වශයෙන් පැතිරීමට හේතු කිහිපයක් බලපෑවා. නාගරික ප්‍රදේශවල ජන ඝනත්වය ඉතා අධිකයි. ග්‍රාමීය ප්‍රදේශවලට වඩා නාගරික ප්‍රදේශවල විශාල තදබදයක් පවතිනවා. විශේෂයෙන් තට්ටු නිවාස වල, ඉතා අඩු ඉඩක වාසය කිරීම, ළඟ ළඟ ජනයා ජීවත් වන ප්‍රමාණය වැඩියි. ඒ ඉඩකඩ මදිවීම නගරාශ්‍රිත මිනිසුන්ට මෙම රෝගය වැඩි වශයෙන් වැළඳීමට එක් හේතුවක්.

ඒ වගේම ඇතැම් ජනකොටස් මේ රෝගයට දැක්වූ අඩු අවධානයත් මෙයට තව හේතුවක්. අපි දැක්කා රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් දැන්වූ නීති රෙගුලාසි වලට අඩු අවධානයක් ලබාදීලා මිනිස්සු තමන්ගේ වැඩකටයුතුවල නිරත වෙනවා. විශේෂයෙන් අවසානයට වාර්තා වුණු රෝගීන් එකසිය පනහ දෙස බැලුවොත් ඔවුන්ගෙන් බොහෝමයක් නගරාශ්‍රිත ජනයා සහ ඉන් බොහෝ දෙනෙකුට රෝගය ආසාදානය වී තිබෙන්නේ ඔවුන් මෙම තත්ත්වයට දැක්වූ අඩු සංවේදීතාවය නිසායි. 

අයිස්, හෙරොයින්, කුඩු වැනි මත්ද්‍රව්‍ය භාවිතයත් තවත් හේතුවක් ලෙස දක්වන්න පුළුවන්. එවැනි මත්ද්‍රව්‍ය ග්‍රාමීය ජනතාව භාවිත කරනවා අඩුයි. විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව තමයි මේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත වී තිබෙන්නේ. එම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු බොහෝ පිරිසකට මෙම රෝගය වැළඳිලා තිබෙනවා. මේ හේතු තුන කොළඹ ඇතුළු නගරාශ්‍රිත ජනයාට කෝවිඩ් - 19 වැළඳීමට ප්‍රධාන වශයෙන් බලපෑවා.

ග්‍රාමීය ප්‍රදේශවලට කෝවිඩ් රෝගය පැතිරීම අවම වුණේ ඇයි?

වෛරසය සමාජයේ පැතිරීමක් අපේ රටේ තවම දක්නට ලැබෙන්නේ නැහැ. තනි පුද්ගලයෝ වශයෙන් තමයි රෝගය පැතිරීම ආරම්භ වු‍ණේ. විශේෂයෙන්ම ඉතාලියේ සිට පැමිණි අය, ඉන්දියාවේ සිට පැමිණි අයගෙන් තමයි මේ තත්ත්වය පැතිරීම ආරම්භ වුණේ. ඉන්පසුව මෙය පැතිරීම සිදුවුණේ එම පිරිස් ආශ්‍රය කළ අය හෙවත් තුන්වැනි වටයේ පිරිස් වලටයි. අපට තවමත් ආසාදිතයෙකුට රෝගය බෝ වුණේ කාගෙන්ද කියලා හොයාගන්න පුළුවන්. රජය කලින් ගත් ක්‍රියාමාර්ගවලට ග්‍රාමීයව ජීවත් වන ජනයාගෙන් ලැබුණු සහයෝගය මෙහිදී වැදගත් වනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවලට රෝගී අය ගිය නැති එක සහ අන්තර් දිස්ත්‍රික්කවලට ගමනාගමන කටයුතු නතර කිරීමත් මෙයට සෑහෙන ලෙස බලපෑවා.

ග්‍රාමීය ජනයාට කෝවිඩ් - 19 වැළඳීම අඩුවීමට තවත් එක් ප්‍රධාන හේතුවක් වනවා ඔවුන් හුරු වී සිටි ආහාර රටාව. ග්‍රාමීයව වැවෙන නැවුම් එළවළු පලතුරු, නිවෙස්වල වවන ආහාර, කොත්තමල්ලි වැනි ඖෂධීය පානයන් ඔවුන්ගේ ආහාර රටාවේ තිබෙන දෙයක්. එළවළු පලතුරු ආහාර ගැනීමේ ප්‍රවණතාවයක් ග්‍රාමීය ප්‍රදේශවල තිබෙනවා. බොහෝ පිරිස් කොත්තමල්ලි වැනි දේවල් ප්‍රතික්ෂේප කළත්, එවැනි ඖෂධවලින් මිනිස් ශරීරයට ආරක්ෂාවක් ලබාදෙනවා. ඒ දේවල් අපේ ශරීරයේ උෂ්ණත්වය ස්වභාවයෙන්ම වැඩිකරන දේවල්. ග්‍රාමීය ජනතාවගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ හැකියාව වැඩිවීමට ඒ දේවලුත් ප්‍රධාන වශයෙන් බලපෑ බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. පසුගිය දිනවල සමාජයේ විශාල සංවාදයකුත් ඇතිවුණා හැකිතාක් දේශීය ආහාරපානයන්ට යොමු වෙන්න කියලා. එයත් මම හිතනවා කෝවිඩ් - 19 ග්‍රාමීය ප්‍රදේශවල පැතිරීම අවම වීමට හේතුවක් විදිහට.

වකුගඩු රෝගීන්ට කෝවිඩ් වැළඳීමේ අවදානමක් තිබෙනවාද?

ඔව්. ඔවුන් බොහෝමයක් ප්‍රතිශක්තීකරණය අඩු කෙරෙන ඖෂධ ලබාගන්නවා. වකුගඩුවක් බද්ධ කළ රෝගීන්ට ප්‍රතිශක්තීකරණය අඩුවෙන්න ඖෂධ ලබාදෙනවා. ඒ වගේ අයට ඕනෑම බැක්ටීරියාවක්, වෛරස රෝගයක් වැළඳීමට ඇති හැකියාව වැඩියි. වකුගඩු බද්ධ කළ අය, ඇතැම් පිළිකා රෝගීන්, නිදන්ගත ආබාධ තිබෙන අයත් ප්‍රතිශක්තීකරණ අඩු වන ඖෂධ ලබාගන්නවා. එවැනි කණ්ඩායම්වලට කොරෝනා වෛරසය වැළඳීමේ අවධානම ඉතා වැඩියි. ඒ නිසා ඔවුන් මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඇඳිරිනීතිය ඉවත් කළත් රටෙන්ම රෝගය තුරන් වනතුරු විශේෂයෙන් වකුගඩු රෝගීන් මෙයින් ආරක්ෂා විය යුතුයි.

ඇඳිරිනීති කාල සීමාවේදී ගොවිතැනට ලබාදුන් නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත් පිරිස් හමුවුණා?

ඇත්තටම ඇඳිරිනීති සමයේදී ගොවිතැනට විශේෂ අවස්ථාවක් ලබාදුන්නේ මේ රටේ පැනනඟින ආහාර අර්බුදයට විසඳුමක් ලෙසයි. අපි ආහාර ගෙන්වන ඇතැම් රටවල් අපට වඩා මෙයින් පීඩාවට පත්ව සිටින නිසා අපටම ආහාර නිෂ්පාදනය බොහෝ මට්ටමකින් සිදුකර ගත යුතුයි. එම නිදහස වැරදි ආකාරයට භාවිත කළ පිරිස් හමුවුණා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුණු පිරිස්, අරක්කු සහ කසිප්පු වැනි දේවල් පානය කරන්න, නිෂ්පාදනය කරන්න බොහෝ පිරිස් ගොවිතැනට ලබාදුන් නිදහස ප්‍රයෝජනයට අරගෙන තිබුණා. මේ නිසා සිදුවුණේ ගොවීන්ට එම නිදහස අහිමි වීමයි. එයින් ග්‍රාමීය ගොවි මහතුන් විශාල පීඩාවකට පත්වනවා. අපි නැවතත් ගොවිතැනට මූලිකත්වය දීලා තිබෙනවා. ගොවිතැන වෙනුවෙන් පෙනී සිටින අයට අවශ්‍ය පහසුකම් ලබාදීලා තිබෙනවා. ඒක අයුතු ලෙස භාවිත කිරීමෙන් සිදුවන්නේ රට ආපස්සට යෑමක් සහ ගොවිජනතාවට කෙරෙන අගෞරවයක්. ඉන් අප සිදුකරගත යුතු අරමුණ ඉටු වෙන්නේ නැහැ.

මෙම අවස්ථාවේදී ග්‍රාමීය ජනයා සහ නගරාශ්‍රිත ජනයා තමන්ගේ ඉදිරිය ගැන සිතිය යුත්තේ කෙසේද?

ඇඳිරිනීතිය ලිහිල් කළත් ලෝකය තිබෙන අවදානම කුමන විදිහකින්වත් වෙනස් වන්නේ නැහැ. රටක් විදිහට අපට රැකවරණයක් ලැබෙන්නේ උෂ්ණ දේශගුණයෙන් පමණයි. එය ස්වාභාවික රැකවරණයක්. නමුත් ඉදිරියේදී වැසි කාලය ආරම්භ වන නිසා මේ ස්වාභාවික රැකවරණය අඩු වෙනවා. විශේෂයෙන් ඉදිරියේ නිරිතදිග මෝසම් සමය එළඹෙනවා. එවිට රෝගය පැතිරීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. එම නිසා සමාජයේ ගැවසෙන විට සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති උපදෙස් නිරන්තරයෙන් පිළිපැදිය යුතුයි. හැකිතාක් දේශීය වශයෙන් සපයාගන්නා ආහාර පරිභෝජනයට ගැනීම, කෘත්‍රිම ආහාර, ක්ෂණික ආහාර අඩු කිරීම, මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය අඩු කිරීම ග්‍රාමීය ජනයා මෙන්ම නගරාශ්‍රිත ජනයා විසින් සිදු කළ යුතුයි.



Recommended Articles