කොළ නැති ගහ ගේමුද?


1976 ජූනි 23දා එල්ලා මරණ ලද චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා ලංකාවේ අවසන් වරට එල්ලුම් ගහට නියම වී එල්ලා මරා දමන ලද පුද්ගලයාය. ජේ.එම්.චන්ද්‍රදාස මරා දමන ලද්දේ සිය පෙම්වතිය මරා දැමීම හේතුවෙනි. නමුත් චන්ද්‍රදාස තමාගේ ඇස් දන්දෙන ලෙසට අවසන් වශයෙන් ඉල්ලීමක්ද කර තිබිණි. සිරිපාල සහ රන් මැණිකේ මරුවා සමග වාසේ යන සිංහල චිත්‍රපට දෙක ගොඩ නැගුණේ චන්ද්‍රදාසට කලින් එල්ලා මරා දැමුණු පුද්ගලයා නිසාය. ඒ වෙන කවුරුත් නොව රටම දන්නා මරු සිරා හෙවත් ඩී.ජේ.සිරිපාලය. එල්ලුම් ගහ ගැන අපට ආයෙත් පාරක් මතක් කළේ වෙන කවුරුත් නොව ජනාධිපති මෛත්‍රීය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී, දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට තමා ඉදිරියේදී අත්සන් තබන බව පැවසීමත් සමගය. මෛත්‍රී මත්ද්‍රව්‍යවලට එරෙහිව එන්නට කලින් ලෝකයේ රටවල් කිහිපයක්ම මත්ද්‍රව්‍ය විරෝධී සටන් ආරම්භ කර තිබිණි. මෙක්සිකෝව, බ්‍රසීලය හා පිලිපීනය මේ අතර ප්‍රධාන වෙයි.

මෙක්සිකෝව මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා ඒ නිසා ඇතිවන ප්‍රචණ්ඩත්වය නැති කිරීම සඳහා ක්‍රියාන්විතයක් ආරම්භ කරන ලද්දේ 2006දීය. එයට මේ වන විට අවුරුදු 11යි මාස 07ක් ගතවී තිබුණත් තවමත් මෙක්සිකෝවට මත්ද්‍රව්‍ය යුද්ධය ජය ගන්නට හැකි වී නැත. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන Joaquin Guzman Loera, Hector Leyva වැන්නවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
බ්‍රසීලයද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බැට දෙන්නට ඉදිරිපත් වූ රටකි. ලූලාද සිල්වා එවකට බ්‍රසීලයේ ජනාධිපතිවරයාව සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමට පියවර ගත්තේය. විශේෂයෙන්ම එහි සාවෝ පෝලෝ හා රියෝ ද ජෙනයිරෝ නගරවල වගේම රටේ අභ්‍යන්තරයට වන්නට මත්ද්‍රව්‍ය ජාවාරම තදින්ම පැතිර ඇත. මුලින්ම ලූලාද සිල්වා මේ සඳහා පොලීසිය සම්බන්ධ කර ගත්තේය. ඉන් බැරි වූ තැන යුද හමුදාව, නාවික හා ගුවන් හමුදාව යන ත්‍රිවිධ හමුදාව මේ සඳහා යෙදවූයේය.

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ (Rodrigo Duterte) පිලිපීනයේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා එයට එරෙහිව කටයුතු කරන අතර, ලෝකයෙන් වන සියලු බාධකවලට කන් නොදෙමින් දිගින් දිගටම තම මත්ද්‍රව්‍යවලට එරෙහිව සටන දියත් කරමින් සිටියි.

අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි වන බවයි. &මේක හොඳ වැඩක් හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මෙයා මේක කරයිද?* මේ ජනතාව කියන කතාවයි. මේක ගැලරියට හොඳ කතාවක් බව අමතක කළ නොහැකිය. ඉන්ඩියන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ පිලිපීනයේ ඩුටෙර්ටේ වගේ මෛත්‍රීත් මත්ද්‍රව්‍ය සටනට එක්වුණා කියාය. හැබැයි ඩුටර්‘ටේ, ලූලාද සිල්වා ගැලරියට කතා කර කර හිටියේද නැත. වැඩේ පටන් ගත්තේය. මෛත්‍රී මත්ද්‍රව්‍යවලට එරෙහිව සටනට යනකොට මංගල ඇමතිතුමාත් මරු කතාවක් කළේය. &මම මරණීය දණ්ඩනයට විරුද්ධයි. මොකද බන්ධනාගාර ඇතුළේ ඉන්නේ දෙවන පන්තියේ ජාවාරම්කාරයෝ. මේ අය අතරමැදියෝ විතරයි අල්ලන්න ඕනෙ ලොකු ලොකු තැන්වල ඉන්න අයයි.* මංගලගේ කතාව හරියටම හරිය. මොකද මහා පරිමාණ ජාවාරම්කාරයෝ ඉන්නේ එළියේය.
ලංකාවට එල්ලුම් ගහ නෛතිකව හඳුන්වා දුන්නේ 1802දී එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ෆෙඩ්රික් නෝත්ය. නෝත් එල්ලුම් ගහ හඳුන්වා දුන්නාට පසුව කිහිපවිටක්ම ලංකාවේ මරණ දඬුවම යන්න නීතියෙන් ඉවත් කළ යුතු බවට යෝජනා පැමිණියේය. විශේෂයෙන්ම ලංකාව සිංහල බෞද්ධ රටක් වීමත්, බෞද්ධ ධර්මයේ අවිහිංසාවාදී ප්‍රතිපත්තියත් මෙයට පාදක වෙන්නට ඇත. එබැවින් මිනිසුන් නිකරුනේ එල්ලන්නට බැරිය. නීතිය හරියටම ක්‍රියාත්මක විය යුත්තේ හරිම වැරදිකරුවන්ට දැයි සොයා බැලිය යුතුමය. ලංකාව වගේ නීතිය නැවෙන රටක, අල්ලස දූෂණය හැම තැනකම ඇති රටක හරියටම නීතිය ක්‍රියාත්මක වන්නේද යන්න මුලින්ම එල්ලුම් ගහ ගෙනෙන්නට ප්‍රථම සොයා බැලීම අතිශය වැදගත්ය. මෙය කුඩු පැකට් එකක් දමා පොලීසිය ඇතුළට දාන කාලයක් බවද අමතක කළ යුතු නැත.

අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සෙවණ ලබාදෙන්නේ දේශපාලනඥයන් හා ප්‍රබල ව්‍යාපාරිකයන් බව ජනතාව අතරේ පවතින සාක්ෂි නැති සත්‍යයකි. මෑතකදී ගංජා ගෙනා කුඩු ගෙනාපු අය නිදහස් කරන්න කතා කළේ දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ හෙංචයියන්ය. ඉතින් හරියටම නීතිය ක්‍රියාත්මක කර මරණීය දණ්ඩනය නියම කරනවා නම් මෛත්‍රී පටන්ගත යුත්තේ තමන්ගේම දේශපාලනඥයන්ගෙනි.

ඒ වගේම හරියටම ස්වභාවික යුක්ති මූලධර්ම ක්‍රියාත්මක වනවාදැයි බැලීම මරණීය දණ්ඩනය ගෙන ඒමට ප්‍රථම බැලිය යුතුය. ඒ අන්ත දූෂිත රටක නීති වෙනස් වීම වගේම නීති නැමීමද කළ හැකි නිසාවෙනි.
මත්ද්‍රව්‍ය යනු ලෝකෙටම පිළිලයක් බව අමුතුවෙන් කිව යුතු නැත. විශේෂයෙන්ම අපේ පාසල් කාලයේ පවා අපිත් එක්ක සිටි සමහර යහළුවන් මත්ද්‍රව්‍ය හේතුවෙන් පීඩා විඳින අයුරුත් ඔවුන්ගේ දෙමවුපියන් වගේම මිත්‍රයන්ද ඒ ගැන හිතමින් දුක්වෙන අයුරුත් අපි අත්දැකීමෙන් දැක ඇත්තෙමු. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය නිසා ඇතිවන සමාජ පීඩනය අප දැක ඇත්තෙමු. එම නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධව නීති දැඩිකිරීමත්, මරණ දණ්ඩනය ලබාදීමටත් කටයුතු කිරීමත් පිළිබඳ අපගේ අකමැත්තක් නැත. හැබැයි කරන දේ හරියට කළ යුතුය. 2006දීත් සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරු ඝාතනය කළ පසුව මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බවට ප්‍රකාශ කෙරිණි. නමුත් තවමත් එය කතාවක් පමණක් විය. කඹ ගෙනාවේය. හැබැයි කිසිවක් වුණේ නැත.

මත්ද්‍රව්‍ය තුරන් කරනවා නම් මෛත්‍රී කළ යුත්තේ නිසිලෙස පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යොදවමින් සම්පූර්ණ සටනක් දියත් කිරීමයි. විශේෂයෙන්ම දූෂිත නිලධාරීන් නොමැතිව නව ඒකක පිහිටුවා බුද්ධි අංශ සක්‍රීය කර සටනට බැසීමයි. ඒ වගේම සුළු වැරදිකරුවන් අල්ලාගෙන උන්ව එල්ලන්නේ නැතිව මහා පරිමාණ ජාවාරම්කරුවන් හෝ ඊට කෙළින්ම සම්බන්ධ දේශපාලනඥයන්ගේ හෝ ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ බෙල්ලෙන් එල්ලීම සිදුකළ යුතුය. එබැවින් ගැලරි කතා නොදී හරියට වැඩේට බැස්සොත් ජනතාවගේ සහායත් නොමදව ලැබෙනු ඇත.

නිපුන් ඒකනායක

 

 



Recommended Articles