- ආපදා කළමනාකරණ පිළිබඳ විශේෂඥ උපදේශක ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා අදහස් දක්වයි.
• ප්‍රතිකාර ලබන ආසාදිතයන් පිළිබඳ දැන ගැනීමට පවුලේ ඥාතීන්ට වෙනමම ඇප් වැඩසටහනක් සකස් කරමු
• නිවෙසට එන භාණ්ඩ මල්ලත් සමග කෝවිඩ්-19 පැමිණීම වැළැක්වීමට ජනතාව දැනුවත් කරමු
• ඉදිරි මාසවල වැටුප් ගෙවාගත නොහැකි සමාගම් වෙත මහ බැංකුවේ මැදිහත්වීමෙන් බැංකු අයිරා ලබා දෙමු
• රැකියා අහිමිව යළිත් මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකියන්ගෙන් 50෴ක් පිළිගැනීමට සූදානම් වෙමු
ලොව පුරා හය ලක්ෂයකට අධික පිරිසක් ආසාදිතයන් බවට පත්කරමින්, 40,000කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් ලොව රාජ්‍යයන් සියල්ලගේම පාහේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා ලොව රාජ්‍යයන් බොහෝ පියවරයන් ගනිමින් සිටියි.
කෙසේ වෙතත් මෙම කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා දැනට හටගෙන ඇති අර්බුදයට වඩා වැඩි අර්බුදයක් එය නිමාවීමෙන් පසුව බිහිවන ලෝකයට මුහුණ දීමට සිදුවන බව නොරහසකි. එහිදී දියුණු වෙමින් පවතින ආර්ථිකයක් සහිත තෙවැනි ලෝකයේ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන අර්බුදය සුළුපටු නොවන බවත් පැහැදිලිය.
ඒ අනුව කෝවිඩ්-19 වසංගතය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට උත්සාහ දරන අතරතුරදීම, ඉන් අනාගතයේදී මෙරට සමාජය තුළ ඇති වන අර්බුදයන්ටද මේ මොහොතේ සිටම සූදානම් වීම වැදගත් බව ආපදා කළමනාකරණ පිළිබඳ විශේෂඥ උපදේශකවරයෙකු වන ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා අද පුවත්පත වෙත පවසා සිටියි.
කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වන ඒ මහතා, දෙස් විදෙස් සමාගම් රැසකම ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය සහ ආපදා අධ්‍යයනය පිළිබඳව උපදේශ ලබාදීමේ අත්දැකීම් සපිරි අයෙකි.
එම ක්ෂේත්‍ර පිළිබඳව තමන් සතු විශේෂඥ දැනුමද සමගින් දැනට රට තුළ පවතින තත්ත්වය සඳහා කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන ලෙස ගෙන ආ යුතු යෝජනා සහ විසඳුම් කිහිපයක්ද ඔහු අද වෙබ් අඩවිය හරහා එහි පාඨකයන් වෙත ගෙන එයි.
විශේෂයෙන්ම තවත් මාස තුනත් හයත් අතර කාලසීමාවකින් පසුව හෝ කවර අවසන් ප්‍රතිඵලයක් අත්කරදෙමින් නිමාවට පත්වන මෙම කෝවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව රට මුහුණ දෙන සමාජ අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳවද ඔහු මෙහිදී කරුණු දක්වයි. ඒ අනුව එම අවස්ථාවේදී රටක් ලෙස ඊට මුහුණ දීම සඳහා සූදානම් විය යුතු ආකාරය පිළිබඳව ඔහු මෙලෙස අදහස් දක්වා සිටියි.
"අපි මේ කතාව සිදු කරන්නේ රට තුළ නව කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 ආසාදිතයන් 143 දෙනෙකු හමු වෙලා ඉන් දෙදෙනකු මරණයට පත්ව තිබෙන පසුබිමකදීයි. මේ තත්ත්වයට රට පත්වීම සම්බන්ධයෙන් කතා කළොත් යම් යම් තීරණ ගැනීමේ පමාවීමක් අපි දකිනවා. උදාහරණයක් විදියට රට තුළ කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනාගෙන සිටි අවස්ථාවේදී පවා අපි ගුවන් තොටුපොල වහන්න පමා වුණා. ඇඳිරි නීතියද?-ලොක්ඩවුන්ද? කියන තීරණය එකපාර ගත්තේ නැහැ. ක්‍රිකට් තරගවලට, සිරිපාදේ යන්න, උත්සව දාන්න අවස්ථාව ලබා දුන්නා."
ඒ අනුව යම් කිසි ආශ්චර්යක්, ප්‍රාතිහාර්යයක් සිදු නොවුණොත් පමණක් මේ සියල්ලගේම ප්‍රතිඵල අපිට ඉදිරි සති කිහිපයේදී දැකගන්න ලැබෙනු ඇති බව ආචාර්ය සමරසිංහ මහතා පවසයි. එය ඉතාලිය, ඇමෙරිකාව හා සමාන තත්ත්වයක් නොවුණත් රටට යම් බලපෑමක් එල්ල කරාවිය යන්න ඔහුගේ අදහස වී තිබේ.
"ඒත් මේ අතපසුවීම් දැන් අතීතයට අයිති දෙයක් නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක හමුදාව මේ වසංගත තත්ත්වය තවදුරටත් රට පුරා ව්‍යාප්තව නොවීම සඳහා තමන්ගේ උපරිම කැපවීමෙන් මේ අවස්ථාවේදී කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාව විදියට අපි දැන් කරන්න ඕනේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කරමින් හැකි තරම් දුරට මේ වෛරසය රට පුරා ව්‍යාප්තවීමට ඇති ඉඩ ප්‍රස්තාව අවුරාලන එකයි." ඔහු පවසයි.
මෙහිදී ජනතාව තේරුම් ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ රටෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රය සතු මානව සම්පතේ ඇති ධාරිතාවේ ප්‍රමාණවත් නොමැතිකම බවත් සමරසිංහ මහතා මෙහිදී අවධාරණය කරයි. විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසන ආකාරයට මෙරට තුළ කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2,000ක් තත්ත්වයට පත්වීම එහි පාලනය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය අතින් ගිලිහීම අතිශය භයානක තත්ත්වයකි.
"මෙන්න මේ අවස්ථාවේදී තමයි අපිට එතැනින් එහාට දේවල් කරගෙන යන්න බැරි වෙන්නේ. ඒ නිසා අපි දැන්ම ඉදන් ඒ ගැන සූදානම් වෙලා සිටීම වැදගත්. රෝගීන් 2,000ක් කියන්නේ අතිවිශාල සංඛ්‍යාවක්. මෙතැන කුඩා දරුවන් වගේම වැඩිහිටියන් ඉන්න පුළුවන්. ඔවුන් ප්‍රතිකාර ලබන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් වෙන් කෙරෙනවා. එතැනදී ඔවුන් පිළිබඳ තොරතුරු නොලැබීමෙන් මේ රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් අතර මානසික ආතති තත්වයක් ඇති වෙනවා. මොකද අපි හරි සමීප පවුල් සම්බන්ධතා තියෙන සංවේදී ජාතියක්. එවිට ඇඳිරි නීතිය කියන දේත් අමතක වෙනවා. එය ඊට පසු සමාජය තුළ යම් කලබලයක් බවට පත්වෙන්න පුළුවන්. මෙය වළක්වා ගත යුතු තත්ත්වයක්."
ඒ අනුව මීට පිළියමක් ලෙස දැන් සිටම මෙම රෝගීන්ගේ තොරතුරු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දෛනිකව දැන ගැනීමට හැකි ජංගම දුරකතන ඇප් වැඩසටහනක් සකස් කිරීම වඩාත් සුදුසු බව ඒ මහතාගේ අදහසයි. එහිදී යම් මුරපදයක් යොදා එම ඇප් වැඩසටහනට ඇතුළත්ව සිය රෝගියාගේ තොරතුරු දිනකට අවස්ථා දෙකකදී දැන ගැනීම මෙන්ම අවශ්‍ය නම් ඔහුගේ වීඩියෝ දර්ශනයක් වුවද දැක ගැනීමේ හැකියාව පවුලේ එක් සාමාජිකයෙකුට ලබාදිය හැකි බව ඔහු පවසයි. මෙය හැසිරවීම සෞඛ්‍ය අංශ සාමාජිකයෙකු හෝ ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ පාලනය යටතේ සිදුකළ හැකි බවත් හෙතෙම යෝජනා කර සිටියි.
එසේම රෝගීන් ක්‍රමයෙන් ඉහළ යාමත් සමගම ඔවුන්ට ප්‍රතිකාර කරන රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසකටත් වෛරස ආසාදනයවීම අනිවාර්යයනේම සිදුවන බවත්, ඔවුන් සේවාවන්ගෙන් ඉවත්වීම හරහා ඇති වන හිඩැස පිරවීමට දැන් සිටම පිරිසක් පුහුණු කර සූදානම් කර තිබීම වැදගත් බවත් ආචාර්ය සමරසිංහ මහතා සඳහන් කරයි.
"අනෙක් කාරණාව තමයි මුදල් පිළිබඳ ගැටලුව. අද බොහෝ දෙනෙකුගේ බැංකුවල මුදල් තිබුණට අතේ මුදල් නොමැති තත්ත්වයක් ඇති වෙලා. මොන අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ලොරි ආවත්, ඒවා ගන්න තරම් සල්ලි නැත්නම් මොකද කරන්නේ. ඒ වගේම දෛනික රැකියාවල නිරතවුණු පිරිසගේ අතේ දැන් සල්ලි නැහැ. ගණන් බැලුවොත් මේ ගණන ලක්ෂ 70කට ආසන්නයි. රජය මේ පිරිස වෙත ආධාර යවනවා කිව්වත්, අදටත් එය ග්‍රාමසේවක මහත්වරුන් හරහා නියම විදියට සම්බන්ධීකරණය වෙනවාද කියන එකත් ගැටලුවක්. මෙතැනදීත් විශාල මානසික ආතතියක් ජනතාව අතර ඇති වෙනවා."
මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ගෙනැවිත් දීමේ අවස්ථාවත් ජනතාව අතර වක්‍රාකාරයෙන් මෙම කෝවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමක් බවට පත්වීමේ අවදානමක් තිබෙන බවත් ඔහු පවසයි. එහිදී උදාහරණ ලෙස එක්සත් ජනපදය තුළ පමණක් මෙම වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි නොදන්නා 80,000කට අධික පිරිසක් සිටින බවත් පෙන්වා දෙන ඔහු, ඇතැම් විට සුපිරි වෙළෙඳ සැල්වලින් භාණ්ඩ ලබා ගැනීමකට ගිය අවස්ථාවකදී වෛරසයට නිරාවරණය වීමක්, එසේත් නැත්නම් ආහාර, ගෑස් ඩිලිවරි පුද්ගලයාගෙන් එම වෛරසය ආසාදනය වන්නට ඇති බවත් සැක කෙරෙන බවත් පවසා සිටියි.
"රජය වුණත් මිනිස්සුන්ට කියන්නේ ඔන්න බඩු ලොරිය එනවා. ඒකෙන් බඩු බෑග් ගන්න කියලයි. ඒත් මේ බඩු බෑග් විෂබීජහරණය කරලා ගේ ඇතුළට ගන්නේ කොහොමද කියන දේ මිනිස්සු තාම දන්නේ නෑ. කවුරුත් ඒ ගැන කියලා දෙන්නෙත් නෑ. හැබැයි ගෙදරට ලැබෙන මේ බඩු බෑග් එකේ තියෙන එළවලු ඇතුළු හැම දෙයක්ම හොඳට හෝදලා පැය කිහිපයක් අව්වේ තියලා ඊට පස්සේ තමයි ගේ ඇතුළට ගන්න ඕනේ. අනිත් කාරණාව තමයි මෙතැනදී හුවමාරු වෙන මාරු සල්ලි. පුළුවන් තරම් මාරු සල්ලි ගන්නේ නැති විදියට ගනුදෙනුව කරන්න. මාරු සල්ලි ගත්තත් ඒවාත් විෂබීජහරණය කරන්න. අඩුම තරමින් වතුර ටිකකින් හරි හෝදලා අව්වේ තියන්න. එළියට යන්න එපා කිව්වට වෛරසය මේ ක්‍රමවලින් අන්තිමට ගෙදරටම එනවා."
මේ අතර රටෙහි බලධාරීන් කෝවිඩ්-19 පිළිබඳ වැඩි අවධානය යොමු කරද්දී, සමාජය තුළ තවත් ගැටලු කිහිපයක්ම මතු වීමේ අවධානමක් පිළිබඳවද ප්‍රභාත් සමරසිංහ මහතා මෙහිදී කරුණු පහදයි. එය මෙවැනි අවස්ථාවකදී සාමාන්‍ය තත්ත්වයක් වුවද කල්පනාකාරීව කටයුතු කිරීමෙන් එය වළක්වා ගත හැකිය යන්න ඔහුගේ අදහස වී තිබේ.
"මගේ අදහසේ හැටියට අප්‍රේල් 15න් පස්සේ මේ කෝවිඩ්-17 අර්බුදය රටේ තිබුණොත් ව්‍යාපාර බොහෝමයකටම අප්‍රේල් මාසයේ වැටුප් ගෙවන එක කරන්න බැරි දෙයක් වේවි. මොකද මාර්තුවල කලෙක්ෂන් එකක් වෙලා නැහැ. අප්‍රේල් මාසයේ කොහොමත්ම වෙන්නේ නැහැ. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න පුළුවන් වුණත්, පෞද්ගලික අංශයේ සියයට 90කටම වැටුප් ගෙවීම ගැටලුවක්. බොහෝ විට වැටුපෙන් සියයට 30ක් වගේ ගෙවන්න පුළුවන්. මොකද බොහෝමයක් සමාගම්වලට මුදල් සංචිත නැහැ."
එහිදී ඊට පිළියමක් ලෙස මෙම සමාගම් වෙත ඔවුන් ගනුදෙනු කරන බැංකු හරහා අප්‍රේල් සහ මැයි මාස සඳහා යම් බැංකු අයිරාවක් ලබා දීමට කටයුතු කරන්නේ නම් එය මෙම සේවක වැටුප් ගෙවීමට සහනයක් වෙනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි. මෙය මහ බැංකුවේ මැදිහත්වීම හරහා සිදු විය යුතු කටයුත්තකි. එසේම එය නිසි අධීක්ෂණය යටතේ සිදු කිරීමද වැදගත් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
"ඒ වගේම තමයි රජයේ තීරණයකට අනුව සියලුම බැංකු මගින් ජනතාව ලබා ගෙන ඇති ණය සඳහා වන ණය වාරික අය කිරීම මාර්තු මාසයේදී සිදු නොකරන ලෙස මහ බැංකුව හරහා චක්‍රලේඛ නිකුත් කළත් එය ක්‍රියාත්මක වීමේ ගැටලු තිබෙනවා. දැනටමත් මේ මාසයේ බොහෝ දෙනෙකුගේ ණය වාරික කපා ගෙන අවසන්. මොකද එය එම බැංකුවේ පරිගණක පද්ධතිය අනුව සිදුවන්නක්. ඒත් බැංකු කළමනාකාරිත්වය ගන්නා තීරණයකට අනුව එක මොහොතකින් මේ බැංකු පද්ධතියෙන් එය ඉවත් කරන්න පුළුවන්, ඒත් තාම එවැන්නක් සිදු වෙලා නැහැ. මෙය අප්‍රේල් මාසයේදී වඩාත් දරුණු වෙනවා."
මෙහිදී බැංකු ණය වාරික කිහිපයක් යන තුරු කපා ගැනීමක් සිදු නොකළද, මෙරට කිසිදු බැංකුවක් කඩා වැටීමකට ලක් නොවන බවද හෙතෙම මෙහිදී අවධාරණය කර සිටියි. උදාමරණයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේද සඳහන් පරිදි 2018 වසරේදී පමණක් මෙරට වාණිජ බැංකු සතු දළ ලාභය රුපියල් බිලියන 60කට අධිකව පවතියි. ඉන් 10%ක් පමණවත් මේ ණය කපා හැරීමට ඇතුළත් නොවන බවත් ඔහු පවසයි. ඒ අනුව මෙම ණය වාරික මාස තුනක් හෝ හයක් දක්වා කපා ගැනීමකින් තොරව එම බැංකු පවත්වාගෙන යාමේ හැකියාවක් පවතී.
"මෙම සහනය ලබා දෙන අවස්ථාවේදීම බැංකුව වෙත තමන්ට එල්ල වන පීඩනය මඟහරවා ගන්නත් ක්‍රම තියෙනවා. එකක් තමයි තමන්ගේ බැංකු සතු ලක්ෂ 10කට වඩා වැඩි ස්ථාවර තැන්පතුවලින් කොටසක් පමණක් ගනුදෙනුකරුවන්ට නිකුත් කිරීම. එතකොට බැංකුවලින් සල්ලි එලියට යන්නේ නැහැ. මගේ විශ්වාසයේ හැටියට මේ ණය වාරික අය නොකරගෙන මාස හයකට ආසන්න කාලයක් සිය ව්‍යාපාරය පවත්වාගෙන යන්න මේ රටේ වාණිජ බැංකු සියල්ලටම හැකියාව තියෙනවා. මේ ණය අය නොකරගන්න කාලසීමාව ඊළග වසරේදී එකතු කරන්න පුළුවන්."
මෙම කටයුතු සිදු නොවුණහොත් ඉදිරි මාස තුනක කාලය තුළදී රට ඉතාමත් දරුණු ආර්ථික, සමාජීය ව්‍යසනයකට ලක්වීම අනිවාර්ය බව හෙතෙම පවසා සිටියි. මෙය ඇතැම් විට යළි ගොඩගැනීමට නොහැකි ප්‍රපාතයකට රට ඇද වැටීමක් විය හැකි බවත් ඔහු පවසයි. එසේම ණය ගෙවා ගත නොහැකි වන බොහෝ පිරිසක් ඉදිරියේදී %ක්‍රිබ්^ ලැයිස්තුව වෙත ඇතුළත් වීමේ අවදානමත් මේ හරහා සිදුවිය හැකි තවත් සමාජ ගැටලුවකි. ඒ අනුව හැකි නම් ඉදිරි මාස හයක කාලය සඳහා මෙම ක්‍රිබ් ලැයිස්තුව අක්‍රිය කිරිම වඩාත් හොඳ තීරණයක් බවද ඔහු පෙන්වා දෙයි.
"ඊළඟ කාරණය තමයි දිගුකාලීනව ඇති වන ගැටලුවලට මුහුණ දීමට සූදානම් වීම. සාමාන්‍යයෙන් ව්‍යාපාරයකදී දිගුකාලීන සැලසුම් හදන්නේ අවුරුද්දකට දෙකකට. ඒත් මෙතැනදී මාස හයකින් පස්සේ තමයි අපිට දිගුකාලීන ගැටලු ඇති වෙන්නේ. දැන් රටේ තියෙන අර්බුදය එළියට එන්නේ තවත් මාස තුනකින් හයකින්. ලෝකයේ වගේම අපේ රටේත් බොහෝ දෙනෙකුට රැකියා නැති වෙන්න පුළුවන්. ඒ වගේම මාලදිවයිනේ සංචාරක කර්මාන්තය වැටිලා, ඉතාලියේ කර්මාන්ත වැටිලා ඒ නිසා ඒ ඒ රටවල රැකියාව කරපු අපේ රටේ අයගෙන් වැඩි දෙනකුටම දැන් රැකියා නැතිවීමේ අවදානමක් තිවෙනවා. ඔවුන් සියලු දෙනාටම ආපසු අපේ රටට එන්න වෙනවා. මේ විදියට ගියොත් දැනට රට ඉන්න ලක්ෂ ගණනක් වන පිරිසගෙන් 50%ක් විතර ආයිත් රටට ඇවිත් රැකියාවන් නැති පිරිසක් බවට පත් වෙනවා."
මොවුන් මෙලෙස යළිත් මෙරටට පැමිණීම යනු මෙතෙක් කලක් ඔවුන් හරහා ලැබුණු විදේශ විනිමය නැතිවීයාමක් බවත් ඔහු පෙන්වා දෙයි. එය දැනටමත් ඇගලුම් අපනයනය සහ සංචාරක කර්මාන්තය තුළ කඩා වැටී ඇති විදේශ විනිම ආදායම අඩුවීමට තවත් අවස්ථාවක් බවත් ඔහු පවසයි. එසේම දැනටමත් කඩා වැටී ඇති සංචාරක කර්මාන්තයද ඉදිරි මාස කිහිපයේදී සම්පූර්ණයෙන්ම පාහේ අර්බුදයට ලක්වන බව ඔහු සඳහන් කරයි. එහි අවසානය වන්නේ පරිභෝජනය සඳහා භාණ්ඩ තිබුණද ඒවා මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් ජනතාව අතර නොමැති වීමකි.
"මම මේ සඳහන් කරපු කාරණා සියල්ලම අවසානයේදී පත්වෙන්නේ සමාජ ගැටලුවක් බවටයි. මේ තත්ත්වය පාලනය සඳහා ගත හැකි පියවර අපි ආපදා කළමනාකරණය ලෙස හඳුන්වනවා. ඒත් තවමත් අපි රටක් විදියට මේ ගැන හරි විදියට කතා කරලා නැහැ. මේ සඳහා අපි දැන් සිටම සූදානම් විය යුතුයි. ඒත් එවැන්නක් තවම පේන්න නැහැ. එවැනි කණ්ඩායමක් එකතු කරගැනීමක්වත් පේන්නේ නැහැ. ඒ නිසා මෙවැනි කටයුතු සඳහා අවශ්‍ය නම් මේ ආපදා කළමනාකරණය පිළිබඳ දැනුම ඇති අපි වැනි පිරිස් අපගේ දැනුම රට වෙනුවෙන් පැය 24 පුරාම ලබා දෙන්න ඕනෑම විටක සූදානම්." ආචාර්ය ප්‍රභාත් සමහරසිංහ මහතා අවසන් වශයෙන් පැවසීය.
ආචාර්ය ප්‍රභාත් සමරසිංහ ([email protected])
රසායන විද්‍යා විශේෂවේදී උපාධිධාරී කොළඹ විශ්වවිද්‍යාලය, කළමනාකරණ අධ්‍යයනය පිළිබඳව පශ්චාත් උපාධිධාරී, කළමනාකරණ ක්‍රමවේද පිළිබඳව ආචාර්ය උපාධිධාරී, කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ විශේෂඥ උපදේශක, ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ උපදේශක.