කොරෝනාව සමග ජාතික මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළද යම් යම් භෝග වගාවන් කෙරෙහි ඇත්තේ වැඩි අවධානයකි. ඒ අනුව ලංකාවේ අපනයන භෝග ඇසුරෙන් හෙට දිනය උදෙසා සරු අස්වනු ලබාගැනීමට ඇති අවස්ථාවන් පිළිබඳ “අද,පාඨකයන් දැනුම්වත් කරනු පිණිස අප අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අරුණ පී හීන්කෙන්ද Bsc(Agric)Msc,Phd මහතාව සම්බන්ධ කර ගතිමු.
කොරෝනාව සමග කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට ඔබ දෙපාර්තමේන්තුව වශයෙන් ගන්නා පියවර කුමක්ද ?
අපේ ඉලක්ක ගණනාවක් තිබෙනවා. අපනයන භෝග මගින් නව සොයා ගැනීම් සහ එම භෝග සංවර්ධන වැඩපිළිවෙළ මගින් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදේශ විනිමය සොයා දීමට යොමු වීම එක් ඉලක්කයක්. නිෂ්පාදනය ක්‍රමානුකූලව තව තවත් වැඩි කර ගැනීමට ඇති අවස්ථා ජනනය කර ගැනීම තවත් අවස්ථවක්.
අගය එකතු කළ නිෂ්පාදනයන් කෙරෙහි ඇති අවස්ථාවන් පිළිබඳ යොමු වීම තවත් පියවරක්. ඒ කියන්නේ එකම දේ වුවත් එහි නිෂ්පාදනයන් වැඩිකර ආදායම ඉහළ නැංවීම එයින් අදහස් කෙරෙනවා. එතෙන්දිත් විශේෂයෙන් කුරුඳු, ගම්මිරිස් වැනි භෝග ගැන වැඩි අවධානයක් යොමු කිරීමට ඇති අවස්ථා වැඩියි.
ඒ අතර තවදුරටත් කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරදමුංගු, කෝපි, පැඟිරි, භෝග සම්බන්ධයෙන්ද නව සොයා ගැනීම් කරගෙන යනවා.
තවත් දෙයක්. අපේ ඉදිරි ඉලක්ක ජයගැනීම සඳහා වගා කළ හැකි වපසරිය වැඩි කරගැනීම ගැන අපි දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. මොකද ඉඩම් ප්‍රශ්නය කියන්නේ පොදු දෙයක්. ඒ කාරණාව ජයගනිමින් ඉඩම් වපසරිය පුළුල් කරමින් භෝග වගාවන් ව්‍යාප්තියට ඇති විකල්ප ගැන අපි හිතනවා.
ඒ අනුව මේ වනවිට ගෙවතු වගා ක්‍රමයට සහ වෙනත් භෝග වගාවන් අතර අපනයන භෝග වර්ග සිටුවීම කරනවා. පොල් වගාව අතර හෙක්ටයාර ලක්ෂයක පමණ භෝග වගා කිරීමට කටයුතු කරමින් සිටිනවා.
එහෙම වුණත් ගෙවී ගිය කාලයේ මෙම ක්‍ෂේත්‍රයේ ඇතැම් පසුගාමී තත්ත්වයන්ද තිබුණා නේද ?
ඒ කියන්නේ ප්‍රතිඅපනයන් සහ වෙනත් යම් යම් හේතු නිසා ඇතැමුන් අපනයන භෝග කෙරෙහි තිබුණු අවධානය උනන්දුව අඩු වුණා. සමහරු නිසි ලෙස ජලය පොහොර පාංශු සංරක්ෂණය ගැන උනන්දු වුණේ නැහැ. එයින් අස්වැන්න සහ අාදායම අඩු වුණා. ගම්මිරිස් වැනි දේ නොමේරු අවස්ථාවල කඩා අලෙවි කිරීමට ඇතැම් වගාකරුවන් කටයුතු කළා. එවැනි දේ නොකළ යුතුයි. සාදික්කා වගාවට යම් රෝග තත්ත්වයක් ඇති වුණා. මෙවැනි දේ වගාවන් තුළ ඇසෙන අභියෝගයි.
එවැනි අවස්ථා මැනවින් නිරීක්ෂණය කරලා නැවත කෘෂි වත්පිළිවෙත් කෙරෙහි වගාකරුවන් යොමු කරවීමට උත්සාහ කරනවා.
කොරෝනා උවදුර අපනයන භෝග වගාවට බලපෑමක් කළේ නැද්ද ?
අපිට කොරෝනා කාලෙ වුවත් හොඳ ආදායමක් ගැන ඉලක්ක ඇති වුණා. ගෙවී ගිය කොරෝනා කාලය තුළ පවා අපේ තවාන්වල පැළවළට හොඳ ඉල්ලුමක් තිබුණා. එයින් ජනතාව මෙවැනි වගාවන් කෙරෙහි දැක්වූ උනන්දුව පැහැදිලියි.
අපි 2019 අවුරුද්දේ අපනයන භෝග යටතේ ලබා ඇති ආදායම රුපියල් මිලියන 33000ක්. ඒත් මේ කොරෝනා සමග ගෙවුණු 2020 ජූලි 30 දිනට අපි ලබා ඇති ආදායම මිලියන 37345 දක්වා ඉහළ ගිහින්.
අස්වැන්න ගැන කතා කළත් එහෙමයි. ගත වූ 2019 සමස්ත අපනයන භෝග නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 24000 යි. ඒත් 2020 ජූලි වනවිට එය මෙට්‍රික් ටොන් 30000 ක්. එයට කරාබු, කුරුඳු, පුවක්, ගම්මිරිස්, සාදික්කා, කහ, ඉඟුරු, කොකෝවා, ආදී හැම දෙයක්ම ඇතුළත්.
විදේශ වෙළෙඳ පොළ ගැන කියනකොට කොරෝනා ඇතිකළ ප්‍රශ්නය කාටත් පොදු දෙයක්. මෙතරම් කාලයක් ඉන්දියාවට ගිය අපේ නිෂ්පාදන ඉදිරි කාලය තුළ යුරෝපීය රටවල් කෙරෙහි යොමු කිරීමට ඇති අවස්ථාවන් වැඩිකළ යුතුව තිබෙනවා. ඉන්දියාවේ ජාලය දුර්වල වීම නිසා වෙනත් රටවල් කෙරෙහි පවතින ඉඩකඩ රාජ්‍ය මට්ටමෙන් තවදුරටත් ඉදිරි කාලය තුළ හැදෑරිය යුතුව තිබෙනවා.
වගාකරුවන්ට කෙරෙන දිරි ගැන්වීම් සහ ඉලක්කය සම්පූර්ණ කිරීමට ගන්නා පියවර කෙටියෙන් පැහැදිලි කළොත්?
පියවර ගණනාවක් තියෙනවා. මම උදාහරණ කිහිපයක් කියන්නම්. ජලය, පොහොර, පාංශු සංරක්ෂණය වෙනුවෙන් හෙක්ටයාර එකකට රුපියල් 85,000.00ක් අපි වගාකරුවන්ට ලබාදෙනවා.
කුරුඳු වගාවේදී පොහොර ඩොලමයිට්, වල් මර්දනය, නඩත්තුව ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 75,000.00ක් ලබාදෙනවා.
දැනට කුරුඳුවලින් ලැබෙන ආදායම 50%ක් 55%ක් තරම්. අනෙක අපේ ඉලක්කය වන්නේ එය 60% දක්වා ඉහළ නැංවීමයි. ගම්මිරිස්වලත් එවැනි ඉලක්කයක් තිබෙනවා. අගය එකතු කළ නිෂ්පාදන තුළින් එය කළ හැකි යැයි අපි හිතනවා. ඒ තැනට වගාකරුවන් පත්කර ඔවුන් ව්‍යවසායකයන්ගේ තත්ත්වයට පත්කිරීම අපේ ඉලක්කයක්.
වගාකරුවන්ට සෞඛ්‍යාරක්ෂිතව පිරිසුදුව අපද්‍රව්‍යයන්ගෙන් තොර වූ නිෂ්පාදන සඳහා දැනුම සම්පත් සහ පුහුණුව නොමිලයේ ලබාදීමට අපි කටයුතු කරගෙන යනවා.
ජනාධිපතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" සංකල්පය තුළ අපනයන භෝග සඳහා ඇති අවකාශය තවත් පුළුල් කර තිබෙනවා. ඒ කියන්නේ වගාකරුවන්ට ඇති අවස්ථාවක්. එහෙමනම් ඒ සඳහා ඇති ප්‍රතිපාදන අප තවත් වැඩි කරනවා. ඒ අතර අාධාර සහනාධාර, බැංකු ණය, උපකරණ ලබාදීම ආදී අවස්ථාවන් ගණනාවක් තිබෙනවා.
නිසි මිලක් නොලැබීමට ගොවියා කරන වැරදි ගැන යමක් සඳහන් කළොත්?
සමහර අවස්ථාවල ගම්මිරිස් හෝ යම් භෝග වර්ග මහමග බිම දමා වියළන ආකාරය ඔබ දැක ඇති. නිසි ප්‍රමිතියකින් හෝ පිරිසුදු තත්ත්වයකින් වියළා නොගැනීමෙන් ඒවායේ ගුණාත්මක බවට හානියක් සිදුවෙනවා. අවිධිමත් වියළීමේ ක්‍රම නිසා ඒවායේ අපතේ යන ප්‍රමාණය වැඩියි. වෙළෙඳ පොළේදී ලැබෙන මිලත් අඩුවෙනවා.
අපිට ගම්මිරිස් අස්වැන්න ලැබෙන කාලය වනවිට වැස්සක් ලැබීම ස්වාභාවික දෙයක්. එහෙම නම් ඒවා නරක් නොවී වියළා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ ගැන වගාකරුවන් දක්වන උනන්දුව මදි. එහෙම වුණාම අපතේ යන ප්‍රමාණය වගේම අතට ලැබෙන මුදලත් අඩු වෙනවා. ඒ නැතිවෙන්නේ ගොවියාට වෙළෙඳ පොළේ ඉහළ මුදලක් ලබාගත හැකි අවස්ථාව බව අමතක කරන්න හොඳ නැහැ. ඒ නොලැබී අහිමිවන මුදලත් ගොවියා අතට ලැබෙන ක්‍රම ගැන අපි අවධානය යොමු කර තිබෙනවා.
අපි එතෙන්දී ඒ ඒ කාර්යයන්ට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දෙනවා. සමහර අවස්ථාවලදී වගාකරුවාට 50෴ක පමණ යෙදවුමක් අපේ පැත්තෙන් කරනවා. අපේ එක් ඉලක්කයක් වන්නේ ගම හරහා ගමේ සම්පත් දායකයන් මෙයට හවුල් කර ගන්න.
ඒ ගැන පැහැදිලි කළොත්?
ගම කියන ආයතනය ගැන අපේ අවධානය යොමු කර තිබෙනවා. නිෂ්පාදනය සිදුවන්නේ ගමේ නම් ගැමියාගේ නිෂ්පාදනයට ඉහළ වටිනාකමක් ලැබිය යුතුයි. ඒත් ඉහළ පහළ යන මිල නිසා එය අර්බුදයක් නොවිය යුතුයි. එය විධිමත් ආකාරයකට පවත්වාගෙන යාම වැදගත් කරුණක්. තමන් අතට ලැබෙන ආදායම ගැන වගාකරුවා සැලකිලිමත් වීම ඉතා වැදගත් දෙයක්.
ඇට වෙන් කිරීම, වියළීම, ශ්‍රේණිගත කිරීම වැනි දේ යන්ත්‍ර සූත්‍ර හරහා කළ හැකියි. ඒවා ගම තුළ ස්ථාපනය කෙරෙන සැකසුම් මධ්‍යස්ථානයක් යටතේ සිදු කරනවා.
එතෙන්ට සැකසුම්කරුවෙකු ඒ ගමෙන්ම පත්කරනවා. එතැන නිෂ්පාදනය එකතු කිරීමත් ගබඩා කිරීමත් සිදුවෙනවා. වගාකරුවාත් ගමත් අතර අන්‍යෝන්‍ය බැඳීමක් එයින් ඇතිවෙනවා විතරක් නෙවෙයි තමන්ට පහසු ආකාරයෙන් ගම තුළදීම නව තාක්ෂණය සමග වගා කටයුතු සඳහා යොමු වීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.
එවැනි මධ්‍යස්ථාන සීයක් ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටිනවා. අවශ්‍යතාව අනුව මෙම ප්‍රමාණය තවත් වැඩිවිය හැකියි.
ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක් ලෙස මෙම වගාවන් ආරම්භ කිරීමට අදහස් කරන අයට ඔබ දෙපාර්තමේන්තුව මගින් සපයන සේවා විස්තර කළොත්?
වැඩි දියුණු කළ පැළ හා රෝපණ ද්‍රව්‍ය නොමිලයේ සැපයෙනවා. පවතින වගාවල අස්වැන්න ඉහළ නැංවිය හැකි ක්‍රමෝපායන් පිළිබඳ පුහුණුව දෙනවා. අස්වැන්න හොඳින් සකසමින් වැඩි මිලක් ලබාගන්න අපෙන් මගපෙන්වීම් සැපයෙනවා. කුරුඳු සහ පැඟිරි තෙල් ආසවන ඒකක සාදා ගැනීමට උපදෙස් සමග අතහිත දීම කරනවා.
ඒ විතරක් නෙවෙයි. අපි කෘෂිකර්ම නවීකරණය ව්‍යාපෘතිය නමින් වැඩසටහනක් පවත්වාගෙන යනවා. ඒ යටතේ කුරුඳු, ගම්මිරිස් වැනි අගය එකතු කළ රසායනික සංඝටක නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය අපේ සැකසුම් මධ්‍යස්ථාන මගින් සම්බන්ධීකරණය කරනවා.
ගාල්ල, මාතර, කළුතර වගේ ප්‍රදේශවල කුරුඳු සැකසුම් මධ්‍යස්ථාන ආරම්භ කෙරෙනවා. රත්නපුර, මහනුවර, බදුල්ල, මාතලේ වගේ ප්‍රදේශවල ගම්මිරිස් සැකසුම් මධ්‍යස්ථාන ඉදිකරනවා.
ඉහළ පහළ යන මිල සම්බන්ධ ගැටලුව නිරාකරණය වෙයිද ?
මිල නියම කිරීම සම්බන්ධයෙන් ඒ ඒ වගාවන්ට අනුව සහතික මිලක් ඇති කිරීම කෙරෙහි දැන් අවධානය යොමු කර තිබෙනවා. එයින් ප්‍රමිතිගත ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදකයන්ට ඉහළම මිලක් හැමදාමත් ලබාගැනීමට ඇති අවස්ථාව උදාවෙයි. අවශ්‍ය වන්නේ වගාකරුවා තම වගාව සහ නිෂ්පාදනය සඳහා කරන කැපකිරීමයි. මෙම ක්‍රමය නිසා ග්‍රාමීය ආර්ථිකය ඉහළ නංවා ගමට සල්ලි ඉපැයීම සඳහා ගමේ සම්පත්දායකයන් ගමෙන්ම යොදවා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.
කහ ගැන කතාවක් තියෙනවා. එහෙම වුණේ ඇයි?
කහ වගාව ගැන කතා කළොත් ගෙවී ගිය අවුරුද්දේ අමු කහ කිලෝව රුපියල් විස්ස දක්වා වගේ අඩු මුදලකට වැටුණා. එයින් වගාකරුවා අධෛර්යමත් වුණා. මෙයද මේ අවුරුද්දේ කහ හිඟයට එය එක් සාධකයක් වුණා.
අනෙක අස්වැන්න නෙළීමට ගතවන කාලය විමසීමේදී මාර්තු සහ මැයි අතර වගා කරන කහ වගාවේ අස්වැන්න ගලවන්න සිදුවෙන්නේ ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාසයෙන් පස්සේ. ඒ කියන්නෙ මාස 9ක් ගතවෙනවා. එහෙම වෙනකොට ගොවියා වෙනත් වගාවන්ට යොමු වුණා. ආදායමත් අඩු වෙනකොට ඒ ගැන ගොවියා උනන්දු වුණේ නැහැ.
මේ හිඟය නිසා දැන් කහ කිලෝව රුපියල් 600.00ක් වගේ මුදලක් වෙනවා. කොහොම වුණත් මේ තත්ත්වය ලබන අවුරුද්දෙන් පස්සේ නිවැරදි වෙයි. ඒ අනුව අපේ රටේ කහ අවශ්‍යතාව 2021 වනවිට සම්පූර්ණ වෙයි.
වගාවන් සම්බන්ධයෙන් පවතින දායකත්වය සහ උනන්දුව පැහැදිලි කළොත්?
කුරුඳු වගාකරුවන්ට අවශ්‍ය පුහුණුව ලබාදීම සඳහා මාතර තිහගොඩ පුහුණු මධ්‍යස්ථානයක් ක්‍රියාත්මකයි. මෙම වගාව ගැන සෑම පුහුණුවක්ම එතැනින් ලබාදීමට කටයුතු කරනවා. කැමති අයෙකුට ඒ සඳහා ඉදිරිපත් විය හැකියි. අපේ අපනයන භෝග පුහුණු ජාතික මධ්‍යස්ථානය මාතලේ ඇල්වල ස්ථාපනය කර තිබෙනවා. එතැනින් මේ හැම වගාවක් ගැනම උනන්දුවන අයට අවශ්‍ය දැනුම පුහුණුව ආදර්ශ ලබාගත හැකියි.
ඉඟුරුවලින් රටට අඩුවක් නැහැ. තමන්ට ප්‍රමාණවත් ඉඩමක් තියෙනවා නම් කුරුඳු, ගම්මිරිස් වගාකළ හැකියි. අක්කර කාලක් වුණත් කුරුඳු, ගම්මිරිස්, සාදික්කා ආදී වශයෙන් අපනයන භෝග වගාකළ හැකියි.
ඔබ හිතන්න අක්කර කාලක ගම්මිරිස් වගාවකින් අවුරුදු 3ට පසු දල වශයෙන් වාර්ෂික දල ආදායම රුපියල් තුන්ලක්ෂ හතළිස්දහසක් ලැබිය හැකියි. ගැළපිය හැකි හැම දෙයකටම අගය එකතු කළ වටිනාකමක් දිය හැකිනම් එයින් ලැබෙන ආදායම තවත් ඉහළ යනවා.
ගමේ තරුණ පිරිස හෝ ගොවිතැනට උනන්දුවන අය එකතු කර කණ්ඩායම් පිහිටුවාගෙන ඒ අයට දැනුම ලබාදී මේ වැඩසටහන් ගම තුළ ප්‍රචලිත කිරීම අපේ උත්සාහයක්.
ප්‍රදේශ වශයෙන් වඩා උචිත වගාකළ හැකි භෝග මොනවාද ?
මොනරාගල, කුරුණෑගල, ගාල්ල, මාතර, රත්නපුර, අම්පාර, පොළොන්නරුව, නුවරඑළිය, කොළඹ, කළුතර, බදුල්ල ප්‍රදේශවලට ඉඟුරු භෝගය සුදුසුයි. එම වගාව කළ හැකි ප්‍රදේශවල කහ වගාවත් කළ හැකියි. ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, කුරුඳු වගාවට වඩා සුදුසුයි. සිට්‍රනෙල්ලා වගාවට හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, රත්නපුර, මාතලේ ප්‍රදේශයන් සුදුසුයි.
මේ ආකාරයෙන් තමන් වගා කිරීමට අදහස් කරන දේ ඔබේ ප්‍රදේශයට ගැළපේදැයි අපේ ව්‍යාප්ති නිලධාරීන්ගෙන් දැනගත හැකියි. වෙනත් දේ පවා එම ප්‍රදේශවලට අදාළයි. බුලත්, පුවක් වුණත් අමතක කරන්න එපා.
ඵලදායීතාව වැඩිකර ගැනීමට හැකි අවස්ථා සොයා ගැනීම වැදගත්. එවිට නිෂ්පාදනය වැඩිකර වැඩි ඵලදාවක් ලබාගත හැකියි. නිෂ්පාදනය වැඩි වනවිට මිල අඩුවෙනවා. එනිසා සුදු ගම්මිරිස් නිෂ්පාදනය කළ හැකියි. ඒවාට ඉහළ මිලක් ලැබෙනවා. අප දෙපාර්තමේන්තුව විසින් අපි මෙවැනි නූතන තාක්ෂණය සමග ඉදිරියට යාමට උනන්දුවන අයට දැනුම පුහුණුව අවස්ථා යන්ත්‍රසූත්‍ර ආධාර ආදී හැම දෙයක්ම ලබාදෙනවා. ඒ අයට දෙස් විදෙස් වෙළෙඳ පොළ සඳහා ඇති අවස්ථාවන්ද අප හඳුන්වා දෙනවා.
වැඩි විස්තර අවශ්‍ය නම් ඔබ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටින අපේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් හෝ මහනුවර ගැටඹේ පිහිටි අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි
සංවාදය සහ සේයාරූ - ලාල් ජයසුන්දර