දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා කපිතාන්වරයෙකු ලෙස කටයුතු කළ 99 හැවිරිදි වියේ පසුවන ටොම් මූර් නමැත්තෙකු කොරෝනා වෛරසයට එරෙහි සටනේ නිරත එරට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශය වෙනුවෙන් ස්ටර්ලිං පවුම් මිලියන 4ක අරමුදලක් එකතු කිරීමට සමත්ව ඇතැයි වාර්තා වෙයි.
මේ අරමුදල් සම්පාදනය සඳහා කපිතාන් ටොම් මූර් බ්රෙඩ්ෆෝර්ඩ්ෂයර්හි පිහිටි සිය නිවසේ උද්‍යානයේ දිනපතා වට 10ක් (මීටර් 25ක්) ඇවිදීමේ නිරත වෙයි. එහිදී ඔහු සිය රෝද පුටුව ආධාරකරගනිමින් මෙම ඇවිදීමේ යෙදෙයි.
ලබන අප්‍රේල් 30 වැනිදාට යෙදෙන සිය 100 වැනි උපන්දිනය වන විට වට 100ක් සම්පූර්ණ කිරීම අරමුණ වී තිබේ. මෙම අරමුදල් එකතු කිරිම සඳහා ඔහු වෙබ් පිටුවක් ආරම්භ කළ අතර, ඒ සඳහා මේ දක්වා 170,000කට අධික පිරිසක් ආධාර මුදල් ප්රදානය කර තිබේ.
සිය අරමුදල හරහා පවුම් 1,000ක මුදලක් එකතු කරගැනීම ඔහුගේ මූලික අරමුණ වුවත්, මේ වනවිට එය පවුම් මිලියන 4ක් දක්වා ඉහළ ගොස් තිබීම තමන්ගේ සිතට ධෛර්යයක් ගෙන ආ බව කපිතාන් ටොම් මූර් පවසයි. ඒ අනුව මේ ගමන නොනවත්වා යාමටත් තවත් වට 100ක් ගමන් කරමින් අරමුදලට තවත් මුදල් එකතු කිරීමටත් ඔහු අපේක්ෂා කරගෙන සිටියි.
විශේෂයෙන්ම තමන් පෙළෙමින් සිටින පිළිකා රෝගී තත්ත්වයට සහ තවත් අවස්ථාවකදී බිඳී ගිය සිය උකුළු ඇටය යළි සැකසීම වෙනුවෙන් ප්‍රතිකාර කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නියෝජනය කරන සියලු දෙනා උදෙසා තමන් මෙම අරමුදල පිහිටවූ බවත් කපිතාන් ටොම් මූර් පවසයි.
ඒ අනුව මෙම අරමුදලේ සෑම සතියක්ම කොරෝනා වෛරසයට එරෙහිව ඉතාමත් උත්කෘෂ්ට සේවාවක නිරත වෙමින් සිටින බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාවේ සියලුම කාර්ය මණ්ඩලය වෙත හිමිවිය යුතු බවත් ඔහු පවසා සිටියි.