මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය චීනයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය පිළිබඳව යොමුව තිබේ. මෙම කුරහන් සුවඳ තීරු ලිපිය ලියන මොහොත වනවිට විදෙස් වාර්තා සඳහන් කළේ වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයන් 80ක් මියගොස් ඇති බවයි. මෙම මියගිය සියල්ලෝම චීන ජාතිකයෝ වෙති.
වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 2500කට ආසන්න පිරිසක් මේ වනවිට වාර්තා වී තිබේ. මෙයින් බොහෝ පිරිසක් චීන ජාතිකයෝ වෙති. එසේම තවත් රටවල් කිහිපයකින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 04ක් අංගොඩ IDH රෝහලට ඇතුළත් කර තිබුණද, ජාතික වෛද්‍ය පර්යේෂණායතනය කළ පරීක්ෂණවලදී ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
කොරෝනා වෛරසයට රටක් ලෙස මුහුණදීමට අවශ්‍ය සියලුම පියවර අප රජයක් ලෙස මේ දක්වා ආරම්භ කර තිබේ. ඒ සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත්කර තිබේ. එසේම කොරෝනා වෛරස් ආසාදිතයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එසේම චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳවද ශ්‍රී ලංකාව නිරන්තර අවධානය යොමුකර තිබේ. චීනයේ සිටින සිසුන් හැකි ඉක්මනින්න ශ්‍රී ලංකාව වෙත ගෙන්වාගැනීමටද අප විසින් කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික ලෙස අවශ්‍ය පියවර ගනිමින් සිටිමු.
කෙසේ වෙතත් චීනය සඳහන් කරන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීමට චීනයට හැකියාවක් ඇති බවයි. ඒ සඳහා රජයක් ලෙස ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු වන චීනයට අවශ්‍ය සහයෝගය දැක්වීමට අපි ඉදිරිපත් වී සිටිමු.
කොරෝනා වෛරසය පිළිබඳ අපගේ සාකච්ඡාව එතැනින් අවසන් කරමින් වෙනත් ක්ෂේත්රයක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමට මම බලාපොරොත්තු වෙමි. ඒ මේ වනවිට වැඩි වී ඇති එළවළු හා සහල් මිල පිළිබඳවය.
එළවළු හා සහල් මිල වැඩිවීමේ වගකීම රජය සතු බවට විපක්ෂය මේ වනවිට සඳහන් කරමින් සිටියි. නමුත් යථාර්ථය එය නොවේ. එළවළු මිල වැඩිවීමට පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණය ප්‍රබල හේතුවක් බවට පත්විය. එහිදී බොහෝ එළවළු වගාවන් විනාශ වී සැපයුම සීමා වීම හේතුවෙන් එළවළු මිල ඉහළ යෑමක් සිදුවිය. අනෙක් අතින් දෙසැම්බර් හා ජනවාරි උත්සව සමයේදී එළවළු මිල තරමක් වැඩි වී ඇති බව අතීත දත්ත පෙන්වා දෙයි.
සහල් මිල සම්බන්ධයෙන් ඇත්තේ වෙනස් කතාවකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී වී අස්වැන්න ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන මට්ටමට පැවැතියද පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් වී වගාව ක්‍රමයෙන් පහළ ගියේය. එක් අවස්ථාවකදී මත්තල ගුවන්තොටුපොළේ ගබඩා පවා පුරවන මට්ටමට ශ්‍රී ලංකාවේ වී අස්වැන්න තිබුණද පැවැති ආණ්ඩුව ගොවියන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදීම හේතුවෙන් ලංකාවේ වී වගාව ක්‍රමයෙන් අඩුවිය.
ඒ අනුව වී අස්වැන්න සීමා වීම හේතුවෙන් සහල් සැපයුම ප්‍රමාණවත් නොවීය. එය සහල් මිල වැඩිවීමට හේතුව විය. සහල් මිල පාලනය කිරීමට අපට විදේශයන්ගෙන් සහල් ගෙන්වාගැනීමේ හැකියාව තිබුණත් දිගුකාලීනව සලකා බලමින් ආනයනය නොකර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අපි කටයුතු කළෙමු. සහල් ආනයනය කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් රට තුළ ඉතිරි වූ විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 100කි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් නැවතත් රට භාර ගැනීමත් සමග ගොවීන් තුළ යම් පිබිදීමක් ඇතිවිය. අනෙක් අතින් තරුණ ප්රජාවද මැදිහත් වී පුරන් කුඹුරු අස්වැද්දීමට කටයුතු කිරීමත් සමග මෙවර වාර්තාගත වී අස්වැන්නක් ලැබීමට නියමිතව තිබේ. එය මෙට්‍රික් ටොන් මිලියන 03ක් ඉක්මවනු ඇති බවට ගණන් බලා තිබේ. එහි ඩොලර් වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ බවද රජය ගණන් බලා තිබේ. මෙම වී අස්වැන්න ක්‍රමයෙන් දැන් නෙළමින් පවතින අතර, එය ඉදිරියේදී වෙළඳ පොළට පැමිණීමෙන් අනතුරුව සහල් මිල පහළ බසිනු ඇත.
මේ වනවිට විපක්ෂය රජයට එල්ල කරන තවත් චෝදනාවක් වන්නේ පොහොර හිඟයක් පවතින බවයි. නමුත් පොහොර හිඟයටද හේතුව වී ඇත්තේ ඔවුන්මය. පසුගිය ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සමාගම්වලින් ලබාගත් පොහොර සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම සමාගම් වනවිට ලංකාවට පොහොර නොදෙන තත්ත්වයට පත්ව තිබේ. ඒ අනුව රට තුළ යම්කිසි පොහොර හිඟයක් ඇතිව තිබේ. කෙසේ වෙතත් මේ සඳහා රජයක් ලෙස මැදිහත් වී එම ගැටලුවද විසඳීමට අපි කටයුතු කරන්නෙමු.
මෙම කරුණුවලින් අනතුරුව අප දේශපාලනය පිළිබඳ ඔබ හා තරමක සාකච්ඡාවක් සිදු කිරීමට අපේක්ෂා කරන්නනෙමු. එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීම් දිවයින පුරා පැවැත්වීමට අපි මේ වනවිටත් කටයුතු කරමින් සිටිමු.
ඒ අනුව අප ඉදිරි මහ මැතිවරණයට හොඳ සැලැස්මක් යටතේ තරග කිරීමට අපේක්ෂා කරමු. කෙසේ වෙතත් අපගේ ප්‍රතිවාදීහු මේ වනවිට නායකත්වය වෙනුවෙන් ගැටුමක නිරත වී සිටිති. එක්තරා ආකාරයකට මෙම දේශපාලන ගැටුමෙන් අපගේ ජයග්‍රහණය තවදුරටත් පහසු වනු ඇත.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!